නරක හැසිරීම නපුර ගෙනෙනවා | Page 2 | සිළුමිණ

නරක හැසිරීම නපුර ගෙනෙනවා

කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. අද ලෝකයේ බොහෝ රටවල වැරදි කාම සේවනය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී තිබෙනවා. බටහිර ජාතීන් සිතන්නේ තමන් කැමති කෙනකු සමඟ අනාචාරයේ හැසිරීම මනුෂ්‍ය අයිතිවාසිකමක් බවයි. ඔවුන් මෙලොව දී විඳින සුළු වූ කාම සැපය ගැන මුළා වෙලා. එම කර්මයන්ට පරලොව දී ලැබෙන විපාක ගැන සිතන්නේ නැහැ.

• පඤ්චසීලයේ තෙවන සිල් පදය

පඤ්චසීලයේ 'කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි' යන තෙවන සිල් පදය පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හෙවත් මෛථූනයේ හැසිරීම කාමේසු මිච්ඡාචාරය විදිහට පැහැදිලි කරන්න පුළුවන්. එයම කාම මිථ්‍යාචාරය වශයෙන්ද ව්‍යවහාර කරනවා. එනිසා ලෝක සම්මත චාරිත්‍රයට අනුකූලව ආවාහ විවාහවී අඹුසැමියන් වශයෙන් හැසිරීම 'කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි' සිල් පදයේ අදහසයි.

• අටුවාවේ මෙහෙම කියනවා
කාම මිථ්‍යාචාරය සිදුවීමට කරුණු හතරක්‌ පූර්ණය විය යුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම
2. සේවනය කිරීමේ සිත
3. සේවනය කිරීමට උත්සාහය
4. සේවනය ඉවසීම
කාම මිථ්‍යාචාරයේ ස්‌වභාවය පිළිබඳ විවරණයට අනුව සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්‍ෂා කරන ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයන්ට කාම මිථ්‍යාචාර පාපය වෙනවා.

• වරදේ හැසිරෙන්නා වසලයෙක්

අනුන්ගේ අඹුවන් වෙත කැමැත්තෙන් හෝ සැහැසි ලෙස ගොස් කුල සිරිත් බිඳ වරදේ හැසිරෙන්නා වසලයකු වන බවයි ධර්මයේ දැක්වෙන්නේ. තමන් රක්‍ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්‌) හා කාමයෙහි හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිථ්‍යාචාරය පාපය වෙනවා. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක්‌ කාම මිථ්‍යාචාරය පාපය වෙනවා. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වෙනවා.

• බිහිසුණු විපාක ගෙන දෙනවා

වත්මන් සමාජයේ තමාගේ කය වරදෙහි යොදවමින් වැරදි කාම සේවනයේ යෙදෙන ස්ත්‍රීන් මෙන් ම පුරුෂයන් ද බහුල ලෙස දක්නට ලැබෙනවා. සුළු සතුටක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් එහි යෙදුණත් ඒ හේතුවෙන් සිදුවන පාප කර්මයන්ගේ බිහිසුණු විපාකවලට ඔවුන්ට මෙලොව දී හෝ පරලොව දී හෝ සසරේ කවර දිනයක මුහුණ දීමට සිදුවනවා. බණ පො‍තේ කියන්නේ කෙනෙක් වැරදි කාම සේවනයේ යෙදෙනවා ද බහුල වශයෙන් යෙදෙනවා ද එය නිරයේ, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ උපදින්නට හේතුවක් වන බවයි. ඔහු මිනිස් ලොව යම් කලෙක උපදී ද, වැරදි කාම සේවනයේ අවශේෂ විපාක වශයෙන් සතුරන් සහිත වෛරයට පාත්‍රවන බව පෙන්වා දී තිබෙනවා. කාම මිථ්‍යාචාරය අකුසලය සුළු කොට සලකන්න එපා කියා බණ පො‍‍‍තේ සඳහන් වන්නේ ඒකයි.

• කරදර විපත් 4ක්

පර ස්ත්‍රීන් සේවනය කරන ප්‍රමාදී පුද්ගලයා කරදර විපත් හතරකට ගොදුරු වනවා. එනම් පව් රැස් වීම, සිතේ චකිතය නිසා සතුටක් විඳින්නට නොලැබීම, අන් අයගෙන් නින්දාවට පත් වීම හා මරණින් පසු නිරයේ ඉපදීමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ බයේ ගැහි ගැහී කාන්තාවන් සමඟ කාම සේවනයේ යෙදීමෙන් ලැබෙන ආස්වාදය ඉතා ම ස්වල්ප බවයි. එය පවතින නීතියට පටහැනි ක්‍රියාවක් නිසා රජයේ නීතිය ක්‍රියාත්මක කරන අයට අසු වුණොත් බරපතළ දඬුවම් විඳින්නට සිදුවන බවයි. එම නිසා වැරදි කාම සේවනයෙන් වැළකී පර ස්ත්‍රීන් සේවනයේ නොයෙදී තම බිරිඳගෙන් පමණක් සතුටු විය යුතු බවයි. මිනිස් ලොව සිටිය දී එක් කාන්තාවක් තම ස්වාමියා ඉක්මවා වෙනත් පුරුෂයන් ඇසුරු නොකිරීම නම් වූ ගුණධර්මය නිසා දෙව්ලොව ඉපදී මහත් සැපයට පත් වූ ආකාරය විමාන වස්තු පාළියේ පතිව්‍රත්‍රා විමානයේ සඳහන් වනවා.

• ඒඩ්ස්‌වලට හොඳම බෙහෙත

පරදාර සේවනය ඒකාන්තයෙන්ම නින්දිත ළාමක, පහත් හැසිරීමක්. මේ පව්කම කළ අය මෙලොවත් වැනසෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌ කරදර බහුලයි. අද සමාජයේ ලිංගාශ්‍රිත රෝගවලින් බොහෝ දෙනෙක් පීඩා විඳින්නේ පෙර සසරේ තමන් වැරදි කාම සේවනයේ යෙදීමේ විපාක විදිහට බව අප සිහි තබා ගත යුතුයි. මාරාන්තික ඒඩ්ස්‌ වැනි රෝගාබාධයන්ට තිබෙන හොඳම බෙහෙත බුදුරජාණන් වහන්සේ වදාළ මෙම තුන්වැනි ශික්‍ෂා පදය ආරක්‍ෂා කිරීමයි. කෙසේ වුවත් සසරේ සැරිසරන සංසාරගත සත්වයෝ කර්මය දෑවැද්ද කොට ගෙන සිටිනවා. තමා කරන හොඳ හෝ නරක කර්මයන්ගේ විපාක තමන් හට ඒකාන්තයෙන් ම ලැබෙනවා.

තෙරුවන් සරණයි

Comments