අත්තම්මා ලුණු හොයපු හැටි | සිළුමිණ

අත්තම්මා ලුණු හොයපු හැටි

අලුත් මාළු ගෙදරට ගේන හැමදාම පින්තො අත්තම්ම ම තමයි රහට උයන්න දන්නේ. ලුණු ඇඹුල් ඇතිව පදමට උයන්න ගෙදර කවුරුත් අත්තම්මට ඉඩදීලා පැත්තකට වෙනවා. මෙදා ගෙදර අම්ම උන්නෙ නෑ අත්තම්මා මාළු කපල සුද්ද කරලා හේදුවා. මිරිස්, ගොරකා, කහ, ගම්මිරිස් සේරම ළඟට අරගෙන බැලුවට පස්සෙයි අත්තම්මට මතක් වුණේ ගෙදර ලුණු නැති බව. දැන් මොකද කරන්නේ. අත්තම්මා හිතුවා හිතුවා. මේ අතර වාරේ අබිලින් ආතා බුලත්විට හප හපා කුස්සිය පැත්තට ආවා කෙළ ගහන්න. ආතා හොඳ කවිකාරයා, පැල්කවිවලට, පතල් කවිවලට, විකට කවිවලට හරිම දස්සයි. ඒ වුණාට පීන්තො අත්තම්මා දන්නවා අබිලින් ආතා තේ කහට බීලා විට කාලා ඉන්න වෙලාවට එළියට බහින්න අකමැති විත්තිය. ආතා ටිකක් සැරයි. අත්තම්මට එක පාරට ම ගෙදර ලුණු නැති බව කියන්න සැකයි. පීන්තො අත්තම්මට අපූරු කල්පනාවක් ආවා. ආතා ළඟට ගිහිං මෙහෙම කිව්වා.

“පොඩියක් ඈඳි ගන්නකෝ, මට අපේ අම්මා කියාපු කවියක් මතක් වුණා. කියලා. අබිලින් ආතා “අගෙයි, අගෙයි අම්මා මතක් වෙන්න කවිය කිව්වා නම් බලන්න” කියලා හරි බරි ගැහිලා වංගෙඩිය උඩ වාඩි ගත්තා. පින්තො අත්ම්මා ආතාගෙ වග දන්නව නේ කල්පනාවෙන් ම මෙහෙම කිව්වා

“ගැටත් මොටත් සන්දා මිස මටත් වැඩිය රුව කොයින්ද” කියලා අත්තම්මා කහ අඹරපු ගුලියක් මාළු ඇතිලියට දැම්මා.

“හිසත් බොකුටු හින්දා මිස මටත් වැඩිය උස කොයින් ද”. කියල ගොරක අඹරපු ගුලියකුත් මාළු ඇතිලියට දැම්මා.

“උසත් රුකුළ සන්දා මිස මටත් වැඩිය සැර කොයින්ද”. කියල අඹරපු මිරිස් තලියකුත් මාළු ඇතිලියට දැම්මා.

“මට අනිත් පදේ මතක නැහැ. ඕන්න අනිත් පදෙත් කියලා මාළු ඇතිලිය ළිප තිබ්බ නම් ඔයා ම” කියලා අත්තම්මා අත හෝදගෙන ගෙට ගියා. අබිලින් ආතා බැලුවා ඇතිලිය දිහා, කහ, ගොරකා, මිරිස් සේරම හරි. ලුණු විතරයි අඩු. ගෙදර ලුණු නැති බවට ආතාට වැටහුණා. ආතා ළඟ කඩේට ගිහින් ලුණු ගෙනාවා. අත්තම්මා ආතා ලුණු ගෙනාපු බව දැනගෙන කුස්සියට ආවා. මාළු ළිප තිබ්බ ද බලන්න. ආතා ලුණු ගෙනල්ලා මාළු ඇතිලිය ළඟට ගියා.

“තොපි තුන් දෙ කොහොම කීවත් මා නැති තැන රස කොයින්ද” කියල කවියේ හතරවෙනි පදය සම්පූර්ණ කරලා, ලුණු අහුරක් මාළු ඇතිලියට දමලා ළිප තිබ්බා. මේක අහලා පින්තො අත්තම්මට හිනහ පහළ වුණා.

මේක අපේ ජන කතාවක්. 

 

අදහස්