දිනෙන් දින වැඩෙන ආගමික සංචාරක ව්‍යාපාරය

ලෝක සංචාරක සංවිධ‍ානය WTO පවසන්නේ වාර්ෂිකව බැතිමතුන් දසලක්ෂ 350 - 600 අතර ප්‍රමාණයක් තමතමන්ගේ ආගමික ස්ථානකරා වන්දනාවේ යෙදෙන බවයි. ලෝක ජනතාවගෙන් සියයට 60 කට කුමන හෝ ආගමක් තිබේ.ආගමික සංචරණය සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා යොදා ගැනීමට ශ්‍රී ලංකා දංචාරක අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

ලොව සිව් දිගින් බෞද්ධ වන්දනාකරුවන් වෙසක් පොහෝ දිනයේ ඉන්දියාවට සහ නේපාලයට ඇදී ඒම කලක සිට පවතින සිරිතකි. එහිදී ඔවුහු බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා ගනිති. දැන් දැන් මේ ප්‍රවණතාව ශ්‍රී ලංකාව කරාද ව්‍යාප්ත වෙමන් පවතී. ඉන්දීය චීන , ජපන් සහ තායිලන්ත බොදු ජනතාව දැන් මෙරට බොදු සිද්ධස්ථාන දැක වැඳ පුදා ගැනීමේ අරමුණෙන් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාව කරා පැමිණෙති. මෙම ආගමික සංචරණය සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා යොදා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

සංචාරක කර්මාන්තය ගැන විවරණයක යෙදෙන ජර්මනියේ රිගෙන්බර්ග් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගිස්බර්ට් රයින්ෂර්ඩ් සංචාරක කර්මාන්තයේ ආරම්භය සිදුවූයේ ආගමික සංචාරයන් නිසා යැයි කියයි.

ආගමික සංචාර අතර ප්‍රධාන ස්ථානයක් ගන්නේ ඉස්ලාම් බැතිමතුනගේ හජ්වන්දනාවයි. උතුරු ඇමෙරිකානුවන්ගේ ආගමික සංචාරක ව්‍යාපාරයේ වාර්ෂික අංගය ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කැයි වාර්තා වේ. මැකා, මෙඩ්නා, ජෙරුසලම් වතිකානුව, ලුම්බිනිය සහ බුද්ධගයාව ලෝක ආගමික සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන පූජ්‍ය ස්ථානයේය.

ලෝක සංචාරක සංවිධ‍ානය WTO පවසන්නේ වාර්ෂිකව බැතිමතුන් දසලක්ෂ 350 - 600 අතර ප්‍රමාණයක් තමතමන්ගේ ආගමික ස්ථානකරා වන්දනාවේ යෙදෙන බවයි. ලෝක ජනතාවගෙන් සියයට 60 කට කුමන හෝ ආගමක් තිබේ.

ආගමික සංචාර

ඇමෙරිකානුවන්ගේ ආගමික සංචාර වාර්ෂිකව සියයට 30 කින් ඉහළ යන බව එක්සත් ජනපද සංචාරක අංශය කියයි. ආගමික විශ්වාසයන්ගෙන් මිදී ජීවත්වීම ඇමෙරිකාවේ තරුණ ජනගහණයේ එක් විශේෂතාවකි.

වතිකානුව ආගමික සංචාරයේ කේන්ද්‍රස්ථානයකි. හුදෙක් කතෝලික බැතිමතුන් පමණක් නොව වෙනත් බැතිමතුන් ද එහි වන්දනාවේ යෙදෙති. ගෘහ නිර්මාණ ශිල්පය ගැන උනන්දු වන්නෝ වතිකානුව දැක බලා ගැනීමට එහි සංචාරය කරති. ගෘහනිර්මාණ ශිල්පයේ දියුණුවට ආගමික ‍‍ගොඩනැඟිලි හේතුවකි. මේ අනුව බලන කළ බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික පූජ්‍ය ස්ථාන ඒ ඒ ආගමික ගෘහ නිර්මාණ ශිල්පය රැගත් ස්ථානයෝය.

ව්‍යාපාරික දෘෂ්ඨි කෝණයෙන් බලන කළ ආමික සංචාරකයනට විවිධ සහන අඩුමිල ගුවන් ටිකට්, අඩුමිල නවාතැන් පහසුව යනාදිය සපයා දීම නිසා ආගමික සංචාර වඩාත් ජනප්‍රිය වන බව සංචාරක ව්‍යාපාරයේ නියුතු වූවෝ කියති. සංචාරක කර්මාන්තයේ විශාල කොටසක් ආවරණය වන්නේ ආගමික සංචාරක අංශයෙන් යැයි ද එහි විශාලත්වය දසලක්ෂ 600 ක් පමණ සංචාරකයන් පිරිසකැයි ද කියැවේ.

ආගමික සංචාරක කර්මාන්තයට මුල් තැන දෙන රටක් නම් ඉන්දියාවයි. රාමායන ස්ර්කිට්, ක්‍රිෂ්ණ සර්කිට් සහ බුද්ධ සර්කිට් යනුවෙන් ආගමික සංචාර කොටස් 3 කට බෙදා තිබේ.

රාජ්‍ය අනුග්‍රහය

මංමාවත්, දුම්රිය ස්ථාන, සංචාරක බංගලා, වැසිකිළි, සීසීටීවී කැමර, වයි ෆයි පහසුකම් ආදිය ලබාදෙමින් රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව ආගමික සංචාර වර්ධනය කිරීම මෝධි රජයේ ප්‍රතිපත්තිමය තීරණයකි.

ආගමික සංචාරක කර්මාන්තය පිළිබඳව ලෝක සංචාරක සංවිධානය ප්‍රථමවරට අවධානය යොමු කෙළේ 1967 දීය. ඒ අනුව ස්පාඤ්ඤයේ CORDOBA හිදී සමුළුවක් පවත්වා ඒ පිළිබඳව තීරණය කෙළේ ආගමික සංචාරක කර්මාන්තය වෙනම ම මාර්තෘකාවක් ලෙස සැලකිය යුතුවමය. නැවත වරක් ආගමික සංචාරක කර්මාන්තය පිළිබඳ සමුළුවක් ස්පාඤ්ඤයේ දී පවත්වන ලද්දේ 2007 දීය.

එහිදී අවධාරණයට ‍යොමු වූ කරුණක් වූයේ ආසියා පැසිපික් කලාපය තුළ ආගමික සංචාරක කර්මාන්තයට සම්බන්ධ පූජ්‍ය ස්ථාන වැඩියෙන් ම පිහිටා ඇති බවයි. එසේ ම ආගමික නිෂ්පාදන RELIGIOUS PRODUCTS අලෙවි කිරීමක් ද ප්‍රචලිත වන බව පැහැදිලි කර ඇත.

ආගමික ප්‍රතිමා, ලාංඡන, කොඩි, සිහිවටන, ඡායාරූප, බිත්ති සැරසිලි, හිස්වැසුම්, සංගීත භාණ්ඩ, ආගමික ගායනා, සී ඩී තැටි, ආගමික නිෂ්පාදන අතරට ගැනේ. ඇතැම්විට මේ හා සම්බන්ධ මහා පරිමාණ කර්මාන්ත පවා තිබේ. ඉන්දියාවේ මහ බලිපුරම් ප්‍රදේශයේ ශිලාමය ප්‍රතිමා කර්මාන්තය විශාල ව්‍යාපාරයකි. එසේ ම මලයාසියාවේ ආගමික හිස්වැසුම් හා ඇගලුම් කර්මාන්ත තිබේ. මෙම නිෂ්පාදන ප්‍රධාන වශයෙන් ආගමික සංචාරක කර්මාන්තයට පදනම් තිබේ.

එහෙත් මේ ආගමික නිෂ්පාදන ව්‍යාපාර නොව සේවාවන් ලෙස සැලකෙ. සංචාරක කර්මාන්තයට අදාළ ආචාර ධර්ම පද්ධතිය තුළ පිහිටා එම නිෂ්පාදන හා අලෙවිය සිදුවන බවට ව්‍යාපාරිකයෝ තර්ක කරති.

ඔස්ට්‍රෙලියාව 2008 සිඩ්නි නුවර දී පවත්වන ලද කතෝලික තරුණ දිනය සඳහා සහභාගි වූ කරුණ කතෝලික බැතිමතුනගේ සංඛ්‍යාව 2,23,000 කි. එයින් 1,10,000 රටවල් 170 කට අයත්ය. ඉන්දියාවේ වතිකානුවේ සහ සවුදියේ ආගමික සංචාරයන් හි යෙදෙන සංඛ්‍යාව මිලියනය ඉක්මවූ අවස්ථා තිබේ. ආගමික සංචාරක කටයුතු ව්‍යාපාරික පසුබිමකින් තොරව පවත්වා ගෙන යෑමටත් ඒවාට හිමි ගෞරවය රැකදීමටත් ආගමික ඇදහිලි හා විශ්වාසවලට ගරු කිරීමටත් ව්‍යාපාරික අංශ නිතර ම සූදානම්ව සිටීම ආගමික සංචාරක කර්මාන්තයේ තවත් ලක්ෂණයකි.

චීනයේ ආගමික සංචාරක කර්මාන්තය 1980 න් පසු ශීඝ්‍ර පරිවර්තනයකට ලක්ව තිබේ. විදේශගතව සිටින චීන ජාතිකයන් සිය රටට පැමිණ පැරැණි සිද්ධස්ථාන නරඹති. දිර්ඝ කාලයක් අතහැර තිබූ පූජ්‍ය ස්ථාන දැන් විවෘත කර තිබේ.

ආගමික නිෂ්පාදන

යුනෙස්කෝ ආයතනය විසින් ලෝක සංස්කෘතීන් උරුම ලෙස ප්‍රකාශයට පත් කර ඇති ස්ථාන රාශියක් පිහිටා ඇත්තේ චීනයේය. තාඕවාදය, කොන්පියුසියස් දහම, බුදු දහම, සෙන් බුදු දහම මෙන් ම, ඉස්ලාම් ආගම හා මකර ඇදහීමට සම්බන්ධ පූජනීය කඳු රාශියක් ද ඒ ආශ්‍රිත විහාරාරාම ද, පූජ්‍ය ස්ථාන ද, පෞරාණික ස්ථාන ද චීනය පුරා විහිදී තිබේ.

2008 දී චීනයේ ආගමික සංචාරයන් හි යෙදුණු පිරිස දසලක්ෂ 53.5 කි. එහෙත් 1980 දී එවැනි සංචාරවලට සහභාගි වූයේ දසලක්ෂ 3ක පිරිසකි. අන්තර්ජාලය හරහා ආගමික සංචාර සංවිධානය කර ගැනීම දක්වා දැන් චීන ආගමික සංචාරය පුළුල් ව ඇත.

බෞද්ධ හා හින්දු නටඹුන්

ඉන්දුනීසියාව දසලක්ෂ 220 ක ජනගහනයක් සහිත දූපත් සමූහයකින් යුතු රාජ්‍යයි. එරට ජනගහනයෙන් සියයට 89 ක්ම ඉස්ලාම් දහම අදහති. එහෙත් පැරැණි බෞද්ධ හා හින්දු නටඹුන් රාශියක් තවම දක්නට ලැබේ. බොරෝබදුර් වඩාත් ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයකි. වාර්ෂිකව බෞද්ධ හා හින්දු බැතිමත්හු ඉන්දුනීසියාවේ සංචාරයන් හි යෙදෙති. ඉන්දුනීසියානු ජාතිකයන්ගෙන් වැඩිදෙනා මක්කම වන්දනාවේ යෙදෙති. සිය රටට සංචාරය පිණිස එන බැතිමතුනට විශේෂ සැලකිලි දක්වන අතර මධ්‍යම රජය මේ සිද්ධස්ථාන පාලන කටයුතු ප්‍රාදේශීය ආණ්ඩුවලට පවරා නිදහසේ ආගමික කටයුතු කරගෙන යෑමට ඉඩ සලසයි.

ඉන්දියාව ආගමික සංචාරක අංශයෙන් පෙරට පැමිණ ඇති තරම කොතෙක් ද යත් සංචාරක කර්මාන්තයෙන් ලබන ආදායමෙන් සියයට 20ක් උපයා ගන්නේ ආගමික අංශයෙනි.

ආගමික සංචාර, අධ්‍යාත්මික සංචාර වශයෙන් කොටස් දෙකක් ලෙස සලකා සැලකීම ඉන්දියාවේ පිළිවෙතයි. එසේම බුදු දහම, හින්දු දහම සහ ඉස්ලාම් දහමේ ම සම්මිශ්‍රණ ද සහිත සීක් දහම යන ආගම් තුනක් ඉන්දියාවට උරුමකම් කියයි ටෙහායි දහම ද සු‍ෆි දහම ද ඉන්දියාවේ ප්‍රචලිතය.

බුදුන්වහන්සේ ප්‍රධාන ආගමික හා දාර්ශනික උතුමන්ගේ ඉගැන්වීම් ඉන්දියාවේ ආගමික සංචාරක අංශය වඩාත් වර්ධනය කරයි. ඉන්දියානු දාර්ශනික ලියකියවිලි යුරෝපයේ වඩාත් ප්‍රචලිතවීම නිසා යුරෝපීය ආගමික සංචාරකයෝ ඉන්දියාවට ඇදෙති.

පකිස්ථානය ද පැරැණි බෞද්ධ නටඹුන් රාශියක් සහිත රටකි. ඉන්දියා පකිස්ථාන හා බංගලිදේශය යන රටවල් තුනට ම පොදු මහා සංගීත සම්ප්‍රදායක් ද සංගීත භාණ්ඩ සමූහයක් ද දක්නට ලැබේ. මේ සංගීත සම්ප්‍රදාය ආගමික සංගීතය මතින් ගොඩ නැගුණකි. කච්වාලි සංගීත ශෛලිය සූෆි දහම ඔස්සේ වර්ධනය වූ ආගමික සංගීතයකි. කර්නාටක සංගීතය ද හින්දු දහම සමඟ වෙලී තිබේ.

අධ්‍යාත්මික සංචාර

එම නිසා ආගමික සංගීතය හා බැඳුණු සංචාරකයෝ එම කලාපයේ සංචාරයේ යෙදෙති. ඉන්දියාව අධ්‍යාත්මික සංචාරක කර්මාන්තයේ කොටසක් ලෙස ආගමික සංගීත අංශයට සැලකිලි දැක්වීම දක්නට ලැබේ.

කිතු බැතිමතුනගේ ආගමික සංචාර අතර ප්‍රධානත්වය ගන්නේ ජෙරුසලමයි. වාර්ෂිකව කිතු බැතිමතුන් දසලක්ෂ 168ක් විවිධ ආගමික සංචාරයනට එක්වන බව වාර්තා වේ. ‍

සිය ආගමික නායකයාගේ ජීවිතයට සම්බන්ධ ස්ථාන නැරඹීමට ඔවුනගේ පළමුවන සැලකිල්ල හිමිවේ. මේ හැර වතිකානුව, පෘතුගාලය මෙක්සිකෝව, ප්‍රංශය සහ රෝමයේ ඓතිහාසික සිද්ධස්ථාන රාශියකි. අගනා ගෘහ නිර්මාණ ශිල්පයකින් යුතු දේවස්ථාන නැරඹීම සඳහා උනන්දුවන පිරිස් ද ඒ අතර වේ.

‍ලොව පුරා කිතු දහමට අයත් දේවස්ථාන 1,20,000 ක් පමණ ඇත. ඇමෙරිකාවේ 50,000 ක් පමණ වූ දේවස්ථාන වාර්ෂිකව ආගමික සංචාර සූදානම් කරයි.

ලොව පුරා වෙසෙන මුස්ලිම් බැතිමත්හු හජ් වන්දනාවේ යෙදීමට පෙරුම් පුරති. මුස්ලිම් ආගමික සංචාරයන් හි මුල්තැන ගන්නේ මක්කා සහ මැඩිනා යන ශුද්ධ ස්ථානයෝය. හජ්ජි වන්දනාව වසරකට වරක් පැවැත්වෙන දැවැන්ත ම ආගමික එකමුතුවයි.

සංගීත සම්ප්‍රදාය

නැගෙනහිර යුරෝපය, අප්‍රිකාව, ආසියාව වැනි දුර බැහැර ප්‍රදේශවලින් පවා හජ්ජි වන්දනාවේ එති. මේ උත්සවය ලෝක මුස්ලිම් ජනයා එකට එකමුතු කරන මා හැඟි ආගමික අවස්ථාවකි. ලොව පුරා බිලියන 1.5 ක මුස්ලිම් බැතිමත් පිරිසක් සිටිති.

විදේශීය බැතිමතුන් සඳහා සවුදි අරාබිය 2013 වීසා නීති ලිහිල් කිරීම නිසා වාර්ෂිකව ලක්ෂ 15කට අධික පිරිසක් මක්කම වන්දනාවේ පැමිණෙති.

බංගලිදේශ්, පකිස්ථාන්, ඉන්දුනීසියා, යේමන්, ඉන්දියා, ඊජිප්තුව, ඉරාකය, ජෝර්දානය, සිරියාව සහ සූඩානය යන රටවලින් අවම වශයෙන් ලක්ෂ පහකට අධික පිරිසක් මක්කමට එක්වෙති. මක්කම යනු මහම්මත් තුමාගේ උපන් ස්ථානයයි. මඩිනාව උන්වහන්සේ පාද ස්පර්ශයෙන් ශුද්ධත්වයට පත් ස්ථානයකි.

කරුණාරත්න අමරතුංග

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.