ත්‍රි’මලේ වෙරළ තීරය පොලිතින් - කුණුකසළ තහනම් කලාපයක්! | සිළුමිණ

ත්‍රි’මලේ වෙරළ තීරය පොලිතින් - කුණුකසළ තහනම් කලාපයක්!

 අපේ ර‍ෙට් ජෛව විවිධත්වයෙන් අග තැනගත් නැ‍ෙඟනහිර පළාතේ ත්‍රිකුණාමලයේ සුන්දර වෙරළ තීරය පොලිතින් හා කුණු ‍කසළවලින් තොර වෙරළ කලාපයක් ලෙස නම් කර ඇත‍. මේ අනුව මේ තීරයේ පොලිතින් කුණු කසළ දැමීම තහනම් ය. එය දඬුවම් ලැබිය හැකි වරදක් බව ත්‍රිකුණාමලය දිසාපතිවරයා ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත.

පසුගිය වසරේ ‘වන රෝපා’ වැඩසටහන ත්‍රිකුණාමලයෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇරැඹීමත් සමඟ ‍මේ කලාපය පොලිතින් තොර, කුණු කසළින් තොර කලාපයක් විය.

පරවි දූපත අභය භූමිය හා කින්නියාවේ උප්පාරු කළපුව, නිලාවැලි සංචාරක පාරාදීසය මහවැලි ගඟ අවට රක්ෂිතය ඇතුළු මේ ප්‍රදේශයේ ඇති පාරිසරික සංවේදී කලාප සුරැකීමත් ත්‍රිකුණාමලයේ වෙරළ පිරිසිදු කර හරිත වන වගා ඇති කිරීමත් මේ වැඩපිළිවෙලේ කටයුතුවල ප්‍රමුඛ දෙය විය.

මේ සියලු කටයුතු මෙහෙයවනු ලබන්නේ මහවැලි හා පරිසර අමාත්‍යාංශයට අයත් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව‍ට අනුබද්ධ සහභාගිත්ව වෙරළ කලාප ප්‍රතිෂ්ඨාපන හා තිරසර කළමනාකරණ ව්‍යාපෘතිය මඟිනි.

ත්‍රිකුණාමලයේ වෙරළ තීරයට වැඩිපුර කුණු කසළ දැමුවේ නිලාවැලි හා පරවි දූපත ආශ්‍රිත වෙ‍රළ තීරය ඔස්සේ ය. සංචාරකයන් දමන පොලිතින් ප්ලාස්ටික් බෝතල් ඒ අතර බහුල විය. ඒ ගැටලුව විසඳීමට නාවික හමුදාව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු සඳහා තිරසාර කළමනාකරණ ව්‍යාපෘතිය මඟින් දැනුම්වත් කරන වැඩසටහන් ක්‍රියාවට නංවන ලදී. ඊට අමතරව පරවි දූපත ආශ්‍රිත බෝට්ටු හිමියන්ට බෝට්ටු ලබාදීම ද ඔවුන්ට වෙරළ හා මුහුද සුරැකීම පිළිබඳ දැනුමක් ලබාදීම ද සිදු කර ඇත.

මේ අතර කින්නියා නගර සභාව මඟින් එකතු කරන කුණු කසළ කින්නියාහි උප්පාරු කළපුවට දැමුවේ ය. මේ අනුව උප්පාරු කළපුව මසක් ඇතුළත දැමුණු කුණුකසළ ප්‍රමාණය ටොන් 125 ක් පමණ විය. නැ‍ඟෙනහිර පළාතේ ඉහළම ජෛව විවිධත්වයෙන් යුත් මේ කඩොලාන කළපුව විනාශවීම පිළිබඳව විද්වතුන් හා ජනමාධ්‍ය අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සහභාගිත්ව වෙරළ කලාප කළමනාකරණ ව්‍යාපෘතිය මෙම ගැටලු විසඳීමට ක්‍රියා කළේ ය. ඒ යටතේ කළපුවට දමන කුණු කසළින් අඩුවියදම් කොම්පෝස්ට් නිපදවීමේ ක්‍රමයක් ක්‍රියාවට නංවීය. ව්‍යාපෘතියේ ත්‍රිකුණාමලයේ වැඩසටහන් සම්බන්ධීකාරක චන්දන සෙනෙවිරත්න මහතා පවසන පරිදි මුලින් ම කළේ කින්නියා නගර සභාව සඳහා කසළ කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමයි. පසුව නගර සභා නිලධාරීන්ට හා කසළ එකතු කරන අයට කසළ කළමනාකරණයේ ආර්ථික සාමාජික හා පාරිසරික ප්‍රයෝජන පිළිබඳව උපදෙස් හා දැනුම ලබාදෙන ලදී. වැඩිපුර කසළ ජනිත වන ප්‍රදේශවල අයට ද එම දැනුම ලබාදුන්නේ ය. මේ අතර ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් දේවාල ආශ්‍රිත ප්‍රදේශවලට පොලිතින් ගෙන යාම ද තහනම් කර ඇත. අවට ඒවා විකිණීම ද තහනම් කර තිබේ.

රුපියල් ලක්ෂ 1000 වැය කළ ව්‍යාපෘතියක් වූ මේ වැඩසටහන යටතේ අදාළ ප්‍රදේශයේ ජනතාවට පහසුවෙන් කොම්පෝස්ට් සෑදීම සඳහා නව දැනුමක් ද ලබා දුන්නේ ය. විශේෂයෙන් කින්නියා නගරයේ වෙළෙඳ සල්වල නිවාසවල කසළ ජනිත වීම අඩුකර ගැනීම ඔවුන්ටම වාසිදායක බව පෙන්වීම‍ට දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාවට නංවන ලදී.

‍ට්‍රැක්ටර් දෙකක් හා කසළ අංගනයක් හා කොම්පෝස්ට් නිෂ්පාදනාගාරයක් කින්නියා නගර සභාවට ලබාදුන් අතර ඔවුන් නිපදවනු ලැබූ කොම්පෝස්ට් පොහොර ටොන් 2000 ක් පමණ ගබඩා කර ඇත. මෙතෙක් කල් කළපුවල තහනම් පන්නවලින් මාළු ඇල්ලූ ජනතාවට විකල්ප රැකියාවක් ලෙස මේ කොම්පෝස්ට් පොහොර නිපදවීම දැන් ජනප්‍රිය වී ඇත. ඊට අමතරව කින්නියා කළපුවේ හා ත්‍රිකුණාමලයේ වෙ‍රළ ආසන්න ප්‍රදේශවල තහනම් පන්න ක්‍රම භාවිතයෙන් මාළු ඇල්ලීම හා කඩොලාන කැපීම සිදු කළ පවුල්වලට විකල්ප රැකියා ලෙස දේශීය රෙදි පිළි නිපදවීම, තල ගසේ කොටස්වලින් අරුමෝසම් භාණ්ඩ සකස් කිරීම හා පාරම්පරික රසවත් ආහාර සාදා විකිණීම වැනි ජීවනඋපාය ක්‍රම හඳුන්වා දෙන ලදී.

වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසන්නේ මේ යටතේ දැනටමත් ප්‍රතිලාභී පවුල් 350 කට පමණ තම ජීවනෝපාය සංවර්ධනයට අත හිත දී ඇති බවයි. මෙහි වැඩි පිරිසක් කාන්තාවන් බව ද ‍ඔහු පවසයි. මේ අයට සිප්පි කටුවලින් විසිතුරු භාණ්ඩ නිපදවීමට හා වෙනත් අත්කම් ශිල්ප ක්‍රම පිළිබඳව මෙන් ම තම නිපැයුම් අලෙවි කර ගැනීම පිළිබඳව ද පුහුණුව හා පහසුකම් ලබාදුන් බව ද චන්ද්‍රකීර්ති මහතා පවසයි.

වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ගාමිණී හේවගේ මහතා පවසන පරිදි මේ පිරිසෙන් තෝරාගත් තවත් පිරිසකට ගව ගාල්, කුකුළු ගොවිපල ඉදිකිරීමට ව්‍යාපෘතිය මඟින් අරමුදල් ලබාදී ඇත.

ඒ අනුව ඉහත ප්‍රතිලාභී පවුල් වල අය වෙරළට කළපුවලට කුණු දැමීම, කඩොලානවලට හානි කිරීම හා ඩයිනමයිට් ගැසීම වැනි තහනම් පන්න ක්‍රම භාවිතා කිරීම නවතා ඇති බවත් ගාමිණී හේවගේ මහතා කියයි. වෙරළ සංරක්ෂණය දූපත් රාජ්‍යයකට අත්‍යවශ්‍ය දෙයකි. දූපතේ වෙරළ ඛාදනය වුවහොත් රටෙන් කොටසක් මහ මුහුදට සේදී යනු ඇත. ඒ අනුව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් සුරැකීමේ දෙපාර්තමේන්තුව දැන් නැ‍ඟෙනහිර පළාතේ ක්‍රියාත්මක කරන මේ නව ව්‍යාපෘතිය කවුරුත් අගය කළ යුතු ය.

Comments