කුණු

 මිනිස්සු උපදිති; මැරෙති. එක් ම විදියෙන් උපදිතුදු මැරෙන විදිය වෙනස් වේ. පස් කඳුවලට යට වැ මැරෙති; ගිනි කඳුවලට යට වැ මැරෙති. එහෙත් දැන්? දැන් කුණු කඳුවලට දු යට වැ මැරෙති.‍ පෙර නොදුටු විරූ මරණයෙකි; නෑ සූ විරූ මරණයෙකි. ‍ෙව් වා! ඒ මැරෙන්නෝ මිනිස්සු ය. අපි දු මිනිස්සු ය. සියල් සත්නට මෙත් වඩන බුදුනු හැදියාවෙන් හැදුණු අප ගේ පාද‍ මෙ මහ විපතින් දෙදරා යේ ම ය. සසරෙහි අනත් කල් පැරුම් පුරා ලැබිය යුතු මිනිස් අත් බවක් නිකම් කුණු කන්දකට යට වැ බලු - බළල් විලසින් නැසී වැනැසී යෑම කවර නම් පවක් ද? අහෝ අපි කුමක් කෙරෙමු ද? ඒ මිය ගියවුනට නිවන් සුව පතා, අත් පා, සිඳුණු - බිඳුණවුනට ඉක්මන් සුවය පතා අපේ හද නිවාගනිමු.

එ පමණක් ද? නැති. අපට කරන්නට තව බොහෝ දෑ තිබේ. මේ කුණු කඳු ගොඩ ගැසූවනට ‍ශාප කළ හැකි ය. එ කුණු ඉවත් නො කොට මෙ තෙක් කඳු ගැසෙන තෙක් බලා සිටි, මහජනයා ගේ අත්‍යන්ත විරෝධය තඹ සතයකට දු ගණනට නො ගෙන, තව තවත් කුණු කඳු ගැසූ ගිය රජයේ දෙස් පලුවනට ශාප කළ හැකි ය;

මෙ කුණු වහා ඉවත් කොට ජනතා සෙත සලසන බවට දුන් පිළින ඉටු නො කොට පිස්සුයෙන් ‍‍ෙකළිනා හිරු නිකායේ දෙස් පලු පලුවියනට, ජනතා මර ඉක්මන් කරවමින් බොරුවට නව අරුතක් දුන් දෙස් පලු හිවලුනට ශාප කළ හැකි ය. එ ද මඳ යැයි හැ‍ඟේ නම් අලුත් අවුරුදු නැකැත් සැදූ කමිටුවට හෝ ශාප කළ හැකි ය. තවත් කී දෙනකුට නම් ශාප කළ හැකි ද? එහෙත් ඉන් කවර පලක් ද? මැරුණො මැරුණෝම ය. ජීවත් වන්නෝ දුක් විඳිති. ශාපයෙන් මේ එතකුදු වෙනස් නො වේ.

මේ කුණු කා ගේ ද? අප ගේ ම ය. අප ගේ පරිභෝජනයෙහි ප්‍රතිඵල ය. පරිභෝජනය වැඩි වත් වත් ම කුණු ද වැඩි වේ. ඉතින් පරිභෝජනය අඩු කරමු ද? ඒ නම් මෙ කපේ දී මෙ ලක්දිව සිදු නො වන්නෙකි. අපි වනාහි පරිභෝජනය වැඩි කරන්නේ කෙසේ ද යනු දිවා රෑ සොයන්නමෝ වෙමු; අද එකක් ක‍ෑව හොත් හෙට දෙකක් කන මං සොයන්නමෝ වෙමු. බල්ලන් මරා හරි, නැත, නැත, කුඩු විකුණා හරි මුදල් සොයන්නේ වැඩි වැඩියෙන් පරි‍‍භෝජනය පිණිස ය.

පෙර දු අපි නොකෑවෝ නොබීවෝ, නො ඇන්දෝ නො පැලැන්දෝ නොවුමු. එහෙයින් එ කල්හි ද අපි කුණු ඉපැදැවූලු. ලොකු ගෙවතු ඇත්තෝ වළක් කපා එ කුණු වළ ලෑ හ. එ නැත්තෝ සතියකට වරක් දෙ වරක් කුණු පිලිස්සූ හ. රජයේ කුණු අදින්නන් හට බාර වූයේ එ සේ නො පිළිස්සිය හැකි යමක් වී නම් පමණෙකි. මහ මං දෙපස කුණු ගොඩ ගැසුමක් එකල නොවී ය.‍

එහෙත් දැන්! දැන් මේ යන්තම් පර්චස දෙක තුනෙක ගෙයක් අටවා ගන්නවුනට කවර කුණු වළවල් ද? ඉඩ තිබුණ ද වළවල් කපන්නට, කුණු වළලන්නට පුලුස්සන්නට වේලාවක් කොයිබ ද? අපි දිවා රෑ වෙහෙසී මුදල් සොයා හොඳින් කමු, බොමු, ප්‍රීතියෙන් ඉපිලෙමු. අපේ කුණු නගර සභාවට, ප්‍රාදේශීය සභාවට බාර දෙමු.

ඔවුන් එයට කුමක් කළ ද කො තැන ගොඩ ගැසුව ද අපට කම් කිම? අපේ ගෙදර කුණු නැත් නම් එ පමණි. එ මතු ද? දැන් අපි පෙර මෙන් නො වෙමු; ඉතා දියුණු වැ සිටිමු. එහෙයින් ගෙදරට ම ගෙන්වාගෙන ‘පීසා’ කමු‍. ‘කෝක්’ බොමු. අර ඉතිරි වන ‘ප්ලාස්ටික්’ පිඟන්, හැඳි ගෑරුප්පු, බෝතල, පෙට්ටි සියල්ල කුණු ගොඩට ලමු.

පෙර මෙන් දැළි පිහි මැද මැද රවුළු නො කපමු. දැන් හොඳ හොඳ ‘රේසර්’ තිබේ. එ ද අර මුළු දිවියට ම එකක් පිරිමස්නා පිත්තල, යකඩ රේසර් නො වේ. සුසිනිඳු රවුළ බෑමක් සඳහා දින තුන - හතරකට වරක් මාරු කරන ‘ඩිස්පෝසබල් රේසර්’ යි. තව ද පාවිච්චියෙන් පසු ඉවත ලන දෑ කොතරම් ද? කොටින් කිව හොත් දැන් අපි මුළුමනින් ම පාවිච්චියෙන් පසු ඉවත ලන්නන් වැ සිටිමු. ඇතැමුනට වෙසෙසින් නළු නිළියනට - එබඳු අඹු සැමියෝ ද සිටිති. ඔවුන් ගෙන් එතරම් කරදරයක් නොවන්නේ එ බඳු කුණු බාර ගැනීමට සැදී පැහැදී සිටිනවුනුදු ඇති බැවිනි.

අර ‘ධරණීය සංවර්ධනය’ නමින් බටහිරියන් හඳුන්වා දුන් සංකල්පය දැන් පෙනෙන්නට නොමැත්තේ ‘ඩිස්පෝසබල්’ දෑ සමඟ එ ද කුණු කන්දට යට වැ ඇති හෙයින් විය යුතුයි.

මිනී එතූ රෙද්දක් ගෙන, කඩ කපා මසා, පඬු පොවා සිවුරු සාදා ගන්නට, එ සිවුරු ඉරුණු විට මසා අඳින්නට, එ ද බැරි වූ කල එයින් ඇඳ ඇතිරිලි තනාගන්නට, එ ද බැරි වූ කල එයින් පාපිසි තනන්නට, එ ද බැරි වූ කල ඒ මැටි සමඟ අනා බිත්තියට ගසන්නට දෙසූ බුදු හිමියෙනි, අපි ඔබගේ දහම පිළිපදිමු. හෙට අනිද්දා තෙ මඟුල සමරා අන්තර්ජාතික වෙසක් උත්සවය ද සමරන්නමු.

හිතමිතුරා 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.