ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කෙසේ ද? | Page 2 | සිළුමිණ

ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කෙසේ ද?

Oxford college of business school හි ව්‍යාපාර හා ගිණුම්කරණය පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රවීන දේශක සුගත් ලියනගේ

පසුගිය සතියේ ලිපියෙන් අවධානය යොමු කළේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සම්බන්ධ බොහෝ අය දරන විවිධ සාම්ප්‍රදායික මත පිළිබඳව සහ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් අත්වන වාසි පිළිබඳවයි. මෙවර ලිපියෙන් අවධානය යොමු කරන්නේ ව්‍යාපාරයක් ලියාපදිංචි කටයුතු සිදුකරන ආකාරයත් එහිදී භාරදිය යුතු ආකෘති පත්‍ර සහ ලිපිලේඛන පිළිබඳවත්ය.

තනි පුද්ගල අයිතියක් යටතේ හෝ හවුල්කරුවන් යටතේ පවත්වාගෙන යනු ලබන හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සඳහා බලපාන නීතිමය මූලාශ්‍රය සපයනු ලබන්නේ 1918 ව්‍යාපාර නාම ආඥා පනත මඟිනි. එහි විස්තර කෙරෙන ආකාරයට තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම ව්‍යාපාර පිහිටුවා ඇති ග්‍රාම නිලධාරී වසමට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදුකර ගත හැකිය. එය සිදු කරනු ලබන ක්‍රියා පටිපාටිය මෙසේය. ව්‍යාපාරය ආරම්භ කළ දින සිට දින 14ක් ඇතුළත ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ අංශය මඟින් ව්‍යාපාර ලියාපදිංචියට අදාළ ඉල්ලුම් පත්‍රයක් ලබාගත යුතුය. මෙම ඉල්ලුම් පත්‍රය ලබා ගැනීමට නම් ඔබ විසින් ලිඛිත ඉල්ලීමක් ලිපියක් මඟින් සිදුකළ යුතු අතර ග්‍රාම නිලධාරී වසමට අදාළ ග්‍රාම නිලධාරින්ගෙන් ව්‍යාපාරයක් කරගෙන යනු ලබන බවට සහතිකයක් ද සමඟ එම ඉල්ලීමේ ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතුය. එසේ ග්‍රාම නිලධාරීන්ගෙන් සහතිකයක් ලබා ගැනීමට ප්‍රධානතම හේතුව වන්නේ කෙනෙකුට වංචනික ලෙස ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නොමැතිව වුවද තමන්ගේ නමින් ව්‍යාපාරයක් පවතින බව පවසා ව්‍යාජ ලියාපදිංචියක් සිදු කිරීම වළක්වා ගැනීමටය. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ ඍජුවම වැඩ කරන රජයේ නිලධාරියා වන්නේ ග්‍රාම නිලධාරිතුමාය. ඔහු විසින් සනාථ කර සපයනු ලබන ලියවිල්ලට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ලියාපදිංචි කිරීමට අදාළ අයදුම් පත්‍රය ලබා දේ. ඉන්පසු එම අයදුම් පත්‍රය නිසි පරිදි පුරවා ග්‍රාම නිලධාරි මඟින් සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ අංශයට භාරදිය යුතුය. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් වන්නේ පෙර කිසිවකු ලියාපදිංචි කර ඇති ව්‍යාපාර නාමයක් ඔබ නමින් නැවත ලියාපදිංචිය සඳහා භාර නොගැනීමයි. එනම් “සියදිසි ප්‍රින්ට් හවුස්” යන නම භාවිත කර කිසියම් අයකු ව්‍යාපාරයක් ලියාපදිංචි කර පවත්වාගෙන යන්නේ නම් එම ව්‍යාපාර නාමයට භාවිත කර තවත් අයකුට ව්‍යාපාරයක් ලියාපදිංචි කර පවත්වාගෙන යාමට නොහැකිය. නීතිය මඟින් එවැනි අවසරයක් ලබා නොදෙන අතර පෙර ලියාපදිංචි කර ඇති නාමයක් ඔබගේ ව්‍යාපාරයට ද යොදා ඇත්නම් එය ලියාපදිංචිය සඳහා භාර නොගැනේ. එහෙයින් ව්‍යාපාර නාමය තීරණය කිරීමේදී එය මේ වන විට භාවිත නොකරන ලද ව්‍යාපාර නාමයක් විය යුතුය.

කිසියම් අයකු ව්‍යාපාර නාමයක් සහිතව ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ද එය ලියාපදිංචි කර නොමැති නම් සහ එම ව්‍යාපාරයේ නාමය එම ව්‍යාපාරය පවත්වාගෙන යන අයගේ සම්පූර්ණ නම ද නොවන්නේ නම් එම නම තවත් අයකුට තමාගේ ව්‍යාපාර නාමය ලෙස භාවිත කළ හැකිය. එහිදී එම ව්‍යාපාරය ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ලැයිස්තුවේ ඇතැමෙක් නොවන නිසා එම ව්‍යාපාරිකයින් දෙදෙනාගෙන් ලියාපදිංචිය සඳහා ලිපිලේඛන පළමුව ඉදිරිපත් කරනු ලබන තැනැත්තාට එය තමන්ගේ ව්‍යාපාරය බවට සනාථ කර ලියාපදිංචිය සිදුකර ගත හැකිය. එවිට එම නාමයම භාවිත කරමින් කලින් ව්‍යාපාරය පවත්වාගෙන ගිය තැනැත්තා ඔහු එය ලියාපදිංචි කර නොමැති නිසා එම ව්‍යාපාරය නීතියට පටහැනිව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන අයකු බවට පත්වේ. එම නිසා යම් අයකු ව්‍යාපාරයක් ආරම්භ කර දින 14ක් ඇතුළත සිය ව්‍යාපාර නාමය ලියාපදිංචි කරගැනීමෙන් මෙම අසීරුතාවය මඟහරවා ගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස “සංජීව නමැති පුද්ගලයා කලින් මා සඳහන් කළ ව්‍යාපාර නාමය භාවිත කර නුගේගොඩ, විජේරාම ප්‍රදේශයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. එම ව්‍යාපාර නාමය වන ‘සියදිසි ප්‍රිනට් හවුස්’ යන ව්‍යාපාර නාමය නීතියට අනුව (1918 ව්‍යාපාර නාම ආඥා පනතට අනුව) ආරම්භ කර දින 14ක් ඇතුළත ලියාපදිංචි කර නොමැත. එය නීති විරෝධි වේ.

කනිෂ්ක නමැත්තා ද නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ එම ව්‍යාපාර නාමයම භාවිත කර ඉතාමත් මෑතකදී ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යන්නේ නම් ඔහු එය 1918 ව්‍යාපාර නාම ආඥා පනතේ සඳහන් ආකාරයටම ආරම්භ කර දින 14ක් ඇතුළත එම ව්‍යාපාරය ලියාපදිංචිය සඳහා ලියවිලි ඉදිරිපත් කර ලියාපදිංචි කළහොත් සංජීව නමැත්තාට ‘සියදිසි ප්‍රින්ට් හවුස්’ යන ව්‍යාපාර නාමය තවදුරටත් භාවිත කළ නොහැකිය.

එම නිසා වඩාත් සුරක්ෂිත ක්‍රමය වන්නේ ව්‍යාපාරයක් ආරම්භ කළ සැණින්ම එහි අනන්‍යතාවය ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීමයි.

ඉහත සඳහන් කළ ආකාරයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නියමිත ලිපි ලේඛන භාර දීමෙන් අනතුරුව “ලියාපදිංචි ගාස්තු ලෙස කිසියම් මුදලක් ගෙවීමට සිදුවේ. එම මුදල ගෙවීමෙන් පසුව ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය ලබාගත හැකිය. ඉන්පසු එම සහතිකය ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයේ ප්‍රදර්ශනය වන පරිදි එල්ලා තැබිය යුතුය.

බොහෝ ව්‍යාපාරිකයින් මේ ලියාපදිංචි කිරීමේ වැදගත්කම නොදන්නා නිසා තම ව්‍යාපාර ලියාපදිංචි කිරීම ගැන සැලකිල්ලක් නොදක්වයි. එය ඔවුන් විසින්ම තම ව්‍යාපාරය පුළුල් කිරීමට තිබෙන මාර්ගය අවහිර කරගැනීමකි. ව්‍යාපාරය සංවර්ධනය කිරීම සඳහා බැංකු ණය ලබා ගැනීමේදී ද ඔවුන් අවධානය කරනු ලබන ප්‍රධානතම සාධකය වන්නේ ව්‍යාපාරය ලියාපදිංචිද නැද්ද යන්න පිළිබඳවයි. රජය මඟින් සුළු පරිමාණ ව්‍යාපාරිකයින් නඟා සිටුවීමේ ව්‍යාපෘතින්වලදී ඔවුන්ට මූල්‍යාධාර හෝ ද්‍රව්‍යාධාර ලබාදීමේදී ද ව්‍යාපාරය ලියාපදිංචි නැද්ද යන්න සොයා බැලීම සිදු කරන්නේ අදාළ ප්‍රතිලාභය නිවැරැදිම පුද්ගලයා ලබාදීම සඳහාය. එම නිසා කුමන ආකාරයේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියත් එය ලියාපදිංචි කර විධිමත් ආකාරයකට පවත්වාගෙන යාම වඩාත් වැදගත් වේ. ඒ තුළින් විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ව්‍යාපාරිකයාට ලබාගත හැකිය.

ලියාපදිංචි කිරීමේ ආදර්ශ ආකෘති පත්‍රයක් අද ලිපියේ අප විසින් පළ කිරීමට බලාපොරොත්තු වනුයේ ඔබට එය වඩාත් සරළ කටයුත්තක් බවට ඒත්තු ගැන්වීමය. පහතින් දක්වා ඇත්තේ ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබෙන ආකෘති පත්‍රය වේ. මෙය නිසි ලෙස පුරවා භාරදීමෙන් ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කර ගැනීමට ඔබට අවස්ථාව ඇත.

Comments

බොහෝම හොඳ දෙයක් ස්තුතියි! මට දෙයක් දැන ගන්න අවශ්‍යයි.මම දැනට ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.එතන ඉන්නේ කුලී පදනමට.එතන අයිති කෙනාගෙන් ලියුමක් ගන්න බෑ ව්‍යාපාරක් එම ස්ථානයේ කරගෙන යනවා කියලා.ඒ නිසා ග්‍රාමසේවකගෙන් ලියුමක් ගන්න බෑ.ගෙදර ඉන්නෙත් කුලියට.ඒ ප්‍රශ්ණයම ගෙදරටත් තියෙනවා.මොකක්ද ගන්න පුළුවන් පියවර

මිනුවන්ගොඩ ප්‍රදේශීය කාර්යාලයට 2018/01/22සහ 23 යන දින දෙකේම ,අදාල සේවකයා නොපැමිණීම හෙතුවෙන් අාපසු පැමිණියා,,දිනෙන් දින කාර්යාල වරදෙන් දින 14 ගත වූ පසු,,දඩය ගෙවීමට සිදු වන්නේ කාටද

මිනුවන්ගොඩ ප්‍රදේශීය කාර්යාලයට 2018/01/22සහ 23 යන දින දෙකේම ,අදාල සේවකයා නොපැමිණීම හෙතුවෙන් අාපසු පැමිණියා,,දිනෙන් දින කාර්යාල වරදෙන් දින 14 ගත වූ පසු,,දඩය ගෙවීමට සිදු වන්නේ කාටද

පිටු