එක්වන්නට පෙර එකට වෙන්ව ගිය තනුජ හා සකුරා | සිළුමිණ

එක්වන්නට පෙර එකට වෙන්ව ගිය තනුජ හා සකුරා

තනුජ හා සකුරා ආදරයෙන් බැඳුණු දා සිට අනාගතය පිළිබඳ දහසකුත් එකක් සිහින මැවූහ . ඒ සිහින එකින් එක සැබෑ කරගන්නා අතරේ ඔවුන් එක වහලක් යටට සෙවණට යන්නට සිටියේ එළැඹෙන බක් මහේය. තුන් වසරක් තිස්සේ ආදරයෙන් බැඳී සිටි සකුරා හා තනුජ ඉකුත් දා යතුරුපැදියක නැගි මතුගම නගරයට යමින් සිටියේ ගෙවිමේ ක්‍රමයට යතුරුපැදියක් මිලදී ගැනීම සඳහාය. නමුදු ඒ සිහිනය මහමඟදීම මිය ගියේය.

මීගහතැන්න පොලිස් වසමේ මීගහතැන්නේ පස්හවුල් හෙනේ පදිංචි සිටි 21 හැවිරිදි සකුරා මධුවන්ති සේවය කළේ පෞද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලාවකය. උසස් පෙළ දක්වා උගත් ඇය ඉන්පසුව ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයට ගියාය. ඇයට පැලවත්ත මිරිස්වත්තේ පදිංචි තනුජ මධුශංඛ හමුවන්නේ මේ අතරතුරදීය. සකුරාගේ හා තනුජගේ පෙම් කතාව ඇරැඹෙන්නේ ඉන් අනතුරුවය. වසර දෙකක් පමණ ඔවුනගේ ප්‍රේමය කාටත් රහසක්ව පැවැතියේය. නමුදු සකුරාගේ හා තනුජගේ ප්‍රේමයට ඔවුන් දෙදෙනාගේ නිවෙස්වලින් අනුමැතිය ලැබෙන්නේය. ඒ අනුව ඔවුන්ගේ විවාහ මංගල්‍යයට දින යොදාගෙන තිබුණේ අප්‍රේල් මාසයේය. මේ අතර ඉකුත් දිනෙක නිවාඩුවට නිවෙසට පැමිණි තනුජ සුපුරුදු ලෙස තම පෙම්වතිය වූ සකුරා හමුවීම සඳහා ඇගේ නිවෙසට ගියේය. මේ ඔවුන්ගේ අවසන් හමුවීම බව දෙදෙනාම දැන නොසිටින්නට ඇත. මධුවන්තිගේ මව රම්‍යවතී අකාලයේ මරුතුරුලට ගිය තම දියණිය පිළිබඳ මෙසේ පැවසුවාය.

"කවුද දෙවියනේ හිතුවේ මගෙ දරුවට මේ වගේ විපතක් වේවි කියලා. එදා තනුජ පුතා අපේ ගෙදර ආවා. හැමදාම පුතා නිවාඩු ආවාම දුව බලන්න එනවා. එදා දුවගෙ තාත්තත් ගෙදර ඇවිල්ලා හිටියේ. දුව හැම තිස්සේම කිය කියා හිටියේ එයාට මෝටර් සයිකලයක් ගන්න ඕනැ කියලා. දුවගෙ තාත්තා තනුජ පුතාට කිව්වා දුවට ‍ගෙවිමේ ක්‍රමයට මෝටර් සයිකලයක් අරගෙන දෙන්න කියලා. මහත්තයා ක්‍රෙඩිට් කාඩ් එක දුන්නා සල්ලි ගන්න කියලා. තනුජ පුතා කිව්වා එයාගේ යාළුවෙකුගේ කඩයක් මතුගම තියෙනවා කියලා. එතැනින් බයිසික‍ලේ ගන්නවා කියලා තමයි දුව තනුජ පුතා මෝටර් සයිකලේ නංවාගෙන ගියේ. ඒ ගිය ගමනෙදි තමයි මේ දරුවො ගමන් ගත්ත මෝටර් සයිකලය වේගයෙන් පැමිණි වැලි පටවා ගත්ත ටිපර් රථයක වැදිලා තියෙන්නේ. ඒගොල්ලන්ට වුණේ මොකක් ද කියලා ඒ දෙන්නම දන්නේ නැතිව ඇති. තුවාල ලබපු මේ දරුවන් මීගහතැන්න රෝහලට ඇතුළත් කළාට පස්සේ පුතා ඒ රෝහලේදීමයි මිය ගිහින් තිබු‍ණ්. දුව නැතිවුණේ වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කළාට පස්සේයි. මේ දරුවන්ගේ විවාහ උත්සවේ අප්‍රේල් මාසයේ ගන්න තමයි කටයුතු සුදානම් කරලා තිබුණේ. අවුරුදු විසි එකක් වෙනකම් මේ දරුවා ලොකු කරලා අනේ අපිට ඒ දරුවගේ ජීවිතේ දිහා බලලා සතුටු වෙන්න බැරි වුණාණේ. දැන් ඉතින් මුළු ජීවිත කාලේම මේ දුක කොහොම උහුල ගන්න ද?" රම්‍යාවතී මාතාව තම දියණියගේ අකල් වියොව වාවාගත නොහැකිව පවසන්නිය.

විසිහය හැවිරිදි තනුජ මධුශංඛ පෞද්ගලික රූපවාහිනි ආයතනයක සේවය කළේය. ඔහු නිවෙසට පැමිණෙන්නේ සති අන්තයටය. ඒ පැමිණෙන සෑම වරෙකම තම පෙම්වතිය හා ඇගේ පවුලේ අය හමු වීම සඳහා ඇගේ නිවෙසට යන්නේය. ගමේ කොයිකාගේත් හොඳ හිත දිනාගත් තරුණයකු වන තනුජ ගේ අකල් වියෝවෙන් මුළු ගමම කම්පා වන්නේය.

අනාගතය ගැන දහසකුත් එකක් සිහින පොදි බැඳ ප්‍රේමයෙන් බැඳුණු සකුරා හා තනුජ මරුවා සමඟ එකට ගියේ ඔවුන්වත් නොදන්නා ලෙසය.

දිනෙන් දින රටේ රිය අනතුරු වන්නේය. මාධ්‍ය ඒවා දිනපතා වාර්තා කරන්නේය. නමුදු මේ අනතුරු අවම කර ගැනීමට ජනතාව උනන්දු නොවන බව වැටහෙන්නේ මෙවැනි අනතුරු දකින විටය. කෙසේ හෝ වේවා අත්වැරැද්ද කාගේ වුව ද තවත් වටිනා තරුණ ජිවිත දෙකක් රටට මෙන්ම ඒ මවුපියන්ට අහිමි වුයේය. 

අදහස්