කොහෙද නගෝ... කොහෙද මලේ... හනිකට යන්නේ - ත්‍රි’මලයේ යොවුන් පුරය වෙතටයි යන්නේ...... | සිළුමිණ

කොහෙද නගෝ... කොහෙද මලේ... හනිකට යන්නේ - ත්‍රි’මලයේ යොවුන් පුරය වෙතටයි යන්නේ......

 අපේ තරුණ තරුණියන්ගේ ජීවන ගැටලු විසඳීමට පාර කියන රටේ සංහිඳියාව නංවන මෙවර යොවුන් පුරය මෙරට තරුණ පරපුරේ තරුණ ජවය දක්ෂතා ඔප් නංවන කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.

යොවුන් පුරයට වසර 33කට වඩා ඉතිහාසයක් ඇත. කෙසේ වුවත් වසර 27කට පසු යළි මෙරට යොවුන් පුරයක් පැවැත්වූයේ පසුගිය වසරේය. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උනන්දුව හා මඟපෙන්වීම අනුවය.

මීට වසර 33කට පෙර මුල්ම යොවුන් පුරය පවත්වා ඇත්තේ 1984 පොලොන්නරුවේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා එවකට තරුණ සේවා සභාවේ සභාපති වූ චරිත රත්වත්තේ මහතාගේ මෙහෙයවීම හා සංවිධායකත්වය අනුව ඒ යොවුන් පුර සංකල්පය මෙරටට බිහි විය.

1983 මැයි 27 වැනිදා එවකට යෞවන කටයුතු හා රැකිරක්ෂා ඇමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය පිහිටුවීය. ඊට පසු ගම් බිම් සිසාරා යෞවන සමාජ 15000ක් පිහිටුවා තරුණ පරපුරට මෙතෙක් නොතිබූ අවස්ථාවක් හා වේදිකාවක් තනා දුන්නේය. පසුව මේ සියලු යෞවන සමාජවල තරුණ තරුණියන්ට ජාතික මට්ටමින් අදහස් හුවමාරු කිරීමට සැඟවුණු තරුණ කුසලතා ඉහළට ගෙන ඒමටත් ජාතික මට්ටමේ වාර්ෂික තරුණ හමුවක අවශ්‍යතාව ඇති විය. ඒ අනුව 1984 දී පොලොන්නරුවේදී මුල්ම යොවුන් පුරය පැවැත්වීමට තීරණය විය. අතීත උරුමය තුළින් පුනරාලෝකයක් කරා යන තේමාව යටතේ 1984 මාර්තු 24 වැනිදා එය ඇරැඹීය.

යොවුන් පුරයක් ඇරැඹීමේ ප්‍රධාන අරමුණ වූයේ ප්‍රධාන ලෙසම සිංහල දෙමළ මුස්ලිම් තරුණ තරුණියන් අතර වාර්ගික සහයෝගිතාවත් තරුණ ප්‍රශ්න විසඳීමටත් තෝතැන්නක් සකස් කිරීම බව එවකට යොවුන් පුරවල ප්‍රධාන සන්නිවේදන කටයුතු බාරව කටයුතු කළ ජාතික තරුණ සේවා සභාවේ හිටපු තරුණ සේවා නිලධාරී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විජේරත්න අතුරුපාන මහතා පවසයි.

තරුණ තරුණියන් අතර සුහදතාව මිත්‍රත්වය වැඩිදියුණු කර ඔවුන්ගේ සැඟවුණු කුසලතා ඔප්නැංවීම හා ඔවුන් රටට හඳුන්වා දීම ද මෙහි තවත් අරමුණු අතර විය.

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සමඟ එකල තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති වූ ගාමිණි අතුකෝරල මහතාත් චරිත රත්වත්තේ මහතාත් සියලු යොවුන් පුරවල සියලු ප්‍රධාන සංවිධාන කටයුතු මෙහෙයවීය.

සැම යොවුන් පුරයකදීම සැම දිනකම ‘යොවුන් පුර පුවත්’ නමින් යොවුන්පුර පුවත් සහිත පුවත්පතක් නිකුත් කෙරිණ. එය සෑම දිනකම පෙරවරුවේ සෑම සහභාගිකයෙකු අතටම ලැබිණ. 1984 මුල්ම යොවුන් පුරයට සිංහල දෙමළ මුස්ලිම් තරුණ තරුණියෝ 5000ක් එක් වූහ.

කහතුඩුව තරුණෝදාව යෞවන සමාජය නියෝජනය කරමින් යොවුන් පුරයට එක්වූ මට මතක විදියට ඒ යොවුන් පුරයේදී ඇමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රිකට් පිල හා එවකට පොලොන්නරුව දිසා ඇමැති වූ පෝල් පෙරේරා මහතාගේ ක්‍රිකට් පිල අතර ක්‍රිකට් තරගයක් ද පැවැත්වීය. ඉන් ජයගත්තේ රනිල් මහතාගේ පිලයි.

මුල්ම යොවුන් පුරයේ පුරපති වූ අමරසේන ඒකනායක මහතා පවසන්නේ 1989 දී යොවුන් පුර වැඩ සටහන අවලංගු කළත් එය දිගටම තිබුණානම් ඒ රටේ ජාතික සංහිඳියාව මීට වඩා තහවුරු වීමට ඉඩ තිබුණු බවයි.

යොවුන් පුරය කියන්නේ තරුණ තරුණියන් එක්වී සින්දු කියන තැනක් හෝ දේශපාලන වැඩ සටහනක් හෝ නෙමෙයි. මේක අපේ තරුණ පරපුරේ ප්‍රශ්නවලට විසඳුමක් ලබාදෙන තරුණ පරපුරට හැම අතින්ම දැනුමක් අවබෝධයක් අධ්‍යාපනයක් අත්දැකීම් ලබාදෙන යොවුන් සරසවියක්. අමරසේන ඒකනායක මහතා පවසයි.

යොවුන් පුරයට එක්වීම තරුණ ජීවිතවලට අලුත්ම අත්දැකීමක්. යොවුන් පුරය එයට එක්වන තරුණ තරුණියන්ට තම දක්ෂතා ඔප් නැංවීමට, තරුණ ජවයට, තරුණ දැනුමට අතහිත දෙන තාරුණ්‍යයට නව ජිවයක් දෙන වැඩ සටහනක්. ජීවන අභියෝග ජය ගැනීමට හොඳ පන්නරයක් දෙන යොවුන් පුරය උතුරේ නැ‍ඟෙනහිර දෙමළ මුස්ලිම් තරුණ තරුණියන් එක්ක සහයෝගය සංහිඳියාව වැඩිදියුණු කර ගැනීමට ලොකු අත්වැලක් වුණා. නමුත් 1989 සිට වසර 27ක් යොවුන්පුරය නොපැවැත්වීම නිසා ඒ සබඳතා බිඳ වැටුණා. උතුරු දකුණේ අය සතුරු වෙලා යුද්ධ කළා. මටනම් හිතෙන්නේ අවුරුදු 27ක් යොවුන් පුරය නොපැවැත්වීම අපේ රටට සිදුවූ කෝටි ගණනක පාඩුවක් ඉන් සිදු වූයේ දකුණේ උතුරේ තරුණ අසහනය ඉහළ නැංවීමයි.

කෙසේ වුවත් මෙවර ජාතික සංහිඳියාවට මුල් තැනක් දෙමින් ත්‍රිකුණාමලයේ යොවුන් පුරය පැවැත්වීම් පිළිබඳව අපි සතුටට පත්වෙනවා” මුල්ම යොවුන් පුරපති අමරසේන ඒකනායක පැවැසීය.

1985 ජගත් තරුණ වසර විය. ඒ අනුව දෙවැනි යොවුන් පුරය 1985 මාර්තු මාසයේදී ඉතා උත්කර්ෂවත් ලෙස කුලියාපිටියේදී පැවැත්විණ. ඒ සඳහා තරුණ තරුණියෝ 10000ක් එක් වූහ. මේ සියලු යොවුන්පුරවලදී ‘යොවුන්පුර කුමරා’ කුමරිය තේරීම විශේෂ අංගයක් විය.

1986 යොවුන් පුරය මාතලේ බර්නාඩ් අලුවිහාර ක්‍රීඩාංගණයේදී අවට පාසල් 4ක් ආශ්‍රිතව පැවැත්විණ. 1986 මාර්තු 19 - 23 අතර දිනවල පැවැති මේ යොවුන් පුරයට මෙරට සියලු ජාතීන්ට අයත් යෞවන යෞවනියෝ 10000ක් පමණ එක් වූහ. යෞවන ක්‍රීඩා උලෙළ මාතලේ යොවුන් පුරය ආශ්‍රිතව ප්‍රථම වරට ආරම්භ විය.

1987 යොවුන් පුරය පැවැත්වූයේ අනුරාධපුරයේය. හරිස්චන්ද්‍ර උද්‍යානය අනුරාධපුර දුම්රිය ක්‍රීඩාංගණය ආශ්‍රිත අක්කර 90ක භූමි ප්‍රදේශයක මෙය පැවැත්වුණේ ද 1987 මාර්තු මාසයේය.

සීතල සුන්දර බණ්ඩාරවෙලදී 1988 යොවුන් පුරය පැවැත්විණි. සීතල අරුණැල්ල නැ‍ඟෙද්දී මෙරට සිංහල දෙමළ මුස්ලිම් තරුණ තරුණියෝ මේ යොවුන් පුරයේදීත් එක ම වෙලාවට එක ම වැඩේ නිරත වීම ජීවිතයේ අලුත් ගමනක ආරම්භයක් බවට පත්කරගත් පිරිසක් එහිදී අපි දුටුවෙමු.

තරුණ තරුණියෝ 10127ක් මේ යොවුන් පුරයට එක්වූ අතර සමාප්ත උත්සවයට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හා රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමා සහභාගි වූහ.

මේ යොවුන්පුර සියල්ලන්ගේ ම සියලු මාධ්‍ය සන්නිවේදන කටයුතු භාරව සම්බන්ධීකරණ කටයුතු කළ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සහකාර අධ්‍යක්ෂ (ප්‍රචාරක) රංජිත් හේවාබටගේ මහතා පැවසුවේ අද සමාජ ජාලවල කාර්ය එදා යොවුන් පුරයෙන් මහා විනයක් හා හික්මීමක් ඇතිව සිදුකළ බවයි. ‍

‍“මම හිතන්නේ අද අපේ තරුණ පිරිස අන්තර්ජාලය, මුහුණුපොත ඔස්සේ ඇති කරගෙන තිබෙන අදහස් හුවමාරුව එදා රට පුරාමත් ලොව පුරාමත් ගෙනයාමට මූලික අඩිතාලම දැම්මේ යොවුන්පුර වැඩසටහනයි. මෙයට ශ්‍රී ලංකවේ සතර දිගින් ම තරුණ තරණියන් එනවා. ඒ කාලයේදී පිටරටින් තරුණ තරුණියෝ 100 - 200 අතර ගණනක් ආවා. ඒ අය අතර අන්‍යොන්‍ය හිතවත්කම් ඇතිවී ඔවුන් හොඳ මිතුරු මිතුරියන් බවට පත්වුණා. යොවුන් පුරය මඟින් තරුණ පෞරුෂය වැඩිදියුණු වුණා‍. දක්ෂතාවලට හොඳ වේදිකාවක් ලැබුණා. මගේ මතය හැටියට අද අන්තර්ජාලයට වඩා හරවත් වැදගත් හා සාරධර්ම වලින් හෙබි මිත්‍ර සබඳතා එදා යොවුන් පුරයෙන් ඇති වුණා. එදා සෙලයුලර් දුරකථන තිබුණේ ඉතා අඩුවෙන්. ඒත් එදා යොවුන් පුරයේදී ඇතිවුණු යාළු මිත්‍රකම් දිගුකල් තිබුණ බව අප දන්නවා.” හේවාබටගේ මහතා කීය.

අප මේ හැම යොවුන් පුරයකම ප්‍රවෘත්ති මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියා. ඒකෙන් සෑම දිනකම යොවුන්පුර පුවත්පත් මුද්‍රණය කළා. අගමැති රනිල් වික්‍රමසිංහ හා තරුණ සේවා සභාවේ ආරම්භක සභාපති චරිත රත්වත්තේ මහතා ඒ සෑම දිනකම රාත්‍රී ප්‍රවෘත්ති මධ්‍යස්ථානයේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වනවා. ඒක පසුවදාට සියලු මාධ්‍යවල යන විධියට අප කටයුතු කළ. මම හිතන්නේ අද මේ රටේ තිබෙන සුවිශේෂ වෙළෙඳ දැන්වීම් සමාගම් ආයතනවල “ඇඩ්වර්ටයිසින් මෙතඩ්” වලට සමාන ලෙසයි යොවුන් පුරයේ සියලු ප්‍රචාරක වැඩ කළේ. අපි යොවුන් පුරයට තේමා ගීතයක් හැදුවා. ඒවා අද තරුණ ප්‍රචාරක නිලධාරීන්ට හා ප්‍රචාරක ලේකම්වරුන්ට හොඳ ආදර්ශයක් වේවි යැයි ඒ යොවුන්පුර සුන්දර මතක රංජිත් හේවාබටගේ මහතා අපට පැවසීය.

යොවුන් පුර වැඩසටහන 1989 ට පසු පැවැත්වුණේ නැත. යොවුන්පුර අවසන්වරට පැවැත්වුණේ මහියංගනය ගිරාදුරුකෝට්ටේය. එහි අවසන් සමාප්ති උත්සවය පැවැත්වුණේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එතුමා එහිදී තරුණ පරපුරට ආදර්ශවත් කතාවක් දීර්ඝ ලෙස පවත්වන ලද බව අපට මතකය. යොවුන් පුරයට තරුණ තරුණියන් 10,000 ක් එකල එක්වුවත් ඒ සියල්ල පැවැත්වුණේ දැඩි හික්මීමත් විනයත් ඇතිවය. වසර 27කට පසු යළිත් යොවුන්පුරය පසුගිය වසරේදී සීගිරියේදී 2016 මාර්තු 30 සිට අප්‍රේල් 3 වැනිදා දක්වා පැවැත්වීය. එතෙර හා මෙතෙර තරුණ තරුණියන් 5100 ක් මෙයට එක්වූ අතර සමාප්ති උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් එක්වූහ. නවීන තාක්ෂණය පිළිබඳව තරුණ තරුණියන් දැනුම්වත් කළ මේ යොවුන් පුරයේ යොවුන් පුරපති ලෙස මාතලේ රධික ජයලත් මහතා කටයුතු කළේය. ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එම යොවුන් පු‍රය සංවිධානය කළේය. මෙවර යොවුන් පුරයද ඉහත ආයතන ත්‍රිත්වය එක්ව සංවිධානය කර තිබේ. යොවුන් පුරයට තරුණ තරුණියන් එක්වන්නේ යෞවන සමාජ ඔස්සේය. යෞවන සමාජ 13070 ක් එක්වී සැදුණු ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් උපුල් සඳරුවන් මහතා පවසන්නේ මෙවර යොවුන් පුරය මඟින් මනා පෞරුෂයකින් හෙබි හා විනය ගරුක තරුණ පරපුරක් බිහි කිරීම තම අපේක්ෂාව බවයි. ‍

පසුගිය යොවුන් පුරයට සහභාගි වූ තරුණ තරුණියන්ට ‍ගොඩක් ප්‍රයෝජන ලැබුණා. නායකත්වය ගත් අයට ඉහළ නායකත්වයට යාමට ඉඩ ලැබුණා. 2016 දි යෞවන සමාජවලින් රුපියල් කෝටි 50ක සංවර්ධන වැඩි කළා. රටටම ඒ ප්‍රයෝජන ලැබුණේ පසුගිය යොවුන්පුරය නිසා. ඒ වගේ මේ සැරේ යොවුන් පුරයෙනුත් තරුණ තරුණියන්ටත් රටටත් උපරිම සෙතක් වෙන දෙයක් කරන්නැයි අප අපේක්ෂා කරන්නේ” උපුල් සඳරුවන් පැවසීය.‍‍


මෙවර යොවුන් පුරයෙන් අපේ තරුණ පරපුරට සිහින නොව පාර පෙන්වනවා

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ඩබ්ලිව්. ජී. එස්. එරන්දික

යොවුන් පුරය යනු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක්. ඇත්තටම එතුමා මේ මඟින් බලාපොරොත්තු වන්නේ ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉන්න තරුණ තරුණියන් ගේ පෞරුෂය, නායකත්වය, විවිධ සැඟවූ කුසලතා හා කණ්ඩායම් හැඟීම, ක්‍රීඩා, සංස්කෘතික කලා දස්කම් රටට හඳුන්වාදීම් අලුත් වේදිකාවක් තැනීමයි. ඒ සඳහා එතුමා යොවුන් පුරය නිර්මාණය කළේ යෞවන සමාජ 15000 ක් රට පු‍රා පිහිටුවා තරුණ තරුණියන් එක්කර ගැනීමෙන් ද පසුවයි. යොවුන් පුරය අද තරුණ පරප‍ුරේ ප්‍රාර්ථනාවක්. කෙසේ වුවත් 1989 සිට පසුගිය වසර තෙක් වසර 27 ක් යොවුන් පුරය පැවැත්වූයේ නැහැ. වසර 27 කට පසු අපි අගමැතිතුමාගේ උපදෙස් මත පසුගිය වසරේදී සීගිරියේ දී යොවුන් පුරය යළි පැවැත්වූවා. අතිසාර්ථක ලෙස උත්කර්ෂවත් ලෙස අපිට ඒක නිම කරන්න පුළුවන් වුණා.

මෙවර යොවුන් පුරයේ තේමා පාඨය වෙලා තියෙන්නේ ‘අනාගතය ඇරැඹුණා’ යන්නයි. ගිය වර යොවුන් පුරයට තරුණ තරුණියන් 5000 ක් සහභාගි වුණා. ඒ 5000 ක පිරිසේ දක්ෂතා හඳුනාගැනීම ව්‍යාපාර සංවර්ධන හැකියා ප්‍රවර්ධනය සඳහා අපි අවස්ථාව ලබාදුන්නා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි යොවුන් පුරයෙන් පසු ගම් 1500 කට අපි ව්‍යාපෘති කිරීමට දුන්න රුපියල් 75000 මුදල අද වන විට ලක්ෂ 5000 ක් පමණ ව්‍යාපෘති බවට පරිවර්තනය කරලා තිබෙන්නේ.

මේ යටතේ අපි දැක්කා පාලම් බෝක්කු, ජල නළ පද්ධති, පන්සල් ගොවිපළවල් පාරවල් ක්‍රීඩාංගණ හදලා තිබෙනවා. ඒවගේ දැවැන්ත ව්‍යාපෘති මේ තරුණ තරුණියන් කළා. ඒකට මූලික පන්නරය ලැබුණේ යොවුන් පුරය මඟින්.

මෙවරත් අපි යොවුන් පුරය අපේ තරුණ තරුණියන් 6000 කගේ හා විදෙස් තරුණ තරුණියන් 100 ක ගේ සහභාගිත්වය ඇතිව අති සාර්ථක ලෙස ත්‍රිකුණාමලයේ කරන්න දැන් සියලු වැඩකටයුතු සූදානම්.

ජනාධිපතිතුමා අගමැතිතුමා සමඟ ලංකාවේ සියලු මැති ඇමැතිවරු පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මේකට එක්වෙනවා. සමාරම්භක උලෙළ තියෙන්නේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන්. සමාප්ති උලෙළ තියෙන්නේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

අපි ‍මෙවර මේ යොවුන් පුරය ත්‍රිකුණාමලයේ පවත්වන්න ‍තීරණය කළේ ත්‍රිකුණාමලයේ සිංහල දෙමළ මුස්ලිම් සෑම ජාතියක් ම සෑම ජනවර්ගයක් ම ජීවත්වෙන ප්‍රදේශයක් නිසයි.‍ ජාතික සංහිඳියාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට මේ යොවුන් පුරය ලොකු අත්වැලක් වෙයි කියලා අපි සිතනවා.

මේ 6000 ක් වෙන තරුණ පිරිසට සිංහල දෙමළ මුස්ලිම් ජාතින්වලට අයත් අය ඉන්නවා. ඒ පිරිස යොවුන් පුරයට ඒකරාශි වෙලාම ඉන්නේ නැහැ. ඔවුන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංචාරය කරනවා. ගවේෂණ කරනවා. ශ්‍රමදාන කටයුතුවල නිරත වෙනවා. ඒ මඟින් දකුණ උතුර නැඟෙනහිර පදිංචි ඔවුනොවුන් අතර බිදුණු හදවත් තිබෙනවා නම් ඒවා සුවපත් කරන්න පුළුවන් වෙනවා. බෙදුණු හදවත් නැවතත් හැඟීම්වලින් එක්කරන්න පුළුවන් වෙනවා.

ඒක අපේ ප්‍රධාන අරමුණක්. ඊට අමතරව ලෝකයේ තිබෙන අලුත්ම තාක්ෂණය ලෝකයේ අලුත් ම දැනුම අපි මෙවර යොවුන් පුරය මඟින් තරුණ පරපුරට ලබාදෙනවා. යැපුම් මානසිකත්වයෙන් පිරිණු අපේ තරුණ ජනතාවට ස්වශක්තියෙන් නැගිටින්න පුළුවන් කියන අභිමානය අධිෂ්ඨානය අපි අපේ තරුණ පිරිසට යොවුන් පුරයේදීම ලබාදෙනවා. ඒ සමඟම ඔවුන්ගේ නායකත්ව හා පෞරුෂය වර්ධනය හා කණ්ඩායම් හැඟීම වර්ධනය අපි විවිධ ධනාත්මක චින්තන වැඩසටහන් සකස්කර තිබෙනවා.

අද රටේ රැකියා සොයන තරුණ ශ්‍රම බළකායට ගැළපෙන රැකියාවක් සොයා ගැනීමට අපි පහසුකම් ලබාදෙනවා.

මේ යොවුන් පුරයට එක්වන එක් එක් තරුණ තරුණියන්ගේ තිබෙන වෘත්තීය අධ්‍යාපනික සුදුසුකම් හා වෘත්තීය පුහුණුව අනුව ඔවුන්ට අලුත් රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාව යොවුන් පුරයේදී ලබාදෙන්න කටයුතු කරනවා.

ඒ සමඟම මෙවර යොවුන් පුරයට එක්වන සැමටම ගම්වල මත්ද්‍රව්‍ය නිවාරණ පුහුණුවක් ලබාදීමට අපි සූදානම්. ඒ තරුණ පිරිස ඒ ඒ ගම්වල මත්ද්‍රව්‍ය නිවාරණයට නව නායකත්වයක් දෙමින් කටයුතු කිරීමට අපි යොමු කරනවා.

තරුණ පරපුරට අද සමහර ගම්වල සංවර්ධන වැඩවලට දායක වීමට ඉඩ දෙන්නේ නැහැ. නමුත් එය වෙනස් කළ යුතුයි. ඒ සඳහා සුදුසු පරිසරය අපි. අපේ යොවුන් පුර වාසීන්ට විද්‍යාත්මක ලෙසම ලබාදෙනවා.

ඉන් අනතුරුව මෙවරත් ඔවුන්ට ‍ගමේ අලුත් සංවර්ධන ව්‍යාපෘතියක් කිරීමට එක යෞවන සමාජයකට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් දෙන්න අපේක්ෂා කරනවා. ගිය වසරේ අපි දුන්නෙ රුපියල් ලක්ෂ 1200 යි. ඒ මඟින් මේ යෞවන සමාජ අපේ රටට රුපියල් ලක්ෂ 5000 ක් වටිනා සංවර්ධන වැඩ කළා. ඒ අනුව තරුණ ශ්‍රමයේ වටිනාකම රටට පේනවා. ඒ වැඩසටහන ඉදිරියටම ගෙන යෑමටයි අපේ අදහස.

මුහුදේ පොල් ලෙලි වගේ පාවුණු තාරුණ්‍යයට දේශපාලන අතකොලු බවට පත්වූ තාරුණ්‍යයට රාජකුමාරවරු පාලනය කළ තාරුණ්‍යයට ජීව වායුවක් ලබාදීලා කැරැල්ලට නොයවා ඒ තරුණයන් හසරැල්ලක් බවට පත් කරන්නට ජාතික තරුණ සේවා සභාවත් යෞවන සමාජ සම්මේලනයත් යොවුන් පාර්ලිමේන්තුවත් කටයුතු කරනවා. ඒකයි අපේ වැඩපිළිවෙළ පරමාර්ථය. එයට උදව්දීම තරුණ දියුණුවට කැමැති හැමගේ යුතුකමක්.

 

Comments