සියලු ජාතීන්ගේ ගායකයා ජෝති | සිළුමිණ

සියලු ජාතීන්ගේ ගායකයා ජෝති

 එච්. ආර්. ජෝතිපාල 1936 පෙබරවාරි 12 වැනිදා උපන්නේ කොළඹ දෙමටගොඩ කැටවලමුල්ලේදීය. ඒ නිසාම උපන්දා සිට බොහෝ කාලයක් ජීවත් වූයේ මරදාන ප්‍රදේශය ආශ්‍රිතවය. මරදාන යනු විවිධ ජාතීන් සම්මිශ්‍රණය වී ජීවත්වන ප්‍රදේශයකි. සිංහල- දෙමළ- මුස්ලිම් තුන් කොටස මැලේ -බර්ගර් ආදී ජනයා ද සමඟ වෙසෛන මරදාන වැනි තවත් පෙදෙසක් කොළඹ නැති තරම්ය. ඒ නිසාම ජෝති දරුවාට සහ ජෝති තරුණයාට සියල්ලන් සමඟ සංහිඳියාවෙන් විසීම නිතැතින්ම හුරුවන්නට ඇතැයි සිතේ. දෙමටගොඩ ශාන්ත ජෝන් හා මරදානේ ශාන්ත ලෝරන්ස් විදුහල්වල ඉංග්‍රීසි මාධ්‍ය ‍ෙයන් ඔහු අධ්‍යාපනය ලැබුවේය. ඒ 1956 ට පෙර කාලය නිසාය. එබැවින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ද මනා පරිචයක් ඔහු සතු විය. කැඩුණු ඉංග්‍රීසි‍යෙන් නොව චතුර ලෙස ඔහු වියත් ඉංග්‍රීසි කතා කළේය. දෙමළ-මුස්ලිම් ඇසුර නිසාම දෙමළ භාෂාව ද ජෝතිට හුරුපුරුදු වූ අතර පසුකාලීනව චිත්‍රපටවල ගීත පටිගත කිරීම සඳහා ඉන්දියාවට ගොස් එහිදී දෙමළ ජාතිකයන් සමඟ කටයුතු කරද්දී තවදුරටත් දෙමළ පිළිබඳව දැනුම දියුණු වී ඉතා හොඳින් දෙමළ බස හසුරුවන්නට ඔහුට හැකි විය.

මරදාන යනු පැදුරු බජව් හා සංගීත සාජ්ජවල ආරම්භක තෝතැන්නකි. විවිධ මාස්ටර්ලා මෙහෙයවූ පැදුරු සාජ්ජ නිතර එහි තැන් තැන්වල පැවැත්වුණි. ජෝතිට ද මුල් යුගයේ ඒවායේ හින්දි ගීත ගායනයට අවස්ථාව ලැබීය ඇත. හින්දි ගීතවලට අතීශයින් ප්‍රිය කළ ඔහු විශේෂයෙන් මොහමඩ් සාලි මාස්ටර්ගේ බජව්වලදී ජනප්‍රිය හින්දි ගී ගයමින් මරදාන පිනවූයේය. සංගීතය පිළිබඳව ශාස්ත්‍රාලයීය අධ්‍යාපනයක් නොලදත් ඔහු ජන්මයෙන්ම රැගෙන ආ අපරිමිත ගායන හැකියාව නිතැතින්ම වැඩිදියුණු වූයේ එම සාජ්ජවල හින්දි ගී ගැයීමෙනි. විවිධ රාග අනුව නිර්මිත විවිධ පරාසවල විහිදෙන හින්දි ගීත ගායනා කිරීමට උපරිම අභ්‍යාසයකි. එනයින් බැලූ කල ජෝතිගේ විසල් සංගීත චාරිකාවේ මුලදී හමු වූ මුස්ලිම් සංගීතවේදියා වන මොහමඩ් සාලි මාස්ටර් නිසා ජෝතිගේ ගමනට ප්‍රබල පදනමක් වැටුණු බව කීම සැබෑවකි.

ජෝතිගේ පියාගේ වෘත්තිය වූයේ ඇඳුම් මැසීමය. ඔහුගේ පුංචි ටේලර් සාප්පුව පිහිටියේ ඉන්දියාවේ සිට පැමිණ මරදානේ පදිංචි වී සිටි මොහිදීන් බෙග් මාස්ටර්ගේ නි‍ෙවසට යාබදවය. ජේමිස් අයියා ලෙස බෙග් මාස්ටර් විසින් හඳුවන්වන ලද ජෝතිගේ පියා මාතර උපන් කෙනෙකි. ඇතැමුන් විසින් ජෝතිගේ උපන්ගම මාතර යයි. වැරැදියට සඳහන් කර ඇත්තේ ද මේ මූලාශ්‍රය පටලවා ගැනීමෙනි.

ජෝතිගේ පියා සහ බෙග් මාස්ටර් අතර සුහද ඇසුරක් පැවැතුණේ එක බිත්තිය දෙපැත්තේ දෙන්නා සිටි බැවිනි. ජෝති බජව්වල ගී ගයමින් පෙරට යන්නට උත්සාහ කළ සමයේ මාස්ටර් ‘මාස්ටර් මගේ කොල්ලව හොඳට බලා ගන්න......‘ යනුවෙන් ජේමිස් අයියා තමාට පැවැසූ බව පසු කාලයේ ‍හෝ වාර ගණනක් බෙග් මාස්ටර් කියා තිබේ. පැදුරු බජව් සමයේදී හා පසුවද බෙග් මාස්ටර් නිතර ජෝතිට අවවාද අනුශාසනා කළේය. 1987 ජුලි 5 වැනිදා (එනම් ජෝති මිය යන්නට දෙදිකට පෙර) මර්වින් බේන්ස්ගේ නුගේගොඩ ශබ්දයාගාරයේදී බෙග්- ජෝති අවසන් හමුව සිදුවිය. තරුණ කාලයේ සිටම බෙග් මාස්ටර් දුටු විට අසුනින් නැගිට ඔහුට ගරු කිරීම ජෝතිගේ සිරිතයි. ඒ සිරිත ඔහු කිසිදා කඩ කළේ නැත. එදිනද බෙග් මාස්ටර් තමන් සිටි තැනට එන විට ජෝති අසුනින් නැගී සිට ඇත. වාඩි වෙන්න... කී බෙග් මාස්ටර් දුටුවේ ජෝතිගේ දෑත් හා දෙපා ඉදීමි ඇති අන්දමයි.

‘වහාම ....වහාම... හොස්පිට්ල් ඇඩ්මිට් වෙනවා ජෝති. මේ අත් කකුල් ඉදිමිලා නේද? වහාම ඇඩ්මිට් වෙනවා. මගේ මිනිය උත්සන්න තමුසේ ඉන්න ඕනෑ....‘ කියමින් බෙග් මාස්ටර් කෑ ගසද්දී ජෝති දෙඅත් ඔසවා ඔහුට ආචාර කරමින් දුන් පිළිතුර මෙයයි.‘මාස්ටර්. මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න....‘

තවත් දෙදිනකට පසු ජෝති මිය ගොස් ජූලි 08 වැනිදා මාලිගාවත්ත ප්‍රදීපා ශාලාවේ ජෝතිගේ දේහය තිබියදී එතැනට පැමිණී බෙග් මාස්ටර් ගේ දෑසින් ජෝති ගේ නිසල දේහය මතට කඳුළු ගංගාවක් ගලා හැලුණේය.

වයස අවුරුදු 16 දී ජෝතිට වසන්තා සන්දනායක ගැයූ මහවැලි නදියේ ගීතයේ තොටියෝ එකම පදය තුන් වරක් ගයන්නට අවස්ථාව ලැබුණි. ඉන්පසුව චිත්‍රපට පසුබිම් ගායනයට වරම් පතා ජෝති කළ අති දුෂ්කර සටනේදී පොඩි පුතා චිත්‍රපයෙන් අවස්ථාවක් ලැබුණත් නොසිතූ පරිදි ඔහු ප්‍රතික්ෂේප විය. කිරිමූද කලම්බාල නමින් ජී. එස්. බී. රාණි පෙරේරා සමඟ එම ගීතය ගායනා කිරීමෙන් පසුව පොඩිපුතා අධ්‍යක්ෂ සිරිසේන විමලවීරයන් සහ ශබ්ද පරිපාලකයා ජෝති ශබ්දාගාරයෙන් පිටමං කර ඇත්තේ ‘තමුසෙට කවදාවත් ගායකයෙක් වෙන්න බෑ. තමුසෙගෙ කටහඬට මේ මැෂින් දෙදරනවා....‘ කියමිනි. පසුව රාණී සමඟ ඒ ගීතය ගයන්නට හරුන් ලන්ත්‍රා යොදවා ඇත. එය ගායිකාවක මුල් වී කළ කුමන්ත්‍රණයක් බව පසුව ජෝතිට දැන ගන්නට ලැබිණ. ඇතැම් කලා පුවත්පත් කතුවරුන් පවා විකෘති කොට දක්වන්නේ ජෝති පලවා හැර එම ගීතය සිසිර සේනාරත්නයන් ලවා ගයනා කරවූ බවයි. එය අමූලික බොරුවකි.

ජෝති ගයන්නට නියමිතව සිටි ගීතය ලන්ත්‍රා ලවා ගායනා කරවූ අතර සිසිර පොඩි පුතා චිත්‍රපටයේ මේ ලෝකෙ නවාතැන වේ දෙදිනයි මෙහි වාසේ ගීය ගයමින් ගී ලොවට එක් විය. තම අවස්ථාව ලන්ත්‍රාට හිමි වුවත් ජෝති කිසිදා ලන්ත්‍රා සමඟ කහටක් ඇති කර නොගත්තේය. තම ප්‍රියතම ගායකයන් ලෙස ජෝති හැමදාමත් නම් කළේ ලන්ත්‍රා සහ මිල්ටන් පෙරේරාය. ලන්ත්‍රාගේ හඬ Golden Voice ලෙස ඔහු අගය කළේය.

පොඩි පුතාට පසුව ජෝති යළිත් චිත්‍රපටයක ගායන වරම් පතා රස්තියාදු විය. සිරිල්. පී. අබේරත්නගේ කතාවකින් හදන සුරතලී චිත්‍රපටයේ අවස්ථාවක් ඉල්ලූ විට එහි නිෂ්පාදක ජබීර්. ඒ . කාදර් කීවේ ඔහුගේ හඬ අසා තීරණයක් ගැනීමට ගීයක් පටිගත කරගෙන එන ලෙසයි. දැඩි ආර්ථික දුෂ්කරතා මැද අසීරු දිවිපෙවෙතක් ගත කළ ජෝතිට ගීතයක් පටිගත කර ගැනීම සිහිනයක් විය. එතැනදී ඔහුට පිහිටට ආවේ මැලේ ජාතික සංගීතවේදී ස්ටැන්ලි ඔමාර් මිතුරාය.

ඔමාර් මගෙ රන් රාජිනී සුකුමාලි ලතා සොඳුරු පෙම් ශ්‍රියා ගීතය ලියා ජෝතිගේ හඬින් එය පටිගත කර දුන්නේය. එය ගෙන ගොස් ජබීර්ට අසන්නට සැලැස් වූ විට ඔහු සෑහීමට පත් වී සුරතලී චිත්‍රපටයේ ගී ගයන්නට ජෝතිට අවස්ථාව ලබා දුන්නේය. ඒ අනුව මදුරාසියේ වාහිනී ශබ්දාගාරයේදී සමූහ ගීතයකට හා යුග ගීතයකට එක් වී සිරියාමෙසාරා තනි ගීය ද ගැයූ අතර සංගීත අධ්‍යක්ෂ ටී. ආර්. පාපා අතිශයින් සෑහීමට පත් විය. මේ අනුව ජෝතිගේ සංගිත ගමන ආරම්භයේ මොහමඩ් සාලි, ස්ටැන්ලි ඔමාර්-ජබීර්, ඒ. කාදර් යන මුස්ලිම්වරුන් තිදෙනා සහ ටී. ආර් පාපා නම් දෙමළ සංගීවේදියා දැමූ පදනම සවිමත් පදනමක් වූ බව කිව හැකිය.

මුල් යුගයේ ඉන්දීය දෙමළ සංගීතවේදීන් ගේ සංගීතයට සිංහල චිත්‍රපටවලට ජෝති ගී ගැයුවේය. කේ. රාණි වැනි දෙමළ ගායිකාවන් සමඟ ද එහි ගී ගයා තිබේ. එමෙන්ම මෙහිදී ආර්. මුත්තුසාමි, එම්. කේ.රොක්සාමි, ටී.එෆ් ලතීෆ්, ගලගෙදර එම්. එම්. ඒ හක් ඇතුළු බොහෝ අසිංහල සංගීතවේදීන්ගේ නිර්මාණ ඔහු ගායනා කළේය. ඔගස්ටස් විනයාගරත්නම් වැනි දෙමළ නිබන්ධකයන් ලියූ ගීත ගායනා කළේය. දෙමළ ජාතික රුක්මණි දේවි (ඩේසි රාසම්මා ඩැනියෙල්ස්) සමඟ මෙන්ම මැලේ ජාතික ජී. එස්. බී. රාණි පෙරේරා (ඥෙයි සීනාර් බන්සජයා) සමඟ ගී ගැයූ ජෝති කේ. ගුණරත්නම්, ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ, රොබින් තම්පෝ, ලෙනින් මොරායස්, ජේ. සෙල්වරත්නම්, ජේ. රාසරත්නම්, ජෝ දේව් ආනන්ද්, එම්. වී බාලන්, කේ. වෙන්කට් ඇතුළු දෙමළ ජාතික සිනමාකරුවන්ගේ චිත්‍රපටවලට දායක විය. සුදු සඳේ කළුවලා තුළින් ජෝතිට මුලින් සැලකිය යුතු චරිතයක් රඟපෑමට දුන්නේ රොබින් තම්පෝය. එමෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් සංදේශය හදද්දී එය නිපදවූයේ සිනමාස් අධිපති කේ. ගුණරත්නම්ය.

එච් .ආර්. ජෝතිපාල මේ රටේ ජනප්‍රියත්වයේ ඉහළින්ම බැබළුණු අවදියේ රටේ පැහැදිලි සංහිඳියාවක් පැවැතුණේය. ජාතීන් අතර සොඳුරු සාමයක් පැවැතුණේය. ඒ සොඳුරු සංහිඳියා යුගයේ උතුරේ යාපනය හා ඒ අවට අනෙක් ප්‍රදේශවල පැවැති සංගීත ප්‍රසංගවල ජෝති ගී ගැයුවේය.

එවැනි ප්‍රසංගවල ගී ගයන්නට පෙර දෙමළ බසින් ජනතාව ඇමැතීම ඔහුගේ සිරිත විය. එසේ අමතන විට මෙන්ම දෙමළ තනුවකට ගැයූ මම ගන්නෙනමී කරකාර ගීතයේ සිංහල වචන ගයන්නට පෙර අඩී එන්නඩී රාකම්මා.....ආදී වශයෙන් දෙමළ මුල් පද ද ගයන විට ඔහු ලැබූ ප්‍රතිචාරය අතිමහත්ය. උතුරේ තමන් අතරට පැමිණි සිංහල ගායකයා තමන්ගේ බසින් තමන් අමතා තමන්ට සුපුරුදු ගීයක් ගයද්දී උතුරේ ජනතාවට ඊට වඩා තවත් සතුටක් තිබේද?

අව පාලනය නිමා කර යහපාලන යුගයක් ඇරැඹූ පසුව නිවහල් උතුරුකරයේ යොවුන් සමුළුවේදී සදානන්දන් නමැති දෙමළ ගායකයා, ජෝති දෙමළ තනුවක් අනුව ගැයූ පණ වාගේ හිටියාට ගිතයේ සිංහල වචන කීපයක් කියා දෙමළ ගීතය ගයා තිබේ. ඒ ජෝති ගැන ද සඳහන් කරමිනි.

මෑතකදී ගුවන්විදුලියේ මා කැමැති ජෝති ගී වැඩසටහනට ආ ප්‍රවීණ දෙමළ ගායක සූරියකුමාර් මුත්තලගේ ද එම වැඩ සටහනේදී එය ගායනා කළේය.

එමෙන්ම මුල් යුගයේ ජෝතිගේ සමීප මිතුරෙකුව සිටි දෙමළ ජාතික ගායක ආර්. සිවනන්ද එකල ගැයූ මම ආදරේ කියන්නම් හා කවුරුත් මොකවත් කීවාද යන ගීත ගැන ද ඔහු සිහි කළේය. පසු කාලයක ජෝති ද සිවනන්දගේ එම ගීත දෙක ගායනා කර ඇත. ජෝතිගේ අයිරාංගනී නැගණිය (ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සමඟ විවාහ වී සිටින) බාල කාලයේදී තමාව ගුවන්විදුලි වැඩසටහන් සඳහා රැගෙන යන ලෙසට ජෝතිට බල කර තිබේ. අවශ්‍ය නැතැයි කියා ජෝති එම ඉල්ලීම මඟ හැර තිබියදී නිතර තම නි‍ෙවසට ද එන ජෝතිගේ මිතුරු සිවනන්දට අයිරාංගනී ගුවන්විදුලියට යාමට ඇති කැමැත්ත ගැන කීවාය. පසුව ඇයව ගුවන්විදුලියට කැඳවාගෙන ගොස් ඇත්තේ සිවනන්දයි. ළමා සහ නාට්‍ය වැඩසටහන් තුළින් අයිරාංගනී ඉදිරියට ගියාය. ඉන් පසුව ජෝති ද ඇය ගැන සතුටු විය.

1983 ජුලි 23 යනු ලංකා ඉතිහාසයේ අඳුරු තම දිනයක් ලෙස සනිටහන් වෙයි. ඒ මනුෂ්‍යත්වය යට කරගෙන අමනුෂ්‍යයන් විසින් මතුකරන ලද කළු ජුලියේ ඇරැඹුම නිසාය. ඒ වකවානුවේ ජෝති පදිංචිව සිටියේ මරදාන මලිගාවත්ත මහල් නිවාස ක්‍රමයේ බී/10/1/1 දරන නි‍ෙවසේය. හදිසියේම හති දමමින් ජෝතිගේ නිවසට දුවගෙන ආවේ ඒ යුගයේ ප්‍රසාංග වේදිකාවේ විශේෂයෙන් හින්දි ගී ගයා ජනප්‍රියව සිටි සුරේෂ් රාජසිංහම් නැමැති දෙමළ ජාතික ගායකයායි.

ඔහු ද පදිංචිව සිටියේ ජෝතිගේ නිවසට තරමක් ඔබ්බෙනි. සුරේෂ් එසේ දිව ආවේ සිංහල අන්තවාදී ජාතිආලකාරයන් පිරිසක් කඩුපොලු රැගෙන ඔහු මරා දමන්නට එළවාගෙන ආ නිසාය. කඩා බිඳගෙන ජෝතිගේ නි‍ෙවසට රිංගූ ඔහු තමාව බේරා ගන්නා ලෙස කෑගසා ජෝතිට කීය.ජෝති සැණෙකින් නැගී සිටියේය. උඩුකය නිරුවත්ව සරම පිටින් තම නිවසට ඇතුළු වන පඩිපෙළෙහි ඉහළම පඩිය මත අඩි හයේ සද්දන්තයා කෙළින් සිට ගත්තේය. ජාතිආලකාර මැර පිරිස පඩි පෙළ පාමුලය. සිංහල චිත්‍රපට රැසක දුෂ්ට චරිත රඟ පෑ ජෝතිගේ මුවින් සැබැවින් කෝපාවිෂ්ට වදන් නිකුත් විය.

‘‘දැනගනිල්ලා එකෙක් ඔය පඩි පෙළේ එක පඩියක් උඩට අඩිය තිබ්බොත් මම පෙන්නනවා ජෝතිපාල කියන්නේ කව්ද කියල..... පෝති මහ හඬින් කෑ ගැසුවේය...... සුරේෂ් ඉන්නේ මගේ ගෙදරයි. එකෙකුටවත් සුරේෂ්ට අතක් උස්සන්න දෙන්නේ නෑ.

යළිත් ඔහු ගුගුරද්දී ජෝතිට එරෙහිව වදනක් හෝ කියාගත නොහැකි මැරයෝ පරාජිතව ගොදුර අතහැර පසු බා යන්නට ගියහ. උඹ හිටපන් ඔන තරම් දවසක් මගේ ගෙදර. කිසි දේකට බය වෙන් එපා... ඒ වන විටත් බියෙන් ත්‍රස්ත වී වෙවුලමින් සිටි සුරේෂ් රාජසිංහම්ව ජෝති සැනසුවේ එසේය.

තම ජිවයෙ මැරයන්ගෙන් බේරා දුන් ජෝතිව දෙවියකු ලෙස සුරේෂ්ට ඒ මොහොතේ පෙනෙන්නට ඇත. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා කඩුගන්නාවේ සිය වත්තේ පිහිටි නි‍ෙවසේ දෙමළ ජාතිකයන් රැසක් නවතාගෙන ඔවුන් මරන්නට ආ ඊනියා සිංහල ජාතිවාදී උන්මන්තකයන්ව එම කළු ජූලියේ දිනක පලවා හැරියේ සිනමාවේ වීරයාගේ චරිතය සැබැවින්ම නිරූපණය කරමින් අහසට වෙඩි තබමිනි.

ගාමිණී කඩුගන්නාවේදී එසේ කරද්දී ජෝති මාලිගාවත්තේ සිට එම සත්ක්‍රියාවම සිදු කළේය.

ජෝති විසින් ජීවිතය බේරා දීමෙන් දින කීපයකට පසුව කැනඩාවේ රැකවරණ ලබා එහි පදිංචියට ගිය සුරේෂ් රාජසිංහම් පසු කාලයකදී එහි දී මරණයට පත් විය. මරදානේ දෙමටගොඩ කැටවලමුල්ලේ ඉපදී සියලු ජාතීන් ඇසුරේ හැදී වැඩී සියලු ජාතීන් වෙනුවෙන් ගී ගයා 1987 ජූලි 7 වැනිදා අවසන් සුසුම් හෙළූ සියලු ජාතීන්ගේ ගායකයා නොහොත් එච්. ආර්. ජෝතිපාල එම මරණයෙන් අමරණීයත්වයට පත්ව අදත් ජන වන්දනාවට පාත්‍ර වන්නේය.

ආනන්ද පද්මසිරි 

Comments