පැරිස් - නීස් පාපැදි සවාරිය - 2017 සර්ජියෝට ජය | සිළුමිණ

පැරිස් - නීස් පාපැදි සවාරිය - 2017 සර්ජියෝට ජය

ප්‍රශාන්ත ඇල්පිටිය

ප්‍රංශයේ නගර දෙකක් අතර පැවැති පැරිස් - නීස් පාපැදි සවාරියේ මෙවර සමස්ත ශූරයා වීමට කොලොම්බියාවේ සර්ජියෝ හෙනාවෝ සමත් විය. තරගය නිමා කිරීමට ඔහු ගත කළ සම්පූර්ණ කාලය පැය 29 විනාඩි 50 තත්පර 29 කි. ඔහුට වඩා තත්පර දෙකක් පිටුපසින් සිට තරගය නිමා කළ ස්පාඤ්ඤයේ ඇල්බර්ටෝ කොන්ටාඩෝර්ට මෙවර දෙවන තැන හිමි විය. හෙනාවෝට වඩා තත්පර 30 ක් පිටුපසින් තරගය නිමා කළ අයර්ලන්තයේ ඩෑන් මාටින් තෙවැනියා වූයේය.

වාර්ෂික මෙම පැරිස් - නීස් සවාරිය මෙවර පැවැත්වූයේ 75 වැනි වතාවටයි. මෙවර ඊට අයත් වූ මුළු අදියර ගණන 08 කි. එහි මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 1233.5 කි.

කොලොම්බියාව මෙම සවාරිය ජය ගත්තේ දෙවැනි වතාවටයි. මීට පෙර 2014 වසරේදී එරට නියෝජනය කරමින් කාර්ලොස් බෙටන්කර් මෙම සවාරිය ජය ගෙන තිබුණි.

29 හැවිරිදි හෙනාවෝ නියෝජනය කළේ බ්‍රිතාන්‍යයේ ටිම් ස්කයි කණ්ඩායමයි. මේ කණ්ඩායම ගත වූ හය වසරක කාලය තුළදී මෙම සවාරිය ජය ගත් පස්වැනි වතාව මෙය වීම විශේෂත්වයකි.

හෙනාවෝ මෙවැනි පාපැදි සවාරියක් ජය ගත්තේ ප්‍රථම වතාවටයි.

මෙවර දෙවැනියා වූ 34 හැවිරිදි කොන්ටාඩෝර් මීට පෙර මෙම සවාරිය 2007 සහ 10 වසරවලදී ජය ගෙන තිබේ. ලොව ප්‍රධානතම පාපැදි සවාරි ත්‍රිත්වයන්ම (ප්‍රංශ, ඉතාලි, ස්පාඤ්ඤ) ජය ගත් ශූරයන් කිහිපදෙනාටත් ඔහු අයත්ය. හෙතෙම මෙවර නියෝජනය කළේ අමෙරිකාවේ ට්‍රෙක් - සිගාෆ්‍රෙඩෝ කණ්ඩායමයි.

බෙල්ජියමේ කුවික් - ස්ටෙප් ෆ්ලෝර්ස් කණ්ඩායම වෙනුවෙන් මාටින් තරග කළේය. ඔහු 30 හැවිරිදිය.

මෙම සවාරියේදී ඔහු හිමිකර ගත් ඉහළම ස්ථානය මෙවර විය. එංගලන්තයේ උපත ලැබූ මාටින් 2006 වසරේ සිට අයර්ලන්තය නියෝජනය කරයි.

 

 

 

Comments