මහගමසේකර විද්‍යාලය හා සත්මඬල එක්ව මහගමසේකරයන් සමරයි | සිළුමිණ

මහගමසේකර විද්‍යාලය හා සත්මඬල එක්ව මහගමසේකරයන් සමරයි

පසුගිය 7 වැනිදා මහගමසේකරයන්ගේ 88 වන ජන්ම දිනය නිමිත්තෙන් රදාවාන මහගමසේකර විද්‍යාලයේදී උපහාර උළෙලක් පැවැත්විණි. එහිදී මහගමසේකරයන් වෙනුවෙන් සත්මඬල නිකුත් කළ විශේෂ කලාපය දරුවන් වෙත බෙදා හරින ලදී. ඒ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා සහභාගී වූ අතර, මහගමසේකර විද්‍යාලයට පුස්තකාලයක් ලබා දීමේ කර්තව්‍යයට ද ඉදිරියේදී සත්මඬල උර දීමට බලාපොරොත්තු වේ.

අපේ ජාතියට අපේ රටට බිහි වූ මහගමසේකර කලාකරුවා ලෝකයට ම උරුම කලාකරුවකු කිරීමට නම් ඔහු ලියූ පොත පත, ගී සින්දු, නාට්‍ය සියලු දෑ වෙනත් භාෂා වලට පරිවර්තනය කර ලෝකයට ගෙන යා යුතු යැයි ද මහගමසේකරයන් ලියූ ‘ඡන්ම භූමි‘ ගීතය අපගේ ජාතික ගීය බවට පත් කිරීමට වුවද ඉතාම සුදුසු යැයි ද, ඔහු විසින් ලියන ලද පත පොත ගී සින්දු යන සියල්ල ද, භාවිත කරන ලද අනෙකුත් සියල්ලද සොයා ඒකරාශි කර මහගමසේකර කෞතුකාගාරයක් ආරම්භ කිරීම එතුමාගේ නිජබිම එතුමාගේ පාසල වන රදාවාන මහගමසේකර මහා විද්‍යාලයේ වගකීමක් යැ‘යි ජාතික පුස්තකාල මණ්ඩලයේ සභාපති ඩබ්.ඒ. අබේසිංහ මහතා කීය‍.

මහගමසේකරයන්ගේ 88 වන ඡන්ම දිනය වෙනුවෙන් රදාවාන මහගමසේකර මහා විද්‍යාලයේ පැවැත්වුණ උපහාර පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය. මෙම අවස්ථාවට මහගමසේකරයන්ගේ දියණිය නිරූපමා සල්මලී මහගමසේකර මහත්මිය සහ පුතණුවන් වන රවීන්ද්‍ර මහගමසේකර මහතා ද එක් වීය.

මහගමසේකරයන්ගේ සාහිත්‍ය ජීවිතයට අත්වැලක් වූ කේ. ජී. ප්‍රේමරත්න, ජීවන්දර සමරසේකර යන කලාකරුවෝද මේ අවස්ථාවට සහභාගි විය.

එහිදී තවදුරටත් කතා කල ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා අපේ රටේ බිහිවූ කලාකරුවන් වූ මාටින් වික්‍රමසිංහ ශූරින් වෙනුවෙන් කෟතුකාගාරයක්ද කේ. ජයතිලක සාහිත්‍යධරයා වෙනුවෙන් පුස්තකාලයක්ද තිබෙන බවත් එහෙත් මහගමසේකරයන් වෙනුවෙන් මෙතෙක් එවැන්නක් ආරම්භ වී නොමැති බව ද කීය.

ජාතික පුස්තකාල මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවත්නා බවත් පුස්තකාලයක් ආරම්භ කිරීම සදහා සහය ලබා ගත හැකි බවත්, ජාතික පුස්තකාල මණ්ඩලයෙන්ද සම්පත් ලබා දිය හැකි බව ද පැවසීය. මහගමසේකරයන් සතු සියල්ල අප සංරක්ෂණය කළ යුතුයි. ඔහු භාවිත කළ පෑන, පැන්සල, පොත පත , ගීය චිත්‍රය අප සංරක්ෂණය කළ යුතුයි. පාසල් දූ දරුවන්ගේ සහ ගම්වාසීන්ගේ වගකීමක් වනුයේ ඒවා සොයා ගැනීමට මග පෙන්වීම යැය‍ි ද කීය.

මේ මහා සාහිත්‍යධරයා විසින් ලියන ලද කෘති කිසිවිටකත් මිල කළ නොහැකිය. අවුරුදු 20 ක් පමණ කෙටි කාලයක් සාහිත්‍ය ලෝකයේ ජීවත් වූ ඔහු සාහිත්‍යයට කළ සේවාව මට වඩා ඔබ දන්නවා ඇත. අපෙන් පසු මේ සියල්ල ලෝකයට උරුම කර තැබිය යුතුය. එතුමාගේ ‘ප්‍රබුද්ධ‘ ග්‍රන්ථය ඉංග්‍රීසියට පරිවර්තනය කර ලෝකයට ගෙන යා යුතුයි. එවිට ලෝකයා දැන ගනීවි අපේ මේ කවියා කව්ද කියා.

එතුමා විසින් රචිත එතුමා අධ්‍යක්ෂණය කළ තුංමංහන්දිය චිත්‍රපටය අද ලෝකයා අතරට ගොස් තිබෙන බවද කීය.

ගමේ සුන්දරත්වය ගැන ලියූ කවි, ගීතවල රසය දැනෙන්නේ ඒ ගමට ගිය පසු ය. එපමණක් නොවෙයි ගමේ නගරයේ කම්කරුවා , දිළින්දා ගැන ඔහු කෙටිකතා ලියා ජන හදවත් තුළ යම් හැගීමක් ඇති කිරීමට සමත් වීම ඔහුගේ සාහිත්‍ය නිර්මාණයේ තවත් එක් අංගයක් යැයි ද කීය.

‘ඇන්ටන් චෙකෝෆ්‘ කලාකරුවාද අවුරුදු 44 ක පමණ කෙටි කාලයක් ජීවත් වූ අයෙකි. එහෙත් ඒ කලාකරුවාගේ පොත පත අද ලෝකය සිසාරා තිබෙනවා. කලාකරුවා ජීවත් වූ කෙටි කාලය තුළ මෙතුමා ලොවට දුන්න දේ ඉතා විශාල බව ලෝකය පිළිගෙන තිබෙනවා.

ජීවත්වූ කෙටි කාලය තුල මහගමසේකරයන් ලියා තැබූ පොත් පත් ප්‍රමාණයද ඉතා විශාල ය. එතුමා මරණය ගැන ලියා ඇති පද්‍ය පන්තිය මොන තරම්ද? ගීත මාධ්‍ය ඉහළ තැනකට ගෙන , කාව්‍ය මාධ්‍ය ඉහළ තැනකට ගෙන කවිය ගද්‍යයක් ලෙසත්, ගද්‍ය පද්‍යයත් ලෙසත් ඔහු ගෙනාවා. මරණයේ සිට එය අවසානය දක්වා සිදුවීම් සුන්දර කවි පන්තියක් තුළින් ලියා තැබුවා යැයිද කීය. මහගමරසේකරයන් ලියූ ගී, කවි, රචනා ගමට ආ විට අදටත් වලංගු යැයිද ඒවා සරල ගී , චිත්‍රපට ගී, මුද්‍රා නාට්‍ය ගී, ගුවන් විදුලි ගීත, වේදිකා නාට්‍ය ගීත වශයෙන් වෙන් කළ හැකි යැයි ද කීය. ඔහුගේ ප්‍රථම ගීතය අවුරුදු 12 දී පමණ ලියන ලද පිළිගැනීමේ ගීතයයි. ක්‍රමයෙන් කලා ලෝකයට පෙරළි කරමින් ගීත, කෙටිකතා, නාට්‍ය ලියූ මහගමසේකරයන් විසින් ප්‍රථමයෙන් ලියූ ප්‍රථම කෙටි කතාව “පීතර” නම් වූ කෙටි කතාවයි. මේ කෙටි කතාව කාර්‍ය්‍යාල සේවකයකු ගැන ලියන ලද්දකි. කලාකරුවා අදට වඩා හෙට දකින්නෙකි. මහගමසේකරයන් ලියන ලද “ප්‍රබුද්ධ” නම් ග්‍රන්ථය එබන්දකි. එය මුද්‍රණයෙන් එළි දකින විට ඔහු මෙලොව හැරදා ගොස් ය.

කුස පුරවා ගන්නට වැඩ කරන ජනතාව හා සුඛෝපභෝගී ලෙස සර්වපිත්තල ලෝකවල ජීවත් වූ මිනිසුන් අතර වෙනස මහගමසේකරයන් කෙටි කතා මගින් පෙන්වා දී ඇත.

මහගමසේකරයන් කලාවට කළ අපිරිමිත සේවය දැක ගැනීමට, ඇගයීමට නම් මේ දරුවන් සියලු දෙනාම ඒ පත පොත කියවා බලා තේරුම් ගත යුතු යැයි ද සභාපති ඩබ්. ඒ. අබේසිංහ මහතා කීය.

මහගමසේකර මහා විද්‍යාලයේ විදුහල්පති කපිතාන් සනත් මුදුන්කොටුව මහතා කතා කරමින් අද දින මේ මහා කලාකරුවාගේ ගුණ සැමරුම් උත්සවයට ගම්වාසීන්, ප්‍රදේශවාසීන් ඇතුළු පාසල් සිසු දරුවන්ට සහ ආචාර්‍ය්‍ය මණ්ඩලයට ආරාධනා කළ ද එහෙත් මෙම ස්ථානයට පැමිණ සිටින සංඛ්‍යාව දෙස බැලීමේදී ඒ අයට මහගමසේකරයන් එපා වෙලාද කියා මට සිතෙනවා. අඩුම වශයෙන් මෙම පාසලට මහගමසේකර නමින් පුස්තකාලයක් ලබා ගැනීමට උත්සාහ කළ ද එහෙත් එය ඉටු කර ගැනීමට නොහැකි වුණා. ඒ නිසා මෙම අවස්ථාවේ ජාතික පුස්තකාල මණ්ඩලයේ සභාපතිතුමාගෙන් එය ඉටු කර ගැනීමට සහය වන මෙන් ඉල්ලා සිටිනවා. මාගේ සේවා කාලය තුළ ඒ සඳහා උපරිම සහය ලබා දෙන බවද කීය.

මෙදින පුස්තකාලය සඳහා ජාතික පුස්තකාල මණ්ඩලයේ සභාපති ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා පොත් පරිත්‍යාගයක්ද කරන ලදී.

සත්මඬල ඉදිරියේදී ද මෙවන් කර්තව්‍ය රැසකට අතදීමට සූදානම් වෙයි.

සේයා රූ - චමින්ද නිරෝෂන්

Comments