මරුවාට තැනක් නොතැනක් නැත | සිළුමිණ

මරුවාට තැනක් නොතැනක් නැත

 මොරටුව එගොඩ උයනේ නව ගාලු පාරේ බස් නැවතුම් පොළ අාසන්න ප්‍රදේශය දීප්තිට කිසිදා මතකයෙන් ගිලිහුණු තැනක් නොවේ. ඒ මාර්ගයට පැමිණෙන හැම මොහොතකම ඇයට එදා සිය මව අහිමි කළ සිද්ධිය සිතේ මැවෙමින් වද දුන්නේ දරා ගත නොහැකි ශෝකයකින් හදවත තෙරපමිනි.

පසුගිය මාර්තු 18 වැනිදා ද දීප්ති ගාලු පාරේ බස් නැවතුමේ රැඳී සිටියේ එකම දියණිය ද සමඟිනි.

තම මව හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඒ ආසන්නයේදීම තමාගේත් අවසන් ගමන යෑමට සිදුවෙතැයි ඇය ඒ මොහොතේ නොසිතන්නට ඇත.

මීට වසරකට පෙර මියගිය දීප්තිගේ මව වෙනුවෙන් දානයක් දීමට අවශ්‍ය කළමනා රැගෙන ඒමට මොරටුව එගොඩ උයනට සිය දිණියද කැටුව ගිය දීප්ති එම මාරක බස් නැවතුම් පොළ අසලදී රිය අනතුරකට මූණ පෑවේ ඉතා අවාසනාවන්ත ලෙසිනි.

සිහිනෙන් හෝ නොසිතූ ලෙස මවක හා දියණියක සදහටම මෙලොවින් සමුගත්තේ ඒ අයුරින්ය.

අලුත්ගම සිට කොළඹ බලා ගමන්ගත් පුද්ගලික බස් රථයක් තවත් ලොරි රථයක ගැටීමෙන් එගොඩ උයන බස් නැවැතුම් පොළ අසළ සිටි තිදෙනකුට මරුකැදවූ මෙම ශෝචනීය සිද්ධිය නිසා එගොඩ උයන හා පාණදුර පිංවල යන ගම් කම්පනයට පත්වී ඇත.

ටී. දීප්ති මංජුලා පීරිස් (47) සිය දියණිය දිලුක්ෂා (13) සමග බස් නැවතුම අසල සිටියදී මෙසේ මරණයට පත්වූ අතර අසල සිටි එගොඩඋයනේ ජයන්ති මාවතේ පදිංචි මහින්දසිරි රත්නභාරතී පීරිස් (68) මහතාද මියගිය අය අතර විය.

මීට වසරකට පෙර දීප්තිගේ මව මිය ගොස් ඇත්තේද මෙම අනතුර සිදුවූ ස්ථානය අසල ඇති පාර මාරුවීමට ඇති කහ ඉරේ ගමන් කරද්දී ය.

සුනාමි ව්‍යසනයෙන් ගම අතහැර එගොඩඋයනේ සිට පාණදුර පිංවල පදිංචියට ගිය දීප්ති වසර 11 ක් එහි විසුවාය. පවුලේ එකම දියණිය දිලුක්ෂා පවුලේ වැඩිමලාය.

විසිතුන් හැවිරිදි දිලුක්ෂාගේ මල්ලී අනුෂ්ක පියුමාල්ය. 21 හැවිරිදි ඔහු උපතින් ආබාධිතය. සෝ සුසුම් මැද සිටින මියගිය දීප්තිගේ සැමියා කමල්සිරි පීරිස් වඩු කාර්මිකයෙකි. දීප්ති හා දියණිය සදහටම සමුගැනීම සමඟ ආබාධිත පුතණුවන් බලාගන්නේ කවුරුන් ද යන ගැටලුවට ඔහු මුහුණ දී සිටියි.

දීප්තිගේ සහ ඇගේ දියණියගේ සිරුරු පිංවල,වදුරාමුල්ල පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරිණි.

එම බස් නැවතුම් පොළේ සිටි මියගිය අනෙක් තැනැත්තා එගොඩඋයනේ මහින්දසිරි ගේ භාර්යාව ශීලා පැට්ට්‍රීෂියා පවසන්නේ සිය මියගිය සැමියා නිතර තමා හා පවුලේ අය සමඟ සතුටින් ජීවත් වූ බවයි. ඔවුහු පුතුන් දෙදෙනකු ගේ මවුපියෝ වූහ.

සුසිල් රත්නවීර
පාණදුර උතුර සමූහ වාර්තාකරු 

Comments