කලා තරු අවු­රුදු සැමරූ හැටි | සිළුමිණ

කලා තරු අවු­රුදු සැමරූ හැටි

අලුත් අවුරුද්ද ලංකාවාසී හැමදෙනාම සැමැරුවේ සතුටු සිතින්. අවුරුද්දේ මතක සැමැරුම්,සුන්දරත්වය, උණුහුම තවමත් අපේ සිත්වලින් මැකී ගිහින් නැහැ. හැමදෙනාගේම සිත් අලුත් සිතුම් පැතුම් ,බලාපොරොත්තුවලින් පිරී ගිහින්. අදහස් ,සිතුවිලි හැමදේම අලුත්වන අලුත් අවුරුද්දේ අපි කවුරුත් ප්‍රිය කරන කලාකරුවන් අවුරුදු සැමරූ හැටි සොයා බලන්න අපි හිතුවා.

 

අලුත් අවුරුදු සමරන්න ලංකාවට ආවා

 

බියංකා ෆොන්සේකා කලාලොවේ සිටින සූරූපී නිළියක්. ඇය පසුගිය දවස්වල නිර්මාණයකින් නොදුටුව තරම්. අලුත් අවුරුද්දේ බියංකා ගැන අපිට අලුත් ආරංචියක් දැන ගන්නට ලැබුණා. ඒ ගැන අපි ඇගෙන්ම විමසා බැලුවා.

‘මම මෙච්චර කාලයක් විදෙස් ගතවෙලයි හිටියේ. ඒ පෞද්ගලික ජීවිතයේ වැඩකටයුතු කිහිපයක් වෙනුවෙන්. පසුගිය දිනෙක අලුත් අවුරුදු සමරන්නත් බලාගෙන නැවත ලංකාවට ආවා. උලත් එකයි පිලත් එකයි‘චිත්‍රපටයට දායක වුණාට පසුව මට අලුත් නිර්මාණයකට දායක වෙන්න නොලැබුණ තරම්. ඉතින් මේ දවස්වල වැඩි වශයෙන් රූපවාහිනී නාළිකාවල අවුරුදු උළෙල සහ වැඩසටහන් වෙනුවෙන් සහභාගි වුණා. පවුලේ අයත් එක්ක අලුත් අවුරුදු සැමැරුවා. හුඟක් සතුටින් කාලය ගෙවී යනවා.

 


කුරුඳු හැලප කරපු දෙයක්

සාමාන්‍යයෙන් අලුත් අවුරුදු සමයේ විවිධ රූපවාහිනී නාළිකාවල විවිධ වැඩසටහන් දියත් වෙනවා. ඒ අතර අවුරුදු උත්සව වගේම විවිධ පුණ්‍ය කටයුතුත් සිදු වෙනවා. එවැනි පුණ්‍ය කටයුත්තකට ප්‍රවීණ කලාකරු කුමාර රණපුර පසුගිය අවුරුදු සමයේ දායක වුණා. මෙතනදී අපූරු සිදු වීමක් කුමාරට දැක ගන්න ලැබිලා.

‘පසුගිය දවසක එක්තරා රූපවාහිනී නාළිකාවක් සංවිධානය කරපු අවුරුදු වැඩසටහනකට සහභාගි වෙන්න මටත් ඇරියුම් ලැබුණා. එයට නව පරපුරේ නළු නිළියනුත් අැවිත් හිටියා. අපි ගියේ වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්නයි. ඉතින් වැඩිහිටි මව්පියන් සමඟ හුඟක් විනෝද වු‍ණා. මේ අතර තේපානයට අපිට අපූරු හැලප වර්ගයක් කන්න ලැබුණා. සාමාන්‍ය‍ෙයන් අපි මෙච්චර දවසක් කාලා තිබෙන්නේ කැන්ද කොළේ ඔතපු හැලපනෙ. එදා අපිට ලැබුණේ කුරුඳු කොළේ ඔතපු හැලප. ඒ හැලප හරිම රසයි. ඉතින් අපි හැමදෙනාම බොහොම ආසාවෙන් මේ හැලප කෑවා. තේ බිව්වා. ඉතින් හවස් වෙනකොට අපි වැඩිහිටි නිවාසයෙන් පිටත් වෙන්න වාහනයට ගොඩවෙන්න ආවා. මෙන්න බොලේ නවක නිළියකගේ සාක්කුවේ පිරී තිබුණු කුරුඳු හැලප ගොඩක් බිමට වැටුණා. හැමෝටම හිනා. කුරුඳු හැලපවල රස වැඩි කමට ගෙදර ගෙනිහිල්ලා කන්නත් මෙයා හැලප අරගෙන. පස්සේ ඉතින් මේ නවක නිළියට අපේ විහිළු තහළු මැද තමයි ගෙදරට යන්න වුණේ.


රිතූ අන්ධයකුට කිරි කවලා

රිතූ ආකර්ෂා මෙදා අලුත් අවුරුද්ද ගත කළේ හරිම අපූරු විදිහට. ඒ ගැන රිතූ කිව්වේ මේ විදිහට.‘මම හැමදාමත් අලුත් අවුරුද්දට හුඟක් බීසී වෙනවා. නමුත් මෙදා සැරේ අවුරුද්දට නම් එහෙම බිසී එකක් වුණේ නැහැ. සුපුරුදු විදිහට අවුරුදු වැඩසටහන්වලට සහභාගි වුණා. ගෙදර ඉඳන් අවුරුදු සැමැරුවා. පසුගිය මාස කිහිපයේම එක දිගට නිර්මාණ කටයුතුවල නියැළුණු නිසා අවුරුදු දිනවල කිසිම නිර්මාණයක් මම බාර ගත්තේ නැහැ. රූපවාහිනී අවුරුදු වැඩසටහන් කිහිපයකටම මමත් සහභාගි වුණා. ඒ අතර දෙරණ අවුරුදු උත්සවය නම් විශේෂයි. මොකද මම අන්ධයකුට කිරි කැවුවා. ඒ තමයි දෙනුවන්. දෙනුවන්ගේ මුළු මුණෙම කිරි. කොහොම වුණත් අවුරුදු නම් හරිම සතුටින් සැමැරුවා.

 


අවුරුද්දේ තුන්දෙනාම එකට

සුන්දර රංගන ශිල්පිනියන් අතර තරුෂි පෙරේරා අමතක කරන්න බැහැ. තරුෂි නිතරම විදෙස් ගත වෙනවා. ඒ ඇගේ සැමියා විදෙස් රටක සේවය කරන නිසයි. එනිසාම තරුෂිට බෙහෝ වසරවල අලුත් අවුරුද්ද සමරන්න විදේශගත වෙන්න සිදු වුණා. ඒත් මෙවර නම් තරුෂිට ලංකාවේ ඉඳගෙනම අලුත් අවුරුද්ද සමරන්න හැකි වෙලා. ඇය ඒ ගැන අපිත් එක්ක කිව්වේ මේ විදිහට.

‘මෙවර අලුත් අවුරුද්ද මමත් මගේ මහත්තයත් පුංචි පුතත් එකට එකතුවෙලා අවුරුදු සමැරුවා. මෙවර සුමේධ ලංකාවට ආවේ දිගු නිවාඩුවකට. එනිසා අවුරුද්ද වෙනදට වැඩිය සතුටින් වගේම චාරිත්‍ර සමඟ ඉටුකරන්න අපි දෙන්නට හැකි වුණා. මගේ අතින්ම සුමේධ වෙනුවෙන් විවිධ කෑම වර්ග කැවිලි සැකසුණා. පුතාට දැන් අවුරුදු 2ක් වෙන නිසා එයාටත් දැන් පොඩිපොඩි දේවල් තේරෙනවා. ඒ හින්දා අවුරුද්ද හරිම විශේෂව මෙවර සැමැරුවා.


අලුත් අවුරුද්දට අලුත් ගීත

ඉන්දිකා උපමාලි ගැන අටුවාටිකා අවශ්‍ය නැහැ. ඇය කලා ලොවේ සිටින දක්ෂතම ප්‍රවීණ ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක්. මෙදා සැරේ අවුරුද්දට ඉන්දිකාගෙන් අලුත්ම ගීත එකතුවක් නිර්මාණය වී ඇති බව අපිට දැන ගන්නට ලැබුණා. ‘අලුත් අවුරුද්ද සැමැරුවේ මගේ අලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කරමින්. එනිසා මෙවර අලුත් අවුරුද්ද මට වගේම මගේ රසිකයන්ටත් විශේෂ වුණා. ඉදිරියේ දී මේ ගීත ඇතුළත් කරලා සංයුක්ත තැටියක් එළිදක්වන්න මම සූදානම්. ඒ වගේම දැන් මගේ පුංචි පුතාට අවුරුදු 2ක්. එයත් එක්ක අවුරුදු චාරිත්‍ර ඉටුකරමින් අවුරුදු සමරන්න මට හැකි වුණා. ‘

 


නිදහසේ අවුරුදු සැමරුවා.

හැමදාමත් අලුත් අවුරුද්දට කාර්යබහුල ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි චන්දික නානායක්කාර. මෙවර අලුත් අවුරුද්ද නිවාඩු පාඩුව සමරන්න චන්දිකට හැකිවෙලා. ‘හැමදාමත් අවුරුද්දට ගමේ ගිහින් කාලය ගත කරන්න මම හරි කැමැතියි. ඒ කැමැත්ත ඉටු කරගන්න මෙවර අවුරුද්දේ මට හැකි වුණා. පැල්මඬුල්ලට ගිහින් අවුරුදු සතියම මම ගත කළා. හිස තෙල් ගාන නැකතත් ඒ විදිහටම ඉටු කළා. මොකද දිගු නිවාඩුවක් තමයි අවුරුද්දට ලැබුණේ. ගෙදර මව්පියන් වගේම නෑදෑයන් සමඟ අවුරුද්ද ගමේ ගත කරන්න ලැබීම ඇත්තටම සතුටක්.


අමුත්තන්ට අවුරුදු කැවිලි හැදුවා

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන තෙසාරා ජයවර්ධනටත් මෙවර අලුත් අවුරුද්ද විශේෂ සැමැරුමක්. ඒ අලුත් අවුරුදු වෙනුවෙන්ම දුරු රට සිටි මව්පියන් ලංකාවට පැමිණ තෙසාරත් එක්ක අවුරුදු සමරන්න එකතු වීම නිසයි.‘ මෙවර අම්මයි තාත්තයි දෙන්නම ඕස්ට්‍රේලියාවේ ඉඳල ලංකාවට ආවා මමත් මගේ මහත්තයත් එක්ක අවුරුදු සමරන්න. අපි හැමදෙනාම අවුරුදු සැමරුවේ ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයක සිටන්. මොකද මගේ මහත්තයා ගුවන් හමුදා නිලධාරියෙක්. එනිසා ඒ අවුරුදු සැමැරුම අලුත් අත්දැකීමක් වුණා. ඒ වගේම අපේ නිවෙසේත් අවුරුදු චාරිත්‍ර කරන්න අපි අමතක කළේ නැහැ. අපි දෙන්නම තමයි ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න කැවිලි හැදුවේ.


අවුරුදු දවසේ ගෙදර තනි කළේ නැහැ.

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන අනූෂා දමයන්ති අවුරුද්දට කතරගම වන්දනාවේ ගියා කියල අපිට දැන ගන්නට ලැබුණා. බුදුන්, දෙවියන් සිහිකරමින් අවුරුදු සමරන්න ලැබුණු එක ගැන අනූෂා අපිත් එක්ක කතා කළා. ‘පසුගිය දවස්වල කලා කටයුතු නිසා බොහොම කාර්ය බහුලව තමයි කාලය ගත කළේ. කොහොමත් අවුරුද්දකට වතාවක් කතරගම යන්න මම අමතක කරන්නේ නැහැ. එනිසා පරණ අවුරුද්දේ කතරගම ගිහින් කිරිවෙහෙර වැඳලා, කතරගම දෙවියන් වැඳලා ආවා. ඒ වගේම අවරුදු දිනයේ ගෙදරම ඉඳගෙන චාරිත්‍ර වාරිත්‍ර ඒ ආකාරයෙන්ම ඉටුකළා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි අලුත් අවුරුදු දිනයේ තමන් ජීවත් වෙන නිවෙස හිස් කරන්න හොඳ නැහැ කියන එක. එදාට ගෙදර කිරි උතුරුවලා, කිරිබතක් පිළියෙල කළ යුතුමයි. එනිසා ඒ දේවල් අකුරටම ඉටුකළා. ඊට පසුවදා මම නුවර එළි ගියා. ඒ මගේ පවුලේ හැමදෙනාම සමඟ.


රොෂානාට මේ අලුත් අවුරුද්ද විශේෂයි.

රොෂානා මේ දවස්වල කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක්. රොෂානාට මෙවර අලුත් අවුරුද්ද හරිම විශේෂයි. ඒ ගැන අපි ඇගෙන්ම විමසුවා. ‘මෙවර අවුරුද්ද මගේ ජීවිතයට හුඟක් විශේෂයි. මොකද පසුගිය අලුත් අවුරුදු මම සැමැරුවේ තනිවම. එත් මෙවර මගේ අලුත් පවුලේ හැම දෙනා එක්කම සමරන්න මට අවස්ථාව ලැබුණා. මගේ පෙම්වතා සමඟ මෙවර අලුත් අවුරුද්ද සමරන්න ලැබුණු එක ගැන විශාල සතුටක් හිතේ තිබෙනවා.


අලුත් අවුරුදු සැමරුවේ නුවරඑළියේ.

ලැබූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පූජා උමාශංකර්ට නම් විශේෂ අවුරුද්දක් වුණා. ඒ ඇය විවාහයෙන් පසුව සමරන පළමු අලුත් අවුරුද්ද මෙය වීමයි. කොහොම වුණත් පූජා අලුත් අවුරුද්ද සමරන්න නුවරඑළි ගියා කියලා අපිට දැන ගන්නට ලැබුණා. ‘මේදා සැරේ අලුත් අවුරුද්දට මගේ පවුලේ හැමදෙනාමත් මගේ සැමියාගේ පවුලේ හැමදෙනාමත් එකතු වුණා. විශේෂයෙන්ම මගේ මල්ලී එයාගේ බිරියත් දරුවනුත් සමඟ ලංකාවට ආවා. ඉතින් අපි කට්ටියම නුවරඑළි ගියා. පුංචි පැටව් දෙන්න එක්ක ගත කරපු ඒ කාලය නම් හරිම අපූරුයි. නුවරඑළියේ සුන්දර තැන් නරඹමින් හරිම සතුටින් තමයි කාලය ගත කළේ.

Comments

What is this? Is this some kind of Joke? Or Which New Year were they talking about? Last year or year before? 'Cause the time I was reading this paper on the internet it was THE DAY BEFORE NEW YEAR 2017 around 11.00 a.m. Sri Lankan time. Who are you trying to fool? SHAME.

පිටු