තැපෑලෙන් ආ වෙසක් මිහිර දැන් නැත්තේ ඇයි?

 කලා සොළස පුරමින් පුරහඳ ඒකාලෝක වීමට පටන්ගෙන ඇත. පැවති කර්කස ගිනියම නිමා කර මිහිලිය සනසාලමින් වැසි දිය ඇද හැලෙයි. වියළී ඉරිතැළීගිය පොලව සේ මාත්සර්යයෙන් පීඩාවට පත්ව හැල්මේ දුවමින් උකටලිව ගිලන්ව ගිය ගත සිත වෙසඟේ සිසිලසින් නහවා නිවා සැනසෙන්නට ආයාචනා කරනවා වැන්න. මා බිරිය‍ගේ සොයුරු පුත් ලෝසිත දිව එයි. ‘‘මාමේ ඔයා මට වෙසක් කාඩ් එකක් ගෙනත් දෙනවද? හා ද‘‘ ඒ වදන් සවනත වැකෙත්ම, මම මගේ අතීතකාමයන් අවදිකර එහි සැරි සරන්නට වීමි. ඒ තුළ නිමග්න ව නැගෙමින් මියැදෙන සිතිවිලි පරම්පරාව දෙස මම මොහොතකට ආරම්මණය වීමි.

ඒ 1983 වසරයි, මාත් සහෝදරයාත් හාපුරාකියා පසල් යන්නට පටන් ගත් වසරයි. පුංචි අම්මා දුමින්ද එරන්ද කලෙයිමගල් මුද්‍රණාලයේ රැකියාවට ගොස් වසර දෙකක් ගතව තිබුණේ ද මේ වසරේදීමය. ඒ මැයි 20 වැනිදාය. කෙදිනකවත් එදින මගේ මතකයෙන් ගිලිහී නොයෙයි. මන්ද යත් එදින මටත් මල්ලීටත් වෙසක් සැමරුම්පත්, බකට් හා රබර් බෑන්ඩ් මගින් කනෙහි රඳවන වෙස් මුහුණු බොහොමයක් ලැබුණු දිනයයි. ඒ වසරේ වෙසක් පොහොය යෙදී තිබු‍ණේ මැයි 27 වෙනිදාය. පාසල් මිතුරු මිතුරියන්ට වෙසක් කාඩ්, වෙස් මුහුණු පෙන්වීමට පාසල් යන්නට වෙනදා නොතිබුණු ආසාවක් උනන්දුවක් එදින ඇති වූ බව මට අද මෙන් මතකය. මුලින්ම ඊජිප්තුවේ වෙසෙන නැන්දාට වෙසක් සැමරුම්පතක් තැපැල් කළ යුතු යැයි පැවසූ අප දෙදෙන අනෙකුත් නෑයන්ටද යැවිය යුතු වෙසක් පත් තෝරා ගත්තෙමු. එහෙත් අප නැන්දාට තැපැල් කිරීමට බලා පොරොත්තු වූ වෙසක් පත නැන්දාට තැපැල් කිරීමට නොහැකි බව පියා පවසන විට සිත ශෝකයෙන් පිරී ගියේය. තාත්තා පවසන ආකාරයට නැන්දා ඊජිප්තුවේ වෙසෙන්නේ කිතුනුවකු සේය. එනිසා එහි බුදුරුව සහිත වෙසක් පත් යැවීම නොකළ යුතු විය. අවසන ධර්ම චක්‍රය දෙපස මුවන් දෙදෙනකු ඉන්නා කාඩ් පත නැන්දාට යැවීම සුදුසු යැයි තාත්තා යොජනා කළේය. අපි ඊට එකඟ වීමු. එහෙත් මගේ මතකය අනුව මා වඩාත්ම ප්‍රිය උපදවන කාරණය වන්නේ මගේ නමට පියුම් මාමා ගෙනැවිත් දෙන වෙසක් සැමරුම්පත ය. පුංචි වුන් වන අපට එන එකම තැපැල්පත වූයේ එය පමණි. ගමේ වෙසෙන පුංචි නැන්දාගෙන් ලැබෙන වෙසක් කාඩ්පත් අන් කොපමණ වෙසක් පත් ලැබුණද වඩා සුවිශේෂ වූයේ ඒ හෙයිනි.

‘‘මාමේ හාද කියන්නකෝ“ මම නැවත ප්‍රකෘතිය ලැබුවෙමි. “හා පුතේ මං ගෙනත් දෙන්නම්, ඔයා දැන් ඉස්කෝලෙ යන්නකෝ. “හා මාමා, අමතක කරන්න එපා.“ ඔහුගේ සතුටට අගුල්පත් තියන්නට මට අවැසි විය. මම වෙසක් කාඩ් පතක් මිලදී ගෙන එය ඔහුගේ නමින් තැපැල් කළෙමි. ගෙදර ආ පසු මවෙත දුව ආ ලෝසිත, ‘‘කෝ මාමා වෙසක් කාඩ් එක. ගෙනාවද‘‘. මම සත්‍ය නොපවසා ඉදිරි දිනයක ගෙනත් දෙන බව පැවසුවෙමි. ‘‘මට ඕන්නෑ. අද ගෙනත් දෙන්න බැරි නම් මට ආයි කවදාවත් ඕනෙම නෑ.“ ඔහු ගේ මෘදු මොළොක් සිත පෑරී ඇත. මම වහා කඩයට ගොස් කාඩ් පතක් ගෙනැවිත් දී ඔහු අස්වසා ලීමි. පසුදා මම නිවසට එනවිට හේ මුව සරසාගෙන මා වැලඳ ගත්තේය. “අද මටත් ලියුමක් ඇවිත් තිබුණා, මාමගෙන්. “ඔහු පිපී හිනැහෙන විට ඒ තුළ මට මාවම පෙනෙන්නට විය.

ඇත්තෙන්ම මෙය කෙතරම් අපූරු නිර්මාණයක්ද? කුඩා උන් පමණක් නොව වැඩිහිටියන්ද මෙයට ආසා කරති. වැඩිහිටි බවින් කුඩා කාලයේ තම චිත්ත සන්තානයේ සඟවාගත් බොහොමයක් ආශාවන් අප නොදැනුවත්ම පිටට පැමි­‍ෙණන්නේ අපට නොදැනීය. සුන්දර වූ මතකයන්ද ඒ ආකාරය. ඇත්තෙන්ම මේ අපූරු නිර්මාණය කළෝ කවරහුද?

අදින් දශක හතකට අටකට පමණ පෙරාතුව වෙසක් සුබ පැතුම්පත් යනුවෙන් යමක් අප අතර තිබුණා දැයි සැක සහිතය. තමන් විසින් සිතුවමට නැගි පොස්ට් කාඩ් එකක් හෝ බ්‍රිසිල් බෝ්ඩ් එකකින් සාදාගත් කාඩ් පතක් දෙපද සිව් පද ගළපා තම හි‍ෛතශීන් වෙත වෙසක් පොසොන් සැමරුමට තැපැල් කර හැරීම ඇතැම් දෙනා පෙළඹී සිටියද එය එතරම් ව්‍යාප්තව පැවති බවක් නොපෙනේ. එහෙත් උපන්දින සුභ පැතුම්පත් එලෙස සිතුවම් කර කවි පදයක් ගළපා තැපැල් කිරීම හෝ මුද්‍රිත කාඩ් පතක් මිලදීගෙන තැපැල් කිරීම සිරිතක්ව පැවතීයේය.

ලෙටර් ප්‍රෙස් කර්මාන්තය අබිබවා ඕප්සෙට් මුද්‍රණ කර්මාන්තය මෙරට ප්‍රචලිත වීමත් සමග දින දර්ශන, කැලැන්ඩර, දින පොත්, පොත්-පත් හා චිත්‍රකතා පත්තර වඩා විචිත්‍රවත් අන්දමින් මුද්‍රණය වීමට පටන්ගෙන තිබිණ. ඒ අතර ප්‍රධාන පෙළේ ආයතනයක් වූයේ 1906 දී ආරම්භ කළ මෙයිහණ්ඩාන් මුද්‍රණාලයයි. කලෙයිමගල් ආයතනය මුලින් වෙසක් සුබ පැතුම් පත් මුද්‍රණය කළේ මෙම මුද්‍රණායතනයේය. නමුත් එය කල්යෑමේදී වැසී ගියේය. අනතුරුව 1968 දී පමණ කලෙයිමගල් ආයතනය මුද්‍රණාලයක් ආරම්භ කළ අතර එමගින් වෙසක් කාඩ් මුද්‍රණය නොනවත්වාම සිදු කළේය. මේ අනුව පෙනී යන්නේ වෙසක් සුභපැතුම්පත්හී නිර්මාතෘ සිංහල බෞද්ධයකු නොව දෙමළ ජාතිකයකු බවය. නමුත් කල් යත්ම මෙම ව්‍යාපාරය සිංහල ජාතිකයකු විසින් මිලදි ගැනුණුු අතර එය දුමින්ද එරන්ද කලෙයිමගල් නමින් ප්‍රකට විය. එහෙත් එම ව්‍යාපාරය එතරම් කාලයක් නොපැවතියේය. නමුත් කලෙයිමගල් පැවති සමයේම එහි සේවය කළ ආරම්භක සාමාජිකයන් වූ රාජගෝපල් බාලසුන්දරම් හා අද්භූත කතා රචක ඩීමන් ආනන්ද එක්ව ‘සුජිකලා ‘නමින් මුද්‍රණාලයක් ආරම්භ කළෝය. ඔවුන් විසින් මෙම ව්‍යාපාර දිගටම සිදු කෙරිණි. කල්යාමේදී ඩීමන් ආනන්ද මහතා මිය ගිය අතර බාලසුන්දරම් මහතා මෙම ව්‍යාපාරය අත් නොහැර දිගටම පවත්වාගෙන ආවේය. මෙම ව්‍යාපාරය තුළ ලාභය කෙමෙන් අඩු වී යන බව දැනුණද වෙසක් සැමරුම්පත් නිර්මාණය කිරීම හේ අත් නොහළේය. අද කලෙයිමගල් නම් ව්‍යාපාරයක් දක්නට නැත. ඇත්තේ ඉපැරැණි සුජිකලා සහ ඉන් පසුව බිහිවූ තවත් ව්‍යාපාර කිහිපයක් පමණි.

‘සුජිකලා‘හී නිමැවුණු වෙසක් සැමරුම්පත් සඳහා කවි ලියවා ගැනීමට එකල කරුණාරත්න අබේසේකර මහතා සමග සබඳතා පැවැත්වූයේ බාලසුන්දරම් මහතාය. ‘ප්‍රීති වෙසක්‘යනුවෙන් සඳහන් වූ බකට් නිර්මාණය ඔහු ගේ මගපෙන්වීමෙන් නිමැවූවකි. අද වන විට චීන හා ඉන්දීය නිර්මාණ විසින් මෙම නිර්මාණ වෙළෙඳපොළ ආක්‍රමණය කර තිබුණද එදා මෙරට දෙමළ ව්‍යාපාරිකයෝ විසින් ඉතා වගකීමකින් යුතුව මෙම වෙසක් සුභ පැතුම් හා සැරසිලි නිමැවීමේ යෙදී සිටියෝය. ඔවුන්ගේ වගකීම කෙතරම්ද යත් කරුණාරත්න අබේසේකර, මර්වින් සේනාරත්න, අාදි විශිෂ්ට ගණයේ කවින් මෙම වෙසක් සැමරුම්පත් හී කවි ලිවීමට යොදා ගත්තේය. පසු කාලීනව වෙසක් සැමරුම්පත් හී කවි මෙරට සමාජය තුළ ජනප්‍රිය අංගයක් බවට පත්විය. සැම තැනින්ම පාහේ කවි කිවිඳියන්ගේ කාව්‍ය රචනා සුජිකලා ආයතනයට ගලා ආවේය. එමගින් වඩා අර්ථ පූර්ණ කවි වෙසක්පත් සඳහා යොදා ගැනීමට ඔවුහු කටයුතු කළෝය. එපමණක් නොව ලිපිනය සඳහන් කර එ‍ෙලස කවි එවූ ඇතැමුන්ට කර්තෘභාගය ගෙවීමටද ඒ මහතා සාධාරණ විය. අදත් මෙරට නන්දෙසින් පැමිණෙන කවි කවිදියන්ගේ හරවත් නිර්මාණවලට ඉඩදී ඇත. අර්ථ පූර්ණ කවි මේ සඳහා යොදාගත් බව ස්ඵුට කරන අවස්ථාවක්ලෙස පහත පෙනෙන කවිය පෙන්වා දිය හැකිය.

පුරහඳ කියන බුදු පුවතට සවණ දෙමු
හරබර කොටස වෙත නෙත සිත කරමු යොමු
දුර යා යුතුය මතු නොනැවැති ගමන යමු
මරණය මරණ හැටි අද අපි ඉගෙන ගමු

මුළු බුදු දහමම එක මිටට සරල සිව්පදයකින් හකුළුවා දැක්වීමට කරුණාරත්න අබේසේකර කවියා මින් සමත්ව තිබේ. මෙවන් කවීන්ගේ දායකත්වය සපයාගෙන අර්ථ පූර්ණ වෙසක් සුභ පැතුම් පතක් නිමැවීමම හුදු ලාභය පරමාර්ථය සඳහාම නොව මුළුමහත් සමාජයටම වැඩක් වනු පිණිස මේ කාර්යය කළ බවට සාක්ෂිය. මෙම කාඩ්පත් සඳහා චිත්‍ර ඇඳීමට ගුණරත්න ජයකොඩි නම් වූ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා යොදා ගැනීමත් ඔහු ගේ හැඟිම ප්‍රකට කරවන අවස්ථාවකි.

මෙම චිත්‍ර ශිල්පියා මිය ගියද තවමත් ඔහුගේ චිත්‍ර යොදා වෙසක් කාඩ් ‍පෝස්ටර් නිර්මාණය කරන්නේ එම සිතුවම් හී පවතින විශේෂත්වය නිසාය. නමුත් මෙරට සිනමාව 83 කළු ජූලියත් සමග අභාවයට ගොස් යම්තම් රැකී තිබෙන ආකාරයටම ක්‍රමයෙන් මෙම වෙසක් සැමරුම් පත් නිර්මාණයද අඩපණවෙමින් පැවතිණි. එහෙත් වර්තමානය වන විට වෙසක් සුබ පැතුම්පත් බෞද්ධයන් අතර පමණක් නොව කිතුනුවන් අතරද ජනප්‍රිය අංගයක් බවට පත්ව තිබේ.

කිතුනුවන් බෞද්ධයන්ට වෙසක් හා පොසොන් පෝය දිනයන්ට සැමරුම්පත් යවන අතර නත්තලට සුබ පතමින් බෞද්ධයන් නත්තල් කාඩ් යැවීම සිරිතක්ව පවතී. මේවා විශාල වශයෙන් අලෙවි වන්නේ ගාල්ල, මාතර, නුවර, අනුරාධපුරය, බදුල්ල, මීගමුව, ඇතුළු නගරවල ය.

පාසල් ළමයි අතර විශාල වශයෙන් වෙසක් සැමරුම්පත් අලෙවිය සිදුවන අතර කෙමෙන් කෙමෙන් වසරක් පාසාම අ‍ෙලවියෙහි අඩුවීමක් දැකගත හැකිය. එහෙත් මේ තුළ ඇති විශේෂත්වය නම් කවර හෝ හේතුවකට වෙසක් සැමරුම් නිර්මාණ මේ බිමට දායාද කළේ දෙමළ ජනයා වීමය. ඒ තුළ සැඟව ඇති සත්‍ය නම් අප අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා හා බැඳීපවතින බවය. මුල්‍යමය වසයෙන් එතරම් ලාබදායී නොවූවත් රාජා මහතා තවමත් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යාමට පොලඹවන කාරණය එය විය හැකිය. ක්‍රමයෙන් වෙසක් සැමරුම්පත් යැවීමෙන් ජනතාව ඉවත් වීමට වර්තමානයේ පවතින අන්තර්ජාල මාධ්‍ය එක් හේතුවකි. එහෙත් ඒ නාගරික පරිසරයක වෙසෙන සීමිත පිරිසකට පමණක් බලපැවැත්වෙන කරුණකි. ක්‍රමයෙන් මේ තත්ත්වය ව්‍යාප්ත වන දවසක වෙසක් සැමරුම්පත් අභාවයට යනු නියතය. එසේ වුවත් මේ හා සමඟ බැඳී පවතින ඉතිහාසය අපට කිසිසේත්ම අමතක කළ නොහැකිය. ඒ වෙ‍ෙනකක් නිසා නොව මෙමගින් අපට උගන්වන්නේ මෙරට මනුෂ්‍යත්වය තුළ පැවති මූලික පදනමය. එනම් සාමයෙන් හා සහජීවනයෙන් පිරුණු මතකයක මිහිරිතම ආස්වාදනීයයි.

රසික කොටුදුරගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.