ඉතිරි කිරීම මගේ ඇ‍ඟෙන්ම එන දෙයක්

කුඩා කල පටන්, බැංකු රස්සාවට ප්‍රිය කළ ද පළමු රස්සාව එය කරගන්නට අවස්ථාවක් ඔහුට නොලැ‍බිණි. එහෙත්, උනන්දුව හා උත්සාහය එලෙසම විය. සුදුසුකම් හා වටපිටාව සකසාගෙන යළි යළිත් බැංකු රැකියාවකටම උත්සාහ කළ ඔහු, අද මෙරට ප්‍රමුඛතම ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයාය.

  බැංකුවක බර ඔළුවට ගත්තු ඔබ කොහොම මනුෂ්‍යයෙක් ද...

මං ප්‍රායෝගික විසඳුම් පමණක් හොයන කෙනෙක්. ඒ නිසා ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයකට හොඳම සහ සරලම විසඳුම් හොයන්න මට පුළුවන්. ඒ වගේ ම, මං ගොඩනඟාගෙන තිබෙන සරල සුහදශීලී මානසිකත්වය නිසා හුඟ දෙනකුට බරක් ලෙස දැනෙන රැකියාව මට බරක් නෙවෙයි.

සභාපතිවරයකුට පුළුවන් ද ඔය කියන තරම් ලේසියට ප්‍රශ්න දිහා බලන්න...

ප්‍රශ්නයකදී වැදගත්, ප්‍රායෝගික විසඳුමක් පමණයි. ඒ සඳහා ප්‍රශ්නයේ මුල හඳුනා ගත යුතුයි. ප්‍රශ්නය විශ්ලේෂණය කරගත යුතුයි. කොයි තරම් බැරෑරුම් තත්වයකදී වුණත් මේ කාරණා අවබෝධ කරගෙන, ‘මං මේකට සරලව උත්තරයක් හොයනවා...’ කියන අධිෂ්ඨානයට ආවොත් ඒ ප්‍රශ්නයෙන් හරි අඩක් ම විසඳිලා හමාරයි. රාජකාරියේදී වුණත් පෞද්ගලික ජීවිතයේදී වුණත් මේ කාරණය එක සේ අදාළයි. රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙක් විදියට අවශ්‍යම දේ තමයි, ප්‍රායෝගිකවීම.

NSB කියන්නෙ තවත් එක් රාජ්‍ය බැංකුවක් විතරයි... කවුරු හරි මෙහෙම කිව්වොත්...

වැරැදියි. NSB තමයි සියයට සියයක් ම ගනුදෙනුකරුවන්ගේ මුදල් සුරක්ෂිත රාජ්‍ය බැංකුව. එවකට මුදල් අමාත්‍යවරයාව සිටි ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා පනතක් මඟින් 1972 මේ බැංකුව ආරම්භ කළේ රටේ ජනතාවට ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරවන්නයි. ඒ ඉතිරිකිරීමේ පුරුද්ද, සම්ප්‍රදායක් තරම් සුරක්ෂිතව ඉදිරියට රැගෙන යෑමේ වගකීම, වත්මන් සභාපතිවරයා ලෙස මා සතුයි. අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් අපේ ඉතිරිකිරීමේ පුරුද්ද, 23% ක් පමණයි. ඉන්දියාවේ 31% යි. මැලේසියාවේ 33% යි. ජපානයේ 53% යි. අඩුම තරමේ අසල්වැසි ඉන්දියාවේ තරමටවත් අපේ ඉතිරි කිරීමේ පුරුදු රැගෙන යන්නයි මං වෑයම් කරන්නේ.

කොහොමද NSB විතරක් සුරක්ෂිතව රාජ්‍ය බැංකුව වෙන්නේ... තවත් රාජ්‍ය බැංකු තිබෙනවානේ...

රාජ්‍ය අනුග්‍රහය තිබෙන එකම බැංකුව මෙය පමණයි, ඒ කියන්නෙ හෙට බැංකුව කඩා වැටුණත් රජය සියලු ගිණුම් හිමියන්ගේ මුදල් ගෙවීමට බැඳි ඉන්නවා. කිසිදු බැංකුවකට නැති මේ වරප්‍රසාදය, 1972 පනතින් හිමිවූ එකක්.‍

අපේ රටේ ‘බැංකු පොරය’ ඔබ දකින්නෙ කොහොමද...

පොරය හොඳයි. එහෙම තියෙන කොට තමයි, කොයි බැංකුවත් තමන්ගෙ තත්ත්වය දියුණු කරන ක්‍රමවේදවලට යන්නේ. පොරයක් හෝ තරගයක් නැතිනම් ඕනෑම බැංකුවක් පවතින ක්‍රමවේද එලෙසම කරගෙන යනවා. ගනුදෙනුකරුවන්ට වැඩි වාසි ලැබෙන්නේ තරගය මගින්. මේ සියල්ල සිදුවන්නේ මහ බැංකුවේ පාලනයට යටත්ව.

ආයතනයේ ඵලදායිතාව සඳහා ක්‍රියාත්මක කරන, ඔබටම ආවේණික ක්‍රමවේදයක් කියන්න...

මං නව තාක්ෂණය බොහෝ සේ භාවිත කරන කෙනෙක්. ඒ නිසා අපේ බැංකු පද්ධතිය තුළ නව තාක්ෂණය උපරිම ලෙස භාවිතා වෙනවා. ඊළඟට වැඩ කරන සෑම කෙනෙකුගේ ම දැඩි උනන්දුව මට වැදගත්. ඒ උනන්දුව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා මගෙන් ඉටුවිය යුතු සෑම දේ ගැනම මං නිබඳ අවධානයෙන්.‍ ඒ වගේම, දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයන්ට චැලෙන්ජ් කරලා ඊට වඩා හොඳ වෙනත් විදියක් හදා ගැනීම... මේ කාරණා තුනම එකවර ක්‍රියාත්මක කිරීමයි මගේ විදිය. බැංකුවේ වර්ධනයට මේ කාරණා තුනම ඍජුව බලපෑම් කරනවා.

පවතින ක්‍රමවේදයන්ට චැලෙන්ජ් කරලා, ඊට වඩා දියුණු තත්ත්වයක් හදන්නෙ කොහොමද...

උදාහරණයකින් කියන්නම්, බැංකුවෙ ක්‍රමවේදයන්ට අනුව නිවාස ණයක් ගන්න සති දෙකක් යනවා. හැබැයි නිලධාරීන්ට නැවත හිතන්න පුළුවන් ‘මේකට සති දෙකක්ම ඕනෙද...’ කස්ටමර්ට දවස් දහයකින් උත්තරයක් දෙන්න බැරිද... සමහර විට අත්‍යාවශ්‍ය නොවන ලියවිල්ලක් නම් ඇයි එතැන හිරවෙලා ඉන්නේ... පවතින නීති පද්ධතියක් ඇතුළෙ වුණත් වෙනස් කළ හැකි දේ තිබෙනවා. නිලධාරියාට ඒ තීරණය ගැනීමේ නිදහස දෙනවා නම් කස්ටමර් ගෙ වැඩෙත් කෙරෙනවා. බැංකුවටත් ගෞරවයක්. සමහරවිට අලුත් ප්‍රඩක්ට් එකක් ජනතාව අතරට යනවා. මං මේ ක්‍රමවේදය ඉගෙන ගත්තෙ ජාත්‍යන්තරයෙ වැඩ කරපු අත්දැකීම් වලින්.

මොනවද ඔබට තිබෙන ජාත්‍යන්තර අත්දැකීම්...

මගේ අවුරුදු පහළොවක බැංකු ජීවිතයෙන් දහතුනක් ම මං ගත කළේ ඇමරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ. Finance, Credit, Corporate Banking කියන හැම අංශයේ ම අත්දැකීම් ලබමින් සිංගප්පූරුවෙ සහ ස්විට්සර්ලන්තයෙ ශාඛාවලත් අවුරුදු දෙකක් වැඩ කළා. ආයතනයක පවතින සහ ක්‍රියාත්මක වන ක්‍රමවේදයට චැලෙන්ජ් කරලා, ඒ නීති රීති තුළ ඉඳගෙන වැඩ කරන මේ ක්‍රමය එහෙ නිතර සිදුවනවා. ඕස්ට්‍රේලියාවේ NRMA කියන දැවැන්ත රක්ෂණ සමාගමේ සීනියර් මැනේජර් කෙනෙක් හැටියට වැඩ කරපු අවුරුදු නවය තුළත් මේ ‘වෙනස් ආකාරයකට වැඩ කිරීමේ ක්‍රමය’ මං අනුගමනය කළා.

ඔබ කොහොමද සේවකයන් දිරිමත් කරන්නෙ...

ඒ සඳහා විශේෂිත වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. සභාපතිවරයා පහළම සේවකයා ළඟට ගිහින් කතා කිරීමත් එක්තරා විදියක දිරිමත් කිරීමක්. මට අනුව නම් ආයතනයේ දියුණුවට ඔවුන්ගෙන් ගත හැකි බොහෝ දේ තිබෙනවා. ඒ නිසා ඔවුන් හා කතා බහ, සන්නිවේදනය මට ඉතා වැදගත්. ඒ වගේ ම සෑම සේවකයකුටම උඩට යා හැකි ක්‍රමවේදයක් අප ආයතනය සතුයි. සුදුස්සාට සුදුසු තැන දීම, ආයතනයක ප්‍රවර්ධනයට ඉතා වැදගත්.

ශාඛා 252 ක් තිබෙන බැංකුවක්.‍ සෑම සේවකයකුටම මේ අවස්ථාව තිබෙනවද...

මේ සියලු දෙනාම මා මුණ ගැසී නැතුවා වෙන්න පුළුවන්. නමුත් කාට හරි අවශ්‍ය නම් මා හමුවන්න ඔවුන්ගේ නොවිසඳුණු ගැටලු ඉදිරිපත් කරන්න, මම ඊට අවස්ථාව දෙනවා. ඔවුන්ට පුළුවන් ආයතනික මට්ටමින් ඒ අවසරය අවස්ථාව ලබාගන්න. ඒ වගේ ම, සුදුසුකම් අනුව, ඉහළට යෑමේ අවස්ථාවක් සඳහා ඉදිරිපත් වන්න. 4300 ක් වන අපේ සමස්ත සේවක මණ්ඩලයේ සෑම කෙනෙක් ම මට එක වගේ වැදගත්.

හුඟක් රාජ්‍ය බැංකුවල සේවකයන්ගෙ මූණෙ හිනාවක් නැහැ. සල්ලි කස්ටමර්ගේ. හැබැයි අහංකාර ඒ අය...

බැංකුවක් ජනප්‍රිය වෙන්නෙ, වර්ධනය වෙන්නෙ, පවතින්නෙ සහ ඉලක්ක කරා යා හැකි වන්නේ Customer Relationship… එකත් එක්ක. ඒක තමයි සේවකයන් වටහා ගත යුතු ප්‍රධාන කාරණාව. මම කියන්නෑ අපේ බැංකුවෙත් මේ කාරණය පහළම හෝ ඉහළම තැනෙක තියෙනවා කියලා. නමුත් මැද තැනෙක තිබෙනවා. ආකල්ප වර්ධනය වැනි කාරණා ඔස්සේ පාරිභෝගිකයා සමඟ සහසම්බන්ධය මීට වඩා ඉහළ තැනෙකට රැගෙන යාමයි මගේ ඉලක්කය.

මොකක්ද ‍ඔ‍ෙබ් Management Style එක...

බෝඩ් මීටිමකදී වුණත් මම කැමැතියි සියලු දෙනාටම කතා කරන්න ඉඩ දෙන්න. සාමූහික එකඟත්වයයි මට වැදගත්. නමුත් විරුද්ධ මත සටහන් කරගන්නත් මං කැමැතියි. ඉහළ සිට පහළට ක්‍රියාත්මක යම් කිසි ක්‍රියා පද්ධතියක් තිබෙනවා. ඒ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ බලය සහිත විධායක නිලධාරියෙක් සහ නිලධාරින් පිරිසක් සිටිනවා. මේ සියලු දේ සිදුවන්නේ විනිවිද භාවයෙන් යුක්තවයි.

ඔබත් Report සහ Presentation මත තීන්දු තීරණ ගන්නා Boss කෙනෙක් ද?

මං රිපෝට්ස් කියවන්න හුඟක් කැමැති කෙනෙක්. ගත්තු ගමන් මං බලන්නෙ මේ රිපෝට් එකේ අරමුණ. අදාළත්වය සහ බලපෑම. ඒ වගේ ම නිවැරැදි භාවය. රිපෝට් එක දෙන කෙනාට අතපසු වූ පැති, ඔහු වැඩිපුර පෙන්වන්න හදන පැති මං ඉතා හොඳින් විශ්ලේෂණය කරනවා. එවිට යමක් හංගන්න හදනවා නම් ඒ දේ මට ඉතා හොඳින් පේනවා. ඒ හින්දා රිපෝට්ස් මතින් තීන්දු තීරණ ගනිද්දී මං ඉතා සැලකිලිමත්.

නායකයා දක්ෂයෙක් නොවුණොත් ආයතනට කඩා වැ‍ටෙනවා... මේ ගැන ඔබ මොකද හිතන්නේ...

බැංකු ක්ෂේත්‍රයේ නායකයෙක් හැටියට මට වැදගත්, බැංකුවේ Brand Value එක. කීර්ති නාමය. අපි අද ඇවිත් හෙට යයි. නමුත් බැංකුවක Brand Value එක හැමදාම පවතිනවා. බැංකුවේ සල්ලි අවභාවිත කරලා... මහජනයාට ලොකු පොලියක් ගෙවනවා කියලා පොරොන්දු වෙලා අඩු පොලියක් දීලා... එහෙමත් නැතිනම් වැරැදි ආයෝජනවලට මුදල් යොදවලා, නමට කැළැලැක් එකතු කරගන්න කෙනා හොඳ නායකයෙක් නෙවෙයි. මට අවශ්‍ය ‘NSB කීර්ති නාමය’ කියන පොදු ආයතනික ඉලක්කය නම්, මාත් එක්ක වැඩ කරන සියලු දෙනාටත් එසේ විය යුතුයි. හැම කෙනෙක් ම එහෙම හිතන ‍තාක් ආයතනය සුරක්ෂිතයි. එය සිතිවිල්ලක් පමණක් නෙවෙයි. පූර්වාදර්ශයක් ලෙස මා ඔවුන්ට දෙන දෙයක්.

සේවකයන් හා ඔබට තිබෙන්නෙ ගනුදෙනුවක් ද බැඳීමක් ද...

මම වැඩ කරන අයගෙ පර්ෆෝමන්ස් ගැන හුඟක් බලනවා. ඒ වගේ ම ඒවාට වටිනාකමක් දෙනවා. පෞද්ගලික සේවයේ සහ ජාත්‍යන්තර වැඩ කළාට මං මේ රාජ්‍ය සේවයේ යෙදෙන්නෙ පළමු වතාවට. හොඳින් වැඩ කරන අය වගේ ම බාගෙට වැඩ කරන අයත් මට පේනවා. NSB ඉතිහාසයේ කවදාවත් නොවුණු විදියට මං ප්‍රමෝෂන් සිස්ටම් එකක් හදලා තිබෙනවා. වැඩ කරන සේවකයන් ඉහළට යා යුතුයි. මං ‍ඉන්නෙ එතැන. මොකද මූල්‍ය කළමනාකරුවෙක් විදියට බැංකු ජීවිතේ පටන් ගත්තු මං පියවරෙන් පියවර උඩට ආවේ මහන්සි වෙලා වැඩ කරපු නිසා. මට උඩින් හිටපු බොස්ලා ඒ පර්ෆෝමන්ස්වලට වටිනාකමක් දුන් නිසා. ඒ යහගුණය ආයතනයකට ඉතා වැදගත්.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

KPMG ඔඩිට් ෆර්ම් එකේ ඉගෙන ගන්න ගමන් වැඩ කළා. වරලත් ගණකාධිකාරිවරයෙක් වෙන්න ඒ පුහුණුව අත්‍යාවශ්‍ය වුණා. 1982 මාසෙ පඩිය රුපියල් හාරසිය පහයි. ඊළඟට ගල්කිස්ස හෝටලේ වැඩ කළා. 1991 තමයි ඇ‍මෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවෙන්, බැංකු ජීවිතය අරඹන්න.

ඔබ ජීවිතය සැලසුම් කරන කෙනෙක්ද...

බැංකු ජීවිතයට ආවම පස්සෙ මම අධිෂ්ඨානයක් ඇති කරගත්තා. කවද හරි මම Country Manager වෙන්න ඕනෙ කියලා. මම විවිධ අංශවලින් ඉදිරියට යන හැටි හෙව්වා. ඒ අංශවල පතුලටම බැහැලා වැඩ කළා. මගේ පර්ෆෝමන්ස් පෙන්නුවා. යම් කිසි කාලයක් තුළ මම කළ යුතු වැඩ කොටස, මා සිටිය යුතු තැන සැලසුම් කළා. අදටත් සිකුරාදා හවස ගෙදර යනකොට මට සතුටක් දැනෙන්නෙ මුළු සතියෙම වැඩ ටික සාර්ථකව කළා නම් විතරයි. එකක් හරි මිස් වුණොත් ඒක මට විශාල අවුලක්.

ඔබේ ජීවිතයේ වැටුණු පැරදුණු තැන් මොනවද...

ගණකාධිකරණය අවසන් විභාගෙ මං දෙපාරක් ෆේල් වුණා. ඒත් මං අත්හැරියෙ නැහැ. තුන් වැනි පාර ඉතා හොඳින් සමත් වුණා. ඒ වැටුණු හැම වෙලාවකම මං, මට අභියෝගයක් දුන්නා. ඒ, පරණ විදියටම උත්සාහ නොකර අලුත් විදිහකට උත්සාහයක් දරනවා... කියලා. මං එහෙම කළා.

ළමා කාලෙ ඔබ කොහොම දරුවෙක්ද‍‍...

මගේ තාත්තා ජනාධිපති නීතිඥයෙක්. නම ඇන්ඩි ඩී. සිල්වා. අම්මා, උපාධිධාරි ගුරුවරියක්. අයියගෙයි නංගිගෙයි මැද මං. හැබැයි ඉගෙන ගන්න අතිදක්ෂයෙක් නෙවෙයි. හැමදාම හිටියෙ පන්තියෙ 20 හෝ 25 වැනියා අතර. අවුරුදු දහසය වෙද්දී තාත්තා මට බොහොම සීරියස් ලෙක්චර් එකක් දුන්නා. ඒ අපේ අධ්‍යාපනය ගැන‍. ඒ නිසා ඉගෙන ගන්න ඕනෙමයි කියලා බල නොකළට ඒ පරිසරය ගෙදර හදලා තිබුණා.

කොහේද ඔබ ඉගෙන ගත්තේ...

මුලින්ම කොල්ලුපිටිය ශාන්ත තෝමස් විදුහලේ. ඊළඟට රෝයල් එකේ. අම්මගෙ පරම්පරා තුනක් ම පිටුපස්සට රෝයල් එකේ ඉගෙන ගෙන තිබුණා. ඒ නිසා ම‍ාත් යා යුතුම වුණා. අනෙක් අතට, තාත්තා - සීයා - මාමා මේ හැමෝම ‍නීතිඥවරු. අන්තිමේ මගේ අයියයි නංගියි දෙන්නත් නීතිඥවරු වුණා. රෝයල් ගියාට නීතිඥ පවුලක වුණාට මං හිටියෙ වෙනස් තැනෙක.

ඒ කියන්නෙ...

ඒ නව යෞවන වයසෙදිත් මං උනන්දු වුණේ රටේ ඉඩම් මිල ගැන... නැතිනම් ආර්ථිකය ගැන. හැමදාම රෑ කෑම මේසෙදි අනෙක් කට්ටිය උසාවියයි, ‘කේසස්’ ගැනයි කතා කරද්දී මං කිව්වෙ ඕවා වැඩක් නැහැ. අපි බලන්න ඕනෙ රටේ ඉකොනොමි එක ගැන... කියලා.

අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද...

තවම මතකයි ඒ ‍- ලෙවල්වලට කලින් දවසෙ තාත්තා කියපු දේ. “මං ඉගෙන ගන්න බල කරන්නෑ. අධ්‍යාපනය මෙතනින් ඉවර වෙන්නෙත් නැහැ. නමුත් පුතා ඔයා හොඳ මනුෂ්‍යයෙක් වෙන්න ඕනෙ. හොඳ මනුෂ්‍යයෙක් වෙන්න පසුබිමක් තියෙන්න ඕනේ. අධ්‍යාපනයක් තියෙන්න ඕන. අවුරුදු විසිපහ වෙනකල් මං වියදම් කරනවා. හැබැයි විසි පහ වෙද්දීත් මට තේරෙනවා නම් ඔයා ඉගෙන ගන්නෑ බොරුවක් කරනවා කියලා, මං ඔයාව ගෙදරින් එළවනවා....” තාත්තා දුන්නෙ ජීවිත පාඩමක්. ඒක තදින්ම හිතට වැදුණා. ඒ වගේ ම විනය සහ නීතිගරුක බව පවුල තුළ දැඩිව ක්‍රියාත්මක වුණා. ඉතින් කොයිතරම් අකැමැති වුණත් මට සිද්ධ වුණා ඉගෙන ගන්න.

ජීවිතයේ කවදාවත් දුක් අමාරුකම් හෝ අරපිරිමැස්ම අත්විඳලා තියෙනවද...

ඔව්. පුංචි කාලෙ පොකට් මනි රුපියල් පහක් ගන්නත් අපි මොනවා හෝ වැඩක් කළ යුතු වුණා. ගේ අතුගෑවා. කඩේ ගියා. ඒ කාලෙ තාත්තා හිටියෙ ඇමෙරිකාවේ, UN එකේ. සල්ලි අඩු පාඩුවක් තිබුණෙ නැහැ. නමුත් තාත්තා අපිට මුදල්වල වටිනාකම දැනෙන්න ඇරියා. ඒ නිසා ‍රුපියල් සීයක් ලැබුණත් මං බැලුවෙ ඒක දෙසීය කරගන්න හැටි. ඒ හින්දම අවුරුදු දහ අට වෙද්දිම මං කොටස් වෙළෙඳපොළේ පොඩි පොඩි ආයෝජන කළා.

මොනවට ද ඔබ අදක්ෂ වුණේ...

යාළුවො කරන නිසා මාත් උසස් පෙළට සයන්ස් කළා. යන්තම් පාස් වුණා. ඒ වුණාට ගෙදර බල්බ් එකක් මාරු කරන්න වගේ වැඩ මං දැනගෙන හිටියෙ නැහැ. ඒකට මං කැමැති වුණෙත් නැහැ. හැබැයි ගෙදර කවුරු හරි රුපියල් සීයක් දීලා මේක දෙසීය කරන්න කිව්වොත් ඒ චැලෙන්ජ් එක මං බාරගත්තා. පාඩු නොලබා මහන්සිවෙලා යමක් හරි හම්බ කරන්න ඒ කාලෙම මං සූර වුණා.‍

‘ඉතිරි කිරීම...’ මේ වචන ඔබේ ජීවිතේ පිටුපස්සෙන් ම එන හැඩයි...

ජාතික ඉතිරිකිරීමේ බැංකුව කියන නමටත් මං හරි කැමැතියි‍. මේ රටේ හැම කෙනාම ඉතිරි කිරීමේ පුරුද්දක් ඇති කරගන්නවා නම් මං ඊටත් වඩා කැමැතියි. ඔබ විශ්වාස කරනවද, අවුරුදු පහළොවේදී විතර, මගේ චොපර් බයිසිකලේට හුළං ගහන්න ඕනෙ වුණාම ඒක තල්ලු කරන් බම්බලපිටියෙ ගාලු පාරේ ටයර් කඩේකට යනවා. ළඟ කඩේ සත විස්සයි. කිලෝ මීටර් බාගයක් විතර දුර කඩේ සත දහයයි. මං කරන්නෙ අව්ව නොබලා ගාලු පාර දිගේ බයිසිකලෙත් තල්ලු කරන් දුර තියෙන අර සත දහයෙ කඩේට යනවා. මොකද එතැනට ගියාම තවත් සත දහයක් මට ඉතිරි කරගන්න පුළුවන් නිසා. ඉතිරි කිරීම මගේ ඇ‍ඟෙන්ම එන දෙයක්.

ඔබ දරුවන්ට සමීප තාත්තෙක් ද...

ඔව්. මට පුතාලම දෙන්නෙක්. ලොකු පුතා මලින් ඕස්ට්‍රේලියාවේ නීතිය හදාරනවා.‍ දෙවැනි පුතා ටවීෂ. සිඩ්නිවලම මීඩියා පැත්ත හදාරනවා. අපි ඕස්ට්‍රේලියාවෙ ඉන්න කාලෙ දෙවැනි පුතා සෙල්ලම් කරපු හැම බාස්කට් බෝල් මැච් එකටම මම ගියා. හැතැප්ම 40 – 50 මම එයාවත් අරන් ඩ්‍රයිව් කරනවා. ‘මට මතක තියෙන්නෙ තාත්තා මගේ හැම මැච් එකටම මාත් එක්ක ආපු හැටි...’ පුතා යාළුවන්ටත් කියනවා, මටත් වයිෆ්ටත් සතුටුයි ඒ ගැන. ඇත්තටම මගේ පුතාලා දෙන්නම තමයි, මගේ ජීවිතේ ලොකුම ජයග්‍රහණයක්.

ඔබේ ජීවිතයෙන් කෙනෙකුට ගන්න පුළුවන් හොඳට ආදර්ශය කියන්න...

මම රස්සාව enjoy කරන කෙනෙක්. ගේම් එකක් වුණත් එහෙමයි. දිනුම - පැරදුම දෙකම enjoy කරන්න ඕනෙ. සෑම වැඩකදීම ඔබට යම් ඉලක්කයක් තිබිය යුතුයි. එය හඹා යා යුතුයි. ඒ ගමනෙදි ස්වයං විනයක් ඇති කරගැනීම සහ නීති ගරුකව වැඩ කිරීම ඉතා වැදගත්. අවසානයේ, අයිති කරගත් දේ සහ රස්සාව පිළිබඳ තෘප්තියක් සතුටක් ඇති වෙන්න එවිට පමණයි.‍

අන්තිමට කියන්න, රාජ්‍ය ආයතනවලට එන ලොක්කො කවුරුත් නිධානයක් බුක්ති විඳලා ආපහු යනවා. ඔබ...

මං ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවෙන් අයින් වුණේ හිටිය ඉහළම තනතු‍රේදී. බැංකු රස්සාවකට ආපු කෙනෙක් විශ්‍රාම ගියොත් මිස ලේසියෙන් යන්නෑ. නමුත් මං එහෙම කළේ නැහැ. අවශ්‍ය තැන අවදානමක් ගත්තා. අත්හැරියා. NSB කියන්නෙත්, මට වගකීමක් සහ රට වෙනුවෙන් යුතුකමක් විතරයි. හැම වෙලාවෙම මං මගේ නම්බුව ගැන හිතනවා. මට වගේම බැංකුවටත් Brand Value එකක් සහ නම්බුවක් තිබෙනවා. මෙතෙක් කල් පැවතුණු ඒ වටිනාකම් ආරක්ෂා කර, ඉදිරි පරම්පරාවට බාර දීලා යන එකයි මගේ වගකීම. මං වැඩ කරන්න ඒ වෙනුවෙන්.

ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.