මහා‍ ලෝබයා | සිළුමිණ

මහා‍ ලෝබයා

ඕන්න පිටිසර ගමක මැණික් රාල කියලා වත්පොහොසත්කම් ඇත්තෙක් උන්නා. කොච්චර වත්පොහොසත්කම් තිබුණත් පලක් නෑ. ඕනෑ එපා කමකටවත් ඉන් ප්‍රයෝජන ගන්නෙ නැත්නම්. මැණික් රාලත් එහෙමයි. ලෝබම ලෝබයි. මැණික් රාලට ලොකු පොල් වත්තක් තිබුණා. වත‍්තේ පොල් කඩන දවස ළං වුණා. ඔන්න පොල්ටික කැඩුවට පස්සෙ ගේ ළඟට ම ගොඩගහ ගන්නවා. ඇස් දෙක ලොකු කරගෙන ඒ දිහාම බලාගෙන ඉන්නවා. උදේ හවස පොල් ගෙඩි ගොඩ වටේ දෙතුන් සැරයක් කැරකෙනවා. ගණන් කරන්න උත්සාහ කරනවා. ඔන්න ඔහොමයි. ඒ විතරක් යැ හාමිනේට එක පොල් ගෙඩියක්වත් අල්ලන්න දෙන්නෙත් නෑ. “දවල්ට උයන්න ගෙදර පොල් නෑ ගොඩෙන් ගෙඩියක් ගන්නද?” කියලා හාමිනේ ඇහුවා.

“පොල් ගොඩට නම් අත තියන්න එපා. අදත් ඔන්න ඔහේ මිරිසට මොනවා හරි හදලා ගන්න.” කියලා මැණික් රාල තව සැරයක් ගිහින් පොල් ගොඩ වටේ කැරකෙනවා. ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. හාමිනේගේ මූණ එන්න එන්න ම අඳුරු වුණා. හැමදාම මෙහෙමයි. ගෙදර අඩුපාඩු එමටයි. මුදල් යහමින් තිබුණත් මේ විදිය වෙනස් කරන්නෙ ම නෑ මැණික් රාල. මහ ලෝබයෙක් හාමිනේ හිතුවෙ එහෙමයි. එදාත් පොල් නැතුව කෑම කෑවා. පහුවදා පොල්ටික පටවගෙන යන්න කඩේ මුදලාලි ආවා. ලොරියට සේරම පටවගෙන මුදලාලි කිව්වා. “පොල් විකුණුවහම මුදල් දෙන්නම් කෝ” කියලා. මැණික් රාලගෙ හිත කීරි ගැහුණා. මොනවා කරන්නද? මුදලාලි තරහ කරගෙනත් බෑ. බොහොම හිතේ අමාරුවෙන් ගෙදර ආවා. හාමිනේ කෝ බැලුවා. හාමිනේත් පේන්න හිටියේ නෑ. කුස්සියේ, කාමරේ, ගේ හැම තැන ම හාමිනේ නෑ. හාමිනේගේ රෙදි පෙට්ටිය අවුස්සලා අවුස්සලා බැලුවා. ඇඳුම් ටිකත් නෑ. හාමිනේ ගිහිං. “අන්තිමට පොලුත් නෑ. සල්ලිත් නෑ. හාමිනේත් ගිහිං” කියලා. නිකටට අත තියා ගත්තා. ලෝබකමක් කළ හදියක්.

සම්මානි විජේ­සිංහ

සිතුවම - සිබිල් වෙත්තසිංහ

අදහස්