සභාපති වුණාට මං ‍හොඳ ගොවියෙක් | සිළුමිණ

සභාපති වුණාට මං ‍හොඳ ගොවියෙක්

අරුණ කොතලාවල / සභාපති - විජය ප්‍රඩක්ට්ස්

උපාධි සහතිකයෙන් රස්සාවක් ලැබෙන තුරු බලා ‍හිඳීමේ ක්‍රමයට අභියෝග කළ ඔහු, ප්‍රායෝගික මිනිසෙක් වූයේය. ඒ ප්‍රායෝගික බව තුළ ඔහු, හෝටලයක කුස්සියේ වැඩ කළේය. වී මෝලක කම්කරුවෙක් වූයේය. මිරිස්, තුනපහ කුඩු ඇඹරුමෙහි යෙදුණේය. උපාධි සහතිකය අතට එන විට, ඔහු වාහනයක දෙකක හිමිකරුවෙකි. ප්‍රායෝගික වීම, මහන්තත්වයට හෝ උද්ධච්ඡ කමට වඩා කෙතරම් වටී දැයි ඔහු තරුණ පරම්පරාවට පූර්වාදර්ශයෙන් කියා දුන්නේය. ඔහුගේ කතාව අපට වටිනුයේ එහෙයිනි.

මං මොකටද හෝටලේ ඉඳිආප්ප තැම්බුවේ... මෝලෙ දාඩිය පෙරාගෙන වී කෙටුවේ... ගම වටේ ගිහින් වී එකතු කළේ.මටත් දවසක උපාධියක් තියෙනවා කියලා අරගල විතරක් කරලා නිකම් හිටියා නම් අද මං කොතැනද...

විජය ප්‍රඩක්ට්ස්... මේ රටේ කොහොම තැනෙක තිබෙන ව්‍යාපාරයක් ද...

ලංකාව පුරා ව්‍යාප්ත වූ, කුළුබඩු ඇතුළු ආහාරද්‍රව්‍ය තිස් දෙකක් නිෂ්පාදනය කරන සහ මෙරට කෘෂි කර්මාන්තයට සැලකිය යුතු දායකත්වයක් සපයන දේශීය සමාගමක්. ඒ වගේ ම, උපාධිධාරියෙක් පොඩියට පටන් ගත්, අද අතු පතර විහිදුවාලූ දැවැන්ත ජාලයක්.

මේ ජාලය තුළ මොන තරම් පිරිසකට ඔබ රැකියා අවස්ථා හදා තිබෙනවද...

නිෂ්පාදනය සහ කෘෂිකර්මාන්ත කියන දෙඅංශයෙන් ම ගත්තොත් එක් දහස් දෙසීයක්. අටසීයක් නිෂ්පාදන කටයුතු සඳහා ඍජුව ම දායකත්වය සපයන අය. සෙසු පිරිස රට පුරා විහිදුණු වතු සහ ගොවි බිම්වල වැඩකරන අය.

මොනවද ඔබේ සමාගමෙන් කෘෂිකර්මාන්තයට සිද්ධ වෙන්නේ...

‍තේ, කෝපි, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, එනසාල්, මිරිස්, කහ, ගොරකා, රම්පේ කරපිංචා මේ කොයි දේත් අඩු වැඩි වශයෙන් අපේ ම වතුවල වගා කෙරෙනවා. ඒ වතු තිබෙන්නේ, මස‍්කෙළිය, හැටන්, මාතලේ, නුවරඑළිය, අනුරාධපුරය, මාතර ඇතුළු රටපුරා පළාත් ගණනාවක විහිදිලා. මේ සියලු ඵලදාව, දොඩංගොඩ අපේ අක්කර දහයක විහිදුණු වර්ග අඩි ලක්ෂ පහක කර්මාන්තශාලාවේදි නිෂ්පාදන බවට පත්වනවා.

එතකොට රටේ ආර්ථිකයට සපයන දායකත්වය...

අපේ නිෂ්පාදන, රටවල් එකොළහක ජනතාව අතරට යනවා. ඕස්ට්‍රේලියාව, කැනඩාව, දකුණු කොරියාව, මාලදිවයින, එංගලන්තය ඇතුළු ඒ රටවල් 11 කට. ඒ කියන්නෙ අපේ රටේ ආර්ථිකයට විදෙස් විනිමය රැගෙන එන්න, අපිට හැකි වී තිබෙනවා.

ඉතින් ඇයි, එක කර්මාන්තශාලාවක්. ඔබට පුළුවන්නේ ව්‍යාපාරය තවත් පුළුල් කරන්න...

මට මේක අති දැවැන්ත ව්‍යාපාරයක් කිරීමේ වුවමනාවක් නැහැ. දැවැන්තකම මම මනින්නේ TurnOver එකෙන් හෝ කර්මාන්ත ශාලා ප්‍රමාණයෙන් නෙවෙයි. මට ඕනෙ නම් හෙට තව කර්මාන්තශාලා දහයක් පටගන්න පුළුවන්. එහෙම තැනෙක මං ඉන්නවා. නමුත් එහෙම ගිහින් ගුණාත්මකභාවය අඩුකර ගන්න මම කැමැති නැහැ. සියල්ල බැලන්ස් කරන්න බැරි නම් ගොඩ බදාගන්න එක වැරැදියි. කොලිටිය ‘මේන්ටේන්’ කරන එකයි මට වැදගත්.

සේවකයන් හා ඔබේ ගනුදෙනුව කොහොම එකක් ද...

එය ගනුදෙනුවකින් ඔබ්බට ගිය බැඳීමක්. අපේ ‍සේවක හැරයාම් සියයට දෙකයි දශම ගණනයි. ඔවුන්ට ආහාර පාන සැපයෙනවා. මං නිතර ෆැක්ටරියට යන නිසා ඔවුන්ට අවස්ථාව තිබෙනවා මා එක්ක කතා කරන්න. සේවකයකුගේ ප්‍රශ්නයකදී අහක බලන බොස් කෙනෙක් නෙවෙයි මම.

ඔබේ සහෝදරයා දේශපාලකයකු වූ නිර්මල කොතලාවල. ඔහුත් ව්‍යාපාරයට සම්බන්ධයි ද....

ඔව්. පහුගිය කාලෙ දේශපාලනය නිසා තරමක් ඈත්වෙලා හිටියට දැන් මල්ලි පූර්ණකාලීනව බිස්නස් එකේ ඉන්නවා. එයා අධ්‍යක්ෂවරයෙක්. එයාගෙ සහයත් අපි දෙන්නගෙ සමගියත් නෙවෙයි නම් මෙච්චර දුරක් එන්න ලැබෙන්නෙ නැහැ.

ඔහු දේශපාලනයේ හිටි කාලයේ ලැබුණු උදව් ඊටත් වැඩි ඇති...

එයා දේශපාලනයේ හිටියා කියලා ඒ උදව්වෙන් එක බිම් අඟලක්වත් මේ ව්‍යාපාරයට මං අරගෙන නැහැ. හැබැයි එයාගේ දේශපාලනේට මං උදව් කළා. මේක ජනතාව මත රැඳුණු බිස්නස් එකක්. බඩු හොඳ නම් මිනිස්සු ගන්නවා. එච්චරයි. අපේ දියුණුව තියෙන්නෙ එතැන.

තුනපහ කියන්නෙ මිනිස්සු රවටන්න පුළුවන් හොඳම බිස්නස් එකක්... කවුරු එහෙම කිව්වොත්....

වෙන්න පුළුවන්. නමුත් මං දන්නෙ මං කරන දේ ගැන විතරයි. මං භාවිත කරන අමුද්‍රව්‍ය පිළිබඳ මං වගකියනවා. මගේ කර්මාන්තශාලාවල මගේ ඇහැ වහලා යමක් මිශ්‍ර වෙන්නෙත් නැහැ. වැරැදි යමක් නිෂ්පාදනය වෙන්නෙත් නැහැ. හොඳම අමුද්‍රව්‍ය නැත්නම් ප්‍රඩක්ෂන් එක නවත්වනවා. අමාරුවෙන් හදාගත්තු නම මම විනාශ කරගන්නෙ නැහැ.

ඔබේ විද්‍යා උපාධිය සහ දැනුම අපරාදේ... එහෙම හිතෙන්නෙ නැද්ද...

කිසිසේත් නැහැ. මගේ ගණිතමය හැකියාව සහ විද්‍යා උපාධියේ දැනුම අනන්තවත් ව්‍යාපාරයේදි මට උදව් වී තිබෙනවා. උපාධියට ගැළපෙන රස්සවාක් හොයනවා වෙනුවට මං කළේ රස්සාවට ගැළපෙන්න උපාධිය ප්‍රයෝජනවත් කරගත් එක. තර්කානුකූලව දකින්න විමසන්න, හිතන්න සහ යමක් ප්ලෑන් කරන්න, එඩිතර තීන්දු තීරණ ගන්න. ඒ පසුබිම මට හැම විටම විශාල හයියක් වුණා. උපාධිධාරියෙක්, මිරිස් තුනපහකුඩුවලින් දියුණු වුණේ එහෙමයි.

ඔබ අරුණ කොතලාවල. ‘විජය ප්‍රඩක්ට්ස්’ නම කාගෙද...

තාත්තා, ‍වේලින් විජයරත්න කොතලාවල. මම අරුණ විජයරත්න කොතලාවල. මල්ලි නිර්මල විජයරත්න කොතලාවල. ‘විජය’ නම ගත්තෙ අපි තුන්දෙනාට ම පොදු පවුලේ නම නිසා. මොකද තාත්තා... අම්මා... මල්ලි...මම බොහොම ආදරෙන් බැඳුණු පවුලක්.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද...

අපි පොඩි කාලෙ කළුතර දොඩංගොඩ ඕනෑ තරම් කැලෑ තිබුණා. තේ රබර් වතු තිබුණා. කජු කාලෙට කැලේ පැනලා කජු කඩපු... වෙලේ සරුංගල් යවපු..., දියකඩිතිවල මාළු අල්ලපු.... ඇළ දොළවල ඇති තරම් පීනපු ළමා වියක් මටත් මල්ලිටත් තිබුණෙ. ඒ ළමා කාලෙ අපි ඇති තරම් වින්ඳා.

ඒ කියන්නෙ දුක් අමාරුකමක් කවදාවත් නොවිඳපු ජීවිතයක්...

අපේ තාත්තා ගමේ ඉස්කෝලෙ ප්‍රින්සිපල්. අම්මා ගුරුතුමී. ගුරු යුවළකගේ දරුවො හැටියට ලැබුණු සරල ජීවිතේ තුළ අඩුපාඩුවක් දැනුණේ නැති තරම්. ලැබුණු දේ තමයි, ඉස්තරම්... අපිට දැනුණේ ඒ විදියට. හැබැයි මගේ ජීවිතේ පුරා අරපිරිමැස්ම කියන දේ තිබුණා.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

මුලින් ම, කළුතර හෝලි ක්‍රොස් කොලේජ් ‍එකේ. ඊළඟට මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ. මං ඉගෙනීමට වඩා ආසා කළේ සෙල්ලමට. බාහිරවැඩවලට. ඒ නිසාම ඉස්කෝලෙදි මං හිටියෙ දක්ෂයො ගොඩේ නෙවෙයි. අතිශය සාමාන්‍ය ළමයෙක් විතරයි මං.

ළමයෙක් හැටියට ඔබට තිබූ හීන සහ අරමුණු මොනවද...

අහවල් කෙනා වෙනවා කියලා, කවමදාවත් මට හිතිලා නැහැ. හැබැයි ඕ - ලෙවල් ඉවර වුණාට පස්සෙ නම් මගේ මහප්පා වගේ වතු අධිකාරි කෙනෙක් වෙන්න ආසා කළා. මොකද එයාට තිබුණ පරණ මොරිස් මයිනරයක්. ඒ කාර් එක පදින්න, මහප්පා වගේ අඳින්න පලඳින්න මං ආසා කළා.

ඒ වෙනුවෙන් මොනවද ඔබ කළේ...

කිසිම දෙයක් නැහැ. ඕ - ලෙවල් ඉවර නිසා මට‍ වෙලාව තිබුණා. ඒ නිසා මං කළේ ඒ ආසාව හිතේ තියාගෙන වවපු එක. මං ඉස්කෝලෙදිත් කෘෂිකර්මාන්තය කළා. පැළයක් දලු දානකොට, අතු ඉති විහිදනකොට, මල් ගෙඩි කරල් හට ගන්නකොට මං ඒවා එක්ක හරියට සතුටු වුණා. සාත්තු කළා. තාත්තා එක්ක කුඹුරකුත් කළා. මම ම වවලා අක්කරයකින් වී මලු හතළිහක් ගත්තු කාලයකුත් තිබුණා. උදේ කුඹුරට ගිහින් හැන්දෑ වෙනකල් කුඹුරු වැඩ කරලා එළවළු පාත්තිවලටත් වතුර දාලා තමයි ගෙදර එන්නේ. අද සමාගමක අයිතිකාරයෙක් වුණාට මං හොඳ ගොවියෙක්. ඒ නිසාම තමයි අපේ කුළුබඩු බහුතරය අපි ම වවන්නේ. මං ගොවිකමේ අගය දන්නවා. සතුට දන්නවා. දුක් අමාරුකමත් දන්නවා.

ඒත් ඔබ වෘත්තීය ගොවියෙක් වුණේ නැහැනේ...

වතුර ඇදලා බිම් කොටලා, වගාව රැකගෙන ඵලදාව කපන්න ඉන්නකොට මට කලින්, හොරු මගේ ඵලදාව කපාගෙන යනවා. එහෙම අවස්ථා මොනතරම් වාරයකට මම මුහුණ දීලා ඇද්ද... ඒ කාලෙ මට කැටයක් තිබුණා. මං රුපියල් දහය පහළොව කැටේට දාලා එකතු කළා. ඒක මට එහෙම පිටින් ම නැතිවුණා. වගාව හොරු කපාගෙන ගියා ම, හිතට දුකයි. ඒත් මං ආයේ පොළොව කොටලා පාත්ති හැදුවා. වැවුවා. පාඩු වුණා කියලා, මං අත්හරින්න කැමැති කෙනකුත් නෙවෙයි.

අම්මා තාත්තාගෙන් ජීවිතේට ලැබුණු හොඳ ම දේ කියන්න...

විනය සහ හොඳින් ජීවත් වෙන හැටි. අවුරුදු පහළොව දහසය කාලේ කොලුකමට මායි මල්ලියි ගෙදර සොල්දරේ උඩට ගිහින් සිගරට් එකක් බිව්වා. තාත්තට ගඳ ආවා. වේවැලක් අරන් උඩට ඇවිත් අපි දෙන්නට හොඳට ම ගැහුවා. ගැහුවට තාත්තටත් දුකයි. ඊට පස්සේ කිව්වා, ‘පුතේ! මේක වැරැදියි. කවදාවත් මම මේවා කළේ නැහැ, ඔය දෙන්නත් අදින් මනත මේ වැරැද්ද කරන්න එපා!...’ කියලා. අපිට ගැහුවට වඩා රිදුණා, ඒ වචනවලට. පස්සෙ කාලෙක මොන තරම් නිදහස තිබුණත් සිගරට් අරක්කු කටේ තිබ්බෙ නැහැ. ඒ තමයි, තාත්තා දීපු ජීවිත පාඩම.

එතකොට අම්මගෙන්...

අවුරුදු දොළහෙදි, සිංහල අවුරුද්දට මං අඳින අලුත් කමිසෙ මහගත්තෙ මමමයි. අම්මා කපලා දුන්නා. මම මැහුවා. මහන්න ඉගැන්නුවෙ අම්මා. මට කොණ්ඩෙ තියලා කැවුම් හදන්නත් පුළුවන්. අතිරස මුං කැවුම් වගේ කැවිලි හදන්නත් පුළුවන්. මේ හැමදේ ම ඉගැන්නුවෙ අම්මා.

හිටපු, ඔබේ ඇමති මල්ලිටත් මේ දේවල් පුළුවන් ද...

මල්ලිට බැහැ. මොකද මල්ලි නාලන්දෙට ගියේ කොළඹ ‍ලොකු අම්මගෙ ගෙදර නතරවෙලා. ආවේ සෙනසුරාදට. එයාගෙ උනන්දුව තිබුණෙ දේශපාලනයට මිස මේවට නෙවෙයි. මං හිටියෙ අම්මා එක්කම නිසා හුඟක් දේ මං ඇගෙන් ඉගෙන ගත්තා. කොටින්ම පස්සෙ කාලෙක මං විජය තුනපහ කුඩු හැදුවෙත් ඇගේ වට්ටෝරුවකට.

බාධක, අභියෝග ඉදිරියේ ඔබ කොහොම මනුෂ්‍යයෙක්ද...

මං අභියෝගවලටත් අභියෝග කරන මිනිහෙක්. මගේ ඕ - ලෙවල් ප්‍රතිඵල 8 යි 5 යි. ඒ ලෙවල්, F හතරයි. තාත්තා ප්‍රින්සිපල්. අම්මා ගුරුතුමී. පුතා ඒ ලෙවල් වැඩ හතර ම ෆේල්. මට ඇස් ඇරුණෙ එදා. මං අම්මා තාත්තගෙ ගෞරවය ගැන හිතන්න ඕනේ. මගේ අනාගතය හදාගන්න ඕනේ... මං ඇතිකරගත්තෙ අධිෂ්ඨානය විතරයි. ලංකාවෙ උසස් පෙළ අමාරුම කළ වසරත් ඒක. කරන්න දෙයක් නැහැ. එතැන ඉඳන් මං වැඩ කළා. කොළඹ විශ්ව විද්‍යාලයට තේරුණා. 1987 මං ජීවිතේ ලොකු ම අභියෝග දිනුවා. ඒත් සතුට ටික කලයි.

මොකද වුණේ...

ඇරලට වඩා විශ්ව විද්‍යාලෙ වහලා. මං තාත්තට කිව්වා, ‘තාත්තෙ විශ්ව විද්‍යාලෙ වහනවා. මට තාත්තගෙ වී මෝලට යන්න ඕනේ. කඩේටත් යන්න ඕනේ...’ කියලා. තාත්තා මට ඉඩ දුන්නා. මෝලක වැඩ කෙරෙන හැටි වී කොටන ක්‍රමය - ශිල්පය, කඩේක බඩු අහුරන විදිය, වෙළෙඳාම... මේ හැමදේම මං වැඩ කරමින් ඉගෙන ගත්තා. ටික කලක් යද්දි වී මෝල වැහෙන්න යන බව මට තේරුණා. මං තාත්තට යෝජනා කළා, ‘තාත්තෙ මේ පරණ මෝල විකුණමු. අලුත් මැෂිමක් ගමු...’ කියලා. තාත්තා කැමැති වුණේ නැහැ. දවස් ගණන් පෙරැත්ත කරලා තමයි තාත්තා අලුත් මෝල ගන්න කැමැති වුණේ. ඒත් තාත්තට සල්ලි නැහැ. තාත්තා රුපියල් විසිපන්දාහකට කුඹුර විකිණුවා. මං අලුත් මෝලක් ගත්තා.

ඒ තමයි ඔබේ ව්‍යාපාර ජීවිතයේ ඇරැඹුම. එහෙමද...

ඔව්. මෝල අයිතිකාරයත් මම. වැඩ කරන කම්කරුවත් මම. දාඩිය දාගෙන වී කොටලා තනියම මලුවලට දාලා, බිල් ලියලා, සල්ලි අරන්... අස්පස් කරලා, සුද්ධ කරලා සියල්ල තනියෙන්. සේවකයෙක් අරන් ගෙවනවට වඩා ඒ මුදල ඉතරි කරන්න, මම ම වැඩ කළා. ඊට පස්සෙ ට්‍රැක්ටරයක් අරන් ගිහින් ගමේ වී එකතු කළා. ඒ කාලෙ නම් නිර්මල මල්ලිත් මට උදව් කළා. එහෙම කුලියට වී කොටන ගමන්, හාලුත් විකිණුවා. මහප්පගෙ පාර අද්දර ඉඩමක පොඩි ටකරන් මඩුවක තමයි වැඩේ පටන් ගත්තෙ. අවුරුදු දෙක තුනක් ම කරගෙන ගියේ. ඔය අතරෙ ම දොඩංගොඩ හන්දියෙ තිබුණු මහප්පගෙ කඩ කාමරයක් කුලියට අරන් ‘විජය හෝටලය’ නමින් හෝටලයකුත් කරගෙන ගියා.

එත‍කොට විජය ප්‍රඩක්ට්ස් බිහිවෙන්නෙ කොතැනද...

විභාගෙ ලියලා 1989 මං තාත්තගෙ පරණ මිරිස් මෝලෙ වැඩ පටන් ගත්තා. පොළෙන් මිරිස් කරල් ටික ටික ගෙනැත් කුඩු කරලා වී කොටන තැන ම තියලා විකිණුවා. වී කොටන්න ආපු අය මිරිසුත් ගත්තා. තුනපහත් කොටන්න ගත්තා. ඒකත් මිනිස්සු අතරට ගියා.

එතකොට ප්‍රතික්ෂේපවීම් ඔබේ ජීවිතයේ ඇත්තතෙ ම නැද්ද...

අනන්තවත් තිබුණා. මිරිස් තුනපහ පැකට් කරලා, තාත්තගෙ රැලේ බයිසිකලේ පෙට්ටියක් බැඳලා සේවකයෙක් කුලියට යොදවලා කඩවලට බෙදන්න ගත්තා. මම මෝලෙ ඉන්න ඕනෙ නිසා, එළියට යන්න බැහැ. සමහරදාට ඒ මනුස්සයා ආපහු එනවා එකම පැකට් එකක්වත් විකුණාගන්න බැරිව. හැබැයි මනුස්සයත් බීලා. අන්තිමේ මං වෙන කෙනෙක් යෙදෙව්වා. දවසකට කිලෝ හතර පහක් විකුණන තැනට ගෙනාවා. පොඩි වෙළෙඳ ජාලයක් හදා ගත්තා. වී කොටන්න අරන් අවුරුදු දෙකහමාරක් යනකොට මං රුපියල් ලක්ෂයක් එකතු කළා. ලීස් එකකුත් දාලා ලක්ෂ හතරකට වෑන් එකක් ගත්තා. එතැන ඉඳන් බෙදා හැරීමේ ක්‍රමය මං වෙනස් කළා. සමහර දවස්වල මං විශ්ව විද්‍යාලෙ ගියෙත් වෑන් එකේ.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයො හැමදාම පාරේ. ඊටත් වඩා භයානක යුගයක් ඔබ පහු කළේ ව්‍යාපාරිකයෙක් වෙලා. මොකක්ද වෙනස...

අපිත් අරගල කළා. ඒ වුණාට ජීවිතේ ගොඩ යා යුතු තැන තීරණය කරලා ඉවරයි. මං මොකටද හෝටලේ ඉඳිආප්ප තැම්බුවේ. හොදි හැදුවේ... මං මොකටද මෝලෙ දාඩිය පෙරාගෙන වී කෙටුවේ. ගම වටේ ගිහින් වී එකතු කළේ. මටත් දවසක උපාධියක් තියෙනවා කියලා අරගල විතරක් කරලා නිකම් හිටියා නම් අද මං කොතැනද... තමන්ගේ ජීවිතේ හදාගන්නෙ තමන්මයි. විශ්ව විද්‍යාලෙ ඇරියට වඩා වහපු අවුරුදු හය තුළ තමයි මං ව්‍යාපාරිකයේ වුණත්, උපාධිය ගත්තෙත්. ඒකයි වෙනස.

මේ ව්‍යාපාරයේ පහු කළ දුෂ්කරම කාලය මතකද...

එහෙම අවස්ථා සිය ගණනින් ඇති. ඒත් තවම මට මතක් වෙන දෙයක් තියෙනවා. රුපියල් පණස්දාහක ණයක් ඉල්ලන්න මේ රටේ ප්‍රමුඛ ම රාජ්‍ය බැංකුවට මං අවුරුදු දෙකහමාරක් ගියා. ඒත් දුන්නෑ. මං ඊළඟට ලක්ෂ 70ක බැංකු ණයක් ගන්න ආපහු පෞද්ගලික බැංකුවකට ගියා. ඒ ණයත් ලැබුණෙ නැහැ. නමුත් මං උත්සාහය අත්හැරියෙත් නැහැ. සෙලාන් බැංකුව මට උදව් කළා.

බිස්නස්වලදි ඔබ කැමැති සීත කාමරයකට වෙලා සියල්ල මෙහෙයවන්නද... ප්‍රායෝගික මනුෂ්‍යයෙක් වෙන්නද...

මං ප්‍රායෝගික මනුෂ්‍යයෙක්. විජය හෝටලය කරන කාලෙ තමයි මට විශ්ව විද්‍යාලෙ පළමු වසරෙ විභාග තිබුණෙත්. මං පාන්දර පහට හෝටලේට යනවා. දවල්ට මෝලට යනවා. එක විභාගයක් දවසක කෑම හදන බාස් උන්නැහේ ආවෙ නැහැ. බිස්නස් එක කඩා ගන්නත් මට බැහැ. මං තීරණයක් ගත්තා. එදා මං විභාගෙට නොයා ඉඳිආප්ප තැම්බුවා. පරිප්පු හොද්දක් හැදුවා. ප්‍රශ්න පත්‍ර දෙකකට මට ඔය දේ සිද්ධ වුණා. හැබැයි මං දෙවැනි වසරෙදි ඒ විභාගයත් කරගත්තා. රටේ භීෂණය. අවුරුදු හයක් විශ්ව විද්‍යාල ජීවිතේ ඇදුණා. හැබැයි මං ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා. හෝටලේ දියුණු ම කාලෙදියි, මගේ විශ්ව විද්‍යාලෙ අවසන් කාලය. මං හෝටලේ අත්හැරියා. උපාධිය සම්පූර්ණ කළා.

ඔබේ බිරියත් ව්‍යාපාරවලට සම්බන්ධයිද...

ඇය මට මුණ ගැහුණෙ මනමාලියො 25ක් විතර බැලුවට පස්සේ. ඇයත් ගුරු පවුලක. බිස්නස්වලට සම්බන්ධ නොවුණට එයා මගේ එකම දුව හොඳට හැදුවා. මගේ දුව උසස් පෙළ පන්තියේ.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම දේ කුමක් ද...

පුංචි කාලෙ මං දක්ෂයෙක් නෙවෙයි, ඒත් මං අවශ්‍ය ඉලක්කෙට ගියා. විශ්ව විද්‍යාල ජීවිතේ ගෙවුණෙත් දිගුකාලීන පීඩාවක් විඩාවක් තරමට. ඊළඟට බිස්නස් එකේදි මං ඔළුව උස්සනකොට ම මගේ හොඳම සේල්ස් රෙප්ස්ලා ටික හිටි අඩියේ එකවර අස්වෙලා ගියා. හරියට බැලුවොත් සේල් එකම කඩා වැටෙන්න ප්‍රබල ‍හේතුවක්. ඊළඟට, ස්ටෝරුවෙයි - සේල්ස් කරපු කිහිපදෙනකුයි එකතු වෙලා ලොකු හොරකමක් කළා. නීතිය ඉදිරියට ගියාට, මට ඔප්පු කරගන්න බැරි වුණා. මොකද උසාවිය ඉල්ලපු ඔඩිට් රිපෝට් - කම්පියුටර් සිස්ටම් අපිට ඉදිරිපත් කරගන්න බැරි වූ නිසා. මං ඒ සියලු ක්‍රමවේද හදාගෙන ආයේ ඔළුව ඉස්සුවා. එදා පණස් දාහක් ඉල්ලගන්න කකුල් ගෙවෙනකල් අවුරුදු දෙකහමාරක් බැංකුවකට ගියා. අවසානයේ මං මට ඕනෙ තැනට ආවා. ඒ ජීවිතේ පුරාම තිබුණෙ වැටීම්. නැඟිටීම්. වෙහෙස - මහන්සිය සහ කැපවීම්. කවුරු හරි ම‍ගේ ජීවිතෙන් යමක් ගන්නවා නම් අධ්‍යයනය කරන්න ඕනේ මෙන්න මේ දේවල්.

ඡායාරූප - විමල් කරුණාතිලක

Comments