රුක්මණී - එඩී යුව­ළගේ රහ­සක් හෙළි වෙයි | සිළුමිණ

රුක්මණී - එඩී යුව­ළගේ රහ­සක් හෙළි වෙයි

 ඇල්පිටියේ ශාන්ත මරියා විදුහලෙන් පසුව මගේ අධ්‍යාපන ආයතන වූයේ මරදානේ ස්ටැෆර්ඩ් විද්‍යාලය සහ මාලිගාකන්ද පාරේ විද්‍යෝදය පිරිවෙනයි. ඉගෙන ගැනීමට මා තුළ ඇත්තේ අභිරුචියකි. එහෙත් කලා ක්ෂේත්‍රයෙට ඇති ආදරය, ඇල්ම හා දැඩි කැමැත්ත, විශේෂයෙන් රඟපෑමට ඇති කෑදරකම ඉස්මතු වීම වැළැක්විය නොහැකි විය. මේ හැටේ දශකයේ මුල් කාලයයි. රඟපෑමට අවස්ථා සොයමින් පසුවීමත් නාට්‍ය හා චිත්‍රපට නැරැඹීමත් නිරන්තර පුරුද්දක් බවට පත්විය.

නිර්මාණවලට දායක වීමට නිර්මාණ කිරීමට සිත නලියන තත්ත්වයට පත්විය. පොත් කියවීමට ද ඇත්තේ දැඩි ආශාවකි. කිසියම් ලේඛකයකුගේ පොතක් ගැන පුවත් පතකින් දැනගත් විට ඒ පොත මිලදී ගෙන කියවා මා ළඟම තබා ගැනීමට මට තිබුණේ පුදුම ආශාවකි. දශක පහක් තිස්සේ එකතු වූ පොත්පත් නිසා කුඩා පුස්තකාලයක් මා සතුව අදත් ඇත.

මා ස්ටැෆර්ඩ් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ මගේ පංති මිතුරා වූයේ ප්‍රවීණ නිශ්චල ඡායාරූප ශිල්පියකු වූ හෙන්රි රාජකරුණාය. අපට සිංහල ඉගැන්වූයේ අධිනීතිඥ ආර්. පල්ලේවල මහතාය. එතුමන් අරුම පුදුම ගුරුවරයෙකි. කියන දේ කෙළින් කියයි. විනාඩි 45 කාලසීමාවන් දෙකකි. එක පීරියඩ් එකකදී එතුමන් පංතියේ ළමයින්ගෙන් ප්‍රශ්න ඇසීමට රුසියෙකි. හරස් ප්‍රශ්න නඟයි.

අපට උගන්වන කාලයේ එතුමා නීතිය ඉගෙන ගනිමින් සිටි අවධියයි. නීතිඥයකු වී උසාවියේදී කරනු ලබන හරස් ප්‍රශ්න ඇසීම පුරුදු පුහුණු වූයේ අපට උගන්වන ගමන්ය. 1961 දී මගේ ලොකු අයියා වන පී. ඩී. (ධර්මසිරි) එදිරිසිංහ මහතාගේ මාර්ගයෙන් කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා නමැති චිරප්‍රසිද්ධ අතිදක්ෂ චිත්‍ර ශිල්පියා හඳුනා ගැනීමට ලැබිණි.

අපේ අයියා එවකට ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ලිපිකරුවාය. පසුව අයියා ජයවර්ධන මැතිතුමාගේ පෞද්ගලික ලේකම් කමට පත්විය. ඒ බෝධිනාගොඩ මහතාගෙන් පසුවය. රණපාල බෝධිනාගොඩ මහතා ලේක්හවුස් සභාපති ධුරය ද දැරුවේය. සරසවි චිත්‍රපට උලෙළ පවත්වමින් සිනමා ක්ෂේත්‍රය නංවාලීමට ප්‍රබල ශක්තිය සැපයු මානව හිතවාදියෙකි.

නීතිඥ ජෝන් ද සිල්වා සූරින්ගේ වෙස්සන්තර නාටකය අධ්‍යක්ෂණය කිරීමේ වගකීම එහි නිෂ්පාදක සිනමා නළු එච්. ඩි. කුලතුංග මහතා විසින් පවරන ලද්දෙ ජේ. ‍ඩී. ඒ. සර්ටය. ප්‍රධාන චරිත නිරූපණය කළේ (මන්ද්‍රී දේවි) රුක්මණී දේවියයි. වෙස්සන්තර රජ වූයේ එච්. ඩී. කුලතුංගයි. සඳමහ රජ බොනි දාබරේ වූ අතර මයුරපාද චරිතයට පණ පෙව්වේ ලංකාවේ ප්‍රථම විකට රජා වූ එඩී ජයමාන්නයි. පූජක බමුණා ඒ. ඩී. ගුණවර්ධන වූ අතර අමිත්තතාපා වූයේ ගුවන්විදුලි ගායිකාවක් වූ ශීලා පීරිස්ය.

වේදිකා පරිපාලක ධුරය ධර්මදාස කුරුප්පු මහතා වෙත පැවරිණි. සංගීතය ලෝරන්ස් මාස්ටර් වූ අතර කලා අධ්‍යක්ෂණය විමල් ජයවර්ධනට පැවැරිණ. එතුමාත් සමඟින් ජයන්ත කුමාර මහතා ද සහාය විය. මෙම නාට්‍යයේ සුළු චරිතයක් රඟපෑමට මට අයියා විසින් අවස්ථාව ලබා දුන්නේය. මේ නාටකයේ වේෂ නිරූපණ කටයුතු භාරව සිටියේ ජෙසිකා වික්‍රමසිංහ මහත්මියයි. එවකට සිළුමිණ පුවත්පතෙහි කර්තෘ පියසේන නිශ්ශංඛ මහතා සහ ලංකාදීප කර්තෘ ඩී. බී. ධනපාල මහතා ද පුහුණුවීම් බැලීමට මරදානේ ලෝරන්ස් විද්‍යාලයට පැමිණෙන්නේය.

මට රඟපෑමට ලැබුණේ රටවැසියෙක් ලෙසිනි. එක වගන්තියකි. වචන අටක දෙබසකි. සතියකට දහතුන බැගින් මම මාස අටක් නොවරදවා සෑම පුහුණුවකටම ගියෙමි. මාස අටහමාරක් කියන්නෙ සති 32 කි. සතියකට දින තුන බැගින් මාසයකට දින 12 කි. සම්පූර්ණ පුහුණුවීම් දින ගණන 96 කි. මට බස් රථය සඳහා වැය වන මුදල ශත 50 කි. (දිනකට) පුහුණුවීම් ආරම්භ වන වෙලාවට පැය භාගයකට කලින් හෝ ඊට කලින් මුලින්ම ශාලාවට යාම මගේ පුරුද්දක් විය. වේදිකාව අතුගා අවශ්‍ය ආසන පිළියෙල කරන්නේ මා විසිනි. රුක්මණි දේවිය හා එඩී ජයමාන්නයන් සෑම පුහුණුවකට පැමිණෙන්නේ නැත.

ඔවුන් අවශ්‍ය ගීත දෙබස්, පුහුණුව සිදු කරන්නේ නිවසේදීය. පුහුණුවට එන්නේ අනිත් අයට පුහුණුවට අවශ්‍ය නිසාය. රුක්මණි දේවියට සිංහල කියවන්නට හා ලියන්නට නොහැකි වූවාය. ලස්සන ඉංග්‍රීසි අකුරින් සියලු දෙබස් හා ගී පද මාලාවන් ලියා ගත්තීය. මේ දෙදෙනා මගේ වීරයන්ය. පොන්ටියැක් කාර් එක ආ හැටියේ ඔවුන් වෙත දුවගෙන යන්නේ ඉලන්දාරි මා මිස වෙන අයෙකු නොවේ. රුක්මණි දේවියගේ බෑගය රැගෙන එන්නේ මා විසිනි. එය මට භාග්‍යයක් විය. මගේ ජීවිතය තුළ මෙතෙක් දුටු මනුෂ්‍ය දිව්‍යාංගනාව ඇයයි. නිහතමානීත්වයේ සහ මානව දයාවේ සංකේතයකි. එවැනි කලාකාරියක් මගේ ජීවිත කාලය තුළ දැක නැත. දකින්නට ලැබෙන්නෙත් නැත.

වෙස්සන්තර නාටකය හැව්ලොක් ටවුන් විද්‍යාලීය ශාලාවේදී දිනපතා සවස 6.30 ට දින 74ක් රඟ දැක්වූයේය. ඒ වාර්තාව මෙතෙක් පමණක් නොව ඉදිරියටත් කැඩීමට සමත් වන ජගතෙක් ශ්‍රී ලංකාවේ දී පහළ වෙන්නෙ නැත යන්න මගේ හැඟීමයි. ශාලාව පිරෙන්නට නරඹන්නන්ය. මේ සඳහා වැය කළ මුදල අතිවිශාලය. වෘත්තිය නළු නිළි යුවළක් වූ එඩීට සහ රුක්මණිට පමණක් මුදල් ගෙවන ලදී. ආධුනික අපට බස් ගාස්තුව පවා නොලැබිණ. එඩී ජයමාන්නට එක් දර්ශනයක් සඳහා රුපියල් 250 කි. රුක්මණි දේවියට එක් දර්ශනයක් සඳහා රුපියල් 350 කි. මේ දෙදෙනාගේ රහසක් ඒ දිනවල දැනගන්නට ලැබිණි.

1948 දී විවාහ වූ මේ දෙදෙනා 1958 දී දික්කසාද වී ඇති බවයි. උසාවියට නොගොස් නීතිඥයින් මඟින් දික්කසාද තීන්දු ලබාගත් මේ යුවළට නියෝගයක් විය. සාමාන්‍ය සමාජයේදී අඹු සැමියන් ලෙස පෙනී සිටීමටත් පෞද්ගලික ජීවිතයේ දී වෙන්වී සිටීමටත් යන්නය. මේ දෙදෙනා වෙන්ව ජීවත්වන වගක් කිසිවකුත් දැන සිටියේ නැත. වේදිකාවේ සහ සිනමාවේ පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී ද රඟපෑමට සිදු විය.

වෙස්සන්තර නාටකයේදී මට හිතවත් වූ තවත් කලා යුවළක් වූයේ ශීලා පීරිස් සහ ඇගේ සැමියා වන ඩග්ලස් පෙරේරාය. ලේක්හවුස් ආයතනයේ ප්‍රවීණ ඡායාරූප හා මාධ්‍ය ශිල්පියකු වූ වින්සන්ට් වීරසේකරයන් හඳුනා ගැනීමට ද ලැබිණි. ගාල්ලේ ඩීආර්ඕ ලෙසින් සේවය කරද්දී කිංස්ලි ජයසේකර නම් එකල ජනප්‍රිය ගායකයකු වූ ප්‍රිෂිලා ඕපාත සමඟ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා ගීතය ගායනා කළේ කිංස්ලි ජයසේකරයන්ය. ඔහු විසින් නිෂ්පාදිත සුන්දර සැමියා නාට්‍යයේ පුහුණුවීම්වලට දුම්රියෙන් ගාල්ලට ගියේ ඩග්ලස් - ශීලා - වින්සන්ට් සහ මා ය. සිකුරාදා සවස ගාල්ලට යන අපි සති අන්තයේ පුහුණුවීම් වාර කිහිපයකට සහභාගි වීමු. පුහුණුව තිබුණේ ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලීය ශාලාවේදීය. වෙස්සන්තර නාට්‍යයේ නැටුම් නිර්මාණයන් පනී භාරතයන්ගෙනි.

වෙස්සන්තර නාට්‍යයෙහි ජූජක බමුණාගේ චරිතය නිරූපණය කළ නළුවා 12 වැනි දිනයේදී රුපියල් 200 ක් නිෂ්පාදකගෙන් ඉල්ලුවේ ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවක් නිසාය. දින 14 සම්පූර්ණ වන තෙක් එඩීට හා රුක්මණීට හැර වෙන කිසිවකුටවත් මුදල් නොගෙවීමට ගෙන තිබූ ප්‍රතිපත්තිය වෙනස් කළේ නැත. සවස 4. 00 ට පමණ මුදල් නොලැබුණ නළුවා කෝපයට පත්වී එහෙනම් ජූජක බමුණා නැතුව නටා ගන්නවා කියා ලුම්බිණි ශාලාවෙන් පිටව ගියේය. ධර්මදාස කුරුප්පු මහතා කලබල විය. ප්‍රවීණ ශිල්පියා නාවොත් නාට්‍ය කෙසේ නම් ඉදිරිපත් කරන්න ද? ආදේශයක් වශයෙන් වෙනත් ශිල්පියකු අවශ්‍ය වේ. මා ගැන හොඳින් දන්නා කුරුප්පු මහතා ජේ. ඩී. ඒ. සර් වෙත රැගෙන ගියේය. “සතිස්ට මේක කරන්න පුළුවන් ද?” “මං බලන්නම් සර්” හොඳයි හය වෙනකම් බලන්න. ගුණවර්ධන නාවොත් සතිස් ඒ පාට් එක කරන්න. මට දැනුණේ හිසේ මලක් පිපුණා වගේය.

ලබන සතියට...

Comments