ලෝක නාය­ක­යන්ගේ බලය සහ ඉර­ණම | සිළුමිණ

ලෝක නාය­ක­යන්ගේ බලය සහ ඉර­ණම

ක්‍රිස්තු වර්ෂ 2016 නොවැම්බර් 09 දා ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ජයග්‍රහණය ලබන අවස්ථාවේ ලෝකයේ බලවත් ම රටවල් කිහිපයක බලයේ සිටි රාජ්‍ය නායක නායිකාවන් පිළිබඳව තොරතුරු විමසන විට කුහුල උපදවන සුලු චිත්‍රයක් නිර්මාණය වේ. එය ඉතිහාසයේ දෛවය විසින් ගෙන ආ සංසිද්ධියක් ද ? ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු අනෙක් රාජ්‍ය නායක නායිකාවන්ගේ ජන්ම කේන්දර අතර ඇති පොදු ලක්ෂණ පුදුමාකාර වන අතර ලෝකය තවත් ඓතිහාසික පෙරළියකට මුල පුරමින් සිටින බවට මෙය ද හොඳ නිමිත්තකි.

පුද්ගල කේන්දර සෑදීමේදී අද භාවිතයට ගන්නා ප්‍රධාන ක්‍රම දෙකක් තිබේ. එනම් අප විසින් භාවිතා කරනු ලබන නිරයන ක්‍රමය සහ බටහිර යුරෝපීය රටවල භාවිතා කරනු ලබන සායන ක්‍රමය යි. මේ දෙවනුව කී සායන ක්‍රමය ප්ලැසිඩස් භාව කේන්දරය ලෙස සුප්‍රසිද්ධ ය. සායන සහ නිරයන ක්‍රම දෙක අතර අංශක 23. 5 ක පරතරයක් තිබේ. මෙකී ක්‍රම දෙකට ම අනුව සාදන ලද තත්කාලීන රාජ්‍ය නායක නායිකාවන්ගේ ජන්ම කේන්දර පිළිබඳ කෙටි සටහනක් මතු දැක්වේ.

1. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 1952 ඔක්තෝබර් මස 07 දා දහවල් 12.39 ට ශාන්ත පීටර්ස්බර්ග්හි උපත ලැබූ අතර ඔහු වෘශ්චික / ධනු ලග්නයට අයත් වේ.

2. එංගලන්තයේ අගමැතිනි තෙරේසා මේ 1956 ඔක්තෝබර් 01 දා දහවල් 12.00 ට ඊස්ට්බර්න්හි උපත ලැබූ අතර ඇය වෘශ්චික / ධනු ලග්නයට අයත් වේ.

3. ජපානයේ අගමැති ෂින්සෝ අබේ 1954 සැප්තැම්බර් මස 21 දා දහවල් 12.00 ට නගාටෝහි උපත ලබා ඇති අතර ඔහු වෘශ්චික / ධනු ලග්නයට අයත් ය.

4. ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු 1949 ඔක්තෝබර් මස 21 දා උදේ 10.01 ට ටෙල් අවිව්හි උපත ලබා ඇති අතර ඔහු ද වෘශ්චික / ධනු ලග්නයට අයත් වේ.

5. ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජලා මර්කල් 1954 ජූලී මස 17 දා සවස 06. 00 ට හැම්බර්ග්හි උපත ලද අතර ඇගේ ලග්නය ද වෘශ්චික / ධනු වේ.

6. සිරියාවේ බෂාර් අල් අසාද් 1965 සැප්තැම්බර් මස 11 දා දහවල් 12.00 ට දමස්කස් හි උපත ලැබූ අතර ඔහු වෘශ්චික / ධනු ලග්නයට අයත් වේ.

7. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි 1950 සැප්තැම්බර් මස 17 දා උදේ 11.00 ට උපත ලබා ඇති අතර ඔහුගේ ලග්නය වෘශ්චික / ධනු වේ.

8. චීනයේ ෂී ජිං ෆෙං 1953 ජූනි මස 15 දා දහවල් 12.00 ට බීජිංහි උපත ලබා ඇති අතර ඔහු සිංහ / සිංහ ලග්නයට අයත් වේ.

9. අමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 1946 ජූනි මස 14 දා උදේ 10.54 ට ජැමෙයිකාහි උපත ලබා ඇති අතර ඔහු සිංහ / සිංහ ලග්නයට අයත් වේ.

10. ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ තරග කොට පරාජයට පත් වූ හිලරි ක්ලින්ටන් 1947 ඔක්තෝබර් මස 26 දා උදේ 08.02 ට චිකාගෝහි උපත ලබා ඇති අතර ඇය තුලා / වෘශ්චික ලග්නයට අයත් වේ.

ඉහත සටහනේ දැක්වෙන බලවත් චරිත 10 න් 8 දෙනෙකු ම උපත ලබා තිබෙන්නේ වෘශ්චික ලග්නයට සමීප සබඳතා ඇතිව ය. ඒ අතරින් 7 දෙනෙකු උපත ලබා තිබෙන්නේ සැප්තැම්බර් - ඔක්තෝබර් දෙමාසයේදී ය. මේ දස දෙනා අතරින් ඉතා විශේෂ දෙදෙනකු කැපී පෙනේ. එනම් ලෝකයේ මහ බලවතා වීමට තරග වදින අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීනයේ ෂී ජිං ෆෙං යන දෙදෙනා ය. ඔවුන් දෙදෙනා ම සිංහ ලග්නයට අයත්වන අතර දෙදෙනා ම උපත ලබා තිබෙන්නේ ජූනී මාසයේ එක ළඟ දින දෙකකදී ය.

අංක විද්‍යාව අනුව ගත් විට මේ දස දෙනා අතර ඇති සමාන සහ අසමාන ලක්ෂණ අධ්‍යයනය කිරීම ද රසවත් ය. ඒ අනුව බෙන්ජමින් නෙතන්යාහු සහ ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනා ම අංක 08 ලබා ගන්නා අතර එයින් සෙනසුරු නියෝජනය කරයි. දෙදෙනාගේ ප්ලැසිඩස් ලග්න සබඳතාව සිංහ - ධනු විසින් තේජෝ බලයත් රවි සහ ගුරු සංයෝගයත් නිරූපණය කරයි. රාශි දෙක ජ්‍යාමිතික පිහිටීම අංශක 120 කි. මේ ඉතා යහපත් සංයෝගයකි. මේ අනුව අනාගත ලෝකයේ අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉතා හොඳ ම මිතුරන් බවට පත්වනු ඇත.

අංක 06 ලබා ගන්නා ව්ලැදිමීර් පූටින් සහ ෂී ජිං ෆෙං ප්ලැසිඩස් ලග්න සබඳතාව අනුව ධනු - සිංහ තේජෝ බලයත් රාශි දෙක අතර අංශක 120 සුබ පිහිටීමත් පෙන්වයි. ඒ අනුව අනාගත ලෝකයේ චීනය සහ රුසියාව අතර ඉතා ශක්තිමත් සංධානයක් ගොඩනැඟීම පෙන්වයි.

අංක 05 ලබා ගන්නා බෂාර් අල් අසාද් සහ නරේන්ද්‍ර මෝදි යන දෙදෙනා ම එක ම ලග්නයකට ඇතුළත්ව සමාන බලය නිරූපණය කරන අතර නුදුරු අනාගතයේදී දෙදෙනා ම එක හා සමාන දෛවයකට මුහුණ දීමට නියමිත ය. විශේෂත්වයකට පෙන්නුම් කැරෙන්නේ නරේන්ද්‍ර මෝදී වෘශ්චික රාශියට ඉතා සමීප හෙයින් බෂාර්ට වඩා මෝදීගේ දෛවයේ බර වැඩි බව යි. නුදුරු අනාගතයේදී සිරියාවට වඩා ඉන්දියාව ලෝකයට පුවත් මවනු ඇත. ඒ යහපත් තත්ත්වයක් ලෙස පෙන්නුම් නො කරයි.

අංක 04 ට අයත්වන තෙරේසා මේ සහ ෂින්සෝ අබේ යන දෙදෙනා ම ලෝක නායක ධූරාවලියේ අනුහස් අතින් දුබල තැනකට වැටෙන අතර ඊට සාපේක්ෂව එංගලන්තය සහ ජපානයේ අනාගතය ද නිරූපණය කෙරේ.

මේ දස දෙනා අතරින් අංක 09 ය හිමි කැර ගන්නා ඇන්ජලා මර්කල් වෙතින් ඉතා ම ප්‍රබල තත්ත්වයක් පෙන්නුම් කරන අතර ජර්මනිය අනාගත ලෝකයේ වෙන ම ගමනක් යන බවත් එය ලෝකයට ම බලපෑම් කරන නව සන්ධානයක් කරා යන බවත් නිරූපණය කරයි. ජර්මනිය දිනා ගැනීමෙන් තොරව කිසිවක් කළ නොහැකි බව ලෝක බලවතුන්ට පසක් කරවන සිදුවීම් දැක ගන්නට ලැබේ.

ඉහත කී දස දෙනා අතරින් අඩුම අගය වූ අංක 02 හිමි කැර ගන්නා හිලරි ක්ලින්ටන් තව දුරටත් ලෝකයට බලපෑම් කළ හැකි තත්ත්වයක් නො සිටින බැව් ඇගේ තීරණාත්මක පරාජයෙන් ද මොනවට පෙන්නුම් කරනු ලැබීය. තුලා / වෘශ්චික ලග්න දෙක අතරින් හිලරි ක්ලින්ටන් වඩාත් ම සමීප වන්නේ වෘශ්චිකයට හෙයින් නුදුරු අනාගතයේ ඇය ඉතා ඛේදනීය ඉරණමකට ගොදුරුවන බවත් මැනවින් පෙන්නුම් කරයි

යුරේනස් වසර 84 කට වරක් ද සෙනසුරු වසර 30 කට වරක් ද ලෝකය අලුත් කරමින් සමාජ දේශපාලන විප්ලවයන්ට මුල පුරයි. ප්‍රංස විප්ලවයට යුරේනස් විසින් දුන් දායකත්වය මෙන් ම පළමු ලෝක යුද සමයේදී රුසියානු සමාජවාදී විප්ලවයට පසුබිම සකස් වූ අයුරුත් එහි ප්‍රතිඵල වේ. ඒ චක්‍රය ම දෙවැනි ලෝක යුද සමයට සමාන්තරව ක්‍රියාත්මක වූ අතර යුරෝපයේ නාසිවාදය සහ චීනයේ කොමියුනිස්ට් නැගිටීම යන සිද්ධි දෙක ම විද්‍යමාන වන්නට ගත්තේ 1931 දී යුරේනස් මේෂ රාශියට පැමිණ ආරම්භ කළ අලුත් චක්‍රයත් සමඟ ය. එකල හිට්ලර් - මුසෝලිනි - වින්ස්ටන්ට් චර්චිල් - චාල්ස් ඩිගොල් - ඇල්බට් අයින්ස්ටයින් සහ මාවෝ සේතුං යුරේනස් විසින් ඉතිහාසයට බිහි කළ චරිත වේ.

1874 නොවැම්බර් 30 දා පාන්දර 01.30 ට එංගලන්තයේ වුඩ්ස්ටොක්හි උපන් චර්චිල් කන්‍යා ලග්නයට අයත් වේ. මොහුගේ කේන්දරයේ වායු බලය 25.7 ක් වන අතර තේජෝ බලය 42.3 කි. ඒ දෙකෙහි එකතුව සියයට 68 කි. චර්චිල් කෙතරම් නිර්භීත සහ අධි ක්‍රියාකාරී සටන්කාමීයකු ද යන බව මෙයින් මොනවට පෙනේ.

1889 අප්‍රේල් 20 දා සවස 06.30 ට ඔස්ට්‍රියාවේදී උපන් හිට්ලර් තුලා/ වෘශ්චික ලග්නයට අයත් වේ. ඔහුගේ කේන්දරයේ වායු බලය 26.5 ක් වන අතර තේජෝ බලය 26.9කි. ජල බලය 0 කි. පුදුමයට කරුණ නම් ඉතිරි 46.7 ම පඨවි බලයට අයත් වීමයි. මොහු සටන්කාමීයෙක් සේම ඉතා මුරණ්ඩු ප්‍රායෝගික නොවන සිත් ඇත්තෙකු බව එයින් පෙන්වයි. ජල බලය හීන පුද්ගලයාගේ ආධ්‍යාත්මික ශක්තිය ද හීන ය.

1893 දෙසැම්බර් 26 දා උදේ 07.30 ට චීනයේ සියැං ටෑන් හි උපන් මාවෝ සේතුං ධනු / මකර ලග්නයට අයත් වේ. ඔහුගේ කේන්දරයේ වායු බලය 40.2 කි. පඨවි බලය 31.9 කි. තේජෝ බලය 16.4 කි. ජල බලය 11.5 කි. තම අරමුණ මත තිරව පිහිටා ක්‍රියාකරන විප්ලවකාරී මනස මෙහි එන වායු සහ පඨවි බලද්වයෙන් පෙන්වයි. සන්නද්ධ හමුදාමය ක්‍රියාකාරීත්වයට වඩා උපක්‍රමශීලීව සතුරා මැඩලීම මේ කේන්දරයෙන් මොනවට පෙනේ.

1883 ජූලි මස 29 දා සවස 02.00 ට ඉතාලියේ උපන් බෙනිටෝ මුසොලිනි වෘශ්චික ලග්නයට අයත් වේ. මොහුගේ කේන්දරයේ චතුර්බල සියල්ල ම පවතින්නේ 30 % කට අඩුවෙනි. ඒ අනුව ඔහු කිසිදු අංශයකින් කැපී පෙනෙන්ෙනක් නොවේ. එහෙත් ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය.

දෙවැනි ලෝක යුද්ධය ආරම්භ කිරීමට මූලික වූ චරිත කිහිපයක් දැන් හඳුනා ගනිමු.

1.ජපානයේ හිරොහිතො අධිරාජයා සහ 1941 ඔක්තෝබර් සිට 1944 ජූලි දක්වා සිටි ජපාන අගමැති හිදෙකි ටෝජෝ. හිරෝහිතෝ අධිරාජයා 1901 අප්‍රේල් මස 29 දා රාත්‍රී 10.10 ට ධනු ලග්නයෙන් උපත ලැබුවේ ය.

2. 1922 සිට 1943 දක්වා වුන් ඉතාලි අගැමැති බෙනිටෝ මුසොලිනි.

3. ඇඩොල්ෆ් හිට්ලර් ඉතා භයානක ම මූලධර්මවාදය වූ නාසිවාදයට නායකත්වය දුන් ආඥාදායකයා ය. පළමු ලෝක යුද සමයේදී බැවේරියානු හමුදාවේ සුළු තනතුරක් දැරූ හෙතෙම දෙවැනි ලෝක යුද සමය අතරතුරදී ජර්මනියේ සුපිරි ආඥාදායකයා ලෙස බලය ඩැහැගත්තේ ය. යුදෙව්වන් - යෙහෝවා බැතිමතුන් - රෝමානු කතෝලිකයන් - සමලිංගිකයන් - අභිගුන්ටිකයන් - ආබාධිතයන් සහ හිට්ලර්ගේ ජනවාර්ගික පවිත්‍රකරණයට එරෙහි සියලු දෙනා ආදී වශයෙන් මිලියන 11 කට අධික ජන සංහාරයක් කළ හෙතෙම ඉන් පසු ලෝකයේ අනෙක් රටවල් ආක්‍රමණය කිරීමට ද පියවර ගත් අතර 1945 අප්‍රේල් 30 දා මරුමුවට පත්විය.

මොවුන්ට එරෙහිව සටනට පිවිසි චරිත මෙසේ ය.

1. නෙවිල් චෙම්බර්ලින් - 1889 මාර්තු 18 දා උපන් මොහු දෙවැනි ලෝක යුද්ධය ඇරඹෙන විට එංගලන්තයේ අගමැතිවරයාව සිටි අතර 1940 දී ඉල්ලා අස්විය. චර්චිල් ඔහුගේ අනුප්‍රාතිකයා විය.

2. එංගලන්තයේ අගමැති වින්ස්ටන් චර්චිල් විසින් යුද්ධයට නායකත්වය දෙනු ලැබීය.

3. 1928 සිට 1953 දක්වා සිටි සෝවියට් රුසියාවේ කොමියුනිස්ට් ආඥාදායක ජෝසප් ස්ටාලින්. 1878 දෙසැම්බර් මස 18 දා උදේ 08.15 ට ජෝර්ජියාවේදී උපත ලැබූ අතර ඔහුගේ ලග්නය මකර වේ.

4.1933- 1945 කාලයේදී අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාව සිටියේ ෆ්රැන්ක්ලීන් ඩී. රූස්වෙල්ට් ය. ඔහු විසින් ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කළ නමුත් යුද ජයග්‍රහණය දකින්නට පෙර මිය ගියේ ය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ හැරී ටෘමන් ය. රූස්වෙල්ට් 1882 ජනවාරි 30 දා රාත්‍රී 08.45 ට හයිඩ් පාක් නිව්යෝක් හි උපත ලැබු අතර ඔහු කන්‍යා ලග්නයට අයත් වේ.

5. හැරි ටෘමන් දෙවැනි ලෝක යුද්ධයේ අවසන් වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස පත් වූ අතර ජපානයට එරෙහිව පරමාණු බෝම්බ ප්‍රහාර එල්ල කෙළේ මොහුගේ නියෝග මත ය. 1884 මැයි 08 දා සවස 04.00 ට ලාමාර්හි උපන් මොහු තුලා ලග්නයට අයත්වේ.

6. චාල්ස් ඩිගෝල් ජර්මනියට එරෙහිව ප්‍රංස හමුදා මෙහෙයවූ අතර පසුව ඔහු ප්‍රංසයේ ජනාධිපතිධූරයට පත් විය. 1890 නොවැම්බර් 22 දා පාන්දර 04.00 ට ලිලාහි උපන් මොහු තුලා ලග්නයට අයත් වේ.

7.විලියම් කිං - කැනඩාවේ අගමැති./ . රොබර්ට් මෙන්සීස් - ඔස්ට්‍රේලියානු අගමැති./ මයිකල් සැවේජ් - නවසීලන්ත අගමැති යන මේ තිදෙනා ද දෙවැනි ලෝක යුද සමයේදී මිත්‍ර සන්ධානයට එක් වූහ.

යුද ජයග්‍රහණයට පුරෝගාමී වූ ෆ්රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් සහ වින්ස්ටන්ට් චර්චිල් යන දෙදෙනා ම කන්‍යා ලග්නයෙන් උපත ලබා ඇති අතර ඔවුන් දෙදෙනා සමඟ එක් වූ ජෝසප් ස්ටාලින් මකර ලග්නයෙන් උපත ලබා ඇත. මෙකී තිදෙනා ම විශ්වයේ පඨවි බලය නියෝජනය කරන්නෝ වෙති.

හැරී ටෘමන් සහ චාල්ස් ඩිගෝල් යන දෙදෙනා ම තුලා ලග්නයෙන් උපත ලබා ඇති අතර ඔවුහු විශ්වයේ වායු බලය නියෝජනය කරති.

ඉතිහාසයේ දෛවය විසින් කරන ලද තවත් පුදුමාකාර වෙනස්කම් දෙකක් අපගේ නිරීක්ෂණයට ලක්විය යුතු ය. දෙවැනි ලෝක යුද සමය ඇරැඹෙන විට බලයේ සිටි එංගලන්තයේ අගමැතිවරයාට සහ අමෙරිකාවේ ජනාධිපතිවරයාට යුද්ධය අවසන් වීමට පෙර අනපේක්ෂිතව ඉවතට විසී වන්නට සිදුවිය. නෙවිල් චෙම්බර්ලින් අගමැති ධූරයෙන් ඉල්ලා අස් නොවුවා නම් වින්ස්ටන් චර්චිල් කෙනෙකු බිහි වන්නේ නැත. ෆ්රැන්ක්ලින් ඩී රුස්වෙල්ට් ජනාධිපති ධූරයෙන් සමු නො ගත්තා නම් හැරී ටෘමන් කෙනෙකු බිහි නොවන්නා සේ ම ජපානයට පරමාණු බෝම්බ ප්‍රහාර එල්ල වන්නේ ද නැත.

ඉතිහාසයේ දෛවය හැම විට ම සැලසුම් සහගත ය. ක්‍රමානුකූල ය. අවස්ථාව එනතුරු පුදුමාකාර ලෙස ඉවසිලිවන්ත ය. එහෙත් තම සැලසුම් අකුරක් නෑර ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය ඕනෑ ම පියවරක් ගැනීමට එය පැකිළෙන්නේ ද නැත. ජපානය සහ ජර්මනිය ලවා ලෝක පරිමාණ යුද්ධ නිර්මාණය කෙළේ ඉතිහාසයේ දෛවයට වුවමනා හැටියට ය. ජර්මනියේ හිට්ලර් සහ ජපානයේ හිදෙකි ටෝජෝ යන දෙදෙනා ලවා යුද්ධය ක්‍රියාත්මක කළ ඉතිහාසයේ දෛවය විසින් ම ඒ දෙදෙනා පරාජයට පත් කිරීමට චර්චිල් සහ අයින්ස්ටයින් වැන්නෝ නිර්මාණය කරනු ලැබූහ. සෑම වසර 84 කට වරක් මේ යොදා ගැනීම ඉතිහාසයට සාමාන්‍ය සංසිද්ධියකි. සිද්ධි සහ පුද්ගලයන් ඒ අනුව ඉස්මතු වෙයි. බොහෝ විට මේ ක්‍රමවේදය ඉතා කුරිරු ය. බිහිසුණු ය. එහෙත් ඉතිහාසයේ දෛවය විනිශ්චය කිරීමට අපට හැකියාවක් නැත. අපට කළ හැක්කේ එය නිරීක්ෂණය කිරීම පමණි. යුරේනස් සහ සෙනසුරු යනු ඉතිහාසයේ දෛවය සූදානම් වන්නේ කුමකට ද යන්න කල් තබා පෙන්නුම් කරන දූතයෝ දෙදෙනෙකි.

මේ සමඟ ම මතක තබා ගත යුත්තේ ලෝකය අලුත් කිරීමට ඉතිහාසයේ දෛවය විසින් හැම විට ම කෲරතර ක්‍රමවේද පමණක් ම තෝරා නො ගන්නා බවයි. අධ්‍යාත්මික නායකයන් - ආගමික ශාස්තෘවරුන් - දාර්ශනිකයන් - ඉතිහාසඥයන් - සංගීතඥයන් - සහ කලාකරුවන් මගින් ලෝකය වඩාත් ආධ්‍යාත්මික අංශයෙන් අලුත් කිරීමට ඉතිහාසය නිසි කලට ක්‍රියාත්මක වෙයි. ඒ පිළිබඳව පූර්ව නිමිති සපයන්නේ නෙප්චූන් සහ බ්‍රහස්පතී යන ග්‍රහයන් දෙදෙනා ය. දාර්ශනික - ආගමික යුග - මහා සංගීත සම්ප්‍රදායන් - සාහිත්‍ය ධාරාවන් - සිනමා - නාට්‍ය කලා නිර්මාණ පෙරළි මගින් ලෝකය අලුත් කරවන අවස්ථා එකක් නෑර නෙප්චූන් විසින් නිවේදනය කරනු ලැබේ.

යුරේනස් අවි බලයෙන් සහ තාක්ෂණයෙන් ලෝකය අලුත් කොට නික්ම ගිය පසු නෙප්චූන්ගේ වාරය උදාවෙයි. එවිට නැවත ආධ්‍යාත්මික පිබිදීම් සමඟ මහා දර්ශනවාද - සාහිත්‍ය - සංගීත - සිනමා - නාට්‍ය - කලා යනාදියෙහි විප්ලවීය මහා සම්ප්‍රදායන් සහ විශ්වීය නිර්මාණ බිහි වෙයි. හෝමර් - ඉලියඩ් ශේක්ස්පියර් හැම්ලට් පුෂ්කින් රස්කොල්නිකොව් තෝල්ස්තෝයි වසීලෙස්සා පමණක් නොව වාල්මිකි රාමායනය මෙන් ම බීතෝවන් - මොසාට් සමග චාලි චැප්ලින්ලා ද නිර්මාණය වෙති. ඉතිහාසයේ දෛවයේ හැටි එහෙම ය. අප මේ ගත කරන කාලය වනාහී නෙප්චූන් නිද්‍රාශීලීව සිටින අවස්ථාව වන හෙයින් දාර්ශනික සහ කලා වින්දනය අතින් අපි හිඟන - පිසාච තත්ත්වයකට පත්ව සිටිමු. මෙකල වැරදීමකින් වත් අඩුම තරමින් ජෝතිපාල කෙනෙකු වත් අලුතින් බිහි වන්නේ නැත.

2017 වර්ෂය සමස්ත ලෝකයට ම තීරණාත්මක ය. මෙසේ සඳහන් කරන්නේ ඇයි දැයි ඔබට දැනටත් කිසියම් අවබෝධයක් තිබිය යුතු ය. ඔව් ! නැවත වරක් - වසර 84 කට පසුව ලෝකය අලුත් කරවන අවස්ථාව උදා වෙමින් තිබේ. තිබෙන්නා වූ සියල්ල විනාශ කරන්නා වූ ද මෙතෙක් නො තිබූ දේ ජනනය කරන්නා වූ ද යුරේනස් 2017 අප්‍රේල් 09 දා මේෂ රාශියට පිවිසියේය. ඔහු මේෂ රාශියේ වර්ෂ හතක් ගත කරන අතර ඒ කාලයේදී තනි තනි රටවල අභ්‍යන්තර පෙරළි මාලාවක් සුළි සුළඟක් ලෙස හමා යයි. දෙවනුව සමස්ත ලෝකයට ම බලපාන ලෙස සමාජ දේශපාලන විප්ලව සහ යුදමය වාතාවරණයක් නිර්මාණය වේ.

2017 ජනවාරි 26 දා සෙනසුරු ධනු රාශියට පිවිසෙන්නේ වසර 30 ක අලුත් චක්‍රයක් ආරම්භ කරමිනි. සෙනසුරු ද ලෝකය අලුත් කරන පෙරළිකාර ග්‍රහයෙකි. තිස් වසරකට පසු සියල්ල උඩු යටිකුරු කිරීම සහ පැරණි චක්‍රයට අයත් සියල්ල එකක් නෑර විනාශ කිරීම හෝ අලුත් කිරීම ඔහුගේ ක්‍රියාකලාපය යි. විශේෂයෙන් ම බලය සහ පවතින ආණ්ඩුක්‍රමය පෙරළා දැමීම සහ ඒවා අංශක 360 කින් පරිවර්තනය කිරීමත් පීඩකයා විනාශ කොට පීඩීතයාට විමුක්තිය උදා කර දීමත් ඔහුගේ අරමුණ වේ.

ලෝකය ම විප්ලවයට හෝ යුද්ධයට කැඳවන යුරේනස් සහ ලෝකය ම විනිශ්චය කරන සෙනසුරු යන ග්‍රහයන් දෙදෙනා එකම වර්ෂයක මාස තුනක් වැනි කෙටි කාල අන්තරයකින් තම අලුත් දීර්ඝ චක්‍ර ආරම්භ කිරීම සිදුවන 2017 වර්ෂය ලෝකයට ම තීරණාත්මක වන්නේ ඒ ආකාරයෙනි.

 

(තුරුම්පුවාගේ වික්‍රමය කෘතිය ඇසුරෙනි) 

Comments