මෙරට ප්‍රථම කොම්පෝස්ට් බැරලය හා පැය හතරෙන් කොම්පෝස්ට් හැදීම

 කුණු කසළ ගැටලුවක් ගැන වැඩිපුර කතාවෙන මේ කාලයේ මා කියවන ලද සුනිල් සරත් පෙරේරා සූරීන් ලියූ ‘හුදෙකලා මතකය’ ග්‍රන්ථයේ අපේ ගෙවල්වල කසළ වැඩිපුර එකතුවීම අවම කිරීමට කදිම විසඳුමක් තිබිණි. එම සිත නිවන නිර්මාණාත්මක කෘතියේ 146 වැනි පිටුවේ ඒ පිළිබඳ කදිම සටහනක් විය. රටේ කුණු කසළ ගැටලුවට තිරසර විසඳුමක් දෙන ඒ ලිපිය මඟින් මෙරට ප්‍රථම වරට කොම්පෝස්ට් බැරලයක් නිපදවීම පිළිබඳව සමාරම්භක ක්‍රමවේදයක් පෙන්වා දී ඇත.

(ඒ පිටුවේ තැනක මෙසේ සඳහන් වෙයි.)

“එක් සැදෑ සමයක භාෂා විශාරදයකු ව‍ූ හා ඉංජිනේරුවකු වූ ඊලියන් ද සිල්වා සූරීන්ගේ කිරිල්ලපොන හතේ කනුව අසල නි‍ෙවසට මම ගොඩ වුණෙමි. ආ ගිය තොරතුරු විමසීමෙන් පසු අප කතා බහට වැඩිපුර ලක්වූයේ ඒ මහතාගේ මුළුතැන්ගෙට යාබදව දක්නට ලැබුණු සිදුරු සහිත පරණ හිස් තාර බැරලයක් පිළිබඳවයි. එය වනාහි ඊලියන් ද සිල්වා සූරීන් සිය ඉංජිනේරු ශිල්පය අනුව නිපදවූ කාබනික අපද්‍රව්‍ය ජීරකයකි.”

සුනිල් සරත් පෙරේරා මේ බැරලය හඳුන්වන්නේ මෙරට දැනට පවතින ප්ලාස්ටික් ගෘහස්ථ කොම්පෝස්ට් බැරලයේ මුල් ම පෙරටුගාමී සමාරම්භක නිපැයුම ලෙස ය. 1992 පමණ වූ එම වකවානුවේ කුණු කසළ ගැටලුව මෙතරම් දරුණු ලෙස පැවතියේ නැති නමුත් ඊලියන් ද සිල්වා මහතා තම නිවසේ දිරන අපද්‍රව්‍ය ජීර්ණයට මෙවැන්නක් සාදා තිබීම අප හැමට ආදර්ශයකි.

සුනිල් සරත් පෙරේරා මහතා මේ අත්දැකීම ලබන විට පාරිසරික හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විය. ඒ 1992 වසරයි. ඒ අනුව ඔහු මේ පරිසර හිතකාමී නිපැයුම් පිළිබඳව බලවත් උනන්දුවක් දක්වා ඒ පිළිබඳ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා පවා දැනුම්වත් කිරීමට පියවර ගත්තේ ය.

තාර ලබාගෙන ඉවත දමන තාර පීප්පයක පහළ සිදුරු විද මෙය සකස් කර තිබිණි. මේ බැරලයට ඉතිරි වන ආහාර වැනි නි‍ෙවසේ දිරන කසළ දමා සති 4 ක් පමණ ගතවූ පසු ආහාර දිරවන බැක්ටීරියා එහි ඉබේම ඇති වී ඒවා ජීර්ණය කරන බව ඊලියන් ද සිල්වා මහතා තමාට පැවසූ බව සුනිල් සරත් පෙරේරා මහතා අප සමඟ කීය. පසුව මේ බැක්ටීරියා මඟින් කසළ දිරා යෑම නිසා කසළ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී පොහොර බවට පත්වෙන බව ඊලියන් ද සිල්වා මහතා පවසා තිබේ.

එකල පරිසර අමාත්‍යාංශයේ ලේකම් සිටි දේවනේසන් නේසයියා මහතා පසුදාම සුනිල් සරත් පෙරේරා මහතා සමඟ මෙම කොම්පෝස්ට් බැරලය බලන්නට ගොස් ඇත. පසුව ඒ ඒ නිපැයුමේ පාරිසරික වැදගත්කම අනුව එය ජනප්‍රිය කරවීම සඳහා එය පිළිබඳව ‘සොබා’ සඟරාව මඟින් විස්තර ඉදිරිපත් කරන ලෙස ලේකම්වරයා උපදෙස් දී ඇත. සුනිල් සරත් පෙරේරා මහතා තවදුරටත් පවසන්නේ අද ප්ලාස්ටික් කොම්පෝස්ට් බැරලය ලෙස වෙළෙඳ පොළේ පවතින්නේ එදා ඊලියන් ද සිල්වා මහතාගේ මූලික ප‍ු‍රෝගාමී සංකල්පයක් අනුව දියුණු කර නිපදවන ලද සිලින්ඩරාකාර කොම්පෝස්ට් බදුනේ දියුණු මට්ටමක් බවයි.

පසුව මේ නිර්මාණය වෙනුවෙන් ඊලියන් ද සිල්වා මහතා 2004 දී ජනාධිපති පාරිසරික සම්මානයෙන් ද පිදුම් ලැබී ඇත. මේ වැඩ පිළිවෙළ අනුව මේ බැරලය මඟින් ගෙදරින් ම දිරන හා නොදිරන ලෙස වෙන් කරනු ලැබීම ඉතා වැදගත් ය. පසුව මේ බැරලය පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය මඟින් බස්නාහිර පළාතේ ප්‍රාදේශීය සභා වෙනුවෙන් ජනතාව වෙත ලබාදී එය ජනප්‍රිය කරවීම සඳහා කටයුතු යොදනු ලැබී ය. ඊට පසුකාලීනව එය ප්ලාස්ටික් බැරලයක් ලෙස ජනප්‍රිය වූ නමුත් දීප ව්‍යාප්තව එම බැරලය ජනප්‍රිය කරවීමට ඊට පසු නිසි වැඩපිළිවෙළක් යොදනු ලැබුවේ නැත. අඩු ගණනේ කොළඹ නගර සභාව වත් මේ බැරල් කොළඹ නගරයේ ජනප්‍රිය කරවීමටවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළේ නැත.

මේ පිළිබඳව කරුණු දක්වන සුනිල් සරත් පෙරේරා මහතා තවදුරටත් පවසන්නේ මේ අනුව ඉවත දමන තාර පීප්පයක බදේ හිල් විද සකස් කර තිබුණ අඩු වියදම් කොම්පෝස්ට් බැරලය ඊට පසු වකවානුවලදී කොළඹ නගර‍යේ ඇති නිවාසවලට නගර සභාව මඟින් නොමිලේ ලබාදී දැන් නගර සභාව කරන දැනුම්වත් කරන අයුරින් දැනුම්වත් කළේ නම් මීතොටමුල්ලට මෙතරම් කණු කසළ එකතු වන්නේ නැත. එහෙත් ඒ ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්ද වන්නට බැරි ය. දැන් කළ යුත්තේ මේ ක්‍රම පිළිබඳව දැන්වත් අවධානය යොමු කිරීමයි. මේ අතර කොළඹ මහ නගර සභාව මේ දිනවල ජනතාව දැනුම්වත් කරමින් පවසා සිටින්නේ කසළ වර්ග තුනකට වෙන් කළ යුතු බව ය‍. ඒ අනුව එළවළු අපද්‍රව්‍ය කුස්සියේ අපද්‍රව්‍ය ඉඳුල් ජලය තණ කොළ කොළ වර්ග ආධාරයෙන් කොම්පෝස්ට් නිපදවීමට වෙන් කළ යුතු බවත් දන්වා තිබේ‍. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ ලෙස වීදුරු, කඩදාසි, කාඩ්බෝඩ් පිරිසිදු පොලිතින්, ප්ලාස්ටික්, ලෝහ ද්‍රව්‍ය හා පොල්කටු ලෙස මහ නගර සභාව මඟින් ජනතාවට දන්වා ඇත‍. ඊට අමතරව ප්‍රතිචක්‍රීකරණය නොකළ හැකි කසළ අපිරිසුදු පොලිතින්, කඩදාසි, සනීපාරක්ෂක පැළදුන්, යෝගට් කෝප්ප හා කිරි පැකට් හඳුන්වාදී තිබේ.

කෙසේ වුවත් කොළඹ මහ නගර සභාව දැන්වත් මේ අයුරින් පිළිවෙළකට වෙන්කර කසළ එකතු කිරීම පරිසර හිතකාමී කටයුත්තකි. කසළ අවම කිරීමට පිටුබලයකි. දැන් මීතොටමුල්ල කුණු කන්ද ජනතාවටත් මාධ්‍යවලටත් අමතකය. එහෙත් ඒ සිදුවූ විපත මහනුවර ගොනාගොඩ කුණු කන්දේ සිදුවීමට ඉඩ ඇතැයි පේරාදෙණිය සරසවියේ ආචාර්ය මහාචාර්යවරු අනතුරු අඟවා ඇත.‍ ඒ අනුව අශ්වයා ගියාට පසු ඉස්තාලය වහනවා වැනි වැඩ නොකර ඒ කුණු කඳු පිළිබඳව විද්‍යාත්මක ගවේෂණ හා අධ්‍යාපනය කර ආරක්ෂක පියවර ගත යුතුව ඇත.

මේ අතර ගෙදර නෙදිරන අපද්‍රව්‍යවලින් පැය 4 ක් ඇතුළත කොම්පෝස්ට් පොහොර යොදා ගැනීමේ ක්‍රමයක් යුද්ධ හමුදා මේජර් වරයකු වන පියුමාල් පියතිස්ස මහතා රටට හඳුන්වා දෙයි. ඒ අනුව පරණ පලතුරු, එළවළු, බත්, ඉඳුල් වතුර, කොළ අතු හා කෙසෙල් කොළ, තණකොළ, ගොම, කුකුළු පොහොර ආදිය ඝනකම් ප්ලාස්ටික් බැරලයකට දමා එයට Delta D නම් රසායනික ද්‍රව්‍ය දැමීම මුලින් ම සිදුකළ යුතු ය. එම රසායනික ද්‍රව්‍ය මොරටුව කටුබැද්ද විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනුල පෙරේරා මහතාගේ නිෂ්පාදනයකි. එම ද්‍රව්‍ය මේජර් පියුමාල් පියතිස්ස මහතා හරහා හෝ කෙළින් ම මහාචාර්ය අනුර පෙරේරා ඇමැතීමෙන් ලබාගත හැකි ය.

ඊට පසු පැයකට පමණ පසු මේ බැරලයට පොහොර කඩවල මිලදී ගැනීමට ඇති තේ වගාවට යොදන ඩොලමයිට් කැට දැමිය යුතු ය. එයට එළවළු පලතුරු හා තණකොළ වැනි දෑ ජීර්ණය වීම ඉක්මනින් සිදු වේ. ඊට පසු කළ යුත්තේ එම මිශ්‍රණයට පොස්පේට් පොහොර ස්වල්පයක් දැමිය යුතු බව මේජර් පියුමාල් පවසයි. එයට මිශ්‍රණය රත් වී සියලු අපද්‍රව්‍ය ජීර්ණය වී කොම්පෝස්ට් තත්ත්වයට පත් වෙයි. මේ අනුව අපද්‍රව්‍ය දමා පැය 4 ක් ඇතුළත කොම්පෝස්ට් පොහොර ලබාගත හැකි බව ඔහු පවසයි‍. මෙම තාක්ෂණය මඟින් මේජර් පියුමාල් සේවයේ නිරතව සිටි අනුරාධපුරයේ ‍සේනපුර යුද හමුදා කඳවුරේ කොම්පෝස්ට් නිපදවූ බවත් පසුව දඹුල්ල එළවළු අලෙවි මධ්‍යස්ථානයේ ඉවත දමන එළවළුවලින් කොම්පෝස්ට් නිපදවා සේනපුර කඳවුරේ වගාවන්ට දැමූ බවත් මේජර් පියුමාල් පවසයි. එය ඉතා ලාභදායි වැඩපිළිවෙළක් වූ බව ද ඔහු අපට පවසයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනුල පෙරේරා මහතාගේ පූර්ණ තාක්ෂණික උපදෙස් හා අනුග්‍රහය මේ වැඩපිළිවෙළට ලැබුණු බවත් මේජර් පියුමාල් කෘතවේදීව සඳහන් කරයි. මේ පිළිබඳව වැඩි තාක්ෂණික තොරතුරු අවශ්‍ය අයට ලබාදීමට ද මේජර් පියුමාල් සූදානමින් සිටී. ඇත්තවශයෙන් ම කුණු කසළ එකතුවීම හා ඒවා ගබඩා කිරීම පිළිබඳව ගැටලුවක් පවතින මේ වකවානුවේ මෙලෙස රටේ එකතුවේ. කුණු කසළින් පැය හතරෙන් කොම්පෝස්ට් නිපදවීමට ලැබීම රටට ආදරේ කරන සැමට සතුටට කරුණකි‍. මේ තාක්ෂණය නගර සභාවලට ප්‍රාදේශීය සභාවලට හඳුන්වා දුන්නොත් ඒ ආයතනවලට ඇති විශාලම ගැටලුව වන කුණු කසළ ගැටලුවට තිරසර විසඳුමක් වනු ඇත.

එමෙන් ම එදා 1992 දී පමණ ඊලියන් ද සිල්වා සූරීන් මෙම හඳුන්වාදීමට උත්සාහ ගත් අඩු වියදම් තාර බැරල් කොම්පෝස්ට් රඳවනය වැනි උපකරණ ජනප්‍රිය කරවීමට ද අද කාලය යළි පැමිණ ඇතැයි අපි සිතමු. මේ සියල්ල මගින් අපේ රට‍ නිකසළ රටක් බවට පත්කිරීම සැමගේ අපේක්ෂාව විය යුතුය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.