නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

ගේ කෑල්ල

හිරු රැසින් පීඩිත සුවිසල් බිම් තීරයකි. ඈත අනාථ කඳවුරකි. එහි සිටින්නෝ යුද අනාථයෝ ය.

මෑත පිළිසකර කරන ලද කුඩා ගෙවල් කිහිපයකි. ඒවායේ වෙසෙන්නෝ හමුදා සෙබළු ය.

එක්තරා ගිනි මද්දහනක අනාථ කඳවුරක්, හමුදා ගෙවල් පෙළක් අතර වූ බිම්කඩින් මතු වූයේ වියපත් මිනිසෙකි.

මහ දවල් හොල්මනක් සේ පෙනී සිටි හෙතෙමේ හමුදා ගෙයක් දෙස ඇසිපිය නොහෙළා බලා සිට ආපසු හැරී යන්නට ගියේ ය.

තවත් දවසක ද තද හිරු රැසත් දුහුවිල්ලත් අතරින් මතු වී ආ ඔහු‍ පෙර දින සේ ම අර ගේ දෙස ඇසි පිය නොහෙළා බලා සිට යන්නට ගියේ ය.

විටින් විට මේ දේ ම සිදු විය.

එහෙත් භටයෝ මේ බව නොදත් හ.

දිනක් තත්වය වෙනස් විය. භටයෙක් ඔහු දුටුවේ ය.

‘ඔත්තු බලන්නා’ කොටු විය.

යුද්ධ කාලයේ මෙන් නොව සාමය රජයන යුගයේ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ තිබේ. එහෙයින් ‘ඔත්තු බලන්නා’ පොලිසියට භාර කැරිණ.

‘තමා හමුදා කඳවුරු ළඟ ඔත්තු බැලුව ද නැද්ද?’ පොලිස් නිලධාරියා ප්‍රශ්න කළේ ය.

‘නෑ සර්’ වියපත් මිනිසා කීවේ ය.

‘එහෙනං තමා එතන මොකක්ද කෙරුවෙ?’

‘මං බැලුවෙ ගේ දිහෑ’

‘මොන ගේ දිහෑ ද?’

‘මගෙ ගේ දිහෑ’

‘මගෙ ගේ?’

‘ඔව් මගෙ ගේ’

‘තමුන්ගෙ ගෙයක් කොහෙද එහෙ? ඒක හමුදාවෙ මහත්තුරුන්ගෙ කඳවුරක්නෙ. තමුං ඒ බව දන්නෙ නැද්ද?’

‘දැං ඒගොල්ලො හිටියට ඕක මගෙ ගේ සර්. ඕක හැදුවෙ මම. මම පස් කැපුව. පවුල වතුර ඇද්ද. පුතා තමයි වැලි ඇද්දෙ. අපි පවුලෙ කට්ටිය එකතුවෙලා හදාගත්තු ගේ පොඩ්ඩ තමයි සර් ඕක. යුද්දෙට කලින් අපි කාල බීල වැටිල බුදිය ගත්තු ගේ තමයි සර් ඕක...’

පොලිස් නිලධාරියාට ප්‍රශ්න කිරීම පවා අමතක වී ගියේ ය. වියපත් මිනිසා දිගට ම කතා කළේ ය.

‘.... යුද්දෙ කාලෙ අපි නොවිඳිනා දුක් වින්ද. යුද්දෙන් පස්සෙ අපිව ඔය කඳවුරට ගාල් කෙරුව. අවුරුදු ගාණක් තිස්සෙ අපි ඒ කඳවුරේ ගාල්වෙලා. අපි මොකවත් වැරැද්දක් කරපු නැති අහිංසක මිනිස්සු සර්. අපේ ගේ පෙනි පෙනි අපිව හැමදා ම කඳවුරක ගාල්කරල තියන්නෙ ඇයි සර්? අපිට අපේ ගේ දෙන්ඩ සර්...’

නිලධාරියා ඇතුළෙන් සහෝදර අසල්වැසියා මතු විය. ඔහු වියපත් මිනිසා දෙස කනගාටුවෙන් බලා සිටියේ ය.

‘තමුන්ට දැං ආපහු යන්ඩ පුළුවන්’

මිනිසා දිග අඩි තබමින් වහා ම නොපෙනී ගියේ ය.

ඉක්බිති නිලධාරියා දුරඇමතුමක් ගත්තේ ය.

‘.... ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගෙ ගෙවල් දීල පුළුවං තරං ඉක්මනට ඔයගොල්ලො යන එක තමයි කරන්ඩ තියෙන්නෙ’

අදාළ කලාපයේ සංචාරය කළ ජනමාධ්‍ය සගයකු විසින් හුවමාරු කරගන්නා ලද වේදනාබර අද්දැකිමක් ඇසුරිනි.

 

ගලේ දේවාලය

අප ගලේ දෙවොල් බිමට පා තැබුවේ මහ දවාලේ ය.

‘හැන්දෑ වෙනකොට සෙනඟ වැඩි වෙනව. රෑත් එහෙම යි. ඒ හින්ද දවල් ගිහිං එමු...’ මගේ ඥාතීන් තකහනියේ ම මෙහි ඒමට මා කැමති කරවා ගත්තේ එසේ කියමිනි.

දවාලේ ද බැතිමතුන් ගේ අඩුවක් නැත.

මිරිවැඩි ගලවා බිමට පා තැබූ හැටියේ මගේ දෙපා පිච්චී ගියේ ය. දෙවොල් බිමට අල්ලන ලද ගඩොල් අව්වෙන් රත් වී ගොසිනි. එහෙයින් මම හනි හනික යාබද තිබූ දිගු තාප්පය ළඟට ගියෙමි. කිහිප දෙනෙක් විඩා සන්සිඳුවා ගනු පිණිස ඊට බරදී සිටිය හ. මම යාන්තම් සෙවණක් සොයා ගෙන එතැන හිඳ ගතිමි.

මගේ නෑ පිරිස දෙවියන්ට වූ බාරයක් ඔප්පු කරනු පිණිස දෙවොල බලා ගියේ පුද පඬුරු ද පලතුරු වට්ටියක් ද ඔසවා ගෙන ය. එබඳු බොහෝ‍ දෙනා ගම්භාර දෙවියන්ට පුද පූජා කරනු පිණිස දෙවොල අබියස පෝලින් ගැසී සිටින හැටි මට පෙනිණ.

දේවාලය කුඩා ය. කපු මහතුන් නැත. මෙහි ඇති විශේෂය එය යි. තම තමන් ම තම තමන්ගේ බාර ඔප්පු කළ යුතු ය. දෙවියන් නිදහසේ වැඳ ගැනීමේ දෙවියන් හා නිදහසේ සම්බන්ධතා පවත්වා ගැනීමේ පූර්ණ නිදහස මේ දෙවොල් බිමේ තිබේ.

මා ඉදිරිපිට දිස්වන තවත් මිටි තාප්පයකට (බැම්මකට) පහළින් එතරම් උස නැති කළුගල් කන්දක් දිස්වෙයි. ඒ වටා තැන තැන හිඳ සිටින බැතිමත්හු තම තමන්ගේ පැතුම් මතුරති. මීට ගලේ දේවාලය යන නම වැටී ඇත්තේ ද එබැවිනි.

‍මෙහි ඉතිහාසය ගැන යමකු කී කතාවක් ද මට සිහිපත් වේ.

“... හුඟක් ඉස්සරකාලෙ දරුණු දුර්භික්ෂයක් තිබුණලු. මිනිස්සු කන්ඩ නැතුව හරියට දුක් වින්දලු. ඔය කාලෙ කවුදෝ සුදු ඇඳ ගත්තු කෙනෙක් හීනෙන් පෙනිල කිව්වලු අර ගල ළඟට ගිහිං ගම්බාර දෙයියන්ට පූජාවක් කියල දුක්ගැනවිල්ල කියාපල්ල! එතකොට ශාන්තියක් ලැබෙයි කියල. ඉතින් එහෙ ම කළා ම වැහි වැහැල දුර්භික්ෂෙ නැති වුණා ලු...’

ගලේ දේවාලය ප්‍රසිද්ධ වී ඇත්තේ එදා පටන් යැයි ද කියැවේ.

දේව ඇදහිල්ල මිථ්‍යා විශ්වාසයක් සේ බැහැර කොට පරිභව කිරීමේ රළු පුරුද්දක් තරුණ කාලයේ දී මට තිබිණ. මැදිවියට පිවිසෙද්දීත් ඒ අදහස එසේ ම පැවතුණ ද මා ‍ගොළුවත රැක්කේ මගේ වචන නිසා අන් අයගේ හිත තැළෙන බව මට අවබෝධ වී තිබුණු නිසා ය.

ඒ කෙසේ වුව ද මේ දෙවොල්බිමට ආ හැටියේ ම ම සිත අමුතු හැඟීමක් ඇති විය. මෙහි කිසියම් ගුප්ත බලයක්, ශාන්තියක් සැරිසරණ බව මට දැනෙන්නට විය. මිනිසුන් මෙහි ඇදෙන්නේ ද ඒ ශාන්තිය විඳගනු පිණිස විය යුතු ය.

මා පියෝ විභාග ජය පතා තම දූ පුතුන් කැඳවාගෙන මෙහි එති. ප්‍රේමවන්තයෝ නිරවුල් නව දිවියක් පතා මෙහි ඇදෙති. වැඩිහිටියෝ නොයෙක් රෝගාබාධවලින් මිදීමට එති. බොහෝ අය මොකක් හෝ කරදරයකින් මිදීමේ අපේක්ෂාවෙන් එති.

දෙවොල් බිම ශාන්ත ය. කතරගම වැනි දෙව් බිමකින් ජනිත කෙරෙන භීතියක් මෙහි නැත.

අපි දියුණු විද්‍යාවක ප්‍රතිලාභ විඳින පුළුල් ප්‍රජාතන්ත්‍රවාදි ලෝකයක ජීවත් වන බව කියමු. මේ සා දියුණු යැයි කියන ලෝකයක ද මිනිසුනට කෙළවරක් නැති ප්‍රශ්න තිබේ. මිනිසුන් දෙවියන්ගේ පිහිට පතන්නේ සෙස්සන්ට නොකිව හැකි පෞද්ගලික ප්‍රශ්න මහා කන්දරාවක් තමන්ට තිබෙන බැවිනි. මෙබඳු තැනකින් එබඳු ‍දේට සහනයක් ලැබෙන්නේ නම් එය කෙතරම් ලොකු දෙයක් ද?

අවසානයේ මගේ ඥාතීහු මා වෙත ආහ. ඔවුන්ගේ මුහුණුවල තිබුණේ සැනසීමක ලකුණු ය.

‘දූගෙ බාරෙ ඔප්පු කළා. දෙයියන්ට පින්සිද්ධ වෙන්ඩ එයා හොඳින් විභාගෙ පාස් වුණානෙ. දැන් ඉතින් හොඳ ඉස්කෝලයක් හොයා ගන්ඩත් ඕනැනේ. ඒකටත් බාරයක් වුණා. දෙයියන්ගෙ පිහිටෙන් දූට හොඳ ඉස්කෝලයක් ලැබෙයි’

නැන්දනිය සිය ඥාති දියණියගේ හිස අත ගෑවා ය. අපි සල්පිල් මැදින් වැටුණු පාර දිගේ අපේ රිය සොයාගෙන ආපසු ආවෙමු. එහි පූජා භාණ්ඩ අලෙවි කෙරෙන කුඩා කුඩා කඩ බහුල ය.

ගලේ දෙවියන් තමන් ගේ පිහිට පතා එන දහස් ගණන් හුදී ජනයාට මෙන් ම ගම් ප්‍රදේශයේ ජනයාට ද පිහිට වන බව පෙනේ.

ගමන සිහිවනු පිණිස සල්පිලකින් මල් පැළයක් ද මිල දී ගෙන අපි ආපසු ආවෙමු. මිනුවන්ගොඩ වෑගොව්වේ ගලේ දේවාලය අපේ මතකයේ සදා රැදෙනු ඇත.

 

දිවුලපිටියේ සරත් එස්. ජයතුංග මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

නෙළුම්විල, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.

අදහස්