රටේ ව්‍යාපාර සංවර්ධනයට ඉංජිනේරු තාක්ෂණය යෙදවීම අපේ අරමුණයි

නිවෙසක්, ආයතනයක් හෝ රාජ්‍යයක් පාලනය කිරීමේදී ඒ ඒකකය තුළ පවතින ආර්ථික තත්ත්වය මත ගත යුතු ක්‍රියාමාර්ග තෝරාගැනීම ඒ නිවෙස, ආයතනය හෝ රාජ්‍යය පාලනය කරන්නවුන්ගේ වගකීම හා යුතුකම වෙයි.

මෙහිදී අප සැලකිය යුතු ප්‍රධාන කාරණයක් වන්නේ ආදායම හා වියදම යන ප්‍රධාන කරුණු දෙකයි. ඕනෑම ආයතනයක ආදායමට වඩා වියදම ඉහළ අගයක පවතී නම් එම ආයතනය පවත්වාගෙන යෑමේ හැකියාවක් නැත. එවිට එහි වියදම අඩු කිරීම හෝ ආදායම වැඩි කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ. මෙය කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන යන අංශ තුන යටතේ ක්‍රියාත්මක කළ යුතු වේ. උදාහරණයක් ලෙස පාඩු ලබන ආයතනයක් දීර්ඝ කාලීන සැලසුම් යටතේ දියුණු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් අනවාර්යයෙන්ම නව ආයෝජනයන් කළ යුතු වේ. එසේ ආයෝජන කිරීමට නම් ආයතනය සතුව ප්‍රතිපාදන තිබිය යුතුය. එසේ නැවත ආයෝජනය කිරීමට ප්‍රතිපාදනනැති අවස්ථාවකදී වෙනත් ආයෝජකයකු සොයාගැනීමට හෝ බැංකු ණයක් ලබාගැනීමට සිදු වේ.

ඒ නව ආයෝජන සඳහා ඉදිරිපත් වන ආයෝජකයා හෝ ණය දෙන ආයතනය දීර්ඝකාලීන යෝජනා මත පමණක් පදනම්ව තම මුදල් ආයෝජනය කිරීමට ඉදිරිපත් වන්නේ නැත. එසේ නම් ඒ ආයතනයේ කළමනාකරණය කෙටිකාලීන ක්‍රියාමාර්ගවලින් ණය දෙන ආයතනය වෙත සහතිකයක් ලබා දිය යුතුය. ඔවුන්ගේ වියදම් කළමනාකරණය කරගන්නා ආකාරය හා ලාභ ඉපයීම සඳහා ඔවුන් තුළ පවත්නා අවංක උත්සාහයන් පිළිබඳ ආයෝජකයන් කෙරේ විශ්වාසය ඇති කළ යුතුය.

මෙය රටක සංවර්ධනයට බලපාන්නේද එකම ආකාරයකිනි.

අද අප රටේ පවතින ඇත්ත තත්ත්වය අවබෝධ කරගත හැකි ඕනෑම පුද්ගලයකුට තේරුම් ගත හැකි දෙයක් නම් අපේ රටට අවශ්‍ය තරම් ආර්ථික පසුබිමක් නැති බවයි. පවතින ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට අනිවාර්යයෙන් නව ආයෝජන අවශ්‍ය වේ.

කොහෙන්ද මේ ආයෝජන ආ යුත්තේ? රජයක් මාරු වන විට එම රටට උදවු කිරීමට ආයෝජකයන් පෝලීමේ සිටීද? නැත. ඒ රජය විසින් ආයෝජකයන් සොයාගත යුතුය.

එසේ ආයෝජකයන් අපේ රටට පැමිණ ඔවුන්ගේ මුදල් පාඩු ලබන ආයතන වෙත යොදා ස්ථාවර ව්‍යාපාර පාඩු ලබන බවට පරිවර්තනය කරගැනීමට ඉදිරිපත් වෙන්නේ කවුද?

රටක් ලෙස ක්‍ෂණික කෙටිකාලීන පියවර ගෙන රටට ආයෝජකයන්ගේ විශ්වාසය දිනා දිය යුතුය. රටේ අනවශ්‍ය වියදම් කපා හැරීම, නිදහස් පරිසරයක් ඇති කිරීම, දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම, නව ආයෝජකයන්ගේ ආයෝජන සඳහා රට තුළ ආරක්‍ෂාවක් ඇති කිරීම කළ යුතුය. දෙවනුව මධ්‍ය කාලීන පියවර මඟින් රටේ ආරථිකය පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු අතර, දීර්ඝ කාලීන සැලසුම් යටතේ රට ඉදිරියට ගෙන යෑමට රටේ විතිපත්ති සකස් කරගත යුතු වේ‍.

අද අප රට දෙස බැලූ විට අපට පෙනෙන කරුණු දෙකක් ඇත:

1. රට ඒ ආකාරයේ දීර්ඝකාලීන සැලසුම් යටතේ ඉදිරියට ගෙනයන ‍යන්ත්‍රණයක් රට තුළ නිර්මාණය වී තිබේද?

2. එසේ රට තුළ විශාල වෙනසක් කරා යෑමට සුදානම් වූ වැඩ කරන ජනතාවක් රට තුළ සිටීද?

මේ කරුණු දෙකටම හරි පිළිතුරක් ලබාගැනීම අද අසීරු කාරණයක් වී ඇත්තේ රට තුළ පවතින කැලඹිලිකාරි ස්වභාවය දෙස බැලීමේදීය.

යම් රජයක් බලයට පැමිණි පසු ඒ රජය පෙරළීම සඳහා විරුද්ධ සෑම පාර්ශ්වයක්ම උත්සාහ කිරීම සමාන්‍ය දෙයක් වුවද රටක මුදල් වියදම් කර ඇති කරගත් ආණ්ඩු ඇති කරගත් පිරිස මගින්ම නැවත කෙටිකාලයක් තුළ පෙරළාදැමීමට උත්සාහ කිරීම වෙනුවට නියමිත කාලසීමාව තුළ එම රජයන් රටේ දියුණුව කරා තීන්දු තීරණ ගැනීමට තල්ලු කිරීමෙන් හැකි උපරිම ලෙස රටට වැඩක් ගැනීම කළ යුතුව ඇත. සාමාන්‍ය වැඩ කරන ජනතාව විසින් යම් කිසි ආකාරයක අනවබෝධයෙන් කටයුතු කළද රට පාලනය කළ හා නැවත රටේ පාලනය බාර ගැනීමට බලා සිටින වගකිව යුතු නායකයන් මෙසේ වගකීමක් නැතුව කටයුතු කිරීමෙන් රට ඉදිරියට තල්ලු කිරීමට හැකි වේද?

අප රටේ හැමදාමත් එක් පාලනයක් පැමිණි දින සිට නැවත පෙරළීම සම්ප්‍රදායක් කරගෙන සිටී. මේ තුළ අවසානයේ මුළු මහත් ජනතාවම අසරණ බවට පත් වන බව තේරුම් ගැනීම අවම වශයෙන් වෘත්තීයවේදීන් අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු වේ.

මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන රටේ පවත්නා රජය ඔවුන්ගේ පාලන කාලය තුළ ජාතික ප්‍රතිපත්ති ඇති කීරීමට අවශ්‍ය තැනට තල්ලු කර ස්ථිරසාර සංවර්ධනයක් කරා රට ගෙන යෑමට මේ රටේ පෞද්ගලික අංශයේ ඉංජිනේරුවන් තම ශ්‍රමය දැනුම යෙදවීමට ඉදිරියට ඒමට සූදානම්ය.

අපේ රටේ මිලියන 20ක් පමණ වූ ජනතාව ආර්ථික වශයෙන් නගාසිටුවීමට හරි ආකාරයේ ඒක නිරමාණකරුවකු බිහි කිරීම ප්‍රමාණවත් වෙයි.

මයික්‍රොසොෆ්ට් වැනි සමාගක් මඟින් රටක ආරථිකය කොතෙක් දුරට වෙනස් වී ඇත්ද යන්න නොරහසකි.

එසේ නම් අප රට තුළ එක නිර්මාණකරුවකු (ලෝකය දිනාගත හැකි) බිහි කිරීම සඳහා රට තුළදීර්ඝකාලීන වැඩපිළිවෙළකට යෑම හොඳම ආයෝජනයකි.

සනත් ජයසූරිය, කුමාර සංගක්කාර වැනි ලෝකපූජිත දායාදයන් රටට ලබා දීමට ක්‍රීඩා අංශය ක්‍රියාත්මක වෙද්දී රටේ ආර්ථිකය ශක්මත් ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය ඉංජිනේරුවන් ලොකයේ ඉහළම සථාන වෙත ගෙනයෑමට ක්‍රියා නොකිරීම හෝ එහි පවතින මන්දගාමි ස්වභාවය නිසා අපට රටේ නිසි ලෙස තවමත් ආර්ථික ශක්තියක් ලබාගැනීමට අසීරු වී ඇත.

රටේ නිර්මාණකරුවන් දිරි ගැනවීම, නව නිර්මාණකරුවන් මතු කර ඉදිරියට ගෙන ඒම සහ ඔවුනගේ නිර්මාණ වෙත ඉංජිනේරුමය තාක්‍ෂනික දැනුම එකතු කොට ලෝකයේ තරගකාරි වෙළෙඳපොළට ඉදිරිපත් කරගැනීම යන සියලු අභියෝග හමුවේ තම පූර්ණ සහාය දැක්වීමට මෙරටේ පෞද්ගලික අංශයේ සේවය කරන ඉංජිනේරුවන් සූදානමින් සිටින අතර, ඔවුන්ගේ සංගමයේ දායකත්වය ගෙන රට ගොඩනැගීමට කැමැති සියලු දෙනා එකතු වීම ගමන ශක්තිමත් කිරීම කාගේත් වගකීම වනු ඇත.

එලෙසෙම අප රටේ මිලියන 20ක් පමණ වූ ජනතාව මත පමණක් පදනම්ව ව්‍යාපාර ඇරඹීම මගින් අද පවතින ආරථිකය ජය ගැනීම පහසු නොවනු ඇත. එබැවින් විශාල වෙළෙඳපොළක් සහිත ලොකයේ රටවල් සමඟ වෙළෙඳ සබඳතා ගොඩනැගීම අනිවාර්ය වනු ඇත. එහිදී අපට වාසිදායක ලෙස ඒ සම්බන්ධතා ගොඩනැගීම ඉතා සූක්ෂ්ම ආකාරයෙන් සිදු කළ යුතුව ඇත.

පෞද්ගලික අංශයේ ඉංජිනේරුවන්ගේ සංගමය

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල කිහිපයකින් (පේරාදෙණිය, මොරටුව, රුහුණ) මේ වන විට විශාල ඉංජිනේරුවන් පිරිසක් රටට දායාද කරන අතර සිවිල්, යාන්ත්‍රික, නිෂ්පාදන, විදුලි, නාවික, රසායනික වශයෙන් විවිධ විෂයයන් ඔස්සේ ප්‍රවීණයන් වන ශ්‍රී ලාංකින ඉංජිනේරුවන් විශාල පිරිසක් මේ වන විට රට පුරා මහගු කාර්යභාරයක් ඉටු කරමින් සිටී. මේ පිළිබඳව එම ක්‍ෂේත්‍රයට සමිබන්ධ සුළු පිරිසක් දැනගත්තද රටේ බහුතර ජනතාව ඒ ගැන එතරම් හැඟීමක් නැත.

එනමුදු ඉතා දක්‍ෂ ඉංජිනේරුවන් පිරිසක් නිහඬව විශාල වැඩ කොටසක් රට වෙනුවෙන් කරති.

විශ්වවිද්‍යාලයෙන් පිට වන ඉංජිනේරුවන්ගෙන් 90%කට වැඩි පිරිසක් තවදුරටත් රජයේ රැකියා ඉල්ලමින් කාලය නාස්ති කිරීම වෙනුවට පෞද්ගලික අංශයේ රැකියාවක් සොයාගෙන දෙයාකාරයකින් රටේ සංවර්ධනයට දායක වෙයි (පෞද්ගලික අංශය මගින් ක්‍රියාත්මක නිෂ්පාදන ක්‍රියාවලියට කෙළින්ම දායකත්වය දීමෙන් රටේ විදේශ විනිමය ඉපදවීම හා වෙනත් නොයෙක් සංවර්ධන ක්‍රියාවලිනට දායක වීම හා තම වැටුපෙන් කොටසක් උපයන විට බදු වශයෙන් රජයට ගෙවමින්) එනමුදු මේ පිරිස පෞද්ගලික ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන අවස්ථා ඉතා විරලය.

මෙසේ පෞද්ගලික අංශයේ රැකියාවල නිරත ඉංජිනේරුවන් නිසියාකාර ලෙස යොදාගැනීමට පවතින රජයන් හෝ බලධාරීන් ක්‍රියා කරන්නේ නම් අප වැනි දියුණු වෙමින් පවතින රටවලට ඉතා ඉක්මනින් දියුණුව කරා යා හැකි බව අපගේ හැඟීමයි. පෞද්ගලික අංශයේ සේවය කරන ඉංජිනේරුවන් යනු මේ රටේ තවත් කම්කරුවන් පිරිසක් ලෙස සලකමින් මාසික වැටුපක් ගෙවමින් සේවයේ යොදාගන්නා සමහර ව්‍යාපාරික පිරිස් මේ ඉංජිනේරුවාට හිමි විය යුතු නිසි ගෞවරවය දීම වෙනුවට ඉතා අවම වැටුපක් ගෙවමින් ඔවුන්ගේ ශ්‍රමය සූරා කන අවස්ථාද නැතුවා නොවේ. ඇතැම් ඉංජිනේරුවන් තමන්ගේ විශිෂ්ට දැනුමින් විශාල වෙනස්කම් කිරීමෙන් ආයතනවල කාර්‍යක්‍ෂමතාව ඉහළ ප්‍රතිශතවලින් වැඩි කර ඇති අවස්ථා බහුල වුවත් මේ දක්‍ෂකම් එළියට ඒම වෙනුවට උපන් ගෙයිම වළ දමා ඔවුන්ගේ හැකියාවන් මතු කරගැනීමට අවස්ථා වසාදමන අවස්ථාද බහුලව දක්නට ලැබේ. පෞද්ගලික අංශයේ වැඩ කරන ඉංජිනේරුවන්ගේ රැකියාවක් අහිමි වූ අවස්ථාවක ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු සංවිධානයක් හෝ ඔවුන්ට උපාකාර කිරීමට කිසිම ක්‍රමවේදයක් රට තුළ නොපවතී. එසේම විවිධ දක්‍ෂතා ඇති ඉංජිනේරුවන්ගේ එම හැකියාවන් ඉදිරියට ගෙන ඒමට ඉංජිනේරුවන්ටම වෙන් වූ ආයතනයක් දක්නට නැති අතර මෙවැනි විවිධ කරුණු හේතුවෙන් රටට වැඩදායි ඉංජිනේරුවන් රට හැර යෑම බහුල වන අතර, අද සමාජයේ ඉංජිනේරුවන්ගේ එකම අරමුණ වෙන රටකට යෑම බවට පත් වී ඇත.

මේ ඉංජිනේරු සංගමයේ පුධාන අරමුණු කිහිපයකි:

පෞද්ගලික අංශයේ ඉංජිනේරුවන් අතර සුහද සම්බන්ධතාවක්, එකමුතුවක් ඇති කරගැනීමෙන් මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ඉහළම ප්‍රතිඵල නෙළාගත් පිරිසක් ලෙස රැකියාවෙන් ඔබ්බට ගොස් සමාජ මෙහෙවරක් ලෙස තව දුරටත් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දීම

* රටේ පාලක පක්‍ෂය (කුමන පක්‍ෂයක් වුවත්) වෙත නිසි ක්‍රමවේද ඉදිරිපත් කිරීමෙන් සංවර්ධනය හෝ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය කරන නියම තාක්‍ෂණික අදහස් ලබා දීම මෙය හුදෙක්ම ධනාත්මක ලෙස ඉදිරිපත් කිරීම

* ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නවලදී නිවැරදි දේ ජනතාව වෙත හෙළි කිරීම

* නිර්මාණශීලි පාසල් දරුවන් වෙත සංගමයක් ලෙස ඉංජිනේරු තාක්‍ෂණය ක්‍රමානුකූලව පාසල් මඟින් ලබා දී ඔවුන්ගේ දැනුම රටේ ඉදිරි සංවර්ධනයට යොදාගැනීමට අවශ්‍ය මාර්ගය හෙළි කිරීමට කටයුතු කිරීම

* රටේ පොදු පරීක්‍ෂණ හා සමීක්‍ෂණ ආයතන ඇති කිරීමට රජයට හෝ වෙනත් පරිත්‍යාගශීලීන් වෙත බලපෑම් කිරීමෙන් රටේ ඉංජිනේරුවන්ට හා නව නිපැයුම්කරුවන්ට නිදසසේ ඔවුන්ගේ නව සොයාගැනීම් අන්තර්ජාතික තත්ත්වයට ගෙන ඒමට හැකි වන පරිදි ආයතන ස්ථාපිත කරගැනීමට මූලිකත්වය ගැනීම

* සුළු නිෂ්පාදකයන් වෙත තාක්‍ෂණ දැනුම හා අවශ්‍ය අනෙකුත් උපදෙස් ලබා දීම මගින් මෙරටේ ආර්ථික ක්‍රියාවලියට ඉංජිනේරුවන් ලෙස තම දායකත්වය තවදුරටත් ලබාදීම

දිවයින පුරා විසිරී සිටින සියලු ඉංජිනේරුවන්ට අප හා සම්බන්ධ වන ලෙස ඉල්ලන අතර, පහත ක්‍රම මඟින් විස්තර දැනගැනීමට අවස්ථාව ඇත.

ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්න

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.