කඩා වැටීම | සිළුමිණ

කඩා වැටීම

 මේ කඩා වැටෙන කාලයෙකි. නොසිතූ දේ නොසිතූ වේලාවට කඩා වැටේ. කවර දා වත් කඩා නොවැටෙතියි සිතන දේ පවා කඩා වැටේ. වසර දෙකකට, දෙක හමාරකට පෙර දු එ බන්දක් කඩා වැටිණ. එයින් බොහෝ දෙනෙක් ද කඩා වැටුණ හ. ඉන් කම් කිම? එය නැවැත නැ‍ඟෙනු ඇත.‍ ඔවුනුදු නැවැත නැ‍ඟෙනු ඇත. මේ වැටෙන නැඟෙන චක්‍රය අපට හොඳින් ම පුරුදු ය.

මසකට, එක හමාරකට පෙර, පෙර නොඇසූ විරුවකුදු කඩා වැටිණ. එනම්; මීතොටමුල්ලේ මහ කුණු කන්ද යි. මහ පස් කඳු කඩා වැටෙන බව දැන සිටිය ද කුණු කඳු කඩා වැටීමක් අපි නොදැන සිටියමෝ වමු. ඉන් එ ද මුල් වරට දැනගතුමු. එ වුව ද, අනුන් ගේ කුණු අවුස්සන්නට ම බලා සිටින්නවුන් හට නම් එයින් උදා වූයේ මහඟු වරයෙකි.

කුමක් කෙසේ වුවද, කවර මහ කන්දක් නමුදු කවර වේලෙහි හෝ කඩා වැටිය හැකි ය යනු එමඟින් දත හැකි වීය. යටින් සාරන කල්හි කවර මහ කන්දක් වුව ද කඩා වැටෙති යි ගැහැනියක් මහා කවි කාලිදාසට කියා දුන්නා ය.

මේ නොබෝ දා මහ දාවල් කොළඹ මහ ගොඩනැඟිල්ලකුදු කඩා වැටිණ. දෙ දෙනකු ගේ දිවිය ද ඉන් කඩා වැටිණ. සෑහෙන පිරිසක් තුවාල ලද්දෝ ය. වැඩි දෙනෙක් එ ගොඩනැඟිල්ල අලුත්වැඩියා කරමින් සිටියෝ යි. නිකම් පසෙක සිටි ඇතැමුන් ද තුවාල ලද බව කියැවේ.

කුණු කන්ද කඩා වැටුණු කල්හි එහි වගකීම බාර දෙන්නට සිටියෝ බොහෝ ය. සිටියෝ ඉන්නවුනට ද ඉන්නෝ සිටියවුනට ද වගකීම බාර දී ලකුණක් දෙකක් දාගන්නට සැදී පැහැදී සිටිය හ. පිරිසක් අලුත් අවුරුදු නැකැත් කමිටුවට මුළුමනින් ම එහි වගකීම බාර දුන්හ. දැන් මේ ගොඩනැඟිල්ලේ වගකීම කවරකුට නම් බාර දෙමු ද?

ඒ අන් කවරෙක් ද? ගොඩනැඟිල්ලේ හිමිකරු යි. අපගේ දක්ෂ කාර්යක්ෂම පොලීසිය විසින් හේ එ දින ම අල්ලා ගැනිණ. බැලුව මැනැවි. දෛවයෙක සැටි! බන්ධනාගාරගත වූ දින ම හේ ද රෝගග්‍රස්ත වී ය. දැන් ගොඩනැඟිල්ලට යට වැ තුවාල ලද්දෝ ද රෝහලේ ය. එහි හිමිකරු ද රෝහලේ ය. මඳ වෙනසක් වැ ඇත්තේ තුවාල ලද්දවුන් රජයේ රෝහලේ දුක සේ සිටුනා අතර ඔහු බන්ධනාගාරයේ ම සුපිරි වාට්ටුවෙක සැප සේ සිටීම යි. කවර කඩා වැටීමේත් සැටි එ බඳු ම ය.

මේ කඩා වැටුණු ගොඩනැඟිල්ලේ මහල් පසෙකි. එහෙයින් මෙ තරමින් හෝ බේරුණ හ යි සිතිය හැකි යි. දැන් ඉදි කැරෙන්නේ මහල් විසි තිස් ගණන් හි මහ ගොඩනැගිලි යි. නිකම් බැරිවීමෙකින් එබන්දක් කඩා වැටුණ හොත් කවර වනසක් නො වේ විද?

එහෙයින් දැන් කඳු අසල සිටින්නන් සේම සුවිසල් ගොඩනැගිලි අසල සිටින්නන් ද බෙහෙවින් පරිස්සම් විය යුතු යි.

කඩා වැටීමේ බිය ඇත්තේ දැන් මතු ම නො වේ. පෙර දා එ බිය තිබිණ. ලෝකය කඩා වැටී පෙරැළී එතියි සිතා බිය වී දිවූ සාවා පස්සේ මුළු කැලයක් ම දිවූ බවෙකුදු කියැවේ. කඩා වැටීම කෙසේ වතු දු අනුන් පස්සේ දිවීම නම් දැනුදු ඉතා ජයට කරනු ලැබේ. එ ද නරක ම නොවන බව එසේ අනුන් පසුපස දිව කටු කැබැල්ලක් හෝ ලද්දෝ දනින් මැ යි. කාට කෙසේ කුමක් වතුදු, අර ‘අන්තර්ජාලයට’ සම වැදී කන් දෙකේ ඇබත් ගසාගෙන බසයේ පවා යන - එන්නන් නම් මුළු ලොව කඩා වැටුණත් ඒ දැහැනින් නො මිදෙනු ඇත. ඔවුන් ඒ දැහැනින් ම මිය ගොස් බඹ ලොවෙහි උපදින බවට කවර සැකයක් ද?

ඇතැමුන් කියන්නේ කඳු, ගොඩනැඟිලි මතු නො ව ජාතිය ද කඩා වැටෙන බව යි. මෙ තරම් ජාති හිතෛෂීන්, ජාති මාමකයන් සිටින මෙ කල් හි ජාතිය කඩා වැටෙතියි කෙසේ නම් සිතමු ද? ඒ සේ වා, ජාතිය ගොඩනැඟීම පිණිස ම මැති ඇමැත්තනුදු පඩි කන මෙ කල්හි නම් කෙසේ වත් ජාතිය කඩා නො වැටේ ම ය.

අනෙක් අතට බලන කල, දැන් අපට ලැබී ඇති අන්තර්ජාතික තත්ත්වය සලකන විට ජාතියෙන් කම් කිම? එය කඩා වැටුණ හයි කවරකුට කවර නම් පාඩුවක් වේද? සාධාරණ සමාජයක් ඇති කිරීමට ද මහත් බාධාවක් වැ ඇති මේ ජාතිය කඩා වැටේ නම් සිවිල් සමාජයේ පින්වතුනුදු ඉතා කැමැති වනු ඇත. ජාතිවාදීන් එකකු දෙන්නකු නිකම් ඉන්නට බැරි වැ මඳක් උඩු බුරලනු ඇති නමුදු ඒ ගණන් ගත යුතු නො වේ.

ඒ කෙසේ වේවා! එළුවකුගෙන් යමක් කඩා වැටෙති යි සිතා හිවලෙක් බොහෝ කල් එළුවා පසු පසින් ගියේ ලු!

හිතමිතුරා 

Comments