අහස යට... | සිළුමිණ

අහස යට...

 හූ කියාගෙන ආපු කෝච්චිය යාපනේ ස්ටේසමේ හති ඇරල, ඊට පස්සෙ ඉබිගමනින් කන්කසන්තුරේ පැත්තට ඇවිත් චුන්නාකම් ස්ටේසමේ නතර වුණා.

අවුරුදු දොළහක් විතර නිල්ල පිරුණු ගහකොළ තියෙන කළුතර පැත්තෙ ජීවත්වුණ දිලිපන්ට ආපහු , දූවිලි පිරුණ මේ බිමට ඒන්න වුණේ ජීවිතේ කෙළවරට ආපු

සරස්වතීට එයාගෙ එකම මුණුපුරාට දේපල වල අයිතිය පවරල ඇස් දෙක පියාගන්න ඕනැ වුන හින්දයි.

ස්ටේෂමෙන් බැහැල පටු පාර දිගේ එද්දිම දිලීපන් කොදුරල රාමන්ගෙන් ඇහුවෙ අපි කවදද ආයිත් කළුතර යන්නෙ කියල.

දිලිපන්ව යන්තම් රෙදි කෑල්ලක ඔතාගෙන මුරපොලවලින් බේරිල එදා කළුතරට ගිය දුෂ්කර ගමන රාමන්ගෙ මතකයට ආව.

තල්අතු වැටෙන් වැහුන වත්තෙ මැද්දෙ තියෙන ගෙදරට දිලිපන් ඇවිත් මාස දෙක තුනකට වැඩිය නැහැ,

“රාමන්, මම කියන දේ අහපන්, ආයිත් විනාශයක් කර ගන්නද හදන්නෙ, එක්කෝ කොල්ලව ආපහු හිටපු තැනට ගෙනිහින් දාපන්, නැත්නම් ඔය කෑම්ප් එකට යන

ගමන නවත්තපන්” කියල සරස්වතී බෙරිහන් දුන්නෙ අද දවසට කීවෙනි වතාවටද කියල රාමන්ට මතක නැහැ.

හුළං පොම්පෙට දෙපාරක් බර දීල කැන්වස් පෑදුණු ටයර් එකට දබර ඇඟිල්ලෙන් තට්ටුවක් දාල මැද මිදුලෙ ගල් පඩිය උඩ වාඩි වෙලා ඉන්න අම්ම දිහාට හැරිල

“දිලීපන් තවම මෙහෙට අලුත්, ඌට අපි දෙන්න කතා කරන කිසි දෙයක් තේරෙන්නෙත් නැහැ, කොයි වෙලාවෙද ආපහු කළුතර යන්නෙ කියල බලාගෙන ඉන්නෙ.

පොඩ්ඩක් ඉවසලා ඉන්න. කෑම්ප් එකේ අය කතාකරන්නෙ සිංහල. ඌ දන්නෙත් සිංහල විතරයි. ඒකයි නිතරම කෑම්ප් එකට දුවන්නෙ.” කියල රාමන් කියද්දි

“ උඹගෙ පුතා, උගෙ මව් භාෂාව නොදන්න එක වීරකමක් නෙමෙයි, ඉක්මනට ඌට භාෂාවයි මෙහෙ ජීවත්වෙන විදිහයි කියල දීපන් “ කියල සරස්වතී ගල් පඩියෙන් නැගිට්ට.

“ස්කෝලෙට දාගත්තම දිලීපන් කෑම්ප් එකට යන ගමන නතරවේවි. ස්කෝලෙ ලොකු මහත්තය අහන්නෙ දෙමළ අකුරක්වත් දන්නෙ නැති කොල්ල කොහොමද ස්කෝලෙට භාර ගන්නෙ කියල. අපි ගෙදරදි අකුරු කියල දෙමු, එතකොට ඉක්මනට ස්කෝලෙට දාගන්න පුළුවන්” රාමන් උත්තර දුන්නා.

“ ආයිත් මොකක් හරි පටන් ගත්තොත්, අපේ උන් අතින් ඉස්සෙල්ම මැරුම් කන්නෙ උඹයි , මමයි, ඒ උඹේ පුතා හින්ද, ඒක මතක තියාගනින් රාමන්” සරස්වතී

අනතුරු ඇගෙවිව.

“අම්ම හිතනවද අවුරුදු තිස් ගානක් දුක් විඳපු මිනිස්සු ආයිත් ආයුදය අතට ගනීවි කියලා.” රාමන් කියද්දි , ආයිත් සරස්වතී උත්තර දුන්නා.

“ පුතා මේක විතරක් අහගනින්, යුද්දෙ අහවර වෙලා දැන් අවුරුදු කීයද , එහෙම යුද්ධයක් මේ ළවෙ තිබුණ කියල අද මතක කාටද කියපන්. ඊලග පරම්පාරව මේ පොළොවට වෙච්චි විනාශ දන්නෙ නැහැ. බලයට කෑදරවුන් බොහොම අගේට උන්ගෙ අතට ආයුද දේවි.”

“ආයිත් යුද්ධයක් “ කියල හෙමින් මුමුණන ගමන් මිදුල අයිනෙ තිබුන තල් කොටේ උඩින් වාඩි වුනා.

යුද්ධය ගැන කතාවෙන හැම වෙලාවකම වගේ රාම්ගෙ ඇහැ යන්නේ දිය සෙවෙල් බැඳුණුු රට උළු කැට අතරේ අලුතින් රතුපාටට පෙනෙන අලුත් උළු කැට දිහාවට.

යන්තම් පොළොවට අඳුුර වැටෙද්දිම හතර පැත්තෙන්ම වෙඩි සද්ද ඇහෙන්න ගත්ත . ආකාසේ මල් වෙඩි පුපුරන්න පටන් ගත්ත. ඉඳහිට කොහේ හරි පැත්තකින් ඇහෙන විලාප යටපත් කරගෙන බල්ලන්ගෙ උඩු බිරුම් හෙඬ ඇහුණ.

දිලිපන්ට එතකොට යන්තම්ම මාස හතරයි. සරස්වතීත්, සරෝජිනිත් දරුපැටියව ගුලි කරගෙන මැද මිදුලට එහායින් තියෙන පුංචි කාමරේ ගුලිවුණා. අවට වෙන කිසි දෙයක් නොදන්න කිරිකැටිය සරෝජිනීගේ තන පුඩුවලින් සෑහීමකට පත්නොවී මහ හඬින් මොරදුන්න. කට්ට කරුවලේම කුස්සියට ගියෙ දරුවට කිරි උගුරක් හදාගන්න.

ඒත් වහලෙ උළු කැට ගලවගෙන සරෝජගෙ ඔළුවට වැටුණු මෝටාර් උණ්ඩ කෑල්ල රාමන් ගෙත්, දිලීපන්ගෙත් ජීවිත වෙනස් කෙරුව. පොළොවට එළිය වැටෙනකම් කෙඳිරි ගාපු සරෝජිනී ඇස් දෙක පියාගත්ත.

“දෙයියනේ මේ මොන විනාශයක්ද, රාමන් ඉක්මනට මෙහෙට වරෙන්” දණහිස ළඟට සාරි පොට උස්සගෙන සරස්වතී විලාප දුන්නා. ලූණු පාත්තියට වතුර දමමින් හිටපු රාමන් දුවගෙන ආව. දිලීපන් නිහඬව තල් වැට අයින දිගේ කදවුරෙන් ගෙනාපු ඉටි පහන් දල්වනව.

“ දිලිපන්, මේ මොකක්ද උඹ කරන්නෙ” රාමන් මහ හඬින් ඇහුව.

“ ඇයි, තාත්ත දන්නෙ නැද්ද, යුද්දෙදි මැරිච්ච මිනිස්සු වෙනුවෙන් පහන් දල්වන දවස අද. මගෙ අම්මත් මැරු‍ෙණ යුද්දෙදි නේද? ඒ හින්දයි මම කෑම්ප් එකෙන් පහන් අරගෙන ආවෙ” කියල හෙමින් මිමිනුව.

“ ඉක්මනට, ඔය පහන් ටික නිමාපන් අපේ උන් දැක්කොත් විසුමක් වෙන්නෙ නැහැ” සරස්වතී බෙරිහන් දුන්නා.

“ දිලිපන්, නවත්පන් ඔය වැඩේ, පොලිසියෙන් දකින්න කලියෙන්” රාමන් කෑගහුව.

“ එතකොට මගෙ අම්ම මැරුණෙ යුද්දෙදි නෙමෙයිද? කියල දිලිපන් ඇහුව.

“ ඔව් උඹගෙ අම්මත් මැරු‍ෙණ යුද්දෙදි තමයි. ඒත් ඒක සිහිකරන්න අපිට අයිතියක් නැහැ” කියල රාමන් පහන් නිවා දැම්ම.

චන්දන ගුණසිංහ

Comments