සිනා කතා | සිළුමිණ

සිනා කතා

එතකොට මටත් පුළුවන්

“ලංකාවේ ඉන්නෙ සිංහල, දෙමළ, යෝනක, මැලේ, බර්ගර් කියන ප්‍රධාන ජාතින් පහක් විතරයි කියලා මිස්ටර් විජේසිරිට හොඳටම ෂුවර් ද? දයාපාල, විජේසිරිගෙන් විමසුවේ අලුත් නාට්‍යයක මංගල දර්ශනයේදී හමු වූ තම හිතවතෙකුගේ සුරතින් අල්ලා ගනිමිනි.

“ඇයි දයාපාල, ඔයා ඒ වගෙ ප්‍රශ්නයක් මගෙන් ඇහැව්වේ?” විජේසිරි දයාපාලගෙන් ඇසුවේ ප්‍රශ්නාර්ථයක් දෙනෙතට නංවා ගනිමිනි.

“නෑ විජේසිරි, ඔය චන්ද්‍රසිරි මේ ළඟකදී ඔය එක ප්‍රධාන ජාතියක ඉතිහාසය ගැන පොතක් ලිව්වනෙ, මිනිහට ඒකට මේ ළඟදි සම්මානෙකුත් ලැබිලා. ඔය අනික් ජාති හතර ගැනත් නොයෙක් පොතපත ලියැවිලා තියෙනවයි කියලා ඒ ගැන හොයලා බලද්දි මට දැනගන්ඩ ලැබුණා. මට ඕනෑ වුණේ ඒ විදියට ඉතිහාසය ගැන ලියැවුණේ නැති ජාතියක් ලංකාවේ තව නැද්ද කියල දැනගන්ඩ. එතකොට මටත් පුළුවන්නේ ඒ ගොල්ලන්ගෙ ඉතිහාසය ගැන පොතක් ලියන්ඩ.” දයාපාල කීවේ අපේක්ෂා දල්වාලමිනි.

ගැළපෙන චරිතයක් නැහැල්ලු

“මොකද මේ සැරේ කපිල වේදිකාවට ගෙනා නාට්‍යයේ උඹ නැත්තෙ? මීට කලින් එයා හදපු නාට්‍යයේ රිහසල්වලින් පස්සෙ හැමදාම බොන්ඩ උඹලෑ ගෙදර ඉඩකඩ හදලා දීලා, බයිට් එහෙමත් සප්ලයි කළේ උඹනෙ. අනික ඒ නාට්‍යයෙන් පස්සෙ හුඟක් වෙලාවට බාර්වල කපිල උඹත් එක්ක බොනවත් මම දැකලා තිබුණා.” නාට්‍යයක් අතරමැද විරාමයකදී හමුවූ දයාගෙන් ප්‍රසාද් විමසුවේ තරමක කුහුලකිනි.

“අලුත් නාට්‍යයේ තියෙන පිරිමි චරිත ඔක්කොම බෝධිසත්ත්ව චරිත කියලා කපිල කියන්නෙ. මට ගැළපෙන දේවදත්ත චරිතයක් ඒකෙ නැහැල්ලු.” දයා කීවේ තම කෝපය සඟවා ගනිමිනි.

කැපවුණේ එහෙමයි

“නාට්‍ය කලාව හින්දා පෞද්ගලික ජීවිතයේදී පවා ලොකු අවදානම්වලට මුහුණ දුන්න මිනිහෙක් මම. මගෙ විවාහ ජීවිතේ වුණත් ලොකු අවදානමක තියෙන්නෙ, මේ නාට්‍ය කලාව හින්දා.” මිත්‍රපාල හෙක්ටර් සමඟ කීවේ නාට්‍යබල මණ්ඩලයේ රැස්වීමෙන් අනතුරුව තේ කෝප්පයක් තොල ගාමින් සිටියදීය.

“මොකද ඇත්තටම මිත්‍ර එහෙම කිව්වෙ?” හෙක්ටර් වහා ඇසුවේ දැඩි කුතුහලයකිනි.

“මේ ළඟකදී මම නාට්‍ය පිටපතක් ලියන්ඩ පටන්ගත්තා. බොහොම මහන්සි වෙලා ඒ පිටපත ඉවර කර ගත්තෙ ගිය සුමානෙ. ඉතින් ඒ පිටපත මම වයිෆ් ඉස්සරහ කියවාගෙන යද්දි මේ ගෑනි හිටපු ගමන් පරල වුණා. ඊළඟට එයා කෑගහලා කිව්වනේ, ‘මීට පස්සෙ එහෙම තමුසෙ මේ වගෙ පල්හෑලි ලියලා මං ඉස්සරහ කියවන්ඩ ගත්තොත් එහෙම මම තමුසෙට විරුද්ධව දික්කසාද නඩුවක් දානවා” කියලා” මිත්‍රපාල කීවේය.

 

එයාව තමයි බැන්දෙ

“මට මතකයි උඹ ඒ දවස්වල හැම නාට්‍යයක්ම පාහේ බලන්ඩ ගෑනු ළමයකුත් එක්ක ආවා. මොකද දැන් ඒ ගෑනු ළමයා නැතුව උඹ තනියම නාට්‍ය බලන්ඩ එන්නෙ? ඇත්තට දැන් කෝ ඒ ගෑනු ළමයා?” අලුත් නාට්‍යයක මංගල දර්ශනය සඳහා ප්‍රේක්ෂකයන් ශාලාවට ඇතුළු කර ගැනීම අරඹන තෙක් ලුම්බිණියේ ඉදිරිපස රැඳී සිටියදී ජිනදාස ඇසුවේ තම මිතුරු ඒකනායකගෙනි.

“ඇයි බං මං එයාවනෙ කසාද බැන්දෙ.” ඒකනායක පිළිතුරු දුන්නේ සෝපහාසි සිනාවක් පාමිනි. 

 

අදහස්