ලෝක විනාශයෙන් බේරෙන්නට ගමන් කරන බංකරයක් | Page 2 | සිළුමිණ

ලෝක විනාශයෙන් බේරෙන්නට ගමන් කරන බංකරයක්

ලෝකයේ මෝටර් රථ නිෂ්පාදනය ඉතාමත් දියුණුවට පත්වෙලා තිබෙනවා. සාමාන්‍ය ගමනාගමනයෙන් ඔබ්බට ගොස් විවිධ සැප පහසුකම් හා අංගෝපාංග එක්කරමින් මෝටර් රථ නිෂ්පාදනය කිරීම මෙහි ප්‍රතිඵලයවී තිබෙනවා. මෙවැනි විශේෂ වාහන ලැයිස්තුවට අලුතින්ම එක් වන මෝටර් රථය ගමන් කළ හැකි බංකරය ලෙස හැඳින්වූවාත් වරදක් නෑ. ඒ මන්දයත් හදිසියේ හෝ ලෝක විනාශයක් වැනි උපද්‍රවයක් සිදුවූවිට එයට සාර්ථකව මුහුණ දීමට හැකියාව තිබෙන ලෙසින් මෙම මෝටර් රථය නිපදවා තිබීමයි.

බටහිර චිත්‍රපට හා ටෙලි නාට්‍ය හරහා සෑම විටම කුමන හෝ ආකාරයකින් ලෝකය විනාශ වීම, පිටසක්වල ජිවීන් විසින් පහරදීම, සොම්බී ආක්‍රමණ හා න්‍යෂ්ටික යුද්ධ වැනි දේ පෙන්වන නිසා හෝ සැබැවින්ම ලෝක විනාශයක් ඒවි යැයි බියෙන් පසු වන පුද්ගලයන් විසින් එම උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීමට භූගත බංකර වැනි ආරක්ෂිත ස්ථානයන් සකස් කරන අයුරු විටින් විට ලෝකයේ නන් දෙසින් අසන්නට ලැබෙනවා.

ඔබටත් එවැනි බියක් තිබෙනවා නම් ඔබ අනිවාර්යයෙන් මිලදී ගතයුතු මෝටර් රථයක් එනම් රෝද තිබෙන බංකරයක් ගැන තමයි අද මෙම පිටුවෙන් ඔබවෙත තොරතුරු රැගෙන එන්නේ. ‘ෂූජා’ එනම් අප්‍රිකානු ස්වාහිලි බසින් වීරයා යන නාමය සහිත මෙම යෝධ වාහනය ජර්මනියේ MAN ආයතනය විසින් නිෂ්පාදනය කරන රථ අතුරෙන් එකකි. අති විශාල ලීටර 400 ක අශ්ව බල 530 ක ඩීසල් එන්ජිමකින් බල ගැන්වී තිබෙන මෙම සුපිරි වීරයාටරෝද 6ක් ලබා දී තිබෙන්නේ ඕනෑම අසීරු මතුපිටක් සාර්ථක ලෙස තරණය කිරීමටයි.

සාමාන්‍ය පුද්ගලයකුගේ උපරිම දෛනික ජල පරිභෝජනය (බීමට සහ සනීපාරක්ෂාවට) ලීටර 20ක් වන අතර මෙම රථය සතුව ලීටර 1000 ක විශාල ජල ටැංකියක් සවිකර තිබෙන්නේ ඕනෑම පුද්ගලයකුට දින 50 ක් පහසුවෙන්ම ජලය පරිභෝජනයට ගත හැකි අයුරිනි. ඊට අමතරව වොට් 240ක සූර්යකෝෂ පැනල මෙහි වහලයට සවි කර තිබේ. මේ නිසා ඉන්ධන නොමැතිව වූවත් මෙම රථය තුළ තිබෙන සියලු උපකරණ පණගන්වා තබාගත හැකිවීම ඉතාමත් සුවිශේෂී පහසුකමකි. මෙම රථය තුළ ආහාර පිසීම සඳහා වෙන්කර තිබෙන ඉඩෙහි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි උඳුනක්, ක්ෂූද්‍ර තරංග උඳුනක් (Microwave), ශීතකරණයක් වැනි සුපිරි පහසුකම් ලබාදී

තිබෙන්නේ ඕනෑම ආහාරයක් සැණෙකින් සාදා ගැනීමටයි. ශ්‍රීලංකාව වැනි අධික රස්නයක් සහිත රටවල් වලට වඩාත්ම යෝග්‍ය වන පහසුකමකුත් මෙහි පවතිනවා. ඒ තමයි වොට් 2400 ක වායු සමීකරණ යන්ත්‍ර දෙක. මෙම වායු සමීකරණ යන්ත්‍ර දෙක නිසා කාන්තරයක පවා සැප පහසු ලෙසින් ගමන් කිරීමට හැකියාව තිබෙනවා.

සියල්ලටම වඩා සිත්ගන්නා පහසුකම වන්නේ මෙහි තිබෙන සැටලයිට් රූපවාහිනී පද්ධතියයි. මේ නිසා ලෝකයේ කොහේ සිටියත් රිසිසේ විනෝදයෙන් සිටීමට අවස්ථාව ලබා දෙනවා. මීටර 10 ක් දිග, මීටර 3.8 ක් උස හා මීටර 2.5 ක් පළල ටොන් 8 ක බරින් යුතු මෙම විශාල රථයෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 765000 ක් වනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 11ක් පමණ .

මෙම රථය සැබැවින්ම සාදා තිබෙන්නේ ලෝක විනාශයකදී භාවිතා කිරීමට නොවෙයි. විශාල ලෙස සංචාරයට ප්‍රිය කරන පවුල් සඳහා මෙම වාහනය යෝග්‍ය බවයි මෙහි නිෂ්පාදකයින් පවසන්නේ. වැඩිහිටියන්දෙදෙනකුට හා කුඩා ළමයින් දෙදෙනකුට නිදා ගැනීම සඳහා පහසුවෙන්ම මෙහි ඉඩ තිබෙන අතර නාන කාමරයක් හා සාලයක් වැනිකොටසක්ද පවතිනවා.

ජර්මානු ජාතික යුවළක් වන මියුනිච් නගරය ආසන්නයේ ජීවත්වන කැරින් හා ඔලිවර් ගෝර්නි (Gorny යුවළ) මෙම රථයක නැගී ලොව වටා සංචාරය කිරීමට සූදානමකින් පසුවනවා. අප්‍රිකාව, යුරෝපය, ආසියාව, දකුණු ඇමෙරිකාව හා උතුරු ඇමෙරිකාව ආවරණය වන ලෙසින් දැවැන්ත ලෝක සංචාරය වසර 5 ත් 7 ත් අතර කාලයකින් නිම කිරීමට මොවුන්ගේ බලාපොරොත්තුවයි. ගියර් 12 කින් හා ඩිෆරන්සල් 5 කින් සමන්විත මෙම විශාලරථය හැසිරවීම සඳහා වෙනම පුහුණුවක් ඔලිවර් විසින් ලබාගෙන තිබෙන්නේ ලොවවටා සංචාරයේදී පැමිණෙන ඕනෑම බාධකයක් ජය ගැනීමේ අභිප්‍රාය ඇතුවයි. ඇත්තෙන්ම දීර්ඝ සංචාර සඳහා යෝග්‍ය මෙම රථය නොබෝ දිනකින් ලොව පුරා ජනප්‍රිය වේවි. 

Comments