දණහිස් ලෙඩ කරන වාතරක්තය | සිළුමිණ

දණහිස් ලෙඩ කරන වාතරක්තය

වර්තමාන සමාජයේ මිනිසාට වැළදෙන ලෙඩ රෝග බොහොමයකි. ඒ අතරින් සන්ධි රෝග බහුලවම දක්නට ලැබෙයි. මෙම සන්ධි රෝග ආශ්‍රිතව ඇතිවන දණහිස් වාතරක්තය පිළිබඳ 'අංකුලා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ' වෛද්‍ය එම්.ඩබ්.ඒ. සෙනෙවිරත්න සමඟ අපි කතාබහ කළෙමු.

එදාට වඩා අද සන්ධි අශ්‍රත රෝග තත්ත්වයන් බහුලයි?

මෙහෙමයි.අතීතයේ, අපගේ මුතුන්මිත්තන් බොහෝ ගමන්බිමන් සිදුකලේ දෙපයින්. එනිසා ඔවුනට, බර එසවීම, කඳුහෙල් තරණය කිරීම අරුමයක් වූණේ නැහැ. මොකද ඔවුන්ට ශක්තිමත් දෑත් දෙපා හිමිව තිබුණා. එත් වර්තමාන සමාජයේ ජීවත් වන අපට අපගේ ශරීර බලය බොහෝ සෙයින් හීන වී ඇති බව පෙනෙනවා. ඒ අන් කිසිවක් නිසා නොවෙයි, අපගේ ආහාර විහරණ රටාවන්ගේ පවතින විෂමතාවයන් නිසයි.

ඒ බව ඔබතුමා පවසන්නේ කොහොමද?

වර්තමානයේ ජීවත් වන බොහොමයක් දෙනා, කුමන හෝ සන්ධි ආශ්‍රිත රෝගයකින් පෙලෙන බව, අපේ සායනයන්ට පැමිණෙන රෝගීන් පරීක්ෂාව තුළන් පැහදිලිවම අපිට දක්නට ලැබුණු කරුණක්. ඒ අතරින් බහුතරයක් දෙනා, ගම්භීර වාතරක්තය නම් සන්ධි ආශ්‍රිත රෝගයෙන් තමයි පෙළුණේ. එනිසා එම රෝගී තත්වය පිළිබඳ යමක් පැවසීම සුදුසුයි.

වාතරක්තය කියන්නේ කුමක්ද?

වාතරක්ත නම් රෝගී තත්ත්වය ප්‍රධාන වශයෙන් දෙයාකාරයි. එනම් උත්ථාන වාතරක්තය සහ ගම්භීර වාතරක්තය වශයෙන්. උත්ථාන වාතරක්තය සමෙහි පීඩා ඇති කරවන අතර ගම්භීර වාතරක්තය අස්ථි සහ ඇට මිදුළු දුෂණය කරමින් සන්ධි ආශ්‍රිතව බොහෝ පීඩා ඇති කරයි. එයින් මා මෙහිදී පවසන්නට අදහස් කරන්නේ, ගම්භීර වාතරක්ත නම් සන්ධි ස්ථානයන්ට බලපාන රෝගී අවස්ථාව පිළිබඳවයි.

ඒ කුමක්ද?

ගම්භීර වාතරක්තය යනුවෙන් ආයුර්වේදයෙහි හඳුන්වනු ලබන මෙම රෝගී තත්ත්වය, නුතන වෛද්‍ය විද්‍යාවේ දක්වන 'gout' නම් රෝගී තත්ත්වය හා ලාක්ෂණිකව බොහෝ දුරට සැසඳිය හැකියි. මෙය ඇතිවීමට බලපාන හේතු ආයුර්වේදයේ දක්වා ඇත්තේ මෙසේයි.

අම්ල,ලවණ,බහුලඅහාර(අඹ,අන්නාසි,අච්චාරු, විනාකිරි,ලුනුදෙහි වැනි), විදාහී,උෂ්ණආහාර (ඉස්සෝ,දැල්ලෝ,කකුළුවෝ, බලමාලු,ගවමස්,දෙල් ආදී), මේද, තෙල් බහුල ආහාර(සූකර මාංශ,බටර්,චීස් ආදී),

නිතර ආහාරයට ගැනීම, ශරීරයට අවශ්‍යය පමණ ජලය පානය නොකිරීම,එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම,අධ්‍යෂණය හෙවත් කෑ පිට කෑම ආදී හේතුන්ගෙන් කිපියා වූ ලේ ධාතුව, දහවල් නිදීම, රාත්‍රී නිදි වැරීම, අධික ව්‍යායාමය, ක්‍රෝධ කිරීම, ආදී හේතු නිසා කිපියා වූ වාතය සමඟ එක් වීමෙන් සන්ධිස්ථාන පීඩා කොට ගම්භීර වාතරක්තය උපදවන බව ආයුර්වේදයෙහි දක්වා තිබෙනවා.

එය තව දුරටත් පැහැදිලි කළොත්?

ඉහත සඳහන් කළ අහාර රටාවේ විෂමතා හේතුවෙන් ශරීරයේ මිහිකාම්ලය හෙවත් “යුරික් ඇසිඩ්“ වර්ධනයක් ඇති වෙන අතර එම මිහිකාම්ල, වකුගඩුවලට දැරීමට නොහැකි වීමෙන් නැවත ලේ වලට එකතුවී, රක්තය දුෂණය කරනවා. මෙම දුෂිත රක්තය, සන්ධිස්තනයන්හිද, කාටිලේජයන්හිද, ස්නායු හා කන්ඩරාවන්හිද විකෘතිතා ඇති කරන්නට හේතු වෙනවා.

මෙම රෝගී තත්ත්වය ඇති වන්නේකෙසේද?

ඇඟිලි,මැණික්කටු සන්ධිය, වළලුකර සන්ධිය යන සන්ධිස්තනයන්ගෙන් ආරම්භ වී ක්‍රමක්‍රමයෙන් ශරීරය පුරා පැතිරී යන බවක් දක්නට ලැබෙනවා. මෙම අවස්ථාව වන විට නිසි ප්‍රතිකාර නොලැබුණහොත්, පසුව මෙම රෝගී තත්ත්වය, දණහිස්, තුනටිය, බෙල්ල, ආදී අනෙකුත් ප්‍රධාන සන්ධිස්ථානයන් කරාද පැතිරී පසු කලෙක අත්පා විකෘති වීමට පවා හේතු විය හැකියි.

මෙම රෝගය ඇතිවීමේ දී දක්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවාද?

උදැසන අවදි වූ විගස ඇතිවන විලුඹ ආශ්‍රිත වේදනාව(ඇතැම්විට මෙය මුළු දවස පුරාද පැවතිය හැක.)

රෝගයට ලක්වූ ස්ථානයන්හි වියලිබව හා දැවිල්ල, සන්ධි ආශ්‍රිත වේදනා මල මුත්‍රා පිටවීම පිළිබඳ විෂමතා සවස බඩ පුරවා දැමීම, ආහාර අරුචිය ශරීර බලය හීන වීම. ආදිය ඒ අතර වේ. මෙම ලක්ෂණ සියල්ල හෝ කීපයක් පහළවිය හැක.

මෙම රෝගයට ප්‍රතිකාර මොනවාද?

මෙම රෝග අවස්ථාව සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමෙන් රෝගය නිදන්ගත ස්වභාවයට පත්වී බොහෝ සංකුලතා ඇතිවිය හැකියි. කල් යාමේදී, සන්ධිස්ථානයන්හි ඉදිමීම, අත් පා ඇඟිලි විකෘති වීම,පීඩාවට පත් ස්ථානයන්හි හිරිය හා ස්පර්ශය නොදනීම ආදී දරුණු උපද්‍රව ඇති වී ඇවිදීම පවා අපහසු විය හැකි බැවින් මෙයට ගොදුරුව සිටින රෝගීන් වහවහා ප්‍රතිකාර ගත යුතුයි. කල් ගත වූ රෝග අවස්ථාවකදී පළමුව දේශීය වෛද්‍යවරයකු මුණගැසී ප්‍රතිකාර ලබාගැනීම වඩා යහපත් වේ.

මේ රෝගී තත්වයෙන් වැළකීමට එදිනෙදා දිවියේදී ගත හැකි ක්‍රියා පිළිවෙත් මොනවාද?

ආහාර රටාව පාලනය කර ගැනීම විශේෂයෙන්- ඉහතින් දක්වන ලද ආකාරයේ විදාහි, තීක්ෂ්ණ, උෂ්ණ ආහාර පාන වලින් වැළකීම, දිනකට වතුර ලීටර් දෙකක්වත් අවම වශයෙන් පානය කිරීම, උදෑසන අවදි වූ විගස, හිස් බඩට, වතුර වීදුරුවක් පානය කිරීම, දිරවීමට පහසු සැහැල්ලු දෑ ආහාරයට ගැනීම, මුත්‍රකාරක, රක්ත ශෝධක ගුණ යුත්, කැකිරි, අළු පුහුල්, කොහිල අල, වැනි එළවලු වර්ග, නීරමුල්ලිය, සාරණ, ගොටුකොළ ආදී පලා වර්ගද, ආහාරයට නිතරම එකතු කර ගැනීම, ක්ෂණික ආහාර, පාන්පිටි වලින් කල ආහාර, ගැනීමෙන් වැළකීම, හොඳින් විකා ආහාර ගැනීම, අවස්ථානුකුලව, ආහාරපිසීම සඳහා සියඹලා භාවිතය බොහෝ ගුණදායක වනු ඇත.

කෙසේ වෙතත් ඔබට මෙම රෝගය පාලනය කරගැනීම සඳහා නිවසේදී සිදු කල හැකි ක්‍රියාකාරකම් කීපයකි මේ.

එලෙසම විහරණ රටාව ගැන ද සැලකිළිමත් වීම වැදගත් වේ. එනම් දහවල් නිදීම හා රාත්‍රී නිදි වැරීමෙන් වැළකීම. ශෝක,ක්‍රෝධ,භය,ආතතිය ආදී මානසික තත්ත්වවලින් ඈත්වීම. අධ්‍යෂණය හෙවත් කෑ පිට කෑමෙන් වැළකීම. රෝගය සුව වන තුරුම හැකි සෑම විටකදීම විවේක ගැනීම.

කඳු,පඩි පෙළවල් නැගීම,බොහෝ දුර ඇවිදීම, වැඩිවෙලා සිටගෙන සිටීම, උත්කුටුක ආසනයෙන් හිඳගෙන සිටීම ආදී ක්‍රියාකාරකම් වලින් වැළකීම. සවස් වී ස්නානය කිරීමෙන් වැළකීම. ආදී වශයෙන්, ඔබගේ ආහාර විහරණ රටාවේ සුළු වෙනස්කම් ඇති කර ගැනීමෙන්, මෙම රෝගී තත්වයට ගොදුරුවීමෙන් වැළකී සිටිය හැකි අතර, රෝගයට ගොදුරු වුවන්ගේ රෝග තත්ත්වයද ඉතා ඉක්මනින්ම මුලිනුපුටා දැමිය හැකිවනු ඇත. ඒ බව මෙසේ විශ්වාසයෙන් යුතුව ඔබ වෙත සඳහන් කරනුයේ, රෝගීන්ට ඖෂධ නියම කිරීමට වඩා, පුද්ගලයකු රෝගයන්ට ගොදුරුවීමෙන් වැලැක්වීම අපගේ හෙළ වෙද ශාස්ත්‍රයේ උතුම් කොට දේශනා කොට ඇති බැවිනි. 

 

Comments

පිටු