බුද්ධ බෝගයට වෙච්ච දේ | Page 2 | සිළුමිණ

බුද්ධ බෝගයට වෙච්ච දේ

විශිෂ්ට ප්‍රාග් ඓතිහාසික ජනපදනමකට හා ශ්‍රේෂ්ඨ ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන මෙරට වී ගොවිතැනට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විවිධ වේෂයෙන් මෙරට වෙළාගත් ව්‍යසන හමුවේ ඒවාට සාර්ථකව මුහුණ දෙමින් කටයුතු කිරීමට අපට හැකි වූයේ, බත ලබාදී කුස පුරවා මණස පෝෂණය කළ මෙම ආහාර බෝගයේ අනුහසිනි. ශ්‍රේෂ්ඨ යථිවරයන්, බුද්ධිමතුන්, නරපතීන්, වීරවරයන් හා වීරවරියන්, සාහිත්‍යකලාවේදීන් බිහිවූයේ මේ ප්‍රධාන ආහාරයේ මහිමයෙනි. රටපුරා ව්‍යාප්ත කළ වගා සංග්‍රාමය හේතුවෙන් මෙරට ආහරින් ස්වයංපෝෂිත රටක් බවට පත්විය.

දෙස් විදෙස්හී පවා මෙරට ප්‍රධාන ආහාරයවන බුද්ධබෝගය හෙවත් සහල් ප්‍රචලිතවීම හේතුවෙන් සහල් අපනයනයට අප රට යොමුවිය. භූගෝලීය වශයෙන් ප්‍රධාන නවික ගමන් මාර්ගයක මෙරට පිහිටා තිබීම ඊට මඟ විවර කළ ප්‍රධාන හේතුව විය. මෙනිසා අන්තර්ජාතික වෙළෙඳපළ සමඟ බොහෝ කාලයකපටන් ගනුදෙනු කිරීමට අපට හැකියාව ලැබුණි. ලංකාවේ සහල් හැරුණු කල කුළු බඩු, (විශේෂයෙන් කුරුඳු) අලි ඇතුන්, ඇත් දළ කැටයම්, මුතු, මැණික්... මේ අයුරින් ලෝකය පුරා අලෙවි විය. මේ හේතුවෙන් නොයෙක් තරාතිරමේ මුහුදු කොල්ල කරුවන්ගේ හා ආක්‍රමණිකයන්ගේ බලපෑම්වලට අප රටට මුහුණදීමට සිදුවිය. එහිදී ඉතාජවසම්පන්නව සතුරා පරාජය කිරීමට හැකි වූයේ මේ ප්‍රධාන ආහාරය නිසා වර්ධනයවූ ශරීර ශක්තිය නිසාය. මේ නිසා ඔවුහූ බුද්ධබෝගය තම දිවි හිමියෙන් රක්ෂා කළහ. එමෙන්ම පැදුරේ දමා වේලන වී ඇටයකුදු අපතේ නොයන ලෙස රක්ෂා කිරීමට ගෙවිලියෝ වගබලා ගත්හ.

කුඹුරු කොටන අවස්ථාවේ සිට අස්වැන්න ගෙට ගන්නා තෙක් ඒ වෙනුවෙන් විවිධ පූජාවන් පැවැත්වීමට ඔවුන් කටයුතු කළේද අස්වැන්න සරුකර ගැනීමට මෙන්ම ආරක්ෂා කරගැනීම සඳහාය. වී ගොවිතැන සඳහා අවශ්‍ය හිරු එළිය හා වර්ෂාව නිසිපරිදි ලබාගැනීම මෙමඟින් ඔවුන් අපේක්ෂා කළේය. ගොයම් පැළ සිටුවීම මංගල්ලයක සිරිය ගත්තේය. එසේම ඒවා නෙළා මුල්ම සහලින් බුදුන් හා දෙවියන් පිදීම අලුත් සහල් මංගල්‍ය විය.

මේතරම් පුදසත්කාර හිමිවන වෙනත් වැවිලි භෝගයක් නැති තරම්ය. එමෙන් ම මේ තුළ පවතින පෝෂ්‍යදායී ගුණය නිසා ලොව විවිධ ජනසමාජවල ප්‍රධාන ආහාර බෝග අතරින් බුද්ධ බෝගයට හිමිව ඇත්තේ සුවිශේෂ ස්ථානයකි.

ගොඩ මඩ දෙකෙහිම එකලෙස වගාකළ හැකි අස්වැන්න නොඅඩුව ලබාදෙන එකම බෝගය මෙය වේ. මීට ශතවර්ෂ ගණනාවකට පෙර ජනජීවිතය හා සංස්කෘතිය සමඟ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවති මෙම කෘෂිබෝගය ක්‍රමයෙන් අපෙන් ඈත්වන්නට පටන් ගත්තේ අප රටට එල්ල වූ විදේශ ආක්‍රමණ නිසාය. ඉනුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රියාවන් ප්‍රධාන තැනක් ගත්තේය. ඔවුන්ට අවශ්‍ය වූයේ මෙරට සාරය සිය රටට ඇද ගැනීමටය. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිදහස් චින්තනයකින් හෙබි ජනතාවක් නොව වහලුන්ය. මෙරට තුළ ස්වදේශික වහලුන් තැනීම ඉතාම දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබුණි. ඔවුන්ගේ එකම හයිය බවට පත්ව සිටියේ රදල පැලැන්තියයි. නමුත් ඔවුන් අතරද තාන්න මාන්න, මිලමුදල්, මධ්‍යසාර, වතුපිටි... ආදී නොයෙකුත් දේ නිසා ඇති තන්හාව හා මාත්සර්ය නිසා මේ රට පාවා දුන්නෝද නොසිටියා නොවේ. මේ සියලු බාධක හමුවේ ඔවුන්ගේ ආක්‍රමණයන්ට සාර්ථකව මුහුණ දුන් මෙරට ජනතාව ගේ එම ශක්තියේ කෙන්ද්‍රස්ථානය ‘වී‘ ගොවිතැන බව ඔවුන්ට කල්යෑමේදී අවබෝධ විය. ලංකාව පුරා ඇවිද මේ පිළිබඳව කරුණු විපරම් කළ 'රොබට් බ්‍රවුන්රිග්' ආණ්ඩුකාරයා යටත්විජිත රාජ්‍යට දන්වා සිටියේ,

මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය සහල් බවත්, එම කෘෂිභෝගය මෙරට අස්සක් මුල්ලක් නෑර පැතිර ඇති බවත්ය. මෙය කෙතෙක් ද යත්; වෙල්ලස්ස ප්‍රදේශයේ පවතින වී අස්වැන්න මුළු රටටම ප්‍රමාණවත් වන බවත්, මුළු රටේම අස්වැන්න දකුණු ඉන්දියාව දක්වා පැතිරුණු භූගෝලීය කලාපයටම ප්‍රමාණවත් බවත්ය. මෙනිසා වහා මෙම වගාවන් විනාශ නොකළොත් තමන්ට පරාජය හිමිවීම සැකයක් නොවන බව දන්වා යැවීය. ඒ සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම සඳහා 'රොබට් බ්‍රවුන්රිග්' ආණ්ඩුකාරයාට බලය හිමි විය. රටක් යටත් කරගැනීමට නම් ඔවුන් ආහාර පාන සපයා ගන්නා මාර්ග අවහිර කළ යුතුය. එහෙත් මේතරම් ව්‍යාප්තව පවතින බෝගයක් කෙසේ විනාශ කරන්නද? ඔහු ඒ සඳහා සැළසුම් සකස් කළේය.

රසික කොටුදුරගේ

Comments