ඔක්කොම එකයි; ඒත් වෙනස් | සිළුමිණ

ඔක්කොම එකයි; ඒත් වෙනස්

ආචාර්ය  සුනිල් විජේ­සි­රි­ව­ර්ධන

 කේ.ඩී. රසික නිලන්ත

ශ්‍රී ලාංකේය රාජ්‍යය යළි සකස් කිරීමේදී මුහුණ දෙන ආකල්පමය අභියෝග සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදී සිටින ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සමඟ කළ සංවාදාත්මක සටහනකි.

 

• සියලු ජාතීන් නැවත ශ්‍රී ලාංකේය අනන්‍යතාව තුළ ගොනු කරන්නේ කොහොමද?

මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට නම් පළමුව ජනවාර්ගික ප්‍රශ්නය දිහාට යොමු වීමට සිදු වනවා. මේ ප්‍රශ්නය දිහා සමාජයක් විදියට ගැඹුරින් අවධානය යොමු කළොත් අපට පේනවා මෙය අපි මතට බැහැරින් පැමිණි ප්‍රශ්නයක් නොවන වග. මේ තියෙන්නේ, අපි මේ තාක් ආපු ගමනේ ප්‍රතිඵල. ඒ නිසා වඩා වැදගත් වන්නේ අපි මෙතෙන්ට ආවේ කොහොමද කියනඑක තේරුම් කරගැනීමයි. සමහරු හිතනවා මේක වෙනත් බාහිර සතුරකුගේ වුවමනාව මත එළියෙන් ආපු දෙයක් කියලා. ඒ නිසා ඔවුන් හිතුවේ එළියෙන් ආපු මේ ව්‍යසනය නැති නම් ත්‍රස්තවාදය සන්නද්ධ වශයෙන් පරාජය කළාම සියල්ල අහවරයි කියලා. එ්ත් එහෙම වුණේ නැහැ. සන්නද්ධ ව්‍යාපාරය විනාශ වුවත් ප්‍රශ්නය එතනමයි. එහෙම නම් දැන්වත් වැටහෙන්න ඕනෑ සත්‍යය එය නොවන බව. මේ, කාලයක් තිස්සේ අපි තුළම වැඩිලා එළියට ආපු දෙයක්. හරියට ශරීර අභ්‍යන්තරය තුළ වැඩුණු රෝගයක් වගේ. පිටින් බලලා පිළියම් කළාට වැඩක් නැහැ. අභ්‍යන්තරයට ඇතුළු වෙලා නිවැරදිව රෝග නිධානය හඳුනාගත්තොත් පමණයි අපට මේ රෝගය නිට්ටාවටම සුව කරගත හැකි වන්නේ.

මේ සඳහා මං කැමතියි මූලික සංකල්පයකට යන්න. ආණ්ඩුව හිතනව නම් අවුරුදු 69ක් ගත වෙලත් ඇයි අපිට බැරි වුණේ: ශ්‍රී ලාංකේය ජාතියක් විදියට ගොඩනැඟෙන්න?; නැත් නම් සිංහල - දෙමළ අනන්‍යතාව පවත්වාගෙන යන අතරේම ශ්‍රී ලාංකිකයන් විදියට අප අතර ඇති බැඳීම් වර්ධනය කරන තැනකට යන්න? කොහොමද එහෙම නම් ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කරගන්නේ? කියන ප්‍රශ්නය අහන්න වෙනවා. මේ සඳහා අවශ්‍ය වන්නේ ව්‍යවස්ථාව වත් නීතිය වත් නෙමෙයි. ඒක ඇති වෙන්න නම් අපි අතර තියෙන මනුෂ්‍ය සම්බන්ධතා දියුණු විය යුතුයි. 'ජාතියක්' කියලා කියන කොට මේ අය අතර අලුත් සම්බන්ධතා ඇති වෙන්න ඕනෑ.

ඔවුන් එකිනෙකා හඳුනාගෙන ගෞරවය කරන, ආදරය කරන තැනකට එන්න ඕනෑ. මේක ඇති වෙන්න නම් එකම ක්‍රමයයි ලෝකේ තියෙන්නේ. ඒක හරියට චාරිකාවක් කියලා හිතුවොත්, ඒ චාරිකාව යන කොට එන අභියෝග ප්‍රශ්න දුක සැප එකට බෙදා ගන්නවා වගේ, අපිත් එකට එකතු වෙලා අපේ ප්‍රශ්නවලට සාමුහිකව විසඳුම් සොයන්නට ඕනෑ. එතකොට අපි අතර බැඳීම් වර්ධනය වෙන්න පටන් ගන්නවා. අපිට උකුණු හිසක් තරමට වත් මොළයක් තිබුණා නම් අපි සමරන්නේ යුද විජයග්‍රහණයක් නෙවෙයි.

 

• ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළොත්...

'71-'89 කාලවලදී ජවිපෙ දියත් කළ සන්නද්ධ කැරලි මඟින් බොහෝම අපූරුවට මේ තත්ත්වය අපට තේරුම් ගන්න පුළුවන්. ජවිපෙ විසින් මෙහෙයවනු ලැබූ කැරලි දෙකම දකුණ කේන්ද්‍රකරගෙන ඇති වෙද්දි, අනිත් කැරැල්ල ඇති වුණේ උතුරේ. මේ කැරලි දෙකම රාජ්‍යවිරෝධි ඒවා. කැරලි දෙකම දෙවිධියකට අපේ සමාජ දේහය තුළින්ම මතු වෙලා ආපු ඒවා. මේ දෙක වෙන වෙනම තේරුම් ගනිද්දී ඒක එහෙම වුණේ ඇයි කියලා, දකුණේ ඇති වුණු කැරැල්ල පිළිබඳ පැහැදිලි අදහසක් අපිට තිබුණා. දකුණේ හිටපු විද්වතුන්, දේශපාලනඥයන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් මේ ගැන කල්පනා කළාම ඒ අය දැක්කා, සමාජය තුළ තිබෙන බෙදීම්, කුල පීඩනය, ග්‍රාමීය දුප්පත්කම සහ නිදහස පිළිබඳ ගැටලු මේ සඳහා මුල් වී ඇති බව. ඒත් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ කැරලි ගැහීම හරිම මෝඩ වැඩක් කියලා.

එහෙත් සත්‍යය නම් මේවා ඇත්ත සමාජ ප්‍රශ්න නිසා මතු වූ ඒවා. ඒ නිසා දකුණේ සමාජය කල්පනා කළා මීට මුල් වී ක්‍රියාකළ ජවිපෙ ත්‍රස්තවාදි සංවිධානයක් නොවන බව. මේ තේරුම් ගැනීම නිසා ජවිපෙට අවස්ථාව ලැබෙනවා ඔවුන්ගේ දේශපාලන අදහස් ප්‍රකාශ කරන්න; නැවත ප්‍රජාතන්ත්‍රවාදි මාවතට පිවිසෙන්න.

ඒ වගේම අපට තිබුණා උතුරේ ඇතිවෙච්ච සන්නද්ධ කැරුල්ල පිළිබඳවත් සොයා බලන්න. එහෙම වුණා නම් අපට තේරුම් යනවා උතුරෙත් සිද්ධ වුණෙත් ඒ වගේම දෙයක් කියලා.

• එහෙත් ඒ තුළ රාජ්‍යවිරෝධි මෙන්ම ජාතිවාදි පදනමක් පෙනෙන්නට තිබුණා...

ඔව්. එයත් ජවිපෙ වගේම රාජ්‍යවිරෝධි කැරැල්ලක්. කලින් දකුණේ ඇති වෙච්ච කැරැල්ල කුල පීඩනය, ආර්ථික විෂමතා, පන්තිය.. වගේ ප්‍රශ්න මුල් කරගෙන ඇති වුණත්, මෙතනදී කුල පීඩනය වගේම ජනවර්ගය පිළිබඳ ප්‍රශ්නයකුත් පැනනඟිනවා. මේ තත්ත්වය වර්ධනය වෙමින් දෙමළ ජාතිවාදය දක්වා ගමන් කර රාජ්‍ය විරෝධි සන්නද්ධ කැරැල්ලක් බවට පත් වෙනවා.

අවසනාවකට වගේ අපේ රටේ සමස්තයක් ජනතාව මේ පිළිබඳ නිසි අවබෝධයක පසු වුණේ නැහැ. ඒ නිසා ඔවුන් හිතන්න පෙලඹුණා මේක මේ පිටින් ආපු දෙයක්, නැත් නම් ආක්‍රමණයක් විදියට. ඒකට උත්තරය විදියට ඔවුන් කල්පනා කළේ හමුදා මෙහෙයුමක් දියත් කරලා ඔවුන් යුදමය වශයෙන් පරාජය කිරීමයි. ඒ අනුව විශාලතම හමුදාවක් නිර්මාණය කරලා (ලෝකයේ අනෙකුත් රටවල ජනගහන අනුපාතයට සාපේක්ෂව ඒ ඒ රටවල තිබෙන හමුදා සාමාජිකයන්ගේ අනුපාතය සමඟ සැසඳීමේදී ලොව විශාලතම හමුදාවක් ඇත්තේ අපටයි) නඩත්තු කරන්න අපට සිද්ධ වුණා. හැබැයි සිංහල දෙමළ බෙදීම දක්වා ගමන් කරපු දෙමළ ජාතිකවාදය පරාජයට පත් කරන්න අවශ්‍ය දේශපාලනික සමාජමය ක්‍රියාදාමයන්ට අපි යොමු වුණාද කියන ප්‍රශ්නය අද අප හමුවේ තිබෙනවා.

 

• නැවත එහෙම තත්ත්වයක් ඇති නොවන්න කළ යුත්තේ කුමක්ද?

එහෙම දෙයක් නැවත නොවෙන්න නම් දේශපාලන වශයෙන් හා සමාජීය වශයෙන් මේ රටේ ආකල්ප වෙනසක් සිද්ධ වෙන්න ඕන. ඒත් ඒ විපර්යාසය කරන්න අපි සුදානම් ද කියන ප්‍රශ්නය අපි හමුවේ තිබෙනවා.

 

• එහෙත් වත්මන් ආණ්ඩුව මේ පිළිබඳ අවධානය යොමු කරන බවක් පෙනෙන්නට තිබෙනවා...

2015 ජනවාරි 08 වැනිදායින් පසු මේ රටේ සිද්ධ වෙච්ච දේශපාලන පෙරළියත් එක්ක, මේ දිහා සාධනීය ආකාරයකට බැලීමට ආණ්ඩුව පෙලඹී සිටින බවක් ‍පේනවා. ගැඹුරු හේතු කරණාවලට නොගියත්, අඩුම තරමින් ජනවාර්ගික ප්‍රශ්නය දිහා බැලිය යුත්තේ යුදමය වශයෙන් නොව, සමාජ දේශපාලන වශයෙන් බවට ඔවුන් තුළ යම් අදහසක් ඇති වී තිබෙනවා.

ඒ වගේම දෙමළ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදි මාවතට පිවිසීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කළ යුතුයි, කියන ස්ථාවරයේ ඔවුන් සිටින බවත් පේනවා. ඒත් එය ඉදිරියට යයිද-නැද්ද? කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. මොකද: දකු‍ණේ සමාජයත් එකතු කරගෙන මේ ගමන යන්න ඕනෑ. ඒ නිසා රජයකට ලොකු වගකීමක් තියෙනවා අර '71-'89 කැරලිකාරි තත්ත්වය තේරුම්ගත්තා වගේ උතුරේදී නැති වුණෙත් අපේම දරුවෝ කියලා තේරුම් අරන් කටයුතු කරන්න. මේ අපි අපිටම කරගන්නා ලොකු විනාශයක් කියනඑක ජනතාවට තේරුම් කර දෙන්න ඕන.

 

• එහෙත් බොහෝ දෙනා තුළ නව ව්‍යවස්ථාව හෝ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ඇත්තේ බියක්...

ඇතැම් අය හිතනවා මේ ව්‍යවස්ථාමය නීති වෙනස් කිරීම මඟින් රාජ්‍යයට යම් බලපෑමක් වෙනවා කියලා. ඒත් මගේ පිළිගැනීම නම් ව්‍යවස්ථාමය නීතිය කියන්නේ රජයේ තාක්ෂණික කෙටුම්පතට. ඒක වෙනස් වුණාට රජය වෙනස් වෙන්නේ නෑ. රජය කියන්නේ අපිමයි. ඉතිං මේ පිළිබඳ නිවැරදිව හිතන්න අපේ විඥානයේ ගැඹුරු පරිවර්තනයක් අවශ්‍ය වෙනවා.

අපි තවම රාජ්‍ය සහ ආණ්ඩුව කියන දෙකවත් හරියට වටහාගෙන නෑ. මේ දෙක පටලවාගන්නවා. සරලව කිව්වොත් ආණ්ඩුව හරියට 'රාජ්‍යය' නමැති බස් රථය පදවන්න යොදාගන්න 'රියැදුරා' වගේ. ඒ නිසා අපි මෙච්චර කල් ආපු බස්එකේ අවුල් ගොඩක් තියෙනවා. අපි වරින් වර මෙය පදවන්න පත් කරගත්ත රියැදුරන් වැරදි පාරවල්වල මේක අරන් ගිහින්, කෑලි ගලවලා මාරු කරලා... දැන් මේක අමුතුම විදියට සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ දකින රාජ්‍යය කියන්නේ ලෝකෙ වෙනත් රටවල්වල තියෙන ආකාරයේ රාජ්‍යයක් නොවෙයි. මේක දේශපාලකයන්ට ඕන විදියට නැවත සකස් කරපු රාජ්‍යයක්.

 

• අප ඇත්තටම රට ගැන, ජනතාව ගැන හිතලා කටයුතු කරනවා නම් කුමක්ද ඉදිරියේදී කළ යුත්තේ?

මේ සිද්ධ වෙච්ච විශාල විනාශය තේරුම් අරගෙන නැවත එහෙම දෙයක් ඇති නොවෙන්න ජාතීන් අතර සමඟිය වර්ධන කරන අවස්ථා උදා කර දිය යුතුයි. 'මේ යුද්ධයෙන් විනාශ වුණේ අපි හැමෝගෙම දරුවො' කියන තැන ඉඳන් අපි මැයි 18 වැනිදා සැමරීමට කටයුතු කළා නම්, අපි හැමෝටම එකතු වෙන්න අවකාශය සැලසෙනවා.

එහෙනම් උතුරේ කෝවිල්වල, දේවාලවල පහන් පත්තු වෙද්දි දකුණේ පන්සල්වලත් පල්ලිවලත් පහන් පත්තු වෙනවා; ඒ ගැන සාකාච්ඡා සම්මන්ත්‍රණ ඇති වෙනවා. එහෙම වුණා නම් අපි හැමෝටම එකට දුක සැප බෙදාගන්න හැකි වෙනවා; ජාතික වශයෙන් එකතු වෙන්න පුළුවන් දිනයක් බවට ඒ දිනය පත්වෙනවා. ඒත් අවසනාවකට එහෙම වුණේ නෑ. අපි ඉන් බැහැරවයි කටයුතු කළේ. ඒත් අපි තවමත් පරක්කු නෑ එතෙන්ට යන්න. මේ සඳහා ක්ෂේත්‍ර හතරකට විශාල වගකීමක් පැවරෙනවා. ඒ තමයි අධ්‍යාපනය, ජනමාධ්‍ය, කලාව හා ආගම.

 

• මේ සඳහා කටයුතු කිරීමේදී ජාතිවාදි පදනම අහෝසි කළ යුතුයි නේද?

මෑතකදී ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වපු ආචාර්ය අර්ජුන පරාක්‍රමගේ අදහස් අරගෙන බලපුවාම ඔහුගේ නිගමනය වෙන්නේ, අන්තවාදි ජාතිවාදයට මූලික පදනම තියෙන්නේ විශ්වාසයන් තුළ බවයි; ඒ නිසා කොච්චර දැනුම ගෙනැල්ලා මේක ඛණ්ඩනය කරන්න හැදුවත් එය සාර්ථක නොවන බවයි. එහි යම් සත්‍යයක් තිබෙනවා.

මොකද: මේවා විශ්වාසයන්වලට වඩා ලබ්ධීන් නිසා ඇති වූවක්. ඒත් මේ ලබ්ධීන් ගොඩනැඟිච්ච පදනමක් තියෙනවා. ඒක ඥානමය ආකාරයට මෙන්ම හැඟීම් මත ගොඩනැඟී තිබෙන දෙයක්. අපේ රටේ මිනිස්සු ගත්තොත් බෞද්ධ වේවා, හින්දු වේවා, ක්‍රිස්තියානි වේවා, ඉස්ලාම් වේවා සාමාන්‍ය ජනයා පොදුවේ වරද්දගත්ත තැනක් තියෙනවා. ඒ තමයි 'බෙදීම්' හා 'වෙනස්කම්' කියන දෙක. මං අර්ජුනගේ අදහස අතික්‍රමණය කරන්න උත්සාහ ගන්නේ මෙතනදී. එහෙනම් මොකද්ද මේ බෙදීම් සහ වෙනස්කම් කියන්නේ? ඇත්තෙන්ම මෙය ඥානමය මෙන්ම හැඟීම්වලට අදාළ කාරණයක්.

අපි හොයලා බැලුවොත් මොනවද මේ වෙනස්කම් කියලා, මේ වෙනස්කම් අප්‍රමාණයි, අනන්තයි. ගැහැනු පිරිමි අතර, පරම්පරා අතර, භාෂා අතර, වයස අතර, උස මහත, රුචි අරුචිකම්, ආගමික, සංස්කෘතික... මේ ආදි වශයෙන් අනන්තවත් වෙනස්කම් අපි අතර පවතිනවා. ඒ වගේම බෙදීම් ගත්තොත් කුල භේදය, පන්ති භේදය, ලිංග භේදය, ජාති භේදය, පරම්පරා භේදය, ගම නගරය අතර භේදය, ආගමික භේදය... ආදි වශයෙන් භේද රාශියක් අපි අතර පවතිනවා. අපි පරිස්සමින් බැලුවොත් පේන්න ඕන වෙනස්කම්වලට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි මේ බෙදීම් කියලා කියන්නේ.

කුල භේදය වගේ කාරණාවක් ගත්තොත් ලංකාවේ හා ඉන්දියාවේ ඇරුණාම ලෝකේ වෙන කොහේවත් මෙහෙම බෙදීම් නෑ. මේ භේදය කියන එක හරියටම තේරුම් ගන්න නම් අපිට තව සංකල්පයක් ඕනෑ වෙනවා. ඒ තමයි 'බලය' කියනඑක. මේක දේශපාලනිකයි. බලය කියලා හඳුනාගන්නේ අපට තීන්දුතීරණ ගන්න තියෙන ශක්තියට. එතකොට මේ භේදය කියලා අර්ථ ගන්වන්නෙම බල ව්‍යූහයක් විසින් නිර්මාණය කරපු සමාජ සැකැස්මක්. මේ සැකැස්ම තුළ ඉහළට යන්න යන්න බලය වැඩියි; පහළට යන්න යන්න බලය අඩුයි.

ඊට හාත්පසින්ම වෙනස් මේ වෙනස්කම් කියන කාරණය. ඒක බලයක් වෙන්නේ නැහැ. ඒක තිරස් අතට සමාන්තරව ගමන් කරන දෙයක්. අපි ඉතාමත් පරිස්සමින් බැලුවාහම පේන්න ඕනෑ මේ වෙනස්කම් කියන දේවල් නැත්තම් මනුෂ්‍යත්වය නෑ කියලා. වෙනසකම් තමයි මිනිසුන් නොදකින, ඔවුන්ට බෙදාහදාගන්න තියෙන හොඳම සහ වැදගත්ම දේ. ඔවුන් අතර දේවල් හුවමාරු කරගන්න පුළුවන් වෙන්නේ මේ වෙනස්කම් මත පමණයි. ඒ නිසා මනුෂ්‍ය වටිනාකම් කියලා අපි කියන හුඟාක් දේවල් අර්ථ ගැන්වෙන්නේ මේ මත. ආදරය,ගෞරවය, ප්‍රේමය... ආදි සියල්ල පවතින්නේ හුවමාරු කරගැනීම මත.

ඊළඟට අපි ප්‍රගතිය, සංවර්ධනය ආදි වශයෙන් හිතන ඕනෑම දෙයක් හා සෑම සම්බන්ධතාවක්ම පවතින්නේ මේ වෙනස්කම් හුවමාරු කරගැනීම මත. මානව සංස්කෘතික ඉතිහාසය අරන් බැලුවොත් අපි මේ තාක් ඉදිරියට ඇවිත් තියෙන්නේ මේ බෙදාහදාගැනීම මත මිසක්, වෙන ක්‍රමයකට නෙවෙයි. වෙනස්කම් කියන දේවල් ස්වාභාවිකයි. 

Comments