ක්‍රීඩා අක්‍රමිකතා කමිටු වාර්තාව හමස් පෙට්ටියේ | සිළුමිණ

ක්‍රීඩා අක්‍රමිකතා කමිටු වාර්තාව හමස් පෙට්ටියේ

සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදු වී ඇතැයි කියන අක්‍රමිකතා සොයා බැලීමට පත් කරන ලද ත්‍රි පුද්ගල කමිටු වාර්තාව ලබා දී දිගු කලක් ගත වුවත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග ගෙන නොමැත. ඩී. දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් එන්. පද්මනාදන්, රුස්ලි හුසේන්ගේ සාමාජිකත්වයෙන් යුත් මේ කමිටුව විසින් සිදු කරන ලද සොයා බැලීමේ දී හෙළි වී ඇති කරුණු අනුව නිගමනය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සී. එස්. එන්. නාලිකාවට වසර 3ක් සඳහා විකාශ අයිතිය පැවරීම සාධාරණ නොවන බවත් එය ක්‍රම විරෝධී සහ සදාචාර විරෝධී බවත්ය.

අමාත්‍ය මණ්ඩල තීරණ පවා උල්ලංඝනය කරමින් සිදු කරන ලද ක්‍රියාදාමයන් රැසක් පිළිබඳ කමිටුව විසින් කරුණු දක්වා ඇතත් ඊට එරෙහිව මේ දක්වා නිසි ක්‍රියා මාර්ග ‍නොගැනීමට හේතුව අනාවරණය නොවේ.

'ක්‍රම විරෝධී බව' යනුවෙන් කමිටුව එසේ දක්වා ඇතත් මෙහි දී බලවත් අක්‍රමිකතාවක් සිදුවී ඇති බවත් බරපතළ අවභාවිතයක් සිදුවී ක්‍රිකට් ආයතනයට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති බවත් හෙළි වේ. 'ක්‍රිකට් තරග විකාශ අයිතිය රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පමණක් ලබා දිය යුතුයි' යන 2009 ජූනි මස 24 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණය උල්ලංඝනය කරමින් 2011 වසරේ පැවැති ක්‍රිකට් විකාශ අයිතිය ගුවන් විදුලි නාලිකාවක නමින්ම පවත්වා ගෙන යන පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට ලබා දීමට කටයුතු කිරීම මේ එක් වංවාවකි.

එසේම 2011 වසරේ ජූනි 29 දි අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය පරිදි රාජ්‍ය මාධ්‍ය සහ ක්‍රීඩාවට කැපවුණු නාලිකා සඳහා පමණක් විකාශ අයිතිය පිරි නැමීමේ ක්‍රමවේදයක් තිබුණද 2012 වසරේ පෙබරවාරි 5 වැනි දින ක්‍රිකට් ආයතනය විසින් දැන්වීමක් පළ කරමින් රූපවාහිනී ගුවන්විදුලි විකාශය ඇතුළු තවත් අංශ රාශියක් සඳහා මිල ගණන් කැඳවා ඇත. එහෙත් එවන් කටයුත්තක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව නැත. ‍

අමාත්‍ය මණ්ඩලය තීරණය අනුව ශ්‍රී ලංකා රූපවාහිනී ආයතනය ස්වාධීන රූපවාහිනිය හා සී. එස්. එන්. ආයතනය පමණක් සුදුසුකම් ලබන අතර ඒ සඳහා දැන්වීම පළ කර ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයෙනි. (සෙ.මි. 2 X5) රුපියල් ‍කෝටි ගණනක ගිවිසුමක් සඳහා ඇසට පෙනෙන නොපෙනෙන ප්‍රමාණයේ දැන්වීම් පළ කරමින් මෙසේ හිතා මතාම සීඑස්එන් ආයතනයට විකාශ අයිතිය ලබා දීමේ ක්‍රියාදාමය තහවුරු වී ඇතත් අදාළ වංචාව සම්බන්ධව දූෂණ මර්දන කමිටු කාර්යාලයට දන්වා අමාත්‍යාංශ ලේකම්වරුන් පසෙකට වී සිටීම පිටුපස අභිරහසක් තිබෙන්නට ඉඩ ඇති බවද වාර්තා වේ. සී. එස්. එන්. ආයතනයට විකාශන බලය ලබා දීමෙන් ක්‍රිකට් ආයතනයට ලැබී ඇත්තේ මිලියන 125ක මුදලක් වන අතර ඊට වඩා විශාල මුදලක් උපයා ගැන්මට හැකියාව තිබුණු බව මේ වන විට පැහැදිලි වී ඇති අතර අදාළ වරදට සම්බන්ධ පුද්ගලයනන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අල්ලස් හෝ දූෂණ කොමිසමට හෝ රහස් පොලිසියට හෝ අවශ්‍ය ස්ථානයකට දැන්වීමේ වගකීම ලේකම්වරයා සතු වුවත් එවැන්නක් සිදු වී නොමැති වීම පිටුපස සිටින්නේ කවුද යන්න ගැන වහාම සොයා බලා ඒ සම්බන්ධව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ක්‍රීඩාවට සම්බන්ධ විචාරකයෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධව හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා වන එම්.අයි.එම්. රෂීඩ් මහතා විසින් වාර්තා කර ඇතත් ක්‍රීඩා අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ආචාර්ය ඩී. බී. දිසානායක මහතාගෙන් ඒ ගැන කළ විමසීමකදී ඔහු පැවසුවේ තමා මේ සම්බන්ධව කිසිවක් නොදන්නා බවයි. 

Comments