වට්ටෝරුව හොඳ වුණත්, තුනපහ මිරිස් හරියට ම දැම්මත් ආදරය කරුණාව නැති ව පිසින ආහාර රහ නෑ

 ‘තිරසර යුගයක් - ජාතික මංගල්ලය‘ මර්තු 31 සිට අප්‍රේල් 4 තෙක් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය් දී පැවත්වේ. ජනාධීපති ලේකම් කාර්යාලය හා රාජ්‍ය ව්‍යසායන් පිළිබඳ උපායමාර්ගික කළමණාකරන ආයතනය (SEMA) එක්ව මේ තිරසර ලංකා ප්‍රදර්ශනය සංවිධානය කෙරේ. ප්‍රදර්ශනය පැවැත්වෙන දින 5ට තේමා පහකි. පාරිභෝගික දිනය, තරුණ හා සංස්කෘතික දිනය, ගොවි දිනය, ළමා හා අධ්‍යාපනය, ව්‍යවසායකත්ව දිනය යනුවෙනි. ප්‍රදර්ශන කුටි 500ට වඩා ඇති මෙම ප්‍රදර්ශනය සඳහා මිලියන 5ට වැඩි පිරිසක් බලාපොරොත්තු වේ. මාර්තු 31 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹේ. වසවිස නැති ගොවිතැන හා ලෙඩ දුක නොදෙන ආහාර පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

විජය කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේ කුවේණිය කපු කටිමින් සිටි බවට මහා වංශය සාක්ෂි දරයි. එයින් පැහැදිලි වනුයේ ඒ ඈත අතීතයේ දී රෙදි පිළි කර්මාන්තය මෙහි තිබූ බවය. රෙදි පිළි කර්මාන්තයක් ලෙස පවතින්නට නම් මෙරට කපු වගාව තිබුණ බවට නිගමනය කළ හැකිය. තවද විජය කුමරුගේ ලංකාගමන සිදු වූ දින ලංකාවේ එවකට සිටි මහාසේනාධිපතිගේ සරණ මංගල්‍යය පැවති බව ද මහාවංශය හෙළි දරව් කරයි. මෙයින් පැහැදිලි නිගමනයකට අපට එළඹිය හැකිය. එනම් ආහාර සංස්කෘතියක් අපට තිබුණු බව හා ඒ සඳහා සුදුසු බෝග මෙරට වගා කෙරුණු බවය. මහා පරාක්‍රමබාහු දවස පෙරදිග ධාන්‍යාගාරය නමින් ශ්‍රී ලංකාව නම් කෙරුණ බවත් විදේශ රටවලට පවා සහල් අපනයනය කළ බවත් ඉතිහාසය සාක්ෂි දරයි. මේ නිසා අපේ රටේ වගා බිම් තිබූ බව ‍ඓතිහාසිකව ඔප්පු වේ.

රජ පෙළපතේ විකාශනයත් සමඟ බොහෝ රජවරු කෘෂිකර්මාන්තය සඳහා යොමු වූ අතර අහසින් වැටෙන එකදු දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට මුදා නොහරින්න යැයි පරාක්‍රමබාහු රජතුමා කීවේය. කෘෂි කර්මාන්තයට අත්‍යවශ්‍ය වාරි කර්මාන්තය දියුණු කිරීම උදෙසා සිංහල රජ පෙළපතට හිමි වනුයේ සුවිශේෂ ස්ථානයකි. මේ අයුරින් නොයෙක් රජවරු කෘෂිකර්මාන්තය උදෙසා වාරි කර්මාන්තය දියුණු කළහ. මේ කිසිදු කාලයකදී වගාවන් සඳහා රසායනික යෙදවුම් හෝ වස විස හෝ යෙදූ බවක් එසේ නැතිනම් පිටරටින් වස විස ගෙන්වූ බවක් පිළිබඳව සඳහන් නොවේ. වස විස නොයොදා ගොවිතැන් කළ හැකි කෙම් ක්‍රම සහ මන්ත්‍ර ක්‍රම පිළිබඳව අපේ ගොවියෝ දැන සිටිහ. එදා අපට රසායනික යෙදවුම් පිළිබඳ ප්‍රශ්නයක් නොවුණි.

රජතුමා විෂයයෙහි විශේෂ සූපවේදියෙක් හෙවත් කෝකියෙක් සිටියේය. සුමිහිරි කෑම සෑදීමේ කටයුත්ත ඔහුට පැවැරුණි. බොහෝවිට ඔහු ආහාර පිසීම සඳහා යොදා ගත්තේ දේශීය අමුද්‍රව්‍යයන්ය. පුද්ගලයකුට හිතාමතා වස දීමක් මිස නිරන්තරයෙන් ආහාර වේලට වස එකතු කිරීමක් අතීතයේ සිදු නොවිණි. මේ නිසා අතීතයේ පාරම්පරික රෝගාබාධ දුලබ විය. බොහෝ කලක් ජීවත් වීමේ අවස්ථාව ජනතාවට උදා විය. ඊට අදාළව කුඹුරුවල ජෛව පද්ධතියක් ක්‍රියාත්මක විය. මේ ජෛව පද්ධතිය අනවශ්‍ය ගහනයන් ඉවත් කර අවශ්‍ය ගහනයට වැඩෙන්නට අවස්ථාව සලසා දිනි. මේ නිසා බොහෝ ක්‍රමවේද මිනිසාගේ හිත සුව පිණිසම වූයේය

‘ආරෝග්‍ය පරමා ලාභා‘

නිරෝගී බව පරම ලාභය බව බුදු දෙසුම ඇසුරෙන් සනාථ වූයේ මේ හෙයිනි. නිරෝගී බව පරම සැපතක් විය. සැපත කිසිදු අවහිරයකින් තොරව අපේ මුතුන්මිත්තෝ විඳගත්හ. ගල් කණු ඔසවා ගොස් වෙහෙර විහාර සෑදූ දස මහ යෝධයන් පිළිබඳ අපට අසන්න ලැබෙන්නේ එහෙයිනි. එදා සිටි ජනතාව මොන තරම් සෞඛ්‍ය සම්පන්නද යන්න දශමහ යෝධයන් පිළීබඳ කතාවලින් කියැවෙයි.

ස්වයංපෝෂිත ආර්ථිකයක් වස විසෙන් තොර ආහාර වේලක් අපට හිමිව තිබුණත් වරින් වර සිදු වූ ආක්‍රමණ හේතුවෙන් මේ සියල්ල ක්‍රමයෙන් වෙනස් විය. සියල්ලේ හැරවුම් ලක්ෂ්‍යය ලකුණු කෙරුණේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසී ආක්‍රමණවලින් පසුවය. ඔවුහු ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කරගැනීමට අපේ පො‍ෙළාව පරිහරණය කළහ. එසේ නැතිනම් ඔවුන්ට අවශ්‍ය බෝග අපේ රටේ වගා කළහ. උදාහරණ ලෙස ඉංග්‍රීසීන් වගා කළ වටිනා ආර්ථික භෝග ලංකාව උදෙසා නොව ඔවුන්ගේ දේශයන් උදෙසාය. මේ තත්ත්වය දිගින් දිගටම පැවැතිණි. ලංකාවට ආවේණික ආහාර බෝග වගා කිරීමට ඔවුහු නොපෙළඹුණහ. මේ නිසා ස්වයංපෝෂිත ආහාර රටාව බඳී ගියේය. පිටරටින් ආහාර ගෙන්වා ගැනීමේ රටාවකට ලංකාව හුරුවීමත් සමඟ දේශීය සහල්වර්ග පවා අපට අහිමි විය. ඒ වෙනුවට විදේශීය සහල් වර්ග අපේ රටට ගෙනාවේය. ගොවියා අලස කරවීමට ආක්‍රමණ හේතු වූයේ එලෙසිනි. කූපන් පොතට හාල් සේරුව ලබාගැනීමේ න්‍යයාට බොහෝදෙනා හුරු වූහ. කෝපි වගාවෙන් පසු තේ වගාවත් රබර් වගාවත් හැර අපේම පොල් ආර්ථික බෝගයක් ලෙස වර්ධනය කිරීමට ඔවුහු උනන්දු වූහ. ඊට අමතරව පාම් ගස් වැවීම මේ කාලයේ සුලබ විය. මේ නිසා පසේ තෙතමනය අපට අහිමි විය. පාම් ගස නිසා අපට හිමි වූයේ නිසරු පො‍ෙළාවක් පමණි.

එහෙත් ඔවුන්ගේ අවශ්‍යතාව නොනැවතිණි. නිසරු පස සරු කිරීමට පොහොර ලංකාවට ගෙන්වීම සිදු විණි. ස්වභාවයෙන්ම අපට හිමි වූ සරු පස අහිතරක වගාවන් නිසා නිසරු කර නැවත පස සරු කිරීමේ ක්‍රියාදාමයට පරගැතියෝ අපේ ඇත්තන් හුරු කර වූහ. පොහොර මාෆියාව ඇරැඹෙන්නේ එතැනිනි. එය සුළු පටු කතාවක් නොවේ. මේ සමඟ අපේ බිමට නොගැළපෙන බීජ නිෂ්පාදනය ගෙන්වීමේ ක්‍රියාවලිය ද ආරම්භ විය. ආවේණික බෝග මේ නිසාම වඳ වී ගියේය. උදාහරණ ලෙස අපේ රටට උරුම වූ දේශීය කෙසෙල් වැනි පලතුරු පවා කෙමෙන් වඳ වී යාමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක විය. මේ වෙනුවට ජාන තාක්ෂණයෙන් විකෘති වූ ආහාර වර්ග අප නොදැනුවත්වම අපේ කැමැත්ත විය. එම ආහාර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සොයාගත නොහැකි ලෙඩ රෝගවල උරුමකරුවෝ බවට පත්වූහ. හීනටි මා වී, වැනි ලාංකික බිමට ආවේණික වී වර්ග වර්ග විනාශ වී ගියේය. එවැනි සහල් වර්ග පරිභෝජනයට පවා අපේ ඇත්තෝ අක­ැමැති වූහ. අපේ නොවූ අපේ උරුමයක් භුක්ති විඳීමේ ඛේදාන්තය ඇරැඹිණි. මෙය එක් පරම්පරාවකින් අනිත් පරම්පරාවට ගලා ගියේ නිරායාසයෙනි.

කුරක්කන් රොටි, හීනැටි සහල් බත්, මඩතවාළු බත් කෑමට හුරු වූ ජනතාවට හැන්බේකන්, පුඩින් නැතුව බැරි විය. අපේ මානසික විප්ලවය ආරම්භ වූයේ විවෘත ආර්ථිකය විසින් ලබා දුන් පිටි බලයද පදනම් කරගමිනි. රූප පෙට්ටිය මඟින් මවන අලෙවිකරණයට බාල භාණ්ඩවලට මහජන සිත නතු විය. ස්වයංපෝෂිත ආහාර රටාව මුළුමනින්ම වෙනස් විය. මේ නිසා ලෙඩ රෝගවලට අවශ්‍ය බෙහෙත්හෙත් ද පිටරටින් ආනයන කළේය. ඊට ද අමතර මුදලක් රටින් පිටට ගලාගෙන ගියේය. ලෙඩට කොත්තමල්ලි ටිකක් බිවුව අපේ ඇත්තන්ට චැනලින් නැතුවම බැරි විය. ගත දුර්වලතාවලට සිතේ නොසතුට ද බලපෑවේය. වැරදි ආහාර රටාවකට නතු වීම නිසා නොදැනීම සිතේ සතුට නැති විණි. ඒ විදියට ආහාර රටාවේ අක්‍රමවත් බව හා එහි අනිසි ප්‍රතිඵල ශරීරයට පමණක් නොව බාහිර සමාජයට ද බලපෑවේය.

එදා දරුවෝ මවුපිය ආභාෂයෙන් ඉවුම් පිහුම් උගත්හ. පරම්පරාවෙන් උරුම වූ කෑම වට්ටෝරු මෙන්ම එක් එක් පළාත අනුව විශේෂිත වූ ආහාර විධි ද අපට තිබිණි. එහෙත් මේ කිසිවක් ඉදිරියට ගෙන ඒමට අපේ දරුවන්ට අවශ්‍ය නොවීය. හැම දේම ක්ෂණික විය. රසකාරක යෙදූ පාට පාට ආහාරවලට පමණක් මනස ඇදිණි. කුඩා කල දරුවන්ට පාසලෙන් ඉගෙන ගන්න තිබූ ගෘහ විද්‍යාව පවා නවීකරණය වීම ඛේදනීයයි.

හොද්දට ලුණු ඇඹුල් දමන පදම ඉගෙනගනින් දුවේ කිවුවත් එය ඉගෙන නොගැනීම විලාසිතාවක් විය. මේ ඛේදවාචකය අපට උරුම වූයේ අපේම වරදිනි.

අවුරුදු සමය ළංවන විට බොහෝ ගෙවල්වල එකමුතු වී ආහාර පිසීමේ චාරිත්‍රයක් තිබිණි. මෙහිදී අපේ තරුණ තරුණියෝ තමන්ගේ උරුමය වැඩිහිටියන්ගෙන් ඉගෙන ගත්හ. එහෙත් මේ සියල්ල අද අපේ පවුල්වලින් ගිලිහී ගොස්ය. ඔවුහු චාරිත්‍ර වාරිත්‍ර සැමරීමට කෑම බීම රැගෙන යනුයේ වෙළෙඳ පොළෙනි. එපමණක් නොව රසකාරක යෙදූ පාට පාට ආහාර වර්ග අපේ දරුවන්ට හුරු කරන්නේ දෙමවුපියන්මයි. බොහෝදෙනා තමන්ගේ ලේසියට පහසුවට මේ දේවල් කරති. ලෙඩ රෝග කැඳවන බව දැන දැනම මින් ඈත් නොවන්නේ කුමන හෙයින් ද යන්න අද මටත් ගැටලුවක්. දැන් මගේ සූප ශාස්ත්‍ර දිවියට අවුරුදු හැට එකක්. ඇත්තටම මේවා ගැන මට තියෙන්නේ දරාගන්න බැරි වේදනාවක්. මේ නිසාම මම සූප වංශය කියලා ග්‍රන්ථයක් රචනා කළේ ජනතාවගේ හිත සුව පිණිසයි. ඇත්තටම අපේ උරුමයට ගත හැකි ආහාර වර්ග කීයක් ලංකාවේ තිබෙනවා ද කියලා ඔබ නොදැනීම කනගාටුවට කරුණක්.

එමෙන්ම එදා මිනිස්සු ළඟ තිබුණ කරුණා මෛත්‍රිය අද මිනිසුන් ළඟ නැති වීම කනගාටුවට කරුණක්. දූෂිත වූ පරිසය මෙන්ම අද සමාජයේ වැඩි දෙනකුට තියෙන්නෙ දූෂිත වූ සිත්. දූෂිත සිතකින්, ආදරය නැති සිතකින්, මෛත්‍රිය නැති සිතකින්, සාදන ආහාර කෙතරම් හොඳින් කුළුබඩු දැමූවත් රසවත් වෙන්නේ නැහැ. පැරැණි කාන්තාව මුළුතැන් ගෙට ගියේ ශ්‍රද්්ධා භක්තියෙන් යුතුවයි. ඒ ශ්‍රද්්ධාව කෑම රස කරන ප්‍රධාන අංගයක්. එහෙත් වත්මන් තරගයට මැදි වූ කාන්තාවට එලෙස විය නොහැකිය. සැම දේට සිත මූලික කරගන්නවා සේම ආහාර පිසීමේදි ද සිත මූලික වීම සාමාන්‍ය ස්වභාවයකි. මේ නිසා පහන් සිත සහ සංයමය ප්‍රණිත ආහාර වේලකට හේතු වන බව මතක තබාගත යුතු කරුණකි. කොතරම් හොඳ කෑම වට්ටෝරුවක් වුවත් ආදරය කරුණාව නැති නම් රසවත් නොවේ.

(සාකච්ඡාවක් ඇසුරෙනි)
රූපාන්ති බුලත්සිංහල
සේයාරූ- තුෂාර ප්‍රනාන්දු

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.