ඇමැතිතුමනි ඔහොම යං | සිළුමිණ

ඇමැතිතුමනි ඔහොම යං

ව ක්‍රීඩා රෙගුලාසි අනුව කටයුතු නොකරන සියලුම ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කර දැඩි දඬුවම් පමුණුවන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි. මේ අතර මුදල් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මකවන බව පවසන අමාත්‍යවරයා එහිදී වැරැදිකරුවන් වන කිසිවකුට කිසිදු සමාවක් නොදෙන බවද පවසයි.

පසුගියදා පැවැති බැඩ්මින්ටන් නිලවරණයට ද පළමු වෙඩිමුරය තැබූ ඇමැතිවරයා එය අවලංගුකර නැවත නිලවරණයක් නිසි ආකාරයෙන් පවත්වන ලෙසද පවසා තිබේ. මේ අතර හිටපු බැඩ්මින්ටන් නිලධාරීන් තිදෙනකුට ද ජීවිතාන්තය දක්වා තනතුරු දැරීමේ හැකියාවටද දොරටු වසා තිබේ. නමුත් අප අමතක කළ යුතු නොවන කරුණ වන්නේ මේ සියලු දේ සිද්ධ වන්නේ ලංකාව නම් පුංචි කොදෙව්ව තුළ බවය.

ඇමැති මාරුවකින් පසුව පත්වන ක්‍රීඩා ඇමැතිවරයකුට ක්‍රීඩා පනතින් ලබාදී ඇති බලතල තුළ මේ අවලංගුභාවයට සිදුවන්නේ කුමක්ද යන්නයි. ඇමැතිවරයා කැමැති නම් ඕනෑම දෙයක් කළහැකි ඕනෑම කෙනෙක් පත්විය හැකි තත්ත්වයක් තුළ හෙට දවස ගැන පැහැදීමක් නැත.

ඒ නිසා කළ යුතු හොඳම දේ මෙවන් වැඩකට නැති නිලධාරින් ක්‍රීඩාවේ හතරමායිමකට හෝ වැද්ද ගන්නා වැඩ පිළිවෙළවලට සදාකාලිකවම තිත තැබීමට හැකි නීති දැඩි කිරීමය.

මීට අමතරව ක්‍රීඩාවේ දක්ෂයන් සොයා ගැනීම, ඉදිරියට ගැනීම, පුහුණු කිරීම් ආදිය අමාත්‍යවරයාගේ වැඩක් නොවන බවද පහදා දිය යුතුය. ක්‍රීඩාවේ ලබන ජය පරාජයන්හි වැඩි වගකීම් ද අදාළ සංගම් සම්මේලනවල බාරගත යුතු බවද අවධාරණය කළ යුතුය.

දැනට ක්‍රීඩා සංගම් - සම්මේලන හැට ගණනකට ආසන්න සංඛ්‍යාවක් තිබුණද, ක්‍රියාත්මක මට්ටමේ පවතින්නේ අඩක් පමණ බවද රහසක් නොවේ. සමහර නිලවරණවලදී දැඩි මුරකාවල් පවා යොදා නිලවරණ පවත්වා මහා පුටුව බදා ගන්නට වෙර දරන නිලධාරීන්ට තිබෙන කැක්කුම පත්වූ පසුව දක්නට නොලැබීම ලාංකේය ක්‍රීඩාවේ කරුමය මිස වෙන දෙයක් නොවන බවද අවධාරණය කළ යුතුය.

අදහස්