ඔබේ දත් ඔබම පරීක්ෂා කරගන්න | සිළුමිණ

ඔබේ දත් ඔබම පරීක්ෂා කරගන්න

කොළඹ දන්තායතනයේ අධ්‍යක්ෂිකා

විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ

ලෝක මුඛ සෞඛ්‍ය දිනය හෙට 20 වැනිදාට යෙදී තිබේ. 2017 වස‍ෙර් තේමාව ‘පිරිපුන් දිවියකට සුපසන් මුවක්’ යන්නය. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය හා එක්ව ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමැරීමේ ජාතික උත්සවය මාර්තු 20 දා රත්නපුරයේදී සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ ජනගහනයට අදාළව පෙර පාසල් හා පාසල් දරුවන්ගේ මුඛ සෞඛ්‍යය වර්ධනය කිරීමට ද මත්ද්‍රව්‍ය හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් තරුණ තරුණියන් හා වැඩිහිටියන් වළක්වා ගැනීම සඳහා ද වැඩසටහන් දියත් කෙරේ.

ශ්‍රී ලංකාවේ දුම්වැටි සහ මත්වතුර භාවිතය හේතුවෙන් වසරකට 35000 ක් මරණයට පත් වෙති. දුම්කොළ දුම්වැටි පුවක් හා බුලත් විටවල ඇති විෂ මුඛ පිළිකාවලට හේතු වේ. ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලතම පිළිකාව මුඛ පිළිකාව ය. මේ පිළිකා වළක්වා ගත හැකි ය. ඒ සඳහා දුම්කොළ මත්ද්‍රව්‍ය හා බුලත් පුවක් භාවිතයෙන් වැළකී සිටිය යුතු යැයි ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ උපලේකම් විශේෂඥ දන්ත වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පවසයි.

මෙරට පාසල් දරුවන් අතර බහුලතම මුඛ ‍රෝගය දන්ත ව්‍යසනය හෙවත් දත් දිරා යෑමය. නිතර දත් මැද මුඛය පිරිසිදුව තබා නොගැනීම හා අධික ලෙස පැණි රස භාවිතය ඊට හේතු වී තිබේ. දත් දිරා යෑමෙන් අකලට දත් වැටීම දරුවාගේ පෝෂණයට ද අනිසි බලපෑමක් එල්ල කරයි. දත් වැටීම මෙන් ම දත් කුහර ද දරුවාගේ නිරෝගී බවට බාධාවකි.

දරුවන්ගේ දත් එන්නට පටන් ගන්නා අවධියේ පටන් ම හොඳින් දත් හා මුඛය පිරිසිදු කළ යුතු ය. ළමා දත් බුරුසුවක හෝ මවගේ ඇඟිල්ලෙහි තුනියට තවරා ගත් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දත් මැද සෝදා මුඛය පිරිසිදු කළ යුතු ය. අවම වශයෙන් උදේ සහ රාත්‍රී ආහාරයෙන් පසු දිනකට දෙවරක් වත් දත් මැදීම කළ යුතු ය. පැණි රසැති ආහාර කෑමෙන් පසු හොඳින් මුව සෝදා හැරිය යුතු ය. පැණි රස කෑම හැම විටම ප්‍රධාන ආහාර වේලකින් පසුව ගැනීම වඩාත් සුදුසු බව වෛද්‍ය මතයයි‍.

වැඩුණු දරුවන්ගේ දත් තමාටම පරීක්ෂා කර ගැනීමට පුළුවන. කැඩපතක් ඉදිරියට ගොස් හොඳින් මුව අයා බලන්න. දත් මත සුදු පැහැති හෝ අව පැහැති ලප ඇත්නම් ඒ දත් දිරා ය‍ෑමෙහි පෙර ලකුණු විය හැකි ය. පාසල් දන්ත සායන බොහෝ පාසල්වල තිබේ. සෑම වසරකටම වරක් දන්ත වෛද්‍යවරයකු වෙත ගොස් ඔබේ දත් පරීක්ෂා කරගැනීම වැදගත් ය. දරුවන්ට තමාගේ මුඛය පරීක්ෂා කර ගැනීමට හුරු කරන්න. නිසි කලට දරුවා දන්ත සායනය වෙත ගෙන යෑම සෑම දෙමවුපියකුගේ ම වගකීමකි.

වර්තමානයේ බොහෝ පාසල් දරුවන් බිලී බා ගැනීමේ අදිටනින් යුතුව ඇතැම් පාසල් අවට දුම්කොළ පුවක් හා වෙනත් මත්කාරක අඩංගු විට වර්ග අලෙවි කෙරේ. මේවා භාවිතයෙන් වළකින ලෙස දරුවන් දැනුවත් කළ යුතු ය. බාබුල්, බීඩා, මාවා වැනි විවිධ නම්වලින් හැඳින්වෙන මේ බුලත්විට වර්ග යොවුන් පරපුර මතට ඇබ්බැහි කරවයි. මේවා දත් රෝගවලට මෙන් ම මුඛ පිළිකාවලට ද හේතු වේ.

මෙරට පිරිමින් අතර බස්, රථ ත්‍රිරෝද හා ලොරි රථ රියැදුරන්, ඇතැම් ක්‍රීඩකයින් හා වතු කම්කරුවන් වැනි පිරිස් වැඩිපුර බුලත්විට භාවිතයට නැඹුරු වෙති. වයස අවුරුදු 48 ට වැඩි පුද්ගලයන් අතර පූර්ව මුඛ පිළිකා සහ පිළිකා වැඩිපුර හඳුනා ගැනේ.

කොළඹ දන්තායතනයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගම්ලත් ගේ මහත්මිය පවසන්නේ පාසල් දරුවන් හා පෙර පාසල් දරුවන්ගේ දන්ත සෞඛ්‍යය සංරක්ෂණය සඳහා නොමි‍ලේ වැඩසටහන් පාසල් සෞඛ්‍ය සංරක්ෂණ වැඩසටහනට ඇතුළත් කර ඇති බවයි.

අභිනවයෙන් ඉදි කරන ලද දන්තායතනයෙහි නවීන දන්ත ශල්‍යාගාර, මුඛ, හනුක හා වක්ත්‍ර ඒකකය, ප්‍රජා දන්ත වෛද්‍ය අංශය, ළමා අංශය හා දන්ත සංරක්ෂණ අංශය ඇතුළු නවීන පහසුකම් සියල්ලෙන් සපිරි බව ද අධ්‍යක්ෂකවරිය පවසයි. 2017 ජනවාරි මාසයේදී විවෘත කරන ලද එහි දිනපතා බාහිර ‍රෝගීන් 500 කට ප්‍රතිකාර කරන බව ඇය පවසයි. දන්ත වෛද්‍යවරු 100 ක් එහි සේවය කරති. මුඛ හනුක සහ වක්ත්‍ර විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනෙක් ද ඒ අතර වෙති.

නවීන ශල්‍යාගාර දෙකකි. නේවාසික රෝගීන් 32 කට එකවර ප්‍රතිකාර ලබා ගත හැකිය. විකලාංග දන්ත, සරක්ෂණ හා ප්‍රජා දන්ත සේවාවන් සඳහා ද දිනකට 300 ක් පමණ රෝගීහු ප්‍රතිකාර ලබති. ඉදිරියේදී මේ සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කොට ඇතැයි අධ්‍යක්ෂවරිය පවසයි.

කොළඹ දන්තායතනය සතු ජංගම දන්ත සායන හතරකි. ප්‍රජා දන්ත සේවා සඳහා එම ජංගම රථ ලබා දේ. ප්‍රජා සංගම් හෝ සමිති මඟින් ඉල්ලුම් කළහොත් එම ජංගම රථ ලබාදෙන බව ද අධ්‍යක්ෂවරිය කීවාය.

දන්ත සෞඛ්‍යය සඳහා පෞද්ගලික අංශයෙන් ඉතා ඉහළ මිලක් අය කෙරේ. ආසියාවේ හොඳම දන්ත රෝහලක් වන කොළඹ දන්තායතනයෙන් ඔබට අවශ්‍ය සේවාවන් නොමිලේ ම ලබා ගත හැකි ය.‍ නොමිලේ ලැබෙන ඒ මහඟු සේවාවෙන් උපරිම ඵල ලබා ගන්නා ලෙස දන්තායතනයෙහි අධ්‍යක්ෂවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Comments