දැඩි උණු­ස‍ු­මෙන් මිදෙන්න වැඩි වැඩි­යෙන් වතුර බොන්න | සිළුමිණ

දැඩි උණු­ස‍ු­මෙන් මිදෙන්න වැඩි වැඩි­යෙන් වතුර බොන්න

අවුරුදු කාලෙට හිරු මුදුන්වීම ස්වාභාවිකය. මේ දිනවල සූර්යයා ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී. මේ මස 17 දක්වා කාලයේදී දිවයිනේ උතුර නැගෙනහිර පළාත්වලට ඍජුවම හිරු මුදුන්ව පවතින බවත්, බොහෝ ප්‍රදේශලට වැසි රහිත කාලගුණයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පවසයි.

හිරු මුදුන් වීමත් සමඟ පොළව වෙත පතිතවන දැඩි හිරු රැස් හේතුවෙන් අවට පරිසරයේ උෂ්ණත්වය වැඩි වේ. එය මිනිස් සිරුරට ඔරොත්තු නොදෙන තරම් දැඩිය. මිනිසා යනු පරිසරයේ උෂ්ණත්වය අනුව සිය ශාරීරික උෂ්ණත්වය වෙනස් කර නොගන්නා එනම්: ‘අචලතාපී’ සත්ත්වයෙකි. එහෙයින් පරිසර උෂ්ණත්වය ඉහළ ගියද අපගේ සිරුරෙහි උෂ්ණත්වය ඉහළ නඟින්නේ නැත. මෙලෙස සි‍රුරේ උෂ්ණත්වය සමබරව පවත්වාගැනීම සඳහා අපගේ සිරුරෙන් වැඩිපුර ඩහදිය දමයි. ඩහදිය දැමීමත් සමඟ සිරුරෙහි ජලය වැඩිපුර ඉවත් වේ. සිරුරෙන් ජලය වැඩිපුර ඉවත් වන විට විජලනයට පත්වේ. විජලනයට පත්වීම මොළයේ ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපායි.

විජලනය නිසා මොළයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් හෘදයවස්තුවේ හා වකුගඩුවල ක්‍රියාකාරීත්වයද අඩපණ විය හැකිය. හෘදයවස්තුවේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් උණුසුම් ආබාධ තත්ත්වයක් ඇති විය හැකිය. ‘හීට් ස්ට්‍රෝක්’ (Heat strokes) නමින් හැඳින්වෙන මේ තත්ත්වය හේතුවෙන් කලාතුරකින් අයකු මරණයට පවා පත් වීමට ඉඩ තිබේ. අධික පිපාසය, තොලකට වියළීම, ඇඟ පණ නැති වීම, ඩහදිය දැමීම ක්ලාන්ත හෝ වමනය ‘හීට් ස්ට්‍රෝක්’ රෝගයෙහි ලක්ෂණ වේ. මේ ලක්ෂණ එකක් හෝ කිහිපයක් හෝ ඇත් නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම සුසුදුසය. මේ තත්ත්වයෙන් වැළකීම සඳහා හොඳින් වතුර බීම හොඳම පිළියම වේ.

අධික උණුසුම සහිත මේ දිනවල ලොකු කුඩා සැම දෙනාම වෙනදාට වැඩියෙන් වතුර බීම හිතාමතාම කළ යුතුය. දිනකට සාමාන්‍ය නිරෝගී වැඩිහිටියකු අවම වශයෙන් වතුර ලීටර 4ක් හෝ 5ක් පමණ පානය කළ යුතුය. අවම වශයෙන් වතුර වීදුරු හයක් පමණ බීම ප්‍රමාණවත්ය. එහෙත් වැඩිපුර දහදිය දමන මෙවැනි කාලයකදී වෙනදාට වැඩියෙන් වතුර බෝතලයක් වත් පානය කරන්නයි වෛද්‍යවරු උපදෙස් දෙයි. වෙනදාට පාසලට හෝ කාර්යාලයට වතුර බෝතලයක් ගෙන යන අය මෙකල වතුර බෝතල දෙකක්වත් රැගෙන යා යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ළමයින්ට ද විශේෂයෙන් සිතාමතා වතුර බොන්නට උපදෙස් දීමද වැදගත් බව වෛද්‍යවරයා පවසයි. මේ දිනවල අවුරුදු උත්සව රට පුරා පැවැත්වේ. වෙනදාට වැඩිපුර හිරු එළියට නිරාවරණය නොවූ බොහෝ දෙනෙක් අවුරුදු කාලයට බඩු ගන්නට වෙළඳපොළ වෙත යති; නෑගම් යති; අවුරුදු උත්සවවලට සහභාගී වෙති. මෙලෙස වෙනදා ගෙවල් ඇතුළෙහි හෝ කාර්යාලවල රැ‍ඳෙන වැඩිදෙනකුට දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් විවිධ අපහසුතාවලට මුහුණ පාන්නට සිදු වේ. අධික ලෙස ඩහදිය දැමීම, හිසරදය, කරකැවිල්ල හා සමෙහි ආබාධ ‍මේ අතර වේ.

අවුරුදු උත්සවවල මැරතන් තරග, ගම හරහා දිවීම වැනි ක්‍රීඩා ඉසව් බහුලය. මේ තරගවලට ඉදිරිපත් වීම ඉතා හොඳ නමුත් හදවත් ආශ්‍රිත ‍රෝග ඇති පුද්ගලයන්, උපතේ පටන් ඇතිවන Cardio Myopathy වැනි හදවත් ආශ්‍රිත රෝග සහිත ළමයින් හෝ වැඩිහිටියන් මෙන්ම අධික රුධිර පීඩනය වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයන් මෙවැනි තරගවලට ඉදිරිපත් වීමෙන් වැළකී සිටිය යුතුය. අධික උෂ්ණත්වය හා වෙහෙස එවැන්නන් හට දරාගැනීමට නොහැකි වන බැවිනි. නීරෝගී පුද්ගලයන් වුවද එවැනි තරගවලට සහභාගී වන විට හොඳින් වතුර බීමත්, සිසිල් ජලයෙන් සිරුර තෙමාගැනීමත් වැදගත් වේ.

දහදිය බිබිළි, සම රතුවී පලු දැමීම, දැවිල්ල හා කැසීමද මෙකල ඇති විය හැකි බහුල චර්මාබාධ වේ. මේවායෙන් වැළකීමට නිතර ඇඟපත සෝදා පිරිසුදුව සිටීමත් දිනපතා ස්නානයත් උපකාරී වේ. දිනකට වරක් ස්නානය කරන පුද්ගලයා දෙවරක් නෑම ද වරදක් නැත. කුඩා දරුවන් වෙනදා විනාඩි 5 - 10කින් නහවා අවසන් කළද මෙකල වරකට විනාඩි 25 - 30ක් පමණ වතුරේ බහා සෙල්ලම් කිරීමට ඉඩ හැරීම සුදුසුය. දිනකට දෙතුන් වතාවක් වුව ඇඟ සේදීමෙන් දරුවාට වඩාත් සුවයක් දැනෙනු ඇත.

වසන්ත කාලයේ උණුසුමට වඩාත් සුදුසු වන්නේ සැහැල්ලු කපු ඇඳුම් පැලඳුම්ය. වෙනත් රටවල මේ කාලය සඳහාම නිමවූ ඇඟලුම් පැවතුණ ද අපේ රටේ ජනතාව තවමත් එවැනි රටාවකට හුරු වී නැත. ‍ෙම් දිනවල වැඩිපුර ඇඟට තද වන කෘත්‍රිම රෙදිපිළියෙන් නිමකළ ඇඟලුම් වෙනුවට සැහැල්ලු කපු ඇඳුම් තෝරා ගත යුතුය. හිරු එළිය හොඳින් උරා ගන්නා සුදු පැහැති ඇඳුම් හෝ ළා පැහැති කපු ඇඳුම් වඩාත් සුදුසුය. ළදරුවන්ට අත් රහිත සිනිදු කපු ඇඳුම් වඩා සුවයක් දනවයි.

හිරු එළියට නිරාවරණය වී කටයුතු කරන හැමවිටම හොඳින් අත් පා සහ සිරුර වැසෙන ඇඳුම් ඇඟලා ගැනීම සුදුසුය. වැඩබිම්වලට හා මහමඟ වැඩ කරන කම්කරුවන්, කෙත්වතුවල වැඩ කරන ගොවීන් මෙන්ම මාර්ග සංඥා නියාමකයන් වැනි අය දිගුඅත් සහිත උඩුකය වැසුම් හා දිගු කලිසම් ඇඳීම වඩා උචිතය. හිස් වැසුම් භාවිතයද කුඩ ඉසිලීම හෝ වෙනත් අවු ආවරණයක් පැලඳීම ද ආරක්ෂාකාරී වේ.

වතුර පිපාසය දැනෙන තුරු නොසිට වතුර බීමට පුරුදු වන්න. කුඩා දරුවන්ට ද නිතර වතුර පොවන්න. තැඹිලි, කුරුම්බා, දෙහි යුෂ, කොමඩු, දොඩම් වැනි ස්වාභාවික පාන වර්ග වැඩිපුර බොන්න. පලතුරු යුෂවලට වැඩිපුර සීනි යෙදීම සුදුසු නැත. බෙලිමල්, පොල්පලා, කොත්තමල්ලි, රණවරා, ඉරමුසු වැනි දේශීය ඔසුපැන් වර්ග බීමද මෙකල සුදුසුය. වතුර තිබහට පිරිසුදු ජලය මිස පැණි බීමවර්ග බීම සුදුසු නැත.

අවුරුදු පහෙන් පහළ කුඩා දරුවන් වසර 65න් ඉහළ වැඩිහිටියන්, ගැබිනි මවුවරුන් මෙන්ම දිගුකාලීනව පවතින රෝගවලින් පෙළෙන අයද මෙවැනි කාලවලදී වැඩිපුර රෝගවලට ගොදුරු වන හෙයින් ඔවුන් මේවායින් වැළකීම පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

උණ රෝගද, ඇස් රෝගද මෙකල බහුලය. ඩෙංගු, එච්1එන්1 මෙන්ම ඩෙංගු රෝගයට සමාන තවත් වෛරස උණක්ද මේ දිනවල දිවයින පුරා බහුලව පවතී. උණ රෝග ලක්ෂණ මතු වී දෙවන දිනයේදීම ඩෙංගු රෝගය සඳහා රුධිර පරීක්ෂණයක් කරගැනීම වැදගත් වේ. අධික හිසරදය, තද උණ, ඇඟපත වේදනාව ඇතැම්විට වමනය හා පාචනය ද මේ රෝගවල ලක්ෂණ වේ. මේ රෝග ලක්ෂණ ඇතිවූ වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

අධික උණුසුම් කාලවලදී මැසි මදුරු ‍ගහනය ද වැඩි වේ. එහෙයින් දිලීර ආසාදන මෙන්ම වෛරස ආසාදන ද පැතිරේ. මැස්සන්ගේ වර්ධනයත් සමඟම පාචනය, වමනය හා උණ සන්නිපාතය වැන රෝග පැතිර යෑමේ අවධානමක් ද පවතී. අවධානමෙන් මිදීමට ඇති හොඳම පිළියම මැස්සන් හා වෙනත් කෘමීන් රැස් නොවන සේ ඔබේ ගෙවත්ත හා මුළුතැන්ගෙය පිරිසුදුව තබාගැනීමයි. ආහාරපාන සැම විටම වසා තැබීමත්, මැසි මදුරුවන් බෝ නොවන සේ අපද්‍රව්‍ය ඉවත් කිරීමත් නිරන්තරයෙන් ම කළ යුතුය. ආහාර සකස් කිරීමේදී මෙන් ම ආහාර ගැනීමට පෙර සබන් යොදා දෑත් සෝදා ගැනීම වැදගත්ය.

නිවෙසින් බැහැරව ගොස් පැමිණෙන හැම විටම හොඳින් දෑත් සහ මුව සෝදාගැනීමට හුරු වන්න. අත් සේදීමෙන් තොරව මුහුණ හෝ දෑස් ඇල්ලීමෙන් වළකින්න. මෙකල කුඩා දරුවන් අතර අත් පා වේදනාව සහ හන්දි වේදනා බහුලව දැකිය හැකි බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. එවැනි දරුවන් වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී ඔවුන් විටමින් “ඩී” ඌනතාවෙන් පෙළෙන බව හඳුනා ගන්නට ලැබෙන බවද වෛද්‍යවරයා පවසයි. එයට හේතුව ඔවුන් ප්‍රමාණවත් පරිදි හිරු එළියට නිරාවරණය නොවීමයි. එහෙයින් දිනපතා උදෑසන 9 - 10 පමණ වන තුරු විනාඩි 30ක් හෝ 45ක් පමණ කාලයක් වත් හිරු එළියේ ක්‍රීඩා හෝ ව්‍යායාමයක යෙදීම ඉතා සුදුසු බවද ඔහු පවසයි. දිවීම, සරඹ කිරීම හෝ බයිසිකල් පැදීම ඒ සඳහා වඩාත් යෝග්‍ය වේ. දරුවන් කුඩා කාලයේ පටන්ම බයිසිකල් පැදීම, දිවීම හෝ පිහිනීම වැනි ව්‍යායාමහන්හි යෙදවීම අනාගතයේදී ඔවුන් බෝ නොවන රෝගවලින් වළක්වාගන්නට ඇති හොඳ ම ක්‍රමෝපාය වන බවද වෛද්‍ය පෙරේරා පවසයි. අවුරුදු ක්‍රීඩා සඳහා දරුවන් උනන්දු කරවන්න, එහෙත් දැඩි හිරු රැසින් පීඩාවට පත් නොවන්නට වග බලාගන්නැ”යි ද ඔහු දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටියි. 

 

Comments