හිමි­දි­රිය ආයෙ­මත් විහ­ඟු­න්ගේය...! | සිළුමිණ

හිමි­දි­රිය ආයෙ­මත් විහ­ඟු­න්ගේය...!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, තිරසර ලංකා ජාතික මංගල්‍යය, නරඹමින්...

 

'තිරසර ලංකා - ජාතික මංගල්‍යය' බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ 2017 අප්‍රේල් මස 31 සිට මාර්තු 04 දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මූලිකත්වයෙන් පවත්වන්නට යෙදිණි.

ඒ ජාතික මංගල්‍යයට

පුරා දින පහක් තිස්සේ, ලක්ෂ හයක් පමණ දෙස් විදෙස් නරඹන්නන්ගේ, පාරිභෝගිකයන්ගේ සහ පාසල් දරුදැරියන්ගේ සහභාගිත්වයක් වාර්තා වූ අතර, එහිදී තිරසර

සංවර්ධන ඉලක්ක

සමාජගත කරවීමේ යුගයේ කාර්යභාරයට බරපතළ ලෙස උරදී තිබිණි. තිරසර සංවර්ධනයේ ගෝලීය ඉලක්ක මාතෘභූමියේ පැළ කරවන්නට දින පහක් තිස්සේ කඳවුරු බැඳි 'තිරසර ලංකා - ජාතික මංගල්‍යය' ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයේ ලෝක ආදර්ශය බවට පත් කිරීමේ මෙහෙවරට දායක වූ බවක් පැහැදිලි විණි. 

"අපේ ගම්මානයේ එල්ම් ගස්වලට වසර ගණනාවක් රසායනික දියර විසුරුවා හැරියා. අපි මේ ප්‍රදේශයෙන් ඉවත්ව ගියේ වසර හයකට පමණ පෙර. එකල එහි කුරුල්ලන් විශාල වශයෙන් ජීවත් වුණා. මම එහි කෑම බඳුන් තැබුවා. ග්‍රීෂ්ම ඍතුවේ ගී කියන කාඩිනල් කුරුල්ලන් පැටවුන් අරන් පැමිණියා. වසර කීපයක් කෘෂි රසායන ඉසීමෙන් පසු රොබින් සහ ස්ටාර්ලින් කුරුල්ලන් මේ පළාතේ නැත්තටම නැති වුණා.

ගී කියන කුරුල්ලන් වසර දෙකක්ම ආවේ නෑ. මේ අවුරුද්දේ කාඩිනල් කුරුල්ලන් සදහටම යන්න ගියා.

යාබද ප්‍රදේශයේ දක්නට ලැබුණේ එක් පරෙවි ජෝඩුවක් හා සමහර විට කවුඩන් පවුලක් පමණයි. කුරුල්ලන් ඇල්ලීම, මරාදැමීම ෆෙඩරල් නීතිය යටතේ තහනම් වග ළමයින් ඉගෙනගන්නා විට කුරුල්ලන් මරාදැම්මායැයි පහදාදීම කොච්චර දුෂ්කරද? කුරුල්ලන් ආපසු පැමිණෙන්නේදැයි ඔවුන් අපෙන් අසනවා. මට එයට දෙන්න පිළිතුරක් නැහැ. එල්ම් ගස් මිය ගියේ නම් කුරුල්ලන් ගැන කුමන කතාද? යමක් කළ හැකිද? මට යමක් කළ හැකිද?"

කුරුල්ලන්ගේ අතුරුදන් වීම ගැන ඉලිනෝස් ජනපදයේ, හින්ස්ඩේල්හි ගෘහිණියක් ඇමෙරිකානු ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රධාන පක්ෂි විශේෂඥ රොබට් කුෂ්මාන් මර්පිගෙන් එලෙස අසා ලිපියක් යවා තිබිණි.

අප අත්විඳින සංවර්ධන මාදිලියේ මෑතකාලීන අත්දැකීම් එසේයි. සොබාදහම, පරිසර පද්ධතිය විනාශය කරා තල්ලු කරමින් අත්පත් කරගනිමින් තිබෙන අධිතාක්ෂණය මනුෂ්‍ය ජීවිතය සුඛිත-මුදිත කළේ නැත. මහපොළොවේ සියලු ජීවීන්ගේ පැවැත්ම පිළිබඳ අද ඇත්තේ බරපතළ අනතුරු ඇඟවීමක් පමණි.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ  ආකෘතිය නරඹන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා...

මේ තත්ත්වය මඟහැර යෑමට නම් මනුෂ්‍යා තමන්ගේ සංවර්ධනය සාක්ෂාත් කරගැනීමේ විධිය මහපොළොවට ඉතා ප්‍රේමණීය ලෙස වෙනස් කරගත යුතු බවට විද්වත්හු ගිවිසුම් සකස් කරගත්හ. ඒ සඳහා ගෝලීය බලවත්හු 'තිරසර සංවර්ධනයේ ගෝලීය ඉලක්ක' හඳුනාගත්හ. එකී ගෝලීය වූත් කාලීන වූත් ඉලක්ක අපේ රටේ ජනගත කිරීමේ වෑයම 'තිරසර ලංකා - ජාතික මංගල්‍යය' වෙතින් සලකුණු වෙයි.

'තිරසර ලංකා - ජාතික මංගල්‍යය' බණ්ඩාරනායක අන්තර්ජාතික අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ 2017 අප්‍රේල් මස 31 සිට මාර්තු 04 දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මූලිකත්වයෙන් පවත්වන්නට යෙදිණි.

ඒ ජාතික මංගල්‍යයට පුරා දින පහක් තිස්සේ, ලක්ෂ හයක් පමණ දෙස් විදෙස් නරඹන්නන්ගේ, පාරිභෝගිකයන්ගේ සහ පාසල් දරුදැරියන්ගේ සහභාගිත්වයක් වාර්තා වූ අතර, එහිදී තිරසර සංවර්ධන ඉලක්ක සමාජගත කරවීමේ යුගයේ කාර්යභාරයට බරපතළ ලෙස උරදී තිබිණි. තිරසර සංවර්ධනයේ ගෝලීය ඉලක්ක මාතෘභූමියේ පැළ කරවන්නට දින පහක් තිස්සේ කඳවුරු බැඳි 'තිරසර ලංකා - ජාතික මංගල්‍යය' ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයේ ලෝක ආදර්ශය බවට පත් කිරීමේ මෙහෙවරට දායක වූ බවක් පැහැදිලි විණි.

තිරසර අදිටනට මනා ප්‍රායෝගික ඇරඹුමක් ලබාදුන්නායැයි කිව හොත් නිවැරදිය.

වස-විස නැති කෘෂි නිපැයුම්, ඒ පිළිබඳ දැනුවත් කිරීම්, කාබනික නිෂ්පාදන, දේශීය කර්මාන්ත, වස-විස නැති පෝෂණ සූපශාස්ත්‍රය, නිවැරදි පෝෂණ දිශාව පිළිබඳ දැනුවත් කිරීම්, හරිත ව්‍යවසායකත්ව දැනුවත් කිරීම්, හරිත රැකියා පොළ, තිරසර යුගයකට නැඹුරු පර්යේෂණ පත්‍රිකා එළිදැක්වීම්, කලා සාහිත්‍ය නිර්මාණ කරළියට පැමිණීම, ශාරීරික සුවතා සමඟ ආධ්‍යාත්මික වැඩසටහන්, සම්මන්ත්‍රණ සමඟ විද්වත් සාකච්ඡා, තිරසර යුගයක් වෙනුවෙන් වූ සිනමා පට ප්‍රදර්ශනය ආදි විවරණයන් සමඟ 'තිරසර ලංකා - ජාතික මංගල්‍යය' පැවත්විණි. ප්‍රදර්ශන සහ අලෙවි කුටි 997කින් 'තිරසර ලංකා - ජාතික මංගල්ලය' සමන්විත විණි.

දිළිඳුකම, ගොවිතැන, සෞඛ්‍ය, අධ්‍යාපනය, කාන්තාව බලගැන්වීම, ජලය, බලශක්තිය, රැකියා, කර්මාන්ත, ඇති නැති පරතරය, ජනාවාස, පරිභෝජනය, දේශගුණික විපර්යාසය, සාගත, ජෛව විවිධත්වය, සාමය සහ යහපාලනය සඳහා වැඩපිළිවෙළක් සැකසීම යන ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට තිරසර සංවර්ධන ගෝලීය ඉලක්ක සමන්විත වී ඇත. දිළිඳුකම පිටුදැකීම හුදෙක්ම ජලය, රැකියා, පෝෂණය, පරිභෝජනය යන අනෙකුත් තිරසර සංවර්ධන ඉලක්ක 16න් වියුක්ත කොට හුදෙකලාව විසඳිය නොහැකිය.

එහෙයින් තිරසර යුගයකට ආරම්භයක් දීම යනු එකී ඉලක්ක 17ම සජීවකරණයකි. ඒ නිසාම 'තිරසර ලංකා - ජාතික මංගල්‍යය' ඒ ඉලක්ක 17 කැටි කොටගත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් රට හමුවේ තබා තිබිණි.

2017 වසර ආරම්භයේදීම රජය ප්‍රකාශයට පත් කළ 'තිරසර යුගයක - තෙවසර ඇරඹුම' ට සමගාමිව ජනපතිවරයා අවධාරණය කළේ මේ වසර දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙසිනි. තිරසර ශ්‍රී ලංකාවක් තැනීමේ මංගල පියවර වන්නේ රටින් දුප්පත්කම අතුගා දැමීමය. ඒ උදාරතර අපේක්ෂාවට ජීවය දීමේ තිර අදිටනින් 'තිරසර ලංකා - ජාතික මංගල්‍යයයේ' ධජය වටා රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජය යන එකී නොකී සියල්ලෝම බලමුළු ගැන්වී තිබිණි.

තිරසර සංවර්ධනය කරා තල්ලු වීමේ අත්‍යවශ්‍ය සාධකය මේ ඒකරාශි වීමය. එදා මෙදා තුර සංවර්ධනය නමින් පෙනී සිටි බොරුකාර වේශයන්ට මුළා වී විනාශය කරා රට තල්ලු කරමින් තිබුණු සාධකයන්ට රට තුළ තවත් ඉඩ නැති බව ඉහත සියලු බලවේග එකට එකතු වීමෙන් මනාව පෙන්වා දිනි.

දැන් අනාගත ලෝකයේ සංවර්ධන සැලසුම් සකස් වන්නේ 'තිරසර සංවර්ධන ඉලක්ක' වටා වීම වැළැක්විය නොහැකිය. ලෝකය පරිවර්තනය කිරීමේ අවිය ලෙස අද ලෝකය තෝරාගෙන තිබෙන්නේ ඒ තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යායපත්‍රයයි. ඒ මානව හිතවාදි, සොබාදහමට යා වූ සෞම්‍ය සංවර්ධනයේ දිශාවට රට වැසියා යොමු කරවීමේ කාලීන වූ යුගයේ මෙහෙවරට 'තිරසර ලංකා 2017' උර දිනි.

ඒ අනුව, දිළිඳුකම පිටුදැකීම යනු හුදෙක්ම සටන් පාඨයක් හෝ දේශපාලන ප්‍රකාශනයක් නොවන බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය වන්නේ මහපොළොවේ වියැකී යමින් තිබෙන සම්පත් මතු කරගැනීමත් ගිලිහෙමින් තිබෙන ආවේණික කුසලතා මතු කරගැනීම පමණක් බවත් බැලූ බැලූ අත පෙනෙන්නට තිබිණි.

අඩු ආදායම හේතුවෙන් අවම ආහාරද එනිසා අඩු පෝෂණයද ඉනික්බිති මන්දපෝෂණයද කරා දුප්පත්හු තල්ලු වෙති. දුප්පත්කම දුරලීම යනු ඊට බලපාන චක්‍රය වියරුවෙන් මෙන් කඩා ඉහිරවාදැමිය යුතු ධෛර්යය වගකිවයුත්තන් ලබාගැනීමය.

තම ගොවි බිම උගස් කොට එබිමේම කම්කරුවන් වී සිටින ගොවීන්ට තම කෘෂි නිෂ්පාදන සහ පාරිභෝගිකයා එකිනෙකා යා කරන සම්බන්ධතාව සැකසීමේ අඩිතාලම දැමීමට 'තිරසර ලංකා - ජාතික මංගල්‍යය' කටයුතු කර තිබිණි.

අතරමැදියා විසින් සිදු කරමින් තිබෙන අලජ්ජී උපාය පැරදවීම මඟින් ගොවියා බලාත්මක කිරීමත් පාරිභෝගිකයා සබුද්ධික කරවීමත් ඉන් එකවිට සිදු කෙරිණි.

දේශීය වූත් ස්වාභාවික වූත් වස විස නැති ආහාර නිෂ්පාදන 6500ක් පමණ මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි. නිදසුනක් වශයෙන්: කොස් ආශ්‍රිතව ආහාර වර්ග 662ක් විය. පසුගිය කන්නයේ ඇති වූ දැඩි නියඟය හමුවේත් ගොවීන් ගොවිකම් කර තිබිණි. ඒ අනුව ආහාර සෛවරීත්වයෙන් අපගේ මාතෘභූමිය විදෙස් ආහාර නිෂ්පාදන මත යැපීම අවශ්‍ය නැත යන්න බැලූ බැලූවන්ට සැබැවින්ම පසක් විය.

එමෙන්ම විදෙස් වෙළෙඳපළට පිවිසීමේ විධිමත් ක්‍රමවේදයද එයමය. මේ අනුව දුප්පත්කම පිටුදැකීම කළ හැක්කක්ය යන අපේක්ෂාවේ පණිවිඩය ' තිරසර ලංකා - ජාතික මංගල්‍යය' කරළියට ගෙනාවේය.

වස විස නැති ගොවිතැන රටේ ප්‍රධාන ප්‍රවාහය වීමේ විශ්වසනීය පෙරනිමිති දේශපාලනඥයෝද සිවිල් බලවත්හුද පොදු ජනතාවද දුටහ.

එ අනුව කෘත්‍රිම රසකාරක හා කෘත්‍රිම ක්ෂණික ආහාරවලට විරුද්ධ වීම වෙනුවෙන් 'තිරසර ලංකා' ඉතා නිර්භිත ලෙස පෙනී සිටි අතර, ජනාධිපතිවරයා ඊට දැක්වූ සහයෝගය සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායි අහරට රටවැසියා හුරු කරවීමට අඩිතාලම දැමීය.

දැනුවත් සමාජයක් ඇති කිරීමේ ඉලක්කය ජය ගනු වස් රටේ අධ්‍යාපනය, තරගය කරණ කොට ගෙන නොව සහජීවනය වෙනුවෙන් කැපවිය යුතු බවට විධිමත් දැනුවත් කිරීම් සිදුවිය.

එමෙන්ම සොබාදහමට අනුගතව මහපොළොවේ සියලු සත්ත්වයන්ට දයාව බෙදන මිනිස් සිත් නිවී සැනසී යන වැඩපිළිවෙළක් සැකසීම තිරසර සංවර්ධනයේ එක් ප්‍රධාන ව්‍යායාමයක් බව කියැවිණි.

එවන් ප්‍රශ්නයක කේන්ද්‍රීය ලක්ෂ්‍යය වීමේ ශක්‍යතාව නිතැතින්ම අප සතුය. බෞද්ධ දර්ශනයෙන් උරුම සියලු දෙනාගේ සිත නිවන මඟ අපට පැහැදිලිය.

තිරසර සංවර්ධනයේ ගෝලීය ඉලක්කයන්ට අනුගතව දේශයටත්, කලාපයටත් ලෝකයටත් සෙත සලසන උල්පත මේ ලංකාද්වීපය බව 'තිරසර ලංකා - ජාතික මංගල්‍යය' සිය එක් දිනෙක තේමාව කොටගෙන පහදා දුන්නේය.

මිනිසත්බවට සැබෑ අරුත එක් කරන සහ අභිමානය ගෙනෙන සොබාදහමේ පැවැත්මට අපි හානි පමුණුවමින් සිටින්නෙමු. වගා බිමට, ජලයට එක් කරන වස විස හේතුවෙන් බිලියන ගණනක ජනතාවකට පිරිසුදු පානීය ජලය අද නැත.

දෛනිකව ලබාගන්නා ආහාරවල අඩංගු වස විස නිසා බිලියන ගණනක් ජනතාව බෝ නොවන රෝගවලින් මරණාසන්නව සිටී. විස බහුල වශයෙන් පසට යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගොවිබිම් ලවණතාවේ ගොදුරු බවට පත්ව ඇත. මේ සියලු ව්‍යසනයන් අතර කුසගින්න ගෝලීයගත විය. මිනිසුන් තොග පිටින් දුප්පතුන්ගේ නාම ලේඛනයට තල්ලු කළේය.

අප විසින් මෙතුවක් කල් හඹා ගිය සංවර්ධන මාදිලියේ බරපතළ වරදක් ඇති බව අද වන විට දියුණු වෙමින් පවතින බෙහෝ රටවල් තේරුම් ගනිමින් සිටී. තිරසර සංවර්ධන ඉලක්ක වෙත ලෝකය නැඹුරු වීම අපේ කාලයේ සංවර්ධන විලාසිතාව වන්නේ එහෙයිනි.

ලාංකේය ශ්‍රී විභූතිය නැවත මතු කරගැනීමට 'තිරසර ලංකා - ජාතික මංගල්‍යය' රටවැසියා පොලඹවා තිබිණි. ඒ ගල් යුගය කරා රට මෙහෙයවීමේ වියරුවෙන් නොව, තිරසර සංවර්ධනයේ ගෝලීය ඉලක්කයන්ට අපට තිබෙන ඈත නෑකම සිහිකැඳවීමේ අටියෙනි.

අපගේ මාතෘභූමිය හැරුණු විට ලෝක සිතියමේ වැව් 3000ක් ඇති රටක් තවත් නැත. කර්මාන්ත, කෘෂි යෙදවුම්, ජීවන රටාවන් සියල්ල වෙනුවෙන් ඉතා අසිරිමත් ලෙස දේශීය ලකුණ සෑම ක්ෂේත්‍රයකම එදා සටහන් කොට තිබිණි.

ඒ ප්‍රෞඪබව රැකගැනීම වෙනුවෙන් හුදෙකලාව ඈත ගම්දනව්වල තනිව සටනේ යෙදුණු බොහෝ වීරයන්ට ඒ බව රටට ලෝකයට කියන්නට 'තිරසර ලංකා - ජාතික මංගල්‍යය' වේදිකාව සකස් කළේය. මහ මහුදෙන් වට වූත්, වසරේ දින තුන්සිය හැටපහේම මල් පිපෙන මේ රට සුවඳ බව ඔවුන් ඒ වේදිකාවේ සිට ලෝකෙටම ඇහෙන්නට හඬ නඟා කීවේය.

මන්තර 108 වරක් යකැදුරන් මතුරන්නේ එවිට යක්ෂයන් වුවද දමනය වන බව ඔවුන් හඳුනාගෙන ඇති හෙයිනි.

තිරසර සංවර්ධන සංකල්පය මේ මාතෘභූමියේ මුල් අද්දවන්නට දින පහක් තිස්සේ කඳවුරු බැඳ එදා මෙදා තුර එය වෙනුවෙන් පෙනී සිටින්නේ එය සමාජගත කළ හැකිය යන්න හඳුනාගෙන ඇති හෙයිනි. ඒ වෙනුවෙන් පෙනී සිටීම වැළැක්වීමට ව්‍යාජ දේශප්‍රේමීන්ට හෝ මුදලට ගිජු වූවන්ට නොහැකිය.

තිරසර සංවර්ධනයේ ගෝලීය ඉලක්ක පිළිබඳ සමාජය දැනුවත්භාවයෙන් ඉහළට ගෙනයෑමට 'තිරසර ලංකා' වැඩසටහන ගෙන තිබූ උත්සහය සාර්ථක වීම පිටුපස කවරාකාරයේ අතපසු වීම් හඳුනාගත්තද වැඩසටහනේ පරමාර්ථය මහපොළොවේ ජය ගත්තේය. ඒ බැරෑරුම් කාලීන සමාජ කතිකාවකට සමාජයේ අවකාශය වෙන් කර දෙමිනි. හිමිදිරිය දැන් නිහඬ නැත. කුරුල්ලන් ගී ගයන්නට තුරු මතට පැමිණ ඇත. 

 

Comments