අපේ නර්තන කලාව ප්‍රංශ­යට ගෙන ගිය කමලා බැල්ල­න්තු­ඩාව | සිළුමිණ

අපේ නර්තන කලාව ප්‍රංශ­යට ගෙන ගිය කමලා බැල්ල­න්තු­ඩාව

 

ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන අනන්‍යතාව යුරෝපයට ගෙනයමින් යුරෝපයේ සිටින ශ්‍රී ලාංකික දුවා දරුවන්ට මෙන්ම එහි සිටින යුරෝපීයයන්ට ද නර්තනය උගන්වන නර්තන ශිල්පිනියක් අපිට හමු වුණා. ලාංකේය නර්තන කලාව ප්‍රංශයට ගෙන ගිය ඇය මෙරට උඩරට, පහතරට නර්තන කලාවන්හි ගැබ්ව ඇති අපේකම පැරීසියේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ටත් යුරෝපීය දරුවන්ටත් ප්‍රගුණ කරවීමට 'සරසවි රංග නිකේතනය ' ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළාය.නමින් කමලා බැල්ලන්තුඩාව (මීපාගල) නම් වූ ඇය රසඳුන සමඟ කළ සංවාදයයි මේ.

ඔබ දිගු කාලයක් මව් රටෙන් ඈත් වෙලා හිටියේ. දිගට ම ප්‍රංශයේ ද ඉන්නේ?

අවුරුදු 28ක් ම මම හිටියේ ප්‍රංශයේ . නමුත් තවත් දීර්ඝ කාලයක් රැඳෙන්නේ නෑ. දැන් ආපසු ලංකාවට එන්න කාලය හරි.

ඒ කියන්නේ ඔබ ප්‍රංශයට වගේම නර්තනයටත් සමු දෙන්නද හදන්නේ?

ප්‍රංශයෙන් මම මගේ රටට එනවා. නමුත් නර්තනයට සමු දෙන්නේ නෑ. නර්තන කලාව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය මම මගේ රට වෙනුවෙන් ඉටු කරනවා.

ඔබ ප්‍රංශයේ පවත්වාගෙන යන රංගායතනයේ වැඩකටයුතු කොහොමද ?

2003 ජනවාරි මාසයේ තමයි ‘සරසවි රංග නිකේතනය‘ ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ආරම්භ කළේ. ඒ පැරීසියේ සිටින දෙමාපියන්ගේ විශේෂ ඉල්ලීමකට අනුවයි. ඒ සඳහා මගේ සරසවි කාලයේ සිටමිතුරියක් වූ ශ්‍රීමතී චන්ද්‍රෙස්කර මහත්මිය සහය වූවා.

අප දෙදෙනාම කලාකීර්ති පනීභාරතයන්ගෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාල යේ නැටුම් කලාව හදාරා උපාධි ලබාගෙන ගුරුපුහුණුව ලබා වසර ගණනාවක්ම රජයේ පාසල්වල සේවය කළා.

කොහොමද ප්‍රංශයේ අපේ නැටුම් වලට හිමිවන තැන?

ප්‍රංශය කියන්නේ ශ්‍රී ලාංකිකයන් බොහොමයක් ජීවත්වන රටක්. ඔවුන් තුළ විශාල උනන්දුවක් තියනවා දේශීය නර්තනය හැදෑරීමට. ඊට සමානව ම ඒ රටේ පිරිස් මෙන්ම එරටෙහි ජීවත්වන විදේශිකයන් ද නර්තනය හැදෑරීමට අප හා අත්වැල් බැඳන් සිටියා.

සරසවි රංග නිකේතනයේ පුහුණු කළේ පාරම්පරික නැටුම් පමණි ද?

ඔව්. උඩරට, පහතරට සම්ප්‍රදායන්ට අදාල නැටුම් වගේම ජන ගායනා, ජන නැටුම් මෙන්ම ඒ ආශ්‍රත නවාංග ද අපි මෙහිදී පුරුදු පුහුණු කළා.

මොනවගේ සහයෝගයක්ද ඔබට එරටින් ලැබුනේ?

අපේ කලායතනය පැවැත්වීමට ඉඩ හසර ලබා දුන් ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමියන්ට ගෞරව පූර්වක ස්තූතිය හිමි විය යුතුයි.

ඒ වගේම යුරෝපා ශ්‍රී ලාංකේය තානාපති කාර්යාලයන්, ප්‍රංශයේ සංචාරක මණ්ඩලයෙන්,හිටපු හා වර්තමාන ජනාධිපතිවරුන්ගෙන් ඊට විශාල සහයෝගයක් ලැබුණා.

‘රංග තරංගා‘ පිළිබඳව කතා කරමුද?

අපේ සාම්ප්‍රදායික නිර්මාණ ඇසුරු කරගෙන කරපු ප්‍රසංගය තමයි රංග තරංගා කියන්නේ. මේ වන විට අපි ප්‍රසංග 4ක් වේදිකා ගත කරලා තියනවා.

ඔබේ වසර 28කට අධික නර්තන දිවිය පිළිබඳ ඔබට මොනවාද කියන්න තියෙන්නේ?

නර්තනය හැදෑරීමෙන් ඉගැන්වීමෙන් මා ලද ආත්ම තෘප්තිය නම් මිල කළ නොහැකියි. මගේ සියලුම කටයුතුවලට සහය දුන් සියල්ලන්ටම මම ස්තුතිවන්ත වෙනවා. එහිදී හිටපු ජනාධිපති තුමන්ට, පරවාහැර චන්ද්‍රරතන හිමියන්ට,මුරුගස් යායේ ඤාණීස්සර හිමියන්ට, කෝන්ගස් දෙණියේ ආනන්ද හිමියන්ට, තංගල්ලේ සුමන හිමියන් ඇතුළු ස්වාමීන්වහන්සේලාට, අපගේ රංගායතනයේ ගීතය නිර්මාණ කරදුන් ලීලාරත්න කලමුල්ල මැතිඳුන්ට, එවකට ප්‍රංශයේ තානාපතිව වුන් චිත්‍රාංගනී වාකීෂ්වර මැතිණියන්ට, ප්‍රංශ තානාපති ලයනල් ප්‍රනාන්දු මැතිඳුන්ට, ප්‍රවීණ කලා ශිල්පිණී සෝමලතා සුබසිංහ මැතිණියට, එවකට ජිනීවාහි නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මැතිඳුන්ට, රණවීර රාජා මැතිඳුන්ට, මාලතී සෝමබන්දු මහත්මියට, සෝමබන්දු විද්‍යාපති මැතිඳුන්ට ආදී නන් අයුරින් සහය දුන් සියල්ලන්ටම ස්තුති වන්ත වෙනවා. ඉහතින් කී සියල්ලන්ගේ සහය මතිනුයි මම මේ තරම් දුරක් රංගනයේ පැමිණියේ.

මෙවර වසර 14ක් සරසවි රංගායතනයේ දැරූ සභාපති ධූරයෙන් සමුගෙන අතීතයේ ගතකළ සුන්දර ජීවිතය අවර්ජනා කරමින් සැඳෑ සමය ලංකාවේ ගත කරනවා. 

Comments

පිටු