ඇඟ­ලුම් සේවි­කා­වන්ගේ අභි­මා­නය නැංවෙන “දිනලි බල­ගැන්වූ කාන්තාව-2017” | සිළුමිණ

ඇඟ­ලුම් සේවි­කා­වන්ගේ අභි­මා­නය නැංවෙන “දිනලි බල­ගැන්වූ කාන්තාව-2017”

ඇඟලුම් සේවිකාවන් පිළිබඳ සමාජයෙහි පවතින ඍණ ආකල්පය තුරන් කිරීමේ සහ කාන්තා ශක්තිය ඇගැයීම සඳහා නව වැඩපිළිවෙළක් දියත් කරමින් කෝටෝල්ඩ්ස් ආයතන සමූහයේ නැතිනම් “කෝටෝල්ඩ්ස් පවුලේ” සාමාජිකාවන් දස දහසට වැඩි පිරිස අතුරින් සෑම වසරකට වරක්ම සවිබල ගැන්වූ කාන්තාවන් බිහි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කැරිණි.

ඒ ‘කෝටෝල්ඩ්ස් දිනලි’ සම්මාන උලෙළය. එහි දෙවැනි සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත් දා මහත් අභිමානවත් ව මීගමුව ඇවැන්ඩ්‍රා ගාඩ්න් හෝටලයේදී පැවැත්විණි.

ඇගැයීම

තම රැකියාව කරගෙන යන අතරම පෞද්ගලික ජිවිතය සමබරව පවත්වාගෙන යෑම, රැකියාවේ නිරත වෙමින්, දිනෙන් දින තම සහජ දක්ෂතා වැඩිදියුණු කර ගනිමින් රැකියාවේ ඉදිරියට ඒමට දරන උත්සාහය ඇගැයීම සහ පොදුවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නිරත වන්නන් සඳහා වන සමාජ පිළිගැනීම ඉහළට ඔසවා තැබීම දිනලි සවිබල ගැන්වූ කාන්තාව තෝරා ගැනීමේ වැඩසටහනේ අරමුණ බව කෝටෝල්ඩ්ස් සමූහයේ සාමාන්‍යාධිකාරී හිමාල් අලහකෝන් මහතා ප්‍රකාශ කළේය.

මේ ආයතනයෙහි සුළු සේවිකාවක ලෙස සේවයට එක් වී දිරියෙන් ඉදිරියට පැමිණි, තම පවුලේ විවිධ ආර්ථික අඩුපාඩුකම් නිසා පීඩා විඳිමින් සිට, ජීවිතය ජය ගැනීමට රැකියාවට පැමිණි කතුන් විවිධ රෝගාබාධ මත මුළුගැන්වී සිට, නැවත ශක්තිමත්ව නැඟී සිටිමින් රැකියාවට පැමිණි කතුන් අතුරින් දිනලි සවිබල ගැන්වූ කාන්තාවෝ 27 දෙනෙකු හා කළමනාකාරිත්වයෙහි දක්ෂතා දැක්වූ කාන්තාවන් තිදෙනෙකු මෙවර සම්මානයෙන් පිදුම් ලැබු බව කෝටෝල්ඩ්ස් ආයතන සමූහයේ ප්‍රධානි රයන් හොබර්ට්ස් මහතා සඳහන් කෙළේය.

සුබසාධනය

ඊට අමතරව තම සේවායතනයේ රැකියාවේ නිරත පිරිසගේ සුබසාධනය සඳහා තවත් අවශ්‍ය පියවර ගන්නා බව ද කී රයන් හොබර්ට්ස් මහතා, නිවාස තනා දීමේ වැඩසටහනක් හා පාසල් දරුවන්ට ඉගෙනීමට උදවු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇතැයි ද කියා සිටියේය.

තරගයේ විනිශ්චයකාර මණ්ඩලය වූයේ කෝටෝල්ඩ්ස් සන්නාම තානාපතිනි ඇලෙක්සැන්ඩ්‍රා හෝබර්ට්ස්, ප්‍රවීණ රංග ශිල්පිනි සචිනි අයේන්ද්‍රා, කුඩා කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න, ප්‍රවීණ රංග ශිල්පිනි යශෝධා විමලධර්ම, සංගීතා වීරරත්න, සබීතා පෙරේරා, ප්‍රවීණ ලේඛිකා චන්දි කොඩිකාර, කෝටෝල්ඩ්ස් සාමාන්‍යාධිකාරි හිමාල් අලහකෝන් යන මහත්ම මහත්මීන්ය.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, මේ සම්මාන ප්‍රදානය කිරීම මා දකින්නේ, අපේ රටේ කාන්තාවන් ඇගැයීමට ලක්කළ ඉතාම ශ්‍රේෂ්ඨ උලෙළක් ලෙසයි. කෝටෝල්ඩ්ස් ආයතන සමූහය ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තායතනයක්.

මේ අන්දමට තමන්ගේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන මේ කාන්තාවන් ඇගැයීමට ලක්කිරීමක් මා නම් දැක්කේ පළමු වතාවටයි. මෙය කාන්තාවන් වන අපට ආඩම්බර විය හැකි, සතුටු විය හැකි අවස්ථාවක්.

කතුන් ආයතන ජාලයේ ප්‍රධාන සම්පත ශ්‍රම සම්පතයි. කාන්තාවන් ඉන් ප්‍රධානයි. ඔවුන්ගේ සහජ කුසලතා දක්ෂතා විවිධයි. ඒවා මතුකරලීමට අවස්ථා නොමැතිකමයි ප්‍රශ්නය. නමුත් මේ ආයතනයේ ප්‍රධානින් ඒ අවස්ථාව අපේ කාන්තාවන්ට උරුම කරල දීමට කටයුතු කිරීම අපි අවංකවම අගය කරන්න ඕනැ.

සහජ කුසලතා

ආසියානු කලාපයේ පිහිටි අපේ රටවල වාගේ නොවෙයි, බටහිර රටවල කාන්තාවන් ජීවත්වන පරිසරය. ඔවුන් ගෙදර දොර වැඩ කටයුතු කරන්නේ ස්වාමි පුරුෂයා හා සම සමවයි. රැකියාවක නිරත බටහිර රටවල කාන්තාවන් ගෙදර වැඩ කටයුතුවලට ස්වාමි පුරුෂයාගේ සහාය ලබා ගන්නවා. උයන්න පිහින්න, මල් වවන්න, ළමයින්ගේ කටයුතුවලට ස්වාමිපුරුෂයාත් සියයට 50කින් දායක වෙනවා. එහෙත් අපේ ආසියානු කලාපයේ රටවල මේ තත්ත්වය තවමත් දකින්න නැහැ. ඒ ගැන අපි දුක් වෙන්න හොඳ නැහැ. නමුත් අපට කාන්තාවෝ ලෙස යම් නිදහස් පරිසරයක් ඇති වුණාට කමක් නැහැ කියා මට සිතෙනවා.”

අභියෝග

ප්‍රවීණ රංගන ශිල්පිනි යශෝධා විමලධර්ම මෙනෙවිය “දිනලි බලගැන්වූ කාන්තාව - 2017” තෝරා ගත්තේ ඉතාම විශාල තරගයක් තුළින්. එක්කෙනෙක් තව එක් කෙනෙකුට දෙවැනි නොවන තරමට ම සෑම දෙනාම ඉතාම දක්ෂයි. ඉතාම අධිෂ්ඨානශිලියි. ඉතාම විශිෂ්ටයි. එහෙම අය අතුරින් පළමු, දෙවැනි, තුන්වැන්නෙකු තෝරා පත් කර ගැනීම ඉතාම අභියෝගාත්මක කටයුත්තක් වුණා.

අපි විනිශ්චය මණ්ඩලයේ සෑමෝම මේ අභියෝගයට මුහුණ දුන්නා. අපි මේ තරගකාරියන් අතුරින් ජයග්‍රාහිකාවන් තෝරා ගත්තේ ප්‍රධාන අංශ තුනක් යටතේ ලකුණු ලබාදීමෙනුයි. ඒ ප්‍රධාන අංශ තුන පැහැදිලි කිරීම වටිනවා.

එක, මේ කාන්තාවන් තමන්ගේ රැකියාව සිදු කරන ගමන්ම තම පෞද්ගලික ජීවිතය සාර්ථකව සමබරව ගෙන යෑමට දක්වන කැපවීම, දක්ෂතාව හා අධිෂ්ඨානශීලි බව අප මැන බැලුවා.

දෙවැනි කරුණ වුණේ, තම සේවා ආයතනයේ පුංචි තැනකින් පටන්ගෙන ක්‍රමිකව තම දක්ෂතා දිනෙන් දින දියුණු කරගෙන ඉදිරියට ආ හැටි අප සොයා බැලුවා. ඇගැයීමට ලක් කළා. ඒවාට ලකුණු ලබා දුන්නා.

තුන්වැනි කරුණ වුණේ, මේ සේවිකාවන් අප සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති අය බවට ඉහළට ඔසවා තැබීමට ඔවුන් විසින් ම සිදු කරන්නා වූ ක්‍රියාකාරිත්වය මැන බැලීමයි. දිනලි සම්මාන ප්‍රදානය කිරීමේ වැඩසටහනේ මූලික බලාපොරොත්තුවක් වන්නේත්, ඇඟලුම් කම්හල් සේවිකාවක, සේවකයෙකු සමාජයේ ඉහළ ගෞරවයක්, අභිමානයක් ලබන අයෙකු බවට ඔසවා තැබීමයි. ඒ අනුවයි අපි ලකුණු ලබාදීම සිදු කළේ. එය ඉතාම අභියෝගාත්මක දෙයක්.,,

Comments