මුල්ම බෝට්ටු ඕඩරේ සෝමාලියාවෙන්

නීල් ෆර්නැන්ඩු සභාපති - නීල් මරින් (Neil Marine)

සභාපති කියලා ඇඟට අරන් කාමරයක් ඇතුළෙ ම ඉන්න කෙනෙක් නෙවෙයි මම. අපි ළඟට එන සේවකයො මට පේන්නෙ, පස් අස්සෙ තියෙන මැණික් වගෙයි. ඔවුන්ගෙ හැකියාවන් මතු කරගන්නත් එයින් වැඩ ගන්නත් මම දක්ෂයි.

උඩ සිට පහළට වගකීම් පවරලා, උඩින් ඉන්න අයගෙන් විතරක් තොරතුරු විමසන එක හෝ ඒ මත තීන්දු තීරණ ගන්න එක මගේ විදිය නෙවෙයි.

ඔහු මෙරට ධීවර කර්මාන්තයේ පහන් ටැඹකි. මීට අඩසිය වසකට එපිට තෙප්පමත් දැල් ආම්පන්න ටිකකුත් රැගෙන මූදු ගිය අපේ ධීවර ජනතාව ෆයිබර් ග්ලාස් බෝට්ටුවක නැවුම් අත්දැකීම ලබන්නේ ඔහුගෙනි. ඒ මඟ යමින් ෆයිබර් ග්ලාස් ධීවර බෝට්ටු කර්මාන්තයක් අද මෙරට බිහිව තිබීම පිළිබඳ වැඩිපුර ම සතුටු වන්නේ ද ඔහුය.

ඉංජිනේරුවෙක් නොවූ අති විශිෂ්ට ඉංජිනේරුවෙක් වන නීල් ෆර්නැන්ඩු, නීල් මරීන් හැදූ කතාව අපට වැදගත් වන්නේ ද එහෙයිනි. මේ ඔහුගේ කතාවයි.

නීල් මරීන්... ලංකාවෙ කොහොම තැනක තිබෙන ව්‍යාපාරයක් ද...

ලංකාවෙ විතරක් නෙවෙයි, නීල් මරීන් සමාගමට ආසියාවෙත් තැනක් තිබෙනවා. හරියටම කිව්වොත් අග්නිදිග ආසියාවේ තිබෙන ලොකු ම බෝට් යාඩ් එක. අපි නිෂ්පාදනය කරන බෝට්ටුවලින් සියයට හැටක් ම යන්නෙ පිටරටට. සෝමාලියාව, නෙදර්ලන්තය, එංගලන්තය, සී. ෂෙල්ස් දූපත්, ටැන්සාෆියාව සහ තවත් රටවල් ගණනාවකට.

මේ වෙනකොට මොන තරම් බෝට්ටු ප්‍රමාණයක් හදා තිබෙනවද...

දැන් මට වයස 80 යි. අවුරුදු 52ක් තිස්සෙ මම බෝට්ටු හදනවා. එහෙම බලද්දි 35,000 කට වැඩි මිසක් අඩු නැහැ. අපිට පුළුවන් ඕනම රටකට තරගයක් දෙන්න පුළුවන් විදියෙ අධි සුඛෝපභෝගි බෝට්ටු නිර්මාණය කරන්න.

නීල් මරීන් සමාගමට අයත් තවත් ව්‍යාපාර තිබෙනවද...

නීල් මරීන් කියන්නෙ, Penthhouse Group කියන අපේ සමූහ ව්‍යාපාරයේ එක් සමාගමක් විතරයි. බෝට්ටු හදන සහ පිටරට යවන ව්‍යාපාර හැරුණුකොට, ෂෙල් එන්ජින් ඔයිල් බෙදාහරින, ඉදිකිරීම්, ෆයිබර් ෆර්නිචර් සහ ඉංජිනේරු සමාගම්, කොළඹ සිටි හෝටලය ඇතුළු ව්‍යාපාර දොළහක්, පෙන්ත්හවුස් සමූහයට අයිතියි.

ඔබ මේ රටට මොන තරම් රැකියා ප්‍රමාණයක් හදලා තිබෙනවද...

අවුරුදු 52ක් තිස්සෙ මං ශිල්ප දීපු සහ මේ ආයතනයට ඇවිත් ගියපු අය අපමණයි, අද වෙන‍කොට මීගමුව, හලාවත සහ බේරුවල යාඩ්වල වැඩකරන පිරිස දාහකට වැඩියි.

එතකොට, මේ රටේ ආර්ථිකයට සපයන දායකත්වය...

අපි අන්තිමට කළ ප්‍රොජෙක්ට් එකේ වටිනාකම ඩොලර් මිලියනයක් පමණ. අපි ඒක මාස හතරකින් නිම කළා. ඩුබායි රටේ ‘ෆ්ලෝටේෂන් රූටින්’ සම්බන්ධ ව්‍යාපෘතියක්. එහෙම බලද්දි අපි මේ රටට සෑම වසරකම විදෙස් විනිමය ඩොලර් මිලියන ගණනින් ගේන දේශීය සමාගමක්.

ඔබ වෘත්තීය ඉංජිනේරුවෙක් ද...

මම ප්‍රායෝගික මනුෂ්‍යයෙක්. මගේ ඉංජිනේරු දැනුම විශ්ව විද්‍යාලයකින් ලැබුණු එකක් නෙවෙයි. ලිස්ටර් සහ වෝකර්ස් ..... ඉංජිනේරු සමාගම්වලින් සුද්දො යටතේ ප්‍රායෝගිකව ලබපු දැනුමක්. ඒ වගේ ම වෝකර්ස් සමාගමේ වැඩ කරද්දි, එංගලන්තෙ අති විශිෂ්ට හා දැවැන්ත ත්‍රෝනි ක්‍රාෆ්ට් සමාගමෙන් අවුරුදු දෙකක විශිෂ්ට ප්‍රායෝගික දැනුමක් ලබා ගත්තා. ඒ වගේ ම, යම් පමණක නාවික ඉංජිනේරු දැනුමක් මා සතුයි. ‘නේවල් ආකිටෙක්ට්’ කියන නැව් සහ බෝට්ටු ඩිසයින් කිරීම ඉගෙන ගත්තෙ ජාත්‍යන්තර මට්ටමේ ආයතනවලින්. අද මං පිටරට විශ්වවිද්‍යාලවලටත් මගේ දැනුම දෙනවා.

මොකක්ද ඔබේ Management Style එක...

වයස 80ක් වුණාට, බෝට් යාඩ් එකේදි හිතුණොත් මාත් බැහැලා වැඩකරනවා. මගේ වාහනේ බොහෝ වෙලාවට එළවන්නෙ මමමයි. ඕනෑම සේවකයකුට මාව මුණ ග‍ැහෙන්න පුළුවන්. සභාපති කියලා ඇඟට අරන් කාමරයක් ඇතුළෙ ම ඉන්න කෙනෙක් නෙවෙයි මම. අපි ළඟට එන සේවකයො මට පේන්නෙ, පස් අස්සෙ තියෙන මැණික් වගෙයි. ඔවුන්ගෙ හැකියාවන් මතු කරගන්නත් එයින් වැඩ ගන්නත් මම දක්ෂයි. ඒ හින්දා උඩ සිට පහළට වගකීම් පවරලා, උඩින් ඉන්න අයගෙන් විතරක් තොරතුරු විමසන එක හෝ ඒ මත තීන්දු තීරණ ගන්න එක මගේ විදිය නෙවෙයි.

එහෙනම් මොකක්ද ඔබේ විදිය...

මං ඉංජිනේරුවන්ට නිතර ම කියන්නෙ, වැඩකරන අය එක්ක සාකච්ඡා කරන්න. සමහර ඉංජිනේරු මහත්තුරු ඒකට කැමති නැහැ. වර්කර්ස්ලට උපදෙස් විතරක් දීලා වැඩේ කරගන්න ක්‍රමයට මං ඒ තරම් කැමැති නැහැ. මොකද ඔවුන්ටත් දැනුම දිය යුතුයි. ඔවුන්ගේ දැනුමත් අප ගත යුතුයි. හැම අලුත් ප්‍රොජෙක්ට් එකකදී ම ඉංජිනේරු මහත්තුරු වගේ ම, මං බෝඩ් රූම් එකට වර්කර්ස්ලත් ගේනවනවා. මේ දෙගොල්ල ම එක ළඟ වාඩි කරවලා අදහස් විමසනවා. ඉංජිනේරු දැනුමට දෙවැනි නොවන සාර්ථක අදහස් වර්කර්ස්ලා ළඟත් තිබෙනවා. ඒවා තව කාගෙවත් අදහසක් නොවී ඍජුව ම මට ඉදිරිපත් කරන්න ලැබෙන මේ අවස්ථාව ඔවුන්ට විශාල ධෛර්යයක්. ඒ ක්‍රමයෙන් සාර්ථක නිෂ්පාදනයක් එළියට ගේන්න අපි හැමෝටම පුළුවන් වෙනවා. මේක තමයි ජපානෙ ක්‍රියාත්මක අති සාර්ථක ක්‍රමවේදය.

මේ ආයතනයට ඔබ කළ හොඳම‍ වෙනස්කම කුමක්ද...

77 විවෘත ආර්ථිකයත් සමඟ අපිට අමුද්‍රව්‍ය ගෙන්වීමේ බාධක නැතිවෙලා යනවා. ව්‍යාපාර පුළුල් කරන්න පුළුවන් වෙනවා. එතකොට තමයි මං ‍හොලන්ඩ් සහ එංගලන්තෙ දැවැන්ත නිෂ්පාදන සමාගම් එක්ක එකතු වෙලා ඒ රටවල තාක්ෂණයත් අරන් බෝට්ටු නිෂ්පාදනය හැම පැත්තෙන් ම දියුණු කළේ. මේ ජාත්‍යන්තර සහයෝගිතාව ලබා ගැනීම සහ අප්‍රිකාව, සෝමාලියාව ඇතුළු රටවල් ගණනාවකට බෝට්ටු අපනයනය ආරම්භ කිරීම තමයි, මං කළ ලොකුම වෙනස. අප්‍රිකාවට ගිහින් පළමු බෝට්ටු ඕඩරය මං හොයා ගත්තෙ සෝමාලියාවෙන්. ඒක බෝට්ටු 500ක ඕඩරයක්.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

හැරිසන් ලිස්ටර් ඉංජිනියරින් සමාගමේ ආධුනික පුහුණුකරුවෙක්. දවසෙ පඩිය රුපියල් දෙකයි පණහයි. කොම්පඤ්ඤ වීදියේ තිබුණු සුද්දන්ගෙ කොම්පැනියක්. එතැන හැදුවෙ වාරි මාර්ග කටයුතුවලට අවශ්‍ය ෆයිබර් ඩිංගි බෝට්ටු. බෝට්ටු ගැන හසරක් නොදැන ගිය මං, ෆයිබර් බෝට්ටු නිෂ්පාදනය ඉගෙන ගත්තෙ එතැනින්. අවුරුදු තුනකට පස්සෙ වෝකර්ස් සන්ස් සමාගමට ගියා. එතැන වැඩිපුර කළේ නාවික ඉංජිනේරු වැඩ. මං අත්හදාබැලීමක් විදියට ෆයිබර් ග්ලාස් බෝට්ටු නිෂ්පාදනය පටන් ගත්තා. ඒ, ෆාදර් ජෝ ප්‍රනාන්දුගේ ඉල්ලීමකට.

එතැනද ධීවර බෝට්ටු නිෂ්පාදනයේ ඇරැඹුම...

ඔව්. ඒ දවස්වල ධීවරයො මූදු ගියේ තෙප්පම්වලින්. මීගමුවෙ සී ස්ට්‍රීට් පල්ලියෙ ස්වාමි මට කිව්වා, ‘නීල්, මේ තෙප්පම වගේ පොඩි බෝට්ටුවක් හැදුවොත් ඔයා මැරෙන තෙක් ම බෝට්ටු හදයි කියලා. ඒ කතාව හරියට මගේ හිතට වැදුණා. කොම්පැනිය එච්චර සතුටු වුණේ නැහැ මං ඒ වගේ පොඩි බෝට්ටුවක් හදනවට. ඒ වුණත් මං බෝට්ටුවක් ඩිසයින් කරලා ධීවරයන්ට ම දුන්නා පාවිච්චි කරන්න.

ඉතින්, ලැබුණු ප්‍රතිචාරය මොකක්ද...

ඒ ‍බෝට්ටුවෙන් තෙප්පමට වඩා හුඟක් දුර යන්න පුළුවන් වුණා. පෙරළුණේ නැහැ. ගිලුණෙත් නැහැ. වෙනදට වඩා දැල් ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන් නිසා හොඳ මාළු අස්වැන්නක් ලැබුණා. ඒ අස්වැන්න කොයිතරම් බර වුණත් පටවන්නත් පුළුවන් වුණා. ඉතින් ඒ පළමු සතිය ඇතුළත ඔවුන්ගෙ ආර්ථිකයෙ ලොකු වෙනසක් වෙලා තිබුණා. ඔවුන් මගෙන් බෝට්ටු ඉල්ලන්න ගත්තා. අවුරුද්දක් යනකොට මට තිබුණා බෝට්ටු පන්සියයක් විතර හදන්න. නමුත් එක්කෙනෙකුට බෝට්ටුවක් ගන්න අවුරුද්දක් විතර ම බලා ඉන්න වුණා.

ඇයි ඒ...

1960 ගණන්වල ධීවර කර්මාන්තය නඟා සිටුවන්න රජයෙන් එන්ජින් ලබා දුන්නා. නමුත් බෝට්ටු හදන අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්නුවෙ ඉතාම සීමාසහිතව. ලයිසන් එකට විතරයි අපිට බඩු දුන්නෙත්. ඒකත් බොහොම පොඩි ප්‍රමාණයක්. ඉතින් අමුද්‍රව්‍ය ලැබෙන හැටියට තමයි බෝට්ටු හැදුණේ. ඒ වුණාට ඒ අවුරුදු දහය තුළ මං විශාල බෝට්ටු ප්‍රමාණයක් ඔවුන්ට හදලා දුන්නා.

එතකොට ‘නීල් මරීන්’ සමාගම හැදුණෙ කොහොමද...

වෝකර්ස් සන්ස් සමාගම දේශීය ව්‍යාපාරිකයන්ට විකිණුවා. මං එතැනින් අයින්වුණා. මගේ ම දෙයක් කරන්න හිතුවා. ඒත් මට ප්‍රාග්ධනයක් නැහැ. ඒ වෙලාවෙ තිබුණු හැම බැංකුවකට ම ගියා. ඇපකාරයො නැතිව ණය ප්‍රතික්ෂේප වුණා. අන්තිමේ ප්‍රධාන රාජ්‍ය බැංකුව විතරයි මට උදව් කළේ. බොරලස්ගමුවෙ මට පොඩි ඉඩමක් තිබුණා. ඒ ඉඩමෙ යාඩ් එක හදලා රුපියල් ලක්ෂයක බැංකු ණයෙන් 1969 මං පොඩියට මගේ බිස්නස් එක පටන් ගත්තා.

සේවකයන් හා ඔබට තිබෙන්නෙ බැඳීමක් ද... ගනුදෙනුවක් ද...

ආරම්භයේ පටන් මාත් එක්ක වැඩකරපු කිහිපදෙනෙක් අදත් මේ ආයතනයේ ඉන්නවා. කොයිතරම් වයස වුණත් මං ඒ අයව විශ්‍රාම යවන්නෑ. පුළුවන් තාක් වැඩ කරපුවාවේ. ඒ වගේ ම, සමහර පරණ සේවකයන්ව මං සමාගමේ කොටස්කාරයො කරලා තිබෙනවා. අලුත් කොම්පැනි හදලා ඒ අයට කරගෙන යන්න බාර දීලා තියෙනවා. මේවා ගනුදෙනුවකින් ඔබ්බට ගිය බැඳීම්.

එතකොට ඔබ සේවකයන් පිළිබඳ හිතන විදිය...

ඒ අය මා ළඟට ආවට වඩා, දැනුමෙන් සහ ආර්ථිකයෙන් ශක්තිමත් විය යුතුයි. අපේ ළඟ වැඩ කරන අයට ඩුබායි රටේ ලොකු ඉල්ලුමක් තිබෙනවා. අපි ඔවුන්ව රට ඇරලා වගේ ම විදෙස් ඉංජිනේරුවො මෙහාට ගෙනැත් හොඳ ම පුහුණුවක් දීලා තියෙනවා. එහෙම කෙනකුට ලොකු පඩියකට ඩුබායි යන්න පුළුවන්. මට පාඩුවක් වුණත් මං යන්න දෙනවා. මොකද අපි ගෙවනවට වඩා ලොකු ගාණක් ඔවුන්ට හම්බ කරගත්තෑකි. අවුරුදු පහ හයක් එහෙ වැඩ කරලා මෙහෙ ආවම මං ආපහු ඒ අයට මෙහෙ රස්සාව දෙනවා. ඒ විතරක් නෙවෙයි, මුල් කාලෙ මට ඕඩර්ස් ගෙනාවේ ධීවරයෝ. සේල්ස් රෙප්ස්ලා කියලා ජාතියක් එදා හිටියෙ නැහැ. මට එදා සලකපු ඒ ධීවරයන්ගෙ දරුවන්ටත් මගේ වැඩපළේ රස්සා දෙනවා.

මෙහෙම ඉගෙන ගන්න අයට, තනියම බෝට්ටු හදන්න හිතුණොත්...

ප්‍රශ්නයක් නැහැ. මමත් දවසක එහෙම කළ නිසානේ අද මෙහෙම කොම්පැනියක් බිහිවුණේ. කවුරු හරි ශිල්පය හරියට ම දැනගෙන එහෙම කරන එකයි වැදගත්. මොකද බෝට්ටුවක් කියන්නෙ මිනිස් ජීවිතයක් රැඳුණු තැනක්. හරි විදියට නොහැදුවොත් පෙරළෙනවා. නියම ශිල්පෙට පතුලෙන් බැලන්ස් කරලා හැදුවොත් ඇලවුණත් බෝට්ටුවක් පෙරළෙන්නෙ නැහැ. අත්දැකීමෙන් මට කියන්න පුළුවන්, පහුගියදා කටුකුරුන්දෙ පෙරළුණෙත් එහෙම ප්‍රමිතියෙන් තොර බෝට්ටුවක් කියලා. මිනිස්සු 30 ක් එක පැත්තකට ඇල වුණත් අපේ බෝට්ටු පෙරළෙන්නෑ.

ව්‍යාපාරයක් ඉදිරියට යන්නෙ හොඳ ශිල්පය සහ විශ්වාසය කියන ප්‍රධාන සාධකත් එක්ක. මේ කතාව ඔබේ ජීවිතයෙන් පහදන්න.

බැංකු ණයකින් බිස්නස් එක පටන් ගත්තට ඒක සම්පූර්ණයෙන් සෑහුණෙ නැහැ. නමුත් මට ප්‍රාග්ධනයක් හැදුණා. බෝට්ටු හදාගන්න ආපු ධීවර ජනතාවගේ සල්ලි ඇඩ්වාන්ස් හැටියට මට නිතර එකතු වුණා. ඒ කාලෙ ෆයිබර්ග්ලාස් බෝට්ටුවක් මං හැදුවෙ රුපියල් දෙදාහට. ඒ ඇඩ්වාන්ස් මුදල් මට විශාල හයියක් වුණා. ඔවුන් බයවුණේ නැහැ මුළු මුදලම වුණත් මට ගෙවලා තියන්න. මං බෝට්ටුවකින් තියා ගත්තෙ රුපියල් පන්සියයකටත් අඩු ලාභයක්. එහෙම කියලා කොලිටිය අඩු කළෙත් නැහැ. ඒ මිනිස්සු සල්ලි බැන්දෙ අමාරුවෙන් වග බව මං දැනගෙන හිටියා. ඒ විශ්වාසය මං රැක්කා මට වැඩ ආවා. මේ සුවිසල් ව්‍යාපාරයේ මුල තියෙන්නෙ එතැන. ධීවර ජනතාව සහ මා අතර තිබූ විශ්වාසය.

ඔබ හදන බෝට්ටුවල වැඩිම මිලක් ඇති බෝට්ටුවේ වටිනාකම කීයද...

එක්ලක්ෂ හැටපන්දාහෙන් පටන් ගත්තම රුපියල් මිලියන විසිපහ තිහ දක්වා වටිනා බෝට්ටු අපි හදනවා. ලංකාවේ වැඩිම ඉල්ලුම තිබෙන්නෙ ධීවර බෝට්ටුවලට.

පුංචි කාලෙත් ඔබ බෝට්ටුවලට කැමැති දරුවෙක් ද....

ඒ ළමා කාලෙ බෝට්ටු ගැන හැඟීමක් මට තිබුණෙ නැහැ. මං ගියේ පාණදුර සෙන්ට් ජෝන්ස් විදුහලට. තාත්තා මාවත් මල්ලිවත් ඉස්කෝලේ හොස්ටල් එකේ බෝඩ් කළා. විෂයක් හැටියට මං හුඟක් ආසා කළේ මෝටර් කාර්මික විෂයට. සිරිල් ජෑන්ස් මහත්තයා තමයි, අපේ පාසලේ සිසුන්ට ඒ කාර්මික විෂය ප්‍රබෝධය ඇති ක‍ෙළ්. බෝට්ටු නිෂ්පාදන රස්සාවට ගියාම මං ඒ කර්මාන්තෙ දෝතින් ම අල්ලා ගත්තා. ඒක මට ම ගැළපෙන රස්සාවක් වුණා.

ඔබ පවුලේ කීවැනියද...

අපි ලොකු පවුලක්. අයියලා දෙන්නෙක්, එකම අක්කා, නංගිලා දෙන්නෙක් සහ මල්ලිලා දෙන්නෙක් මැද මං. මට අවුරුදු ‍පහේදි අම්මා නැතිවුණා. මගේ මල්ලිට අවුරුදු දෙකයි. අපි පුංචි නිසා තාත්තා කුඩම්මෙක් ගෙනාවා. ඇය අපිට ආදරෙන් සැලකුවා. ඒ වගේ ම තනිව ගොඩනැ‍ඟෙන්න හුරු කළා. වැඩ පැවරුවා. අපේ අධ්‍යාපනය ගැන බැලුවා. ඊට පස්සෙ උපන් නංගිලා මල්ලිලා අපි හැමෝම ආදරෙන් හිටියා. මට අවුරුදු පහළොවේදි තාත්තත් නැති වුණා.

එහෙනම් ඔබට ජීවිතේ දුක් අමාරුකම් වලට මුහුණ දෙන්නත් වෙන්න ඇති...

තාත්තා බිල්ඩින් කොන්ත්‍රාත් කළේ. ඒ නිසා අඩුපාඩුවක් තිබුණෙ නැහැ. ඒ වුණත්, මට ඕනෙ වුණේ ඉක්මනින් රස්සාවක් කරන්න. තාත්තා වැඩකරපු හැටි මං දැක්කා. තාත්තා මාව වැඩබිම්වලට අරන් ගියා. මගේ ඇ‍ඟේ වැඩකළේ ඉංජිනේරු වැඩ කිරීමේ උණක්. අපේ ගෙදරක කුළියට හිටපු ඇන්ඩෲ ජෝශප් මහත්මයා තමයි, මට ලිස්ටර් ඉංජිනියර්ස් සමාගමේ රස්සාව අරන් දුන්නේ.

අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු හොඳ ම දේ කියන්න...

මුදල් නාස්ති නොකරන්න, අරපිරිමැස්මෙන් කටයුතු කරන්න, මිනිස්සුන්ට හොඳින් සලකන්න, සල්ලි මත්තෙ ම හඹා නොයන්න.... ඔය වගේ හුඟක් දේ. මේ සියලු දේවල් මං මගේ බිස්නස්වලදි අදත් අදාළ කරගන්නවා.

මොනවද ඔබ ළඟ තිබෙන හොඳ ගුණාංග...

මොන තරම් උඩට ගියත් මං බොහොම සරල ජීවිතයක් ගත කරන මනුෂ්‍යයෙක්. වෝකර්ස් වැඩකරපු මුල් කාලෙ මට ආපු බෝට්ටු ඕඩරවල හැටියට ඕනෙ තරම් කම්පනියෙන් පිට කරලා දෙන්න තිබුණා. මං කවදාවත් එහෙම කළේ නැහැ. වැඩකරපු තැනට වැඩ කළේ හදවතින්මයි. අවංකවමයි. මං හදපු බෝට්ටු නිසා පොල් අතු පැලවල හිටි ධීවරයෝ උළු ගෙවල් හැදුවා. දවසින් දවස ඔවුන්ගෙ ආර්ථිකය යහපත් වෙන හැටි මං ඇස් දෙකෙන් දැක්කා. සල්ලිවලට වඩා ඒ සතුට මට ගැඹුරට ම දැනුණා.

ඔබේ බෝට්ටු කවදාවත් උතුරට දීලා නැද්ද...

හැට ගණන්වල අපේ බෝට්ටුවලට වැඩිම ඉල්ලුම තිබුණෙ උතුරෙ සහ නැ‍ඟෙනහිර. හැබැයි ඒ අය එන්ජින් මාරු කරලා, ඉන්දියාවට යන්න ඒවා පාවිච්චි කළා. සමහරවිට ත්‍රස්තවාදි වැඩවලටත් යොදා ගන්න ඇති. අපේ බෝට්ටු කොපි කරලා පස්සෙ ඒ අය ම හදන්න ගත්තා. අපි උතුරට දෙන එක නැවැත්වුවා. අපේ නාවික හමුදාවටත් හුඟක් බෝට්ටු හදා දුන්නා.

ඔබ සතුටු වෙන්නෙ කොහොම බෝට්ටු හදලද...

බෝට්ටුවක් තියෙන්නෙ මාළු අල්ලන්න විතරක් නෙවෙයි. ගංගාවල නවතා තිබෙන සුවපහසු ගෙවල් ලෙසත් අද ලක්ෂරි බෝට්ටුවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒවා හරියට සුපහසු පොඩි මඟී නැවක් වගේ. මං කැමැති ඉහළම තාක්ෂණය පාවිච්චි කරලා ඒ වර්ගයේ බෝට්ටු හදන්න. ඩිංගි බෝට්ටු, ජීවිතාරක්ෂක බෝට්ටු, වාණිජ සහ රුවල් බෝට්ටු, පාවෙන අවන්හල්... ඇතුළු තව හුඟක් බෝට්ටු වර්ග අපි හදනවා. ඒ හැම එකක් ම හදලා අන්තිමට බාර දෙනකොට, නැත්නම් අපේ කපිතාන් කෙනෙක් මූදෙන්ම ගිහින් ඒ රටවලට ම බාර දෙනකොට මට මහා සතුටක් දැනෙනවා.

ඔබ දරුවන්ට සමීප තාත්තෙක් ද...

මට ඉන්නෙ එක දුවයි. එයා බිස්නස් මැනේජ්මන්ට් කළාට, බෝට්ටු ක්ෂේත්‍රයේ හුඟක් දේ දන්නවා. එහෙම නොවී මේ ව්‍යාපාරය කරන්න බැහැ. ඒ වගේම මගේ බිරිඳත් ව්‍යාපාරයට තවම වැඩ කරනවා.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳම ආදර්ශය කියන්න...

මං බිස්නස් එකක් හැදුවේ තව කාව හරි වට්ටන්න ඉලක්ක කරගෙන නෙවෙයි. බොරලැස්ගමුවේ මගේ ම යාඩ් එක පටන් ගත්තම මං දවාලක් - රැයක් නැතිව නිවාඩුවක් නොගෙන වැඩ කළා. එක තැන නොසිට ජාත්‍යන්තර දැනුම සහ සහයෝගිතාව ගත්තා. මුදල් වගේ ම මනුස්සකම, සතුට සහ තෘප්තිය සාධාරණය රැකගෙන බිස්නස් එක ඉදිරියට අරගෙන ආවා. කවුරු හරි මගෙන් ගන්න ඕන මෙන්න මේ දේවල්. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.