මගේ තේ වගාවට නම් ග්ලයිෆොසෙට් ඕනෙ නැහැ | Page 2 | සිළුමිණ

මගේ තේ වගාවට නම් ග්ලයිෆොසෙට් ඕනෙ නැහැ

අද බොහෝදෙනා කියනවා ග්ලයිෆොසෙට් නැතිව වගා කරන්න බැහැ කියලා. තේ වෙළෙඳ පොළට හානියක් සිදුවෙන්න ග්ලයිෆොසෙට් බලපැවා කියලත් වැරැදි වැටහීමක් ඇති කරගෙන තියෙනවා. අපේ තේ නිෂ්පාදනයට ප්‍රශ්න ඇති වුණේ නියඟය නිසා. මේ නිසා කුඩා තේ වතු හිමියන් මෙන්ම තේ කර්මාන්තශාලාහිමියනුත් අපහසුවට පත් වුණා.

ග්ලයිෆොසෙට් පූර්ණ වල්නාශකය ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කිරීම නිසා තේ කර්මාන්තයට අලාභයක් වන බව පැවසිණි. තේ කර්මාන්තකරුවන් ඉදිරිපත් කළ මේ චෝදනාව ගැන මහ පරිමාණ තේ කර්මාන්තකරුවෙකු වන මහාචාර්ය පියසේන අබේගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ඔබ ග්ලයිෆොසෙට් පූර්ණ වල්නාශකය භාවිතා නොකරන තේ වගා කරුවෙක්?

මගේ වගාවට නම් ග්ලයිෆොසෙට් ඕනෙ නැහැ. මම කරන්නෙ කාබනික තේ වගාව. මම 1999 දී තමයි කාබනික තේ වගාව ආරම්භ කළේ. එදා ඉඳලා අද දක්වා මම මගේ කිසිම වගාවට කිසිම විටක රසායනික පොහොර යොදලත් නැහැ.

ඔබ තේ අක්කර කීයක් වගා කරනවා ද?

මම තේ අක්කර 125ක් වගා කරනවා. ඒ වගේම අපට දලු සපයන කුඩා වතු හිමියෝ දෙසීයක් විතර ඉන්නවා. මොරවක ඉහළ මිල්ලව ගමේ තියෙන මගේ තේ වත්ත බැලුවම ඕනෙම කෙනෙකුට වෙනස තේරුම් ගන්න පුළුවන්. තේ වගාවට කාබනික පොහොර යෙදුවොත් උපරිම ප්‍රයෝජණ ගන්න පුළුවන්. මගේ තේ වගාවට කිසිම විටක රසායනික ද්‍රව්‍යයක් මුසු කරන්නේ නැහැ. සමහර අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර තේ වගාවකට කාබනික පොහොර යොදන්නේ කොහොම ද කියලා. කාබනික පොහොර කියන්නේ කොළ පොහොර, ගොම පොහොර වෙන්න පුළුවන්. මේ පොහොර අපට වරින් වර ප්‍රතිචක්‍රීකරණය මඟින් පසට එකතු වෙන පොහොර. මේ පොහොර කිසිම වගාවකට අහිතකර වෙන්නේ නැහැ. ඒ වගේම රසායනික පොහොර කියන්නේ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය වන පොහොර. මේ පොහොරවලට රසායනික ද්‍රව්‍ය එකතු වෙනවා. අපට සහතිකව කියන්න පුළුවන් අපේ තේ වගාවට කිසිම රසායනික ද්‍රව්‍යයක් මුසු කරලා නැහැ කියලා.

රසායනික පොහොර භාවිතා නොකරන බවට ඔබට සහතිකයක් ලැබිලා තියෙනවා ද?

ඔව්. ලෝකයේ තේ පරිභෝජනය කරන රටවලින් කාබනික සහතික ලැබිලා තියෙනවා. අමෙරිකාවේ යූ.එච්.ඩී.ඒ. ආයතනයේ අපේ තේ කාබනික පොහොර බවට සහතිකයක් ලැබිලා තියෙනවා. ඒ වගේම යුරෝපා පොදු වෙළෙඳ හවුලෙන් තේ දලු නෙළීම ඇසිරීම සම්බන්ධව අපට සහතියක් ලැබිලා තියෙනවා. රසායනික ද්‍රව්‍යවලින් තොර බවට ජපානයෙන් අපට සහතිකයක් ලැබිලා තියෙනවා. මේ සහතික අන්තර්ජාතික වෙළෙඳ පොළේ දී තේ අලෙවි කිරීමට අපට ඉතාමත් වැදගත් වෙනවා. අපේ කළු තේ වගේම ග්‍රීන් තේ ජපානය මිලදී ගන්නවා. අද ලෝකයේ බොහෝ මිනිස්සු කාබනික තේවල වටිනාකම හඳුනාගෙන තියෙන්නේ.

රසායනික පොහොර යෙදීමේ හානිය ගැන පැහැදිළි කළොත්?

ඔව්. රසායනික පොහොර නිසා බැර ලෝහ එකතු වෙනවා. අද බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙලා මොනවද මේ බැර ලෝහ කියන්නේ කියලා. බැර ලෝහ කියන්නේ ඩයිරෝන්, ඩී.ඩී.අයි වගේ අවශේෂ කොටස්. මේ නිසා දියුණු ලෝකය රසායනික ද්‍රව්‍යවල තියෙන භයානක බව හඳුනාගෙන තියෙන්නේ. මේ නිසා ග්ලයිෆොසෙට් නැතිව වගා කරන්න බැහැ කියලා කියන්නේ නැහැ.

ඔබේ තේ වලින් කොතරම් ප්‍රමාණයක් ලෝක වෙළෙඳපොළට යනවද?

අපේ තේවලින් සීයයට අනූනමයක්ම යන්නේ ලෝක වෙළෙඳපොළට. දේශීය වෙළෙඳ පොළ අනුමත කරලා තියෙන්නේ සීයයට තුනක් විතරයි. ඒ කියන්නේ තේ මණ්ඩලය දැනට අනුමත කරලා තියෙන්නේ එපමණක් විතරයි.

කාබනික තේවල සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ විස්තර කළොත්...?

ඇත්තටම කාබනික තේ කියන්නේ ඉතාමත් සෞඛ්‍ය සම්පන්න පානයක්. අපි වෙළෙඳ පොළට මුලින්ම සැපයිය යුත්තේ ජනතාවට හිතකර පානයක්. අද බොහෝදෙනෙකුට ලෙඩරෝග සෑදෙන්නේ කන බොන ආහාර පන නිසා. රසායනික පොහොර යොදා වගා කිරීම වගාවට තාවකාලික විසඳුමක් විතරයි.

අද ග්ලයිෆොසෙට් විශාල ප්‍රශ්නයක් කරගෙන නේද, ග්ලයිෆොසෙට් නැතිව වගා කරන්න බැරි බවත් කියැවෙනව?

ඔව්. අද බොහෝදෙනා කියනවා ග්ලයිෆොසෙට් නැතිව වගා කරන්න බැහැ කියලා. තේ වෙළෙඳ පොළට හානියක් සිදුවෙන්න ග්ලයිෆොසෙට් බලපැවා කියලත් වැරැදි වැටහීමක් ඇති කරගෙන තියෙනවා. අපේ තේ නිෂ්පාදනයට ප්‍රශ්න ඇති වුණේ නියඟය නිසා. මේ නිසා කුඩා තේ වතු හිමියන් මෙන්ම තේ කර්මාන්තශාලාහිමියනුත් අපහසුවට පත් වුණා. ඒත් දැන් අපේ තේ මිල වැඩි වෙලා තියෙනවා. එයට හේතුව තේ නිෂ්පාදනය අඩු වීම නිසා තේ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ සියල්ලම සිදු වූයේ වෙළෙඳ පොළ යන්ත්‍රණයට අනුව.

අද තේ සැපයුම අඩුවීම තේ මිලට බලපා ඇත්තේ වාසි සහගත ලෙස. මේ පිළිබඳ ඔබේ අදහස?

අද තේ සැපයුම අඩුවීම නිසා තේ මිල වැඩි වෙලා තියෙනවා. මම පෙර පැහැදිලි කළා වගේ මෙය මිල යන්ත්‍රණය නිසා සිදු වූවක්.

බොහෝදෙනාගෙන් ඇති චෝදනාව තමයි කාබනික තේ ගණන් වැඩියි කියන කාරණය. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළොත්....?

අද වෙළෙඳපොළේ කාබනික පොහොර සපයන්නේ කීපදෙනෙක් පමණයි. ඒ කියන්නේ සැපයුම අඩුයි. ඒත් ඉල්ලුම වැඩියි. මේ නිසා මිල ඉහළ යනවා. අනිත් දේ තමයි කාබනික තේ කියන්නේ සුවිශේෂී නිෂ්පාදනයක්. මේ තේ පරිහරණය කරන්නේ මේ සඳහා අවබෝධයක් වටිනාකමක් දන්න අය පමණයි.

තේ වෙළෙඳපොළේ මිල හැසිරීම පිළිබඳ පැහැදිලිවම කිව හැකි දෙයක් තිබෙනවාද?

නිෂ්පාදනය අනවශ්‍ය ආකාරයට වැඩි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. නිෂ්පාදනය වැඩිපුර කළා කියලා ලාභ ලබන්න බැහැ. ඒ වගේම අපි ගුණාත්වයෙන් ඉහළ තේ නිෂ්පාදනය කරන්න ඕනේ. නැත්නම් නම් කිසිම වැඩක් වෙන්නේ නැහැ. නිෂ්පාදකයයි පාරිභෝගිකයටයි සාධාරණයක් ලැබෙන ආකාරයට මිල තීරණය වෙනවා නම් ඒ දෙපැත්තටම වාසි සහගතයි. එහෙත් එක් පාර්ශවයකට වාසියක් සැලැසීමට යාමෙන් නිරන්තරයෙන්ම අනිත් පාර්ශවයට අවාසියක් සැලැසෙනවා. මේ නිසා අවබෝධයෙන් වෙළෙඳපොළ ගනුදෙනුවල නිරත වියයුතුයි.

Comments