තණමල්විල මිනීමරු වල් අලියා හොරොව්පතානට

 අලි මිනිස් ගැටුම් පිළිබඳ දිවයිනේ නන් දෙසින් අපට නිතර නිතර අසන්නට ලැබේ. ඒ අතරින් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් , ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයෙනුත් වැඩි වශයෙන් මෙම අලි මිනිස් ගැටුම පිළිබඳ අපට අසන්නට ලැබේ. මේ වන විට අලි මිනිස් ගැටුම පෙරටත් වඩා උග්‍ර අතට පත්ව ඇති බව අප කවුරුත් දන්නා දෙයකි. බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාප හමුවේ මෙම අලි මිනිස් ගැටුම අද වන විට ඔඩුදුවා ගොස් ඇති බව මේ වෙද්දී සිදුවන වන අලි ප්‍රහාර හා අලි මරණ ගැන අසන්නට ලැබෙද්දී පෙනී යයි.

කලක පටන් පවතින මෙම වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා වන අලින්ගෙන් පීඩාවට පත් ජනතාව වීදි බැස විරෝධතා පෙළපාළි පැවැත්වූ වාර එමටය. කෙතෙක් විරෝධතා පෑවත් ප්‍රාදේශීය නිලධාරීන් නෑසූ කනින් ඒ දෙස බලා කිසිත් සිදු නොවුණු අයුරින් මුනිවත රකිනුයේ ඔවුන්ටද මේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් කළ හැකි දෙයක් නැති නිසාය. වගකිවයුතු ඉහළ බලධාරීන් සීතල කාමරවලටවී සිටින විට ජනතා විරෝධතා හමුවේ ඔවුන් ඉදිරියට යෑමට සිදු වන්නේද ප්‍රාදේශීය මට්ටමේ මේ නිලධාරීන්ටමය.

එසේ වුවත් වන අලි ගැටලුව පිළිබඳ මෙතෙක් මුනිවත රකිමින් සිටි නිලධාරීන්ට තීරණයක් ගන්නට සිදු වූයේ පසුගිය අලුත් අවුරුදු දිනට පෙර හා අවුරුදු දිනය දා වන අලි පහරදීම් හේතුවෙන් තණමල්විල ප්‍රදේශ තුනක පුද්ගලයන් තිදෙනෙකුට දිවි අහිමි වීමත් තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු වීමත් සමඟය.

මුළු රට පුරා සියල්ලන්ම අලුත් අවුරුදු උදාව සැමරීමට සුදානම් වෙද්දී ඉකුත් 12 වැනි දින තණමල්විල නිකවැව හා මීගස්වැව ප්‍රදේශවල පුද්ගලයන් දෙදෙනෙක් වන අලි පහරදීම්වලින් මිය ගියහ. එදිනම තණමල්විල සමාධිගම පුද්ගලයකුටද වන අලියෙක් පහර දුන්නේය. ඉන් එම පුද්ගලයා බරපතළ තුවාල ලැබීය. වන අලි පහර දීමෙන් මියගිය පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු මිහිදන් කිරීම යෙදී තිබුණේ 12වැනිදාටය. අලුත් අවුරුදු දින සවස ද තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලකුද වන අලි ප්‍රහාරයට ලක්ව මිය යෑමත් සමග ප්‍රදේශයේ ජනතාව දැඩි නොසන්සුන්තාවට පත් වූහ.

දින තුනකදී එකම වන අලියකු තණමල්විල පමණක් පුද්ගලයන් තිදෙනෙකු මරා දමා තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම නිසා ප්‍රකෝප වූ ජනතාව වගකිවයුතු බලධාරීන් දැඩි ලෙස විවේචනයට ලක් කළහ. ප්‍රදේශයේ ජනතාව විරෝධය පළ කරමින් මළ සිරුරු ද පාරට ගෙන ඒමට උත්සාහ දරද්දී තණමල්විල පොලිසිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් ලබා ගත්තේ මියගිය පුද්ගලයන්ගේ දේහ මිහිදන් කරන ස්ථානයට හැර වෙනත් ස්ථානයකට රැගෙන යෑමද තහනම් කරමිනි.

මේ තත්ත්වය හමුවේ වනජීවී නියෝජ්‍ය ඇමැතිනී සුමේධා ජී ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් තණමල්විල සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේදි විශේෂ සාක්ච්ජාවක් පැවැත්විණි. ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීහූ, වනජීවි නිලධාරීහූ සහ ගම්මාන නියෝජනය කරමින් ජනතාව ද මේ සාකච්ජාවට සහභාගි වූහ. මේ සාකච්ජාවද දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේ වනජිවි නිලධාරීන් වෙත ගම්මුන්ගෙන් දැඩි වාග් ප්‍රහාර එල්ල වීමෙනි.

කෙසේ හෝ ගම්මුන්ගේ දැඩි ඉල්ලීම් හා විවේචන හමුවේ මෙම මිනිමරු වන අලියා ඇල්ලීමේ මෙහෙයුම පසුගියදා ආරම්භ විය.

එසේ නමුත් වන අලියා කොටු කර ගැනීමට නිලධාරීන්ට ගමට ඒමට නොහැකි වූයේ ගම්මුන් දැඩි කෝපයෙන් පසුවීම නිසාය. නිලධාරීන් 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයුම සදහා එක් විය. වනජීවි නිලධාරීන්ගේ සහායට පොලිස් නිලධාරීහූ 10 දෙනක් එක් වූහ.

ගම්මුන්ගේද සහාය ඇතිව වන ජීවි පශු වෛද්‍ය ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතාගේ නායකත්වය යටතේ ඉකුත් 15 වැනිදා සවස තණමල්විල මීගස්වැව ප්‍රදේශයේ කඳවුරු බැඳ වන අලියා ඇල්ලීමේ මෙහෙයුම ආරම්භ කෙරිණි. 15 වැනි දින සිට දිවා රෑ දෙකෙහි සිදුකළ මෙහෙයුමකින් පසු ඉකුත් 17 වැනි දින සවස් වරුව වන විට වන අලියා කොටු කර ගැනීමට වනජිවි නිලධාරීන්ට හැකි විය. ඒ තණමල්විල මීගස්වැව ගම්මායේදීය. පසුව ගම්මුන්ටද අල්ලාගත් වන අලියා දැක බලා ගන්නට අවස්ථාව ලබාදී ඒ මිනී මරු වන අලියාම බවට තහවුරු කර ගැනීමෙන් පසු වන අලියා රැගෙන යෑමට අවශ්‍ය කටයුතු සකස් කෙරිණි.

වන අලියා රැගෙන යෑම සඳහා වාහනයට පටවා ගැනීම ඉතා අසීරු කර්තව්‍යයක් විය. නිර්වින්දනය කර අල්ලා ගත් වන අලියා 18 වැනි දින දහවල් අනුරාධපුර හොරොව්පතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබිණි.

වන අලි මෙහෙයුම පිළිබඳ අදහස් දැක්වූ වනජිවී පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ. ධර්මකීර්ති මහතා මෙසේ පැවසිය.

“අපි මේ වන අලියා ඇල්ලීම සිදු කළේ මේ අලියා මිනීමරු වල් අලියාම බවට ගමේ අය තහවුරු කර ගැනීමෙන් පසුවයි. ගමේ අයගේ සහාය අපට මේ වෙලාවෙදී බොහෝ ප්‍රයෝජනවත් වුණා. මොකද මිනී මරු වන අලියා කවුද කියලා හරියට දන්නේ ගමේ ඉන්න අයයි. ඇත්තටම කියන්න ඕනේ අලින් ජිවත් වූ ප්‍රදේශ අද වන විට විවිධ කටයුතු වෙනුවෙන් මිනිස්සු අරගෙන. ඉතින් අලින්ට යන්න එන්න තැන් අහිමි වෙලා තියෙනවා. දිගින් දිගටම මිනිස් ජීවිත බිලිගන්නකොට කරන්න තියෙන්නේ ඒ කළහකාරීව හැසිරෙන වන අලින් අල්ලා එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමයි. වන අලි කරදරවලදී මූලික පියවර හැටියට අලි වැටවල් ඉදිකිරීම් ,අලි කොරිඩෝ විවෘත කිරිම්, වන අලින් වෙනුවෙන් රක්ෂිත නම් කිරිම් වගේ දේවල් තමයි කරන්නේ. මේ සියල්ල ප්‍රමාණවත් නොවී වන අලින් කලහකාරීව හැසිරෙනවා නම් එම ප්‍රශ්නය අවම කිරිම වෙනුවෙන් කරන්නේ එම වන අලියා අල්ලා ඉවත් කිරීමයි. වන අලියෙක් අල්ලා ඉවත් කළ තරමින්ම වන අලි ගැටලුවට විසඳුම් ලැබෙන්නේ නෑ. එක අලියෙක් අල්ලලා ගිහින් දමනකොට ඒ තැනට තවත් වන අලියෙක් එනවා.ඒක තමයි රටාව”

ඌව, මධ්‍යම හා දකුණ බාර පශු වෛද්‍ය නිලධාරී ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු මෙ මෙහෙයුමට ඇත්අතුරු සෙවණ වනජීවි නිලධාරීහූ, ඌව පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීහූ, දකුණු පළාත් සහකාර වනජීවී කාර්යාලයේ නිලධාරීහූ හා උඩලවල හා තණමල්විල වනජීවී කාර්යාල නිලධාරීහූ එක් වූහ.

නුවන් ජයසේකර 
සූරියවැව

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.