සංහිඳියාවට වින කරන්නෝ | සිළුමිණ

සංහිඳියාවට වින කරන්නෝ

 බුද්ධාගම යනු මානව හිතවාදීත්වයේ සහ අහිංසාවේ දුලභ ප්‍රතිමූර්තියක් බවට විවාදයක් නොමැත. බුදුන්වහන්සේ විසූ භාරතය වනාහි ආගමික දර්ශන රාශියක් පිළිගැනීමට ලක්ව තිබුණු රටක් වුවද උන්වහන්සේ අන්‍ය ආගම් මර්දනය කළ යුතු බව කිසිදා දේශනා කළ බවක් හෝ තම අනුගාමිකයන් ඒ සඳහා පෙළඹවූ බවක් අප අසා නැත. සියල්ල අහිංසාවෙන් ජයගත යුතු බවත්, අනිත්‍යය පිළිගන්නා බෞද්ධයාගේ එකම අරමුණ විය යුත්තේ ඇලීම වෙනුවට තමන් පිළිගන්නා ඉලක්කය වෙනුවෙන් කැප වී කටයුතු කිරීම බව උන්වහන්සේ දේශනා කළ සේක.

ඇතැම් භික්ෂූන් පෙරටු කරගත් අන්තවාදී සිංහල-බෞද්ධ සුළුතරය දකින විට නිසැකවම මොවුන් පිළිගන්නේ ගෞතමයන්ගේ දර්ශනය නොව ඊට පටහැනි දේවදත්ත ක්‍රියාකලාපය බව අපට නිතැතින්ම සිතෙන්නේ මෙම පසුබිම තුළය. මේ වන විට බුද්ධාගමට බරපතළම තර්ජනයක් එල්ල වන්නේ අන්‍ය ආගමිකයන්ගෙන් නොව ලංකාවේ විසිය යුත්තේ සිංහල-බෞද්ධයන් පමණක් බවත්, අන් සියලුම ආගමික-වාර්ගික කණ්ඩායම් සෑම විටම පීඩනයට ලක් කළ යුතු බවත් තම අනුගාමිකයන්ට උගන්වමින් සිටින මේ පිරිසෙන් බව සිංහල-බෞද්ධ සමාජයේ බහුතරයද පිළිගන්නා පසුබිමක නීතිය පවා ඔවුන් හමුවේ අඩපණ වීම ඛේදයක් බව අවධාරණය විය යුතුය. මේ මහින්ද රෙජීමය විසින් අප වෙත උරුම කරන ලද තවත් එක් විනාශකාරී ප්‍රතිඵලයක් වන අතරම මෙවැනි ආගමික ත්‍රස්ත කල්ලි මර්දනය කිරීමට වත්මන් ආණ්ඩුව පවා අසමත් වීම ගැන යහපාලනය වෙනුවෙන් පෙනී සිටි අප තුළ පවා ඇති කරන්නේ බරපතළ ඉච්ඡාභංගත්වයකි.

බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් (pluralist democracy) පිළිගන්නා අප නිරන්තරයෙන්ම සිංහල-(අ)බෞද්ධ ආගමික අන්තවාදය ප්‍රතික්ෂේප කළ යුතු බව ප්‍රකාශ කිරීමෙන් අදහස් වන්නේ දමිළ හා මුස්ලිම් අන්තවාදයන් පිළිගත යුතු බව නොවන වගද අවධාරණය විය යුතුය. කෙසේ වෙතත්, ලංකාවට සාපේක්ෂව සලකා බලන කල්හි මෙරට වාර්ගික සංහිඳියාවක් ඇති කිරීම සඳහා ඇති කරදරකාරීම බලවේගය මෙකී ඊනියා සිංහල-බෞද්ධ මූලධර්මවාදය බව පැහැදිලිව පෙනෙන්නට ඇති හෙයින් ඒ කෙරෙහි අපගේ වැඩි අවධානය යොමු වීම නොවැළැක්විය හැක්කකි. මේ සියල්ලම ගැන අපට කතා කරන්නට සිදුව ඇත්තේ ඉතාම අවාසනාවන්ත තිස් වසක වාර්ගික යුද්ධයක් අවසාන වීමෙන් අනතුරුව පවා නැවතත් එවැනි ඛේදවාචක ඇති නොවීම සඳහා වාර්ගික සංහිඳියාවක් උදාකර ගැනීමට අප අසමත් වී ඇති පසුබිමක් තුළය. ආගමික ත්‍රස්තවාදය යනු තවදුරටත් ඉවසිය යුත්තක් නොවන බව උදක්ම අවධාරණය කරන්නට සිදු වන්නේ එහෙයිනි.

ලංකාවේ සුළුතර ජනකොටස් ඉතාම අශීලාචාර ලෙස හිංසනයට ලක් කරන පීඩක නඩය විසින් සිංහල-බෞද්ධ සමාජයට ඒත්තු ගැන්වීමට උත්සාහ කරමින් සිටිනු ලබන මිථ්‍යාමය භීතිකා ලෝකයක් තිබේ. මේ භිතිකා ලෝකය තුළ සිංහලයාගේ පැවැත්ම සෑම විටම තර්ජනයට ලක්ව ඇති බවත්, සුළුතර වාර්ගික කණ්ඩායම් නිරන්තරයෙන්ම සිංහලයා මර්දනය කොට ලංකාව අත්පත් කර ගැනීමට මාන බලන බවත් ඉතාම පහත් ලෙස ස්ථාපිත කොට තිබෙන අතරම මේ සඳහා යොදා ගනු ලැබෙන ඉතාම උපායමාර්ගික බළල් අතක් බවට බුද්ධාගම අවභාවිත වී තිබීම කණගාටුවට කරුණකි. මේ මොහොතේ බුදුන්වහන්සේ ජීවතුන් අතර සිටියා නම් මෙවැනි අන්තවාදී කල්ලිවල දැඩි විරෝධය උන්වහන්සේටද එල්ල වනු ඇති බවට නිසැකවම අනුමාන කළ හැක.

අන්තවාදී කල්ලි

ශ්‍රී ලංකාව යනු “ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයක්“ බව ව්‍යවස්ථාවෙන්ම පිළිගන්නා නමුදු එය ප්‍රායෝගික තලයේදී ක්‍රියාත්මක කිරීමට තවමත් අපොහොසත් වීමට බලපා ඇති ප්‍රධානතම හේතුව නම් මොවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්තිමත් නෛතික දෘෂ්ටිවාදයක් අප අතර නොමැති වීම බව නොකියාම බැරිය. සමහරවිට සිවුර නමැති සාධකයට ඓතිහාසිකව හිමි වී ඇති අනවශ්‍ය දේශපාලනික බලාධිකාරිය මීට හේතු වනු ඇත. සාමාන්‍ය මහජනතාවට පීඩා ඇති වන පරිදි ලංකාවේ ජාතික ධජය පවා විකෘති කරමින් අවස්ථා කීපයකදීම ඉතාම පහත් ලෙස ප්‍රසිද්ධියේ හැසිරුණු කිසිම වාර්ගික-බෞද්ධ මැර කල්ලියකට එරෙහිව ඒ මොහොතේම නීතිය ක්‍රියාත්මක වූ බවක් අප කිසිදා දැක නොමැත. මීට කලකට පෙර මහියංගණ ප්‍රදේශයේදී ඥානසාර හිමි ඇතුළු කණ්ඩායමක් ලේ හළමින් තවත් අලුත්ගමක් බිහි කිරීමට තමන් ඉදිරිපත් වන බවට ප්‍රසිද්ධියේම තර්ජනය කළ බව අපි දුටිමු. මීට අමතරව, මඩකලපුව ප්‍රදේශයේ හිමිනමක් දමිළ වාර්ගික රාජ්‍ය සේවකයෙකුගේ රාජකාරියට බාධා කරමින් ප්‍රසිද්ධියේම මරණ තර්ජනය කළ බවද වීඩියෝ සාක්ෂි සහිතවම අපි දුටිමු. මේ මෑතකාලීන සිදුවීම් දෙකක් පමණි. තවත් මෙවැනි සිදුවීම් ඕනෑතරම් තිබේ. මේ සියල්ලම සිදුවූයේ උසස් පොලිස් නිලධාරීන් ඇස් පනාපිටම බලා සිටියදී වුවද අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත. ඉල්ලුමට සරිලන සැපයුම කියන්නාක් මෙන් බහුතර බෞද්ධ සමාජය පවා මේවා ගැන දැරූ ආකල්පය වූයේ “හැසිරෙන විදිහ නම් වැරැදියි, නමුත් බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටීම අගෙයි“ වැනි ආකල්පයකි. ඥානසාර හිමි බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටින භික්ෂුවක බව මහනායක හිමිවරුන් පවා ප්‍රකාශ කර තිබුණි. දැන් අපට අසන්නට සිදු වන ප්‍රශ්නය මෙයයි: “ඔබ පිළිගන්නේ කාගේ බුද්ධාගමද?“

පසුගිය කාලය පුරාවටම අප දුටු තවත් ප්‍රවණතාවක් වූයේ සමාජ මාධ්‍ය ජාලවල ජනපති, අගමැති වැනි දේශපාලනික ප්‍රභූන්ට තර්ජනය කළ, ඔවුන්ව පහත් ලෙස හෙළා දුටු පුද්ගලයන් කිහිප දෙනෙකුම වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ බවයි. එහෙත් මේ කාර්යයම සිදු කරන ආගමික මැර කල්ලි සම්බන්ධයෙන් එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ධෛර්යයක් ඔවුන්ට නොමැත්තේ ඇයි? පසුගිය දිනක ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමක් වට කරගෙන ඉතාම පහත් ලෙස හැසිරුණු හෙතෙම රටේ අගමැතිට ප්‍රසිද්ධියේම අපහාස කරනු අප දුටු නමුදු මේ අය අදාළ බලධාරීන්ට නොපෙනෙන්නේ ඇයි? එය අදහස් දැක්වීමේ නිදහස ලබා දීමක් නම් ඒ කාර්යයම සිදු කරන අන් අයට විරුද්ධව ක්‍රියාත්මක වන්නේ ඇයි? මේ තත්ත්වය දිගටම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාව ලොව ප්‍රජාතන්ත්‍රවාදය අඩුවෙන්ම ඇති රාජ්‍යයන් ලැයිස්තුවට ඇතුළු වීමේ හතර විළිලැජ්ජාවෙන් ගැලවීමට අප කිසිවෙකුට නොහැකි වනු ඇත.

අධිකරණ උණ

මේ මොහොත වන විට වාර්තා වන තවත් සමාන්තර සිදුවීම් දෙකක් කෙරෙහිද අවධානය යොමු කරනු වටී. ඊයේ වාර්තා වූයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි අසනීප වී ඇති හෙයින් ඔහුට විරුදධව විභාග වන නඩුවට මුහුණ දීම සඳහා අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බවයි. සාමාන්‍යයෙන් වර්ෂාව අධික වීමත් සමග ලෙඩ රෝග පැතිරීමේ ප්‍රවණතාවක් ඇති නමුදු ලෙඩ වෙන්නට නම් අධිකරණ වරෙන්තු ලැබෙන්නටම ඕනෑ බව මීට පෙර අප දැන සිටියේ දේශපාලඥයන්ගෙන් පමණි. එසේම, තමන්ට අදාළ නැති, අනුන්ගේ නඩු විභාග වන අධිකරණවලට පවා බලෙන් කඩා පැන ඒවාට සහභාගී වීමේ පුදුමාකාර 'අධිකරණ උණක්' ඇති ඥානසාර හිමි වැනි අයට මෙවැනි කදිම අවස්ථා උදා වෙද්දීම අසනීප වීම ගැන ඔහුගේ අනුගාමිකයන් හරිනම් ස්වභාව ධර්මයට පවා දොස් පැවරිය යුතුය. රටේත්, බුද්ධ ශාසනයේත් වාසනාවට ස්වභාව ධර්මය වාර්ගික බූදලයක් බව තවමත් මේ අයගේ ටිකිරි මොළවලට ඒත්තු ගැන්වී නොමැත.

මේ අතරම, ජනාධිපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ට බරපතළ ලෙස අන්‍යාගමිකයන්ගෙන් ජීවිත තර්ජන ඇති බවත්, වෙනත් ආගමිකයන් වාසය කරන ප්‍රදේශවල කෝලාහල ඇති කොට ඔහුගේ ජීවිතය විනාශ කිරීමේ තැතක් ගැන තොරතුරු ලැබී ඇති බවත්ය. මුසාව බුද්ධාගමට කිසිසේත් එකඟ නොවේ. ඥානසාර හිමි ගෙන් අන් අයට මිස අන් අයගෙන් ඥානසාර හිමි ට ජීවිත තර්ජන ඇති බවක් අප කිසිසේත්ම පිළිගන්නේ නැත. මේ එකත් එකටම පසුගිය කාලය පුරාවටම සුළුතර ප්‍රජාවන්, විශේෂයෙන්ම මුස්ලිම ජනතාව දැඩි පීඩනයකට ලක් කරමින්, ඔවුන්ගේ ආගමික සිද්ධස්ථානවලට පහර දෙමින් අනුගමනය කළ ම්ලේච්ඡ ප්‍රතිපත්තිය වෙනත් අතකට හැරවීමේ කුප්‍රකට උත්සාහයක් බව වටහා ගැනීමට අවශ්‍ය වන්නේ සාමාන්‍ය දැනීම පමණි. මොවුන් මේ බොරුවෙන් රවටන්නට උත්සාහ ගන්නේ මුස්ලිම් හෝ දමිළ ප්‍රජාවන් නොව තමන් නියෝජනය කරන බව බොරුවට මවා පෙන්වන සිංහල-බෞද්ධ බහුතරයම බව වටහා ගැනීමට තවදුරටත් පමා විය යුතුද? අනෙක් අතට යම් හෙයකින් ලංකාව සම්පූර්ණයෙන්ම බෞද්ධයන් පමණක් සිටින රාජ්‍යයක් බවට පත් වුවද මෙවැනි මූලධර්මවාදී කල්ලිවල ක්‍රියාකාරීත්වය නතර නොවනු ඇත. ඔවුන්ගේ සලකවිධ උත්සාහයම පදනම් වන්නේ දේශපාලනික හා ආර්ථික න්‍යායපත්‍රයක් මත බැවිනි. බුද්ධාගම විනාශ වීම ගැන ඇත්තටම වේදනාවක් මොවුනට නැත. තිබේ නම්, මුළු ලොවම පිළිගත් දහමක් වන බුදු දහම මේ තරම් පහළට ඇද දැමීමට කටයුතු කරන්නේ නැත. ලංකාවේ අයිඑස්. අයිඑස්ලා නම් මේ ය.

සයිබර් අවකාශය

සමස්තයක් ලෙස ගෙන බැලූ විට මේ මුළු ඛේදවාචකයම අපගේ ජරාජීර්ණ දේශපාලන ක්‍රමයෙහි ප්‍රතිඵලයකි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉතාම බරපතළ ලෙස වාර්ගික හිංසනය දියත් කිරීමට උඩගෙඩි දුන්නේ මෙවැනි ත්‍රස්ත කල්ලි විසිනි. මේ අතරම, යහපාලන ආණ්ඩුව බිහිවීමට විරුද්ධව දැඩි ව්‍යාපාරයක් දියත් කිරීමටද ඔවුහු කටයුතු කළහ. එහෙත් අප දකින යථාර්ථය නම් වත්මන් ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් පවා අද වන විට මෙකී ආගමික ත්‍රස්තයන් සමග ඩීල් දේශපාලනයක නිරත වන බවයි. එක අතකින් ආණ්ඩුවේ පැවැත්ම දියාරු වීමටත්, ආණ්ඩුව කෙරෙහි බහුතර පුරවැසි සමාජය තුළ පැවැති විශ්වාසය කඩ වීමටත් එය ඍජු ලෙසම බලපා ඇති බවද කිව යුතුය. ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ ඇතැම් ඇමැතිවරුන් වරින් වර තම ෆේස්බුක් පිටු සහ වේදිකාවල ආගමික අන්තවාදය පරාජය කළ යුතු බව ප්‍රකාශ කිරීම ඇත්තක් වුවද මේ මොහොත අපෙන් ඉල්ලා සිටින්නේ ඊට එහා කිය සක්‍රිය ක්‍රියාමාර්ගයකි. රාජ්‍යය ආගමෙන් දික්කසාද කොට දේශපාලනික ඒකකයක් බවට පත් කිරීමට තමන් අපොහොසත් නම්, අඩුම තරමින් පවතින ක්‍රමය තුළ හෝ ජාතිවාදී පිරිස් කූඩුකර තැබීමට කටයුතු නොකළ හොත් ඔවුන් වැඩි වැඩියෙන් පුරවැසියන් සපා කා පිස්සන් ගහනය බෝ කරනු නියතය.

 

අදහස්