එහෙයියො වෙන්න අපට බැහැ | සිළුමිණ

එහෙයියො වෙන්න අපට බැහැ

 උපකාරක පන්ති ගුරුවරයකු ලෙස නමක් දිනා සිටි නීතිඥ සිසිර ජයකොඩි ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසෙන්නේ මහජන එක්සත් පෙරමුණ හරහාය. 1997 පළාත්පාලන මැතිවරණයේ දී 'රෝදය' ලකුණින් තරග කොට කැලණිය ප්‍රාදේශීය සභාවට තේරී පත් වන ඔහු අනතුරුව පැවැති පළාත් සභා මැතිවරණ හතර ම ජය ගන්නේ ඉහළ ම ජනතා මනාපයෙනි. සිසිර අද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකි. මෙවර 'පසුපෙළ' ඒකාබද්ධ විපක්ෂයේ තරුණ

කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු වූ ඔහුගේ හඬ වෙනුවෙනි.

ප්‍ර: මන්ත්‍රීතුමා මුලින් ම කියන්නකො මේ මොහොතේ මොනවාද රට ගැන හිතෙන්නේ කියලා?

ඔබට මට නොපෙනෙන පඹගාලක රට පැටළිලා. ජාත්‍යන්තර වාර්තා අනුව ගෙවී ගිය වසරේ තමයි මේ රටේ වංචාව, දූෂණය වැඩියෙන් ම සිදු වෙලා තියෙන්නේ. බැඳුම්කරයෙන් රටට බිලියන ගාණක අලාබයක් වුණා. රුපියල මස්තබාල්දු වෙනවා. ජීවන වියදම ඉහළ යනවා. විදේශ ආයෝජන අඩු වෙලා. ආනයන වියදම වැඩි වෙලා. ජනතාවට අමාරුයි. රට සෝමාලියාව නැම්බියාව තත්ත්වයට පත් වෙලා.

ප්‍ර: මෙහෙම වෙන්න හේතු මොනවාද?

පැහැදිලිව ම ආණ්ඩුවේ වැරැදි ආර්ථික වැඩපිළිවෙළ තමයි. අද සෑම ක්ෂේත්‍රයකින් ම ආර්ථිකය අකර්මණ්‍ය වෙලා. අපි 2009 දී දරුණු යුද්ධයකින් පසු පරාජය කරපු බලවේග අපේ ආර්ථිකය වට්ටන්න ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන බවකුත් පෙනෙනවා.

ප්‍ර: මන්ත්‍රීතුමාට යහපාලන ආණ්ඩුවේ හොඳක් පෙනෙන්නෙ ම නැද්ද?

හොඳ තියෙනවා. ඒත් සාපේක්ෂව බැලුවා ම ඒවා නරකයි. කලින් ආ‍ණ්ඩුවත් එක්ක ගත්තා ම ‍අද මේ රටේ තියෙන්නේ නරක තත්ත්වයක්. කනගාටුදායක තැනකට ර‍ට යමින් තිබෙනවා.

ප්‍ර: ඒත් දැන් අධිකරණය ස්වාධීනයි. මාධ්‍ය නිදහස ලැබිලා. අද සුදු වෑන් එන්නේ නැහැ නේද?

කොහේද ඕවා තියෙන්නේ. අද නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා. සමාන චෝදනා මත කෙනෙකුට ‍නඩු දානවා. තව කෙනෙකු‍ට නඩු නැහැ. ‍වාහන අවභාවිත කළැයි හිටපු ඇමැති විදිහට විමල්ට නඩු දානවා. ආණ්ඩුවට ජැක් ගහපු එවක නියෝජ්‍ය ඇමැති ලසන්තට චෝදනා පත්‍රයක්වත් නැහැ. ඒ වගේම බෙදුම්වාදී සාධකය මත විනිසුරුවන් පත් කරනවා. විපක්ෂයේ මන්ත්‍රීන්, යුද්ධය දිනපු රණවිරුවන් තෝර තෝරා මර්දනය කරනවා. මේ කරන්නේ ජිනීවා න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමක්.

ප්‍ර: හමුදා සේවයේ සිටියා කියා අපරාධ කළා නම් ඇහැ කන පියාන ඉන්න බැහැනේ?

ඇත්තට ම කවුරු හරි කෙනෙක් වැරැදි කරලා තියෙනවා නම් ඔහුට දඬුවම් කරන්න ඕන. සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. මේවා යුද්ධයට නායකත්වය දුන් පිරිස් ඉලක්ක‍ කර වෛරී අදහසින් කරන දේවල්. එදා කොටි අපරාධ හමුවේ අන්ධයෝ වගේ සිටි අය ව්‍යාජ මානව හිමිකමක් පෙන්නගෙන වීරයෝ වෙන්න දඟලනවා.

ප්‍ර: රණවිරු දඩයමක් ගැන කතා කළ‍ාට ර‍ටේ ලොකුම රණවිරුවා වෙච්ච ජෙනරල් ‍‍‍‍‍‍‍‍‍ෆොන්සේකාට සලකපු හැටි ජනතාව‍ට අමතක වෙයි ද?

එහෙනම් ඔබ කියන්නේ මේවා එදා එහෙම කළා කියලා කරන පළිගැනීමක්.

ප්‍ර: නැහැ. රණවිරුවන් ගැන කිඹුල් කඳුළු හෙළද්දී ඒ සිද්ධිය මතක් වෙන්නේ නැද්ද කියලයි මම අහන්නේ?

අපේ හමුදා යුද අපරාධ කළැයි කී දෙමළ සන්ධානය 2010 ජනාධිපතිවරණයේ දී වැඩ කළේ ෆොන්සේකා මහත්තයාට. ‍තමන් නායකත්වය දුන් හමුදාව‍, ඡන්ද‍ය වෙනුවෙන් ඔහු එදා පාවා දුන්නා. ඒ නිසා රටට හතුරුකම් කරන අයට ඒ ආණ්ඩුවේ ද මේ ආණ්ඩුවේ ද කියලා නොබලා දඬුවම් දෙන්න ඕනේ. මොකද ඔහුට හමුදාපතිකම දුන්නෙත් අපේ ආණ්ඩු කාලේ. ෆොන්සේකා මහත්තයාට එදා යම් අසාධාරණයක් සිදුවුණා කියනවා නම් ඒ ගැන මගේ එකඟතාවක් නැහැ. හැබැයි හමුදා සම්බන්ධයෙන් ඔහු කළ පාවාදීම කෙසේවත් සුද්ද කරන්න බැහැ. රටට කරපු ඒ අපරාධයට නම් දඬුවම් ලැබිය යුතුමයි.

ප්‍ර: ඔබ කියනවා අද නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා කියලා. හිටපු අගවිනිසුරුවරිය කනෙන් ඇදලා එළියට දැම්මේ ඔබේ ආණ්ඩුව නේද?

ශිරානි බණ්ඩාරනායක මහත්මියට එදා වුණු දේ ගැන නීතිඥවරයෙක් විදිහට මම විරුද්ධයි. ඒත් ඒක සිද්ධ කළේ නිසි පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් හරහායි. ඒ වෙනුවට මේ ආණ්ඩුව බලයට ඇවිත් ව්‍යවස්ථාවට පිටින් ගිහින් මොහාන් පීරිස්ව නිකම්ම අයින් කළා. ඒ තැනට ශ්‍රීපවන් මහත්තයා පත් කළා. ඒකත් වැරැදියි.

ප්‍ර: නැහැ. ආණ්ඩුව නැවත බණ්ඩාරනායක මහත්මියට අගවිනිසුරු පුටුව දුන්නා‍....?

ඒ එක දවසකටනෙ. නිසි ක්‍රමවේදයකට නෙමෙයි ඒවා සිද්ධ වුණේ. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා ඒවා කළේ. මගේ තර්කය ඒකයි.

ප්‍ර: හරි, මේ ආණ්ඩුව අසමත් නම් සමත් ආණ්ඩුවක් කරන්න ඔබතුමන්ලාගේ සහාය දෙන්න බැරි ඇයි?

ඒක තමයි ප්‍රශ්නය. මේ ආණ්ඩුවේ නායකයා ජයග්‍රහණය කළේ එජාප ඡන්දවලින්. ඔවුන් සමඟ එතුමා ආණ්ඩුවක් හැදුවා නම් කමක් නැහැ. නමුත් විරුද්ධව සිටි පිරිසකුත් අරන් ඒ අයටත් නායකත්වය දෙනවා. ඒක අවුලක්. ඉතින් ඇමැතිකම් වරදාන වරප්‍රසාදවලට අපත් යට වු‍ණොත් රටට යන කලදසාව මොකක්ද? දෙමළ සන්ධානය විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්නේ නැහැ. ජවිපෙත් එහෙමයි. ඒ නිසා අපට බැහැ එහෙය්යො වෙන්න. ආණ්ඩුව කරන ජනතා වි‍රෝධී වැඩට එරෙහිව පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් අප දිගට ම සටන් කරනවා.

ප්‍ර: ඒත් ඒකාබද්ධ විපක්ෂය බලයට එන්න හදන්නේ ජාතිවාදය අවුස්සලා ද?

මේ රට කඩන්න එපා කියන එක ජාතිවාදී ද? අපි‍‍ නෙමෙයි ආණ්ඩුව තමයි ජාතිවාදි බලවේගවල අරමුණු ඉෂ්ට කරන්නේ. ‍සිංහල, දෙමළ, මුස්ලිම් හැ‍මෝ ම මේ රටේ සමඟියෙන් ඉන්න ඕනේ කියන එක අපේ ස්ථාවරයයි. ඒ නිසා අපි නෙමෙයි. දෙමළ ජාතිවාදී අරමුණු වෙනුවෙන් පෙනී ඉන්න අය තමයි ජාතිවාදියෝ.

ප්‍ර: අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිපය දැනටමත් විරුද්ධත්වය පළ කරලා. ඒකාබද්ධ විපක්ෂයත් ඉන්නේ ඒ මතයේ ම ද?

ආණ්ඩුව ජනතාව අන්ඳවනවා. අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිපය විරුද්ධයි කියලා මම හිතන්නේ නැහැ. එහි ඇතැම් කොටස් එජාප, දෙමළ සන්ධාන, එන්ජීඕ ‍පිරිස් අලුත් ව්‍යවස්ථාව දැනටමත් කෙටුම්පත් කරලා ඉවරයි. බෙදුම්වාදී ව්‍යවස්ථාව ළඟදීම කරළියට එයි. ජිනීවා නුවරින් කල් ඉල්ලන්නේ ඒකට. තමන්ට සහාය දුන් බලවේගවල සතුටු කරන්නයි. ඒත් අපි ඒකීය රටක්‍ වෙනුවෙන් දිගට ම පෙනී ඉන්නවා. අපි මේක රටට කියනවා.

ප්‍ර: ආණ්ඩුව කියන්නේ, ඒකාබද්ධ විපක්ෂය බොරු ව්‍යවස්ථා බිල්ලක් මවලා ජනතාව බය කරනවා කියලයි....

අන්තවාදී පිරිසක් මේ ව්‍යවස්ථා කෙටුම්පතට අත ගහලා ඉවරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මම දන්නවා එංගලන්තයෙන් නෝර්වේවලින් ඇවිත් අපටත් වැඩමුළු කරනවා. ගේන්න යන ව්‍යවස්ථාව ආනයනය කරපු එකක්. කොයි වෙලේ හරි මර්දනය යොදලා හරි ආණ්ඩුව මේක සම්මත කර ගනියි.

ප්‍ර: එහෙම නම් ඒකාබද්ධ විපක්ෂය නිකන් ඉන්න එකක් නැහැ?

අපට ජනතාව ඉන්නවා. මේ වෙලාවේ අපි බලන්න ඕනේ පක්ෂ විදිහට නෙමෙයි රටක් විදිහටයි.

ප්‍ර: ඔබේ පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහත්තයා පසුගියදා පාර්ලිමේන්තුව තහනම් වුණා. දිනේෂ් ව‍ගේ ඉහනිකට පැහැච්ච කෙනෙක් ‍එහෙම හැසිරුණු එක අනුමත කරන්න පුළුවන් ද?

පිලිප්ලා රොබට්ලා විවියන්ලාටත් ඉස්සර පාර්ලිමේන්තුව තහනම් වුණා. ඔවුන් ජෝකර්ලා නෙමෙයි. බරසාර මිනිස්සු. ජනතාව වෙනුවෙනුයි ඒ විදිහට හැසිරුණේ. දිනේෂ් ගුණවර්ධන මහත්තයාත් එහෙමයි. ඔහු තරම් පර්ලිමේන්තු සම්ප්‍රදායන් දන්නා කෙනෙක් නැහැ. ඔහු අභියෝග කළේ කතානායකවරයා‍ගේ සම්ප්‍රදාය විරෝධී වැඩ‍ටයි. එය වැරදිද? ඒ වගේ ම ඔහු එදා කතා කළේ මුළු ඒකාබද්ධ විපක්ෂයේ ම අයිතිවාසිකම් වෙනුවෙන්.

ප්‍ර: ඒත් ඒකාබද්ධ විපක්ෂය කියලා පක්ෂයක් නැහැනේ?

අන්තිමට එතැනට තමයි හැමදාම එන්නේ. කවුරු කා සමඟ ආණ්ඩු කළත් කමක් නැහැ. ඡන්දෙ දී අපි හිටියේ ඒ බලවේග සමඟ නෙමෙයි. අපට ඔවුන් සමඟ එකතු වන්න බැහැ. ඒ නිසා අපට වෙනම ඉන්න අයිතිවාසිකමක් තියෙනවා. අපට විපක්ෂයේ ඉන්න ඉඩ දෙන්න. ඒ අයිතිය ‍නොදෙන්නේ ඇයි? ඊට ඕනෑ තරම් පූර්වාදර්ශ තියෙනවා.

ප්‍ර: ‍මොනවාද අනාගත බලාපොරොත්තු?

සම්ප්‍රදායික දෘෂ්ටියෙන් නෙමෙයි මේ දිහා අප බලන්නේ. ඉන්න ‍ටික කාලයේ රට වෙනුවෙන් අපේ යුතුකම් ඉටු කිරීම තමයි අපේ බලාපොරොත්තුව. එහෙම නැතිව මැති ඇමැතිකම් නෙමෙයි.

සංවාදය: - සම්පත් දිප්පිටිගොඩ

Comments