කැලණි නදියද නමස්කාර කළාය

 ‍ඔවුන් දුටුවේ ඈත වතුරින් යටව අසරණ වූ බිමේ හුදෙකලා වූ පැල්පත් වහලක් මතට නැඟුණු පිරිසකි. හරියටම කියන්නේ නම් ඒ මවක් පියෙක් හා දරු තිදෙනෙකි. අඩියෙන් අඩිය වැඩි වන ජල රකුසා තව ටිකකින් ඔවුන් බිලි ගන්නට මුව අයාගෙනය. එගොඩ ගොඩේ තවත් කිසිවකුත් ඉතිරි වී නැත. උදවු ඉල්ලීමට හෝ සිටින්නේ පෙනෙන නොපෙනෙනා මානයේ මෙගොඩගොඩේ සිටින්නන්ය.

තවත් වෙසක් සඳක් කැලණි වෙහෙරට ඉහළින් පායා ආවේය. වෙසක් දින කිහිපයේ ජනීජනයාගෙන් පිරී යන කොළඹ නගරය ආසන්නයේම ඇති බැවින් කැලණිය වෙසක් සඳ බහින තුරු හුදෙකලා වන්නේ නැත. එහෙත් පසුගිය වසරේ නම් එසේ වූයේ නැත. එවර වෙසක් සඳ අහස් කුස සිපගන්නා විට කැලණි වෙහෙර කවදාවත් නොවූ තරම් හුදෙකලාව තිබිණ. පින් බිමට එක් දිය පොදක් හෝ මුහු නුවූවද එයින් අඩි ගානක් මෑතින් වියරු වැටුණු කල්‍යාණි ගංගාතොමෝ ගම් බිම් වනසමින් ගලා යමින් සිටියාය.

ගලින් ගලට පනිමින් මහා කලබගෑනියක් කරමින් ගලා ආවද කැලණි ගංගාතමෝ පින් බිම ආසන්නයේදී උවැසියකගේ වෙස් ගන්නීය. එතැන් සිට වැඩි කලබලයක් නොකරන ඇය පින් බිම පසු කර මුහුදට වැටෙන තුරුම ඒ ශාන්ත ගමනට සමු දෙන්නේ නැත. බියගම දෙසට වන්නට පිහිටා ඇති නාගහමුල මංසන්ධියේ සිට පෑලියගොඩ දක්වා ඉදි කර ඇති ආරක්ෂිත වේල්ල හේතුවෙන් කොතරම් ප්‍රබල ගං වතුරකට වුව මේ මහා පින් බිම තෙමා දමන්නට අවසර ලැබෙන්නේ නැත. ඒ වෙනුවට ජල කඳට සිදු වන්නේ කොතෙක් වියරු වැටුණද පින් බිම දෙස බලමින්ම මුහුදට ඇදී යන්නටය.

පසුගිය වෙසක් සඳ උදා වූයේද එවැනි වියරුවකින් කල්‍යාණි ගංගාතොමෝ පීඩිතව සිටියදීය. ඉවුරුවලට දරාගත නොහැකි තරම් මහා ජල කන්දරාව ගම්බිම් වනසමින් දෙගොඩ තළා යමින් තිබිණ. අල්ලාගත් අත්වාරුව ශක්තිමන් නොවූ බොහෝ ජීවිත ගංවතුරේ සැඟව යන්නට විය. කර්මය වැළකිය හැකි නොවන්නේය යන දහම මැනවින්ම අවබෝධ කරගෙන සිටින නිසා පින් බිම නොසැලී සිටියද අවසන සියදහස් ගණන් ජනතාව ජීවිතය ඉල්ලා ආරක්ෂිත තැන් කරා යමින් සිටියහ.

දින කිහිපයකින් මේ වියරුව පැරද පලා යන බව දන්නා වුවද එතෙක් ජීවිතය රැකගැනීම තමතමන් අත පවතින්නේය. ජීවිතය එවැනිය.

ඒ වන විටත් වෙසක් සඳ අහස‍ේය. සැන්දෑ කළුවර ගලා එමින් තිබිණ. පින් බිම අසල වේල්ල මතින් වන්දනාකරුවෝ එකා දෙන්නා නිවෙස් කරා යමින් සිටියහ. පින් බිමේ නායක ස්වාමීන් වහන්සේ වේල්ල මතින් වඩිමින් සිටියහ. උන් වහන්සේගේ අරමුණ වූයේ අසල ඉවුරේ පදිංචිව සිට ගංවතුර හේතුවෙන් අවතැන් වූවන්ගේ පහසුකම් සොයා බැලීම වූවාට සැක නැත. එක්වරම කිසියම් පිරිසක් උදවු ඉල්ලා නඟන මරළතෝනියක් ඇසෙන්නට විය. වේල්ල හේතුවෙන් පින් බිම අසලදී ගඟ ඉවුරේ ඉවසා සිටියද එගොඩ එසේ නොවීය. ගලා ගංවතුර කන්දරාව ඉවුරක මායිමක් ‍හෝ මායිමක හැඟීමක් හෝ ඉතිරි කර තිබුණේ නැත. එබැවින් මරළතෝනිය එන්නේ කොහෙන්දැයි එක්වරම හඳුනාගැනීම අපහසු විය. වේල්ල මතින් ගමන් කරමින් සිටි ගම්වැසියෝ ශබ්දය එන්නේ කොහෙන්දැයි බැලූහ.

‍ඔවුන් දුටුවේ ඈත වතුරින් යටව අසරණ වූ බිමේ හුදෙකලා වූ පැල්පත් වහලක් මතට නැඟුණු පිරිසකි. හරියටම කියන්නේ නම් ඒ මවක් පියෙක් හා දරු තිදෙනෙකි. අඩියෙන් අඩිය වැඩි වන ජල රකුසා තව ටිකකින් ඔවුන් බිලි ගන්නට මුව අයාගෙනය. එගොඩ ගොඩේ තවත් කිසිවකුත් ඉතිරි වී නැත. උදවු ඉල්ලීමට හෝ සිටින්නේ පෙනෙන නොපෙනෙනා මානයේ මෙගොඩගොඩේ සිටින්නන්ය.

කුමක් හෝ කළ යුතුමය. වැඩි වේලාවක් ඉතිරිව නැත. කිසිවක් සිතාගත නොහැකි වූ වේල්ල මත සිටි පිරිස එක්වරම වේල්ල මතින් වඩින පින් බිමේ නායක හිමියෝ දුටුවෝය.

"අනේ නායක හාමුදුරුවනේ... අර එගොඩගොඩේ දරු පවුලක් වහලයක් උඩට වෙලා බේරගන්න කියනවා. වැඩි වෙලා ඔතන ඉන්න වෙන එකක් නෑ. අනේ දැන් මොකද කරන්නේ..?"

සිය සන්සුන් ගමන මඳකට වෙනස් කළ නාහිමියෝ පිරිස ‍දැක්වූ ඉසව්වට නෙත් හෙළුවෝය. සැබෑවකි. ජීවිත පොකුරක් සියුම් හුයකින් එල්ලෙන්නේය. ඒ අතර පැටවුද තිදෙනෙකි. කිසිවක් කළ යුතුමය. එහෙත් ඒ කුමක්ද?

උන් වහන්සේ දෙගොඩ තළා යන ජල ධාරාව දෙසට නෙත් හෙළුෑහ. එහි කිසිදු අනුකම්පාවක් නැත. යළිත් දරු පැටවු දෙස බැලූහ. පින් බිම පෙනි පෙනී ඛේදවාචයක් සිදු විය නොහැකිය. දෙවියන් හෝ පිහිටට සිටිය යුතුමය.

තත්පර කිහිපයක් ගතව යන්නට ඇත. ගඟ දෙසින් මෝටර් බෝට්ටුවක හඬ ඇසෙන්න විය. අරුමයකි! වියරුව පහළට ඇදෙන ජල දහර කපාගෙන උඩු ගං බලා ඇදෙන මෝටර් බෝට්ටුවක් එවිටම ඔවුන් පසු කර යන්නට විය. පිරිස කෑගැසූයෙන් බෝට්ටුව පන්සල් තොටුපොළට සේන්දු විය.

"අර එගොඩගොඩේ වහලයක් උඩ දරු පවුලක් ඉන්නවා පේනවද? දැන් ටික වෙලාවක ඉඳන් ඔතන. තව වැඩි වෙලා ඉන්න බැරි වෙයි. පුළුවන්ද ගිහිල්ලා බේරගෙන එන්න"

නාහිමියෝ බෝට්ටුවේ සිටි පුද්ගලයන්ගෙන් ඇසූහ. බෝට්ටුකරුවෝ වටපිට බැලූහ. පැකිළීම මැදින් ඔවුහු යමක් කියන්ට වෙර දැරූහ.

“හාමුදුරුවනේ, බේරගෙන එන්න පුළුවන්. ඒත් ඩීසල් ටිකක් මදි වගේ..."

අවසානයේ අවශ්‍යතාව එළියට ආවේය.

"හරි. ඔහොම ඉන්න මම සල්ලි අරගෙන එන්නම්" හිමියෝ වියරු ජල කඳට ඉඩ නොදී පන්සල දෙසට පා ඉක්මන් කළහ.

මුදල් මිට මෙළවුණු පසු බෝට්ටුවට පණ ආවේය. කුපිතව ගලා යන ජල කඳ හරහා එගොඩට ගිය බෝට්ටුව කිරි පැටවුන් සමඟ මවත් පියාත් සුරැකිව මෙගොඩට ගෙන ආවේය.

පැය ගණනක් ජලයේ පෙඟී ගිය සිරුරු ඒ වන විටත් වෙවුලමින් තිබිණ. කිටිකිටියේ තද පපුවට තද කරගත් දෑත් අතර වූ පාසල් බෑගයේ සියලු සේසත වූ පොත් කිහිපය විය. සිඟිත්තන් එකින් එකා බෝට්ටුවෙන් බැස්සේ ළය සැහැල්ලු කරමින් නික්මුණ සැනසුම් සුසුම්ද සමඟිනි.

පැය කිහිපයක් ජල රකුසා සමඟ පොරබදමින් සිටි මේ දරු පවුල යළි ආරක්ෂිතව පොළොවට පය තැබූ සැණින් ඒ අසල වැඩ සිටි පින් බිමේ නායක කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ දෙපා අබිමුව වැඳවැටුණහ. අවට සිටි බොහෝ දෙනාගේ දෙනෙත් කඳුළින් තෙමී ගියේය. මුදල් හමුවේ මනුස්සකම අමතකව ගිය වකවානුවක තමා ගලා යා යුත්තේ උඩුගං බලා නොවේදැයි කැලණි නදියද සිතුවා විය හැකිය.

හිමියන්ගේ වෑයමෙන් ජීවිතය ලත් දරු පවුල යළිත් දෙපා මත නැඟී සිටියහ. නාහිමියෝ කරුණාභරිත ඇසින් ඔවුන් දෙස බැලූහ.

"වතුර බැහැල යන කල් දාන සාලාවේ ඉන්න. අඩුපාඩු මොකුත් තියනවා නම් කියන්න."

යළිත් හුරුපුරුදු සන්සුන් ගමනට ප්‍රවිෂ්ට වූ එතුමෝ පන්සල දෙසට වැඩම කළහ.

(පසුගිය වසරේ ගංවතුර සමයේ සිදු වූ සත්‍ය සිදුවීමකි.)

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.