Royal Fiters Star city කිරුළ දිනයි | සිළුමිණ

Royal Fiters Star city කිරුළ දිනයි

රියැලිටි කලාවේ විවිධ ක්ෂේත්‍ර පුරා විකසිත වූ තාරකා අප්‍රමාණය. මධුර ස්වරයෙන් ගැයෙන ගී රාවය, අභිනයෙන් හා අනුකරණයෙන් සුසැදි කටහඬ පමණක් නොව සිනමා අඹරේ දිදුළන රංගන ශිල්පීන් පවා මේ රියැලිටි කලාව අතික්‍රමණය කර ඇත්තේ වර්තමානයේ ජනප්‍රිය ම රූපවාහිනී කලාවක් ‍ලෙසිනි.

මේ අතරින් දෙරණ ‘Star City” SEASON - 2 රියැලිටි වැඩසටහන ප්‍රේක්ෂකයන් හට නවමු අත්දැකීමක් එක් කළ ජනප්‍රියතම වැඩසටහනකි. මාස හයක් පුරාවට විවිධ ක්ෂේත්‍රවල දක්ෂ තාරකාවන්ගෙන් හැඩ වූ මෙම වැඩසටහනේ අවසන් වටය සඳහා තරග වැදුණේ සිංහල සිනමාවේ ජනප්‍රිය තරු දෙකක් මෙහෙයවූ කණ්ඩායම් දෙකකි. හෙළි සිනමාවේ සුරූපි නිළි ගීතා කුමාරසිංහගේ Royal Fiters කණ්ඩායමත්, හෙළ සිනමාවේ පෙරළිකාර ජනප්‍රිය නළු රංජන් රාමනායකගේ Golden Kings කණ්ඩායමත් තරග වැදුණු මේ උණුසුම් අවසන් තරගය පසුගියදා පැවැතියේ මහරගම යොවුන් රඟහලේ රංග වේදිකාවේදීය.

රසික රසිකාවියන් සිය දෑස් අමන්දානන්දයට මුසපත් කළ මේ මනරම් රාත්‍රිය දැක ගැනීමට මහරගම යොවුන් රඟහලට ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක්ම එක්වූහ.

රංගනයේ නවීනතම තාක්ෂණ්‍ය මුසු ශිල්පීය රටාවන්ගෙන් හැඩවූ මෙම වේදිකාව මුකුලිත කරන්නට මෙම කණ්ඩායම් දෙකේ තරගකරුවන් හා තරගකාරියන්ට අමතරව සුරාජ් මාපා, යසෝධා විමලවීර, ෂලනි තාරකා. අකිල දනුද්ධර, තිලංක විදුෂ (චිලී), චතුරිකා පීරිස්, උපේක්ෂා ස්වර්ණමාලි, දිනක්ෂි ප්‍රියසාද්, මහේෂ් මධුසංකා ඇතුළු නවක පරපුරේ තවත් තාරකාවන් රැසක් ම තම රංගන ප්‍රතිභාවය දැක්වූයේ ඉතාමත් ආකර්ෂණීය ලෙසිනි.

විනිසුරු මණ්ඩලයක් නොමැතිව ප්‍රේක්ෂක ජනතාවගේ SMS මනාපයෙන් පමණක් ජයග්‍රාහී කණ්ඩායම තෝරා ගැනීම මෙම තරගයේ විශේෂත්වයක් විය. මෙහිදී මුලින් ම තම රංගන ප්‍රතිභාවය වේදිකාවේ හෙළි දැක්වූයේ ගීතා කුමාරසිංහ ප්‍රමුඛ Royal Fiters කණ්ඩායමයි. නිලන්ති ඩයස්, එම්.ඩී, ධනුෂ්ක, දනුජ රවි කනිෂ්ක, සහන් හේවාදේව යන රංගන කණ්ඩායම ශ්‍රී දළදා පුවත රංගනයෙන් වේදිකාව සැරසුවේ කාගෙත් දෑස් මනහෝනය කරමිනි. මෙයට දෙවැනි නොවූ රංජන් රාමනායක ප්‍රමුඛ Golden Kings කණ්ඩායමට අනූෂා දමයන්ති, පේෂල මනෝජ්, උපේක්ෂා නිර්මාණි, විෂ්ව සංඛදේව ඇතුළු කණ්ඩායම රංගනයෙන් වේදිකාවට ගෙන ආවේ වසර තිහක් පුරා අප රටා වෙලාගත් යුද්ධයේ කුරිරු බවයි. ඉතාම සංවේදී ලෙසින් වේදිකාවේ ගෙනහැර පෑ මෙම රංගනයේ අනූෂා දමයන්ති තම රංගන කෞෂල්‍යය ඉතාමත් ආකර්ෂණීය ලෙසින් ඉදිරිපත් කිරීම ජයග්‍රහණයේ අපේක්ෂා ඉහළට ම ඔසවා තැබීමට සමත් විය.

එහෙත් අවසානයේදී ජයග්‍රහණීය වටයේදී එම්.ඩී. ධනුෂ්කගේ ගීතමය ප්‍රතිභාව මුළු වේදිකාව ම පමණක් නොව ප්‍රේක්ෂක ප්‍රතිචාර ද උඩු යටිකුරු කරන්නට සමත්විය. මෙම රංගනයත් සමඟ ම ලැබුණු SMS පණිවුඩ ප්‍රතිඵලය වූයේ ගීතා කුමාරසිංහ ප්‍රමුඛ Royal Fiters කණ්ඩායමේ ජයග්‍රහණයයි. 

Comments