නුවර ගිහින් Kandy හෙව්වට වැඩක් නැහැ | සිළුමිණ

නුවර ගිහින් Kandy හෙව්වට වැඩක් නැහැ

අජිත් රත්නසේකර සම කළමනාකාර අධ්‍යක්ෂ Kandy /Uptown

කිරිබත්ගොඩට සාප්පුවට ආවට අලුතින් ඇඳුම් ගන්නවත් සල්ලි නැහැ. සාප්පුව ලොකුයි. හිස් තැන් වැඩියි. ණයට පොලියට ගන්න සිද්ධ වුණා. ‘‍රෝල ගහන්න’ සිද්ධ වුණා. දහ දෙනෙක් විතර වැඩ කළාට මල්ලියි මායි දෙන්නත් බඩු විකිණුවා. රෑට රෙදි නැව්වා. සීසන් කාලෙට, අලුත් තොග එනකොට පාන්දර දෙක තුන වෙනකල් ඇඳුම් නැව්වා. කබඩ්වල ඇහිරුවා.

සහෝදර බැඳීම් සමඟ ඉදිරියට යන දේශීය ව්‍යාපාරිකයෝ අපේ රටේ හීන වෙමින් පවතින යුගයෙක, අජිත් රත්නසේකර සහ සුජීව රත්නසේකර සහෝදරයෝ ඒ මතය වෙනස් කරමින් සිටිත්.

සහෝදරත්වයට ගරුත්වයෙන් විනිවිද භාවය සහ අවංකත්වය සමඟ ඉදිරියට යන Kandy පිටුපස ඇති ඒ කතාව, ධෛර්යය, කැපවීම සහ ඉන් ඔබ්බට ගිය අයිය ම‍ලෝ දෙදෙනෙකුගේ බැඳීමට පූර්වාදර්ශ සපයයි.

මේ ඔවුන්ගේ කතාවයි.

Kandy... හදපු ඔබ කවුද...?

මේක මං තනියම හදපු බිස්නස් එකක් නෙවෙයි. මල්ලිත් මමත් එකතු වෙලා හදපු ව්‍යාපාරයක්. ඒ නිසා මේ ව්‍යාපාරයේ අපි දෙන්නම සම කළමනාකාර අධ්‍යක්ෂවරු. ඒ තැනට එන්න දෙන්නම එක වගේ මහන්සි වුණා. කැප වුණා. ඒ හින්දා ව්‍යාපාරයක බිම් මට්ටමේ ඉඳලා උඩට එනකල් හැම දේම හොඳින් දන්න සහ ඒවා විඳපු කෙනෙක් මම.

මොකක්ද Kandy... අර්ථය...

බිස්නස් එක පටන් ගනිද්දී නමක් ඕනෙ වුණා. කිරිබත්ගොඩ නුවර පාරේ පොඩි තැනක්. අපේ නංගිගෙ මහත්තයා තමයි කිව්වෙ, නුවර පාරෙන් පටන් ගත්ත බිස්නස් එක නිසා අපි ‘කැන්ඩි’ කියලා නම දාමු කියලා. ඇත්තටම ඒ නම අපිට හරි ගියා.

එතකොට Uptown කියන්නේ...

Uptown කියන්නෙ ලිබර්ටි ප්ලාසා‍ එකේ අපේ ප්‍රදර්ශනාගාරය. කොළඹ නගරයේ හදවත වගේ. ලිබර්ටි ප්ලාසා එකේ, වර්ග අඩි 80000 ක් කියන්නෙ ලොකු ඉඩකඩක්. අපි මෙතැන ඉලක්ක කළේ ඉහළ මධ්‍යම පන්තිය සහ ඉහළ පැලැන්තිය. Uptown නම දැම්මෙ ඒ නිසා. ඒ හැරෙන්න නුවරත් එක්ක කිසිම සම්බන්ධයක් අපේ ව්‍යාපාරයේ නැහැ. අඩුම තරමෙ නුවර අපේ නෑයෙක් වත් නැහැ. නමුත් කැන්ඩි නම නිසා හුඟ දෙනෙක් නුවර ගිහින් Kandy හොයනවා. Uptown හොයනවා.

බිස්නස් ඔබට පාරම්පරික උරුමයක් ද?

නැහැ. පුංචි කාලෙ පටන් මගේ ඇ‍ඟේ තිබුණු ‘උණක්’. ඒ උණට මං බොහෝ දේ කළා. මල්ලිත් ඒවට හවුල්. වැරදුණු තැන් තිබුණා. ඒ වගේ ම ඒ දේවල්වලින් ඉගෙනත් ගත්තා.

ෆැෂන් කියන්නෙ වේගයෙන් වෙනස් වන කලාවක්. කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ...

ඒ පිළිබඳ ‘අප්ඩේට්’ වෙන්න දැන් මොන තරම් අවස්ථා තියෙනවාද... අපි ලෝකෙ ෆැෂන් වෙනස් වන ආකාරය පිළිබඳ නිතර අවධානයෙන්. සෑම වසරකම වගේ ජාත්‍යන්තර ඇඳුම් හා වෙළෙඳ‍ ප්‍රදර්ශනවලට සහභාගි වනවා. පිටරට ගියාම පුළුවන් තරම් ගත කරන්නේ ෂොපින් මෝල්වල. මල්ලිටත් මටත් ෆැෂන් ගැන උණක් තියෙන නිසා අපිත් හොඳට අඳිනවා. පලඳිනවා. ඒ වගේ ම, අපේ ඇඳුමක් කවුරු හරි ඇඳලා ඉන්න එකත් සතුටක්. අපිට උත්තේජනයක්.

Kandy හරහා මේ රටේ මොන තරම් පිරිසක් රැකියාව කරනවද...

ඍජුව හා වක්‍රව පහළොස් දාහක් පමණ. අපි මේ වෙනකොට පිටරටින් ඇඳුම් ගේන එක අඩු කරලා, අපේ ම රටේ අයට විශාල අවස්ථා ප්‍රමාණයක් උදාකර දී තිබෙනවා. සමහර අයට අපි රෙදි සපයලා මස්සවනවා. සමහර අයගෙ සාම්පල් ‍බලලා හොඳ නම් ඇඳුම් ගන්නවා. එහෙම දේශීය සැපයුම් කරුවෝ විශාල ප්‍රමාණයක් සහ ඔවුන් ළඟ වැඩ කරන විශාල ප්‍රමාණයක් අපි නිසා යැපෙනවා. ඒ වගේ ම, ඇඳුම් මෝස්තර නිර්මාණය කරන දක්ෂ අයටත් සැපැයුම්කරුවො හැටියට අපි අවස්ථාව දෙනවා. ඔවුන්ට පුළුවන් තරගකාරී මිල ගණන් යටතේ හොඳ කොලිටියකින් යුතු ඇඳුම් මෝස්තර අපිට සපයන්න.

සමහර සාප්පුවල sales girl තනතුරේ තරුණියන් ඉන්නෙ Customer ගැන තරහින් වගේ.‍ ඔබේ සේවකයන් කොහොමද...?

අවුරුදු පහක විතර සර්විස් එකක් ඇති අපේ sales කරන කෙනකුට මහන්සියෙන් වැඩ කළොත් රුපියල් 50,000 කට එහා හම්බ කරගන්න පුළුවන්. හොඳට ගෙවනවා වගේ ම ඔවුන්ගේ ආකල්ප වෙනස් කරගන්නත් අපි උදව් කරනවා. ඒ කොයි තරම් කළත් වෙනස් නොවන අයත් ඉන්නවා. අපේ කොටස හරියට ඉටු වනවා වගේ ම ඔවුන්ගේ කොටසත් හරියට ඉටු කළ යුතුයි. නැත්නම් කොහොමද ආයතනයක් ඉදිරියට යන්නේ. අනිත් අතට, ඔවුන් එසේ නොකරනවා නම්, වෘත්තිමය වශයෙන් ඉදිරියට නොයන්නෙත් ජීවිතයේ එක තැන රැඳෙන්නෙත් ඔවුන්මයි. මේවා හරියට ඉදිරියට නොගියොත් අපිට සිද්ධ වෙන්නෙ සියල්ල විකුණලා පිටරටක පදිංචියට යන්න. අපි වගේ දේශීය ව්‍යාපාරිකයා රැකගන්න එක ඔවුන්ගෙත් යුතුකම. මොකද අපිත් මේ රටට යමක් කරන නිසා.

මොකක්ද ඔබට අනන්‍ය වූ ව්‍යාපාරික ක්‍රමවේදය...

ඒකත් මල්ලිටයි මටයි දෙන්නටම පොදු කාරණාවක්. අපි බිස්නස් දැනගෙන බිස්නස්වලට බැහැපු අය නෙවෙයි. ඉගෙන ගනිමින් තමයි අත්දැකීම් ලැබුවේ. ඒ නිසා හැම වෙලාවෙම අපිටම අනන්‍යවූ ක්‍රමවේද හදාගත්තා. ලෝකෙ බහුතරයක් හොඳයි කියන සහ පෙනෙන දේ අපි පාරිභෝගිකයාට පෙන්නුවෙ ඉදිරිපත් කළේ තවත් ටිකක් වෙනස් කරලා. ඒ සඳහා අපි අලුත් අදහස් පාවිච්චි කළා. ඒකෙන් කැපී පෙනෙන හා පාරිභෝගිකයාගෙ සිත් ඇද බැඳ ගන්නා බිස්නස් එකක් කරන්න පුළුවන් වුණා. අපි දවසින් දවස ඉදිරියට ආවේ ඒ ක්‍රමයෙන්. ඒ වෙනස් විදියට සිතීමේ පුරුද්ද, අපේ ජීවිතව කා වැදී තිබුණු දෙයක්.

එහෙනම් ඒ නිසා ම ලබපු ජීවිත ජයග්‍රහණත් ඇති...

ජයග්‍රහණවලටත් වඩා ඒකෙන් හරි තෘප්තියක් ජීවිතයට එකතු වුණා. උදාහරණයක් කියන්නම්. ඉස්සර මායි මල්ලියි කරාටේ සෙල්ලම් කරනවා. අපි කරන්නෙ පිටරට කරාටේ CD ගෙනැත් ඒවා බලමින් ‘ෂොට්ස්’ අධ්‍යයනය කරනවා. මාස්ටර් කියලා දුන්නු දේට වඩා වැඩිපුර දේවල් කරලා බලනවා. අපෙයි ඒ රටවලයි කරාටේ ෂොට්ස්වල වෙනස්කම් සමානකම් බලනවා. මෙහෙම කළොත් මොකද... අරහෙම කළොත් මොකද... හිතිච්ච දේ කරලා බලනවා. ඇත්තටම අපි කරාටේ වලිනුත් හිතුවට වඩා උඩට ආවේ අපේම මේ අත්හදා බැලීමේ පුරුද්දෙන්.

වෙනස්වීමත් සමඟ ඉදිරියට යෑම ව්‍යාපාරයකට මොනතරම් වැදගත් ද..?

අපිත් එහෙම කළා. සල්ලි මදි පාඩු තිබුණට ව්‍යාපාරයේදී අපි දෙන්නටම ‘ක්‍රියේටිව්’ අදහස් තිබුණා. අපි හෙව්වා මාකට් එකේ වැඩිපුරම විකිණෙන ඇඳුම් මොනවද කියලා. ඒ ගැහැනු ළමයින්ගෙ ඇඳුම්. අපි පිටකොටුවෙ ගිහින් පිටරටින් ඇඳුම් ගේන තැන් හොයා ගත්තා. දෙන්න පුළුවන් උපරිම අඩුවට ඒ ඇඳුම් විකිණුවා.

මොකක්ද ඔ‍ෙබ් පළමු බිස්නස් එක...

පළවෙනි පාර මං ‍‍උසස් පෙළ හොඳින් සමත් වුණේ නැහැ. තාත්තා කිව්වා ආපහු විභාගෙ කරන්න කියලා. ඒ ඉන්න ගමන් තාත්තාගෙන් ම රුපියල් පනස් දාහක් ඉල්ලාගෙන පරණ ඩෙලිකා වෑන් එකක් ගත්තා. හදලා විකිණුවා. ඔහොම කිහිපයක් කළා. මට තේරුණා ලාභයක් තියෙන බව. ඒ වුණාට විභාගෙ ළං වෙද්දී. ඒ බිස්නස් එක නැවතුණා.

දෙවැනි පාර හොඳින් සමත් වුණා ද?

කිසිම ‍ඕනෙකමකින් නෙවෙයි මම දෙවැනි පාර උසස් පෙළ ලියුවෙ. ඇත්තටම තාත්තගෙ වුවමනාවට. ඒ පාරත් තාත්තා හිතපු තරම් ප්‍රතිඵල නැහැ. මට ඕනෙ බිස්නස් එකක් කරන්න. ඒත් කෝ, ප්‍රාග්ධනය... මං දන්නවා තාත්තා ළඟත් ලොකු සල්ලියක් නැති බව. මගෙ අතේ තිබුණෙත් බොහොම පොඩි ගාණක්. මං මාසෙ පඩියට ෂිපින් කොම්පැණියක රස්සාවක් හොයා ගත්තා.”

එතකොට Kandy... ආරම්භය කොතැනද...

අවුරුදු තුනක් විතර මං රස්සාව කරගෙන හිටියා. මල්ලි A level ලියලා ඉවර වෙනකොටම ඕනෙ වුණා බිස්නස් එකක් කරන්න. කිරිබත්ගොඩ සුපර්මාර්කට් එකේ දහයයි දොළහෙ ප්‍රමාණයේ පොඩි කඩකාමරයක් තිබුණා. ඒක ගන්න සල්ලි මදි. ඒ වෙනකොට මගේ නංගි විවාහ වෙලා. එයාගෙ මහත්තයත් බිස්නස් කළේ. ඒ අයියා අපිට උදව් කළා. තාත්තත් සල්ලි ටිකක් දුන්නා. මදි පාඩුව මං දැම්මා. මල්ලි ප්‍රමුඛ වෙලා සාප්පුව පටන් ගත්තා. ඒ තමයි අපේ ආරම්භය.

ව්‍යාපාරවල ඉදිරියට යන්නෙ අවදානම් ගන්න මිනිස්සු. මේ කතාව ඔබටත් අදාළ ද...

ඔව්. සුපර්මාකට් එකේ පොඩි කඩේ දියුණු වෙනකොට කිරිබත්ගොඩ හන්දියේ තැනකට ආවා. මල්ලි කිව්වා. “මට දැන් තනියම මේක කරන්න අමාරුයි. ඔයත් එන්න කියලා...” ඒ තරමට පාරිභෝගික පිරිසක් අපිට හිටියා. ඒ වෙනකොට මං හිටියෙ ඉහළ තනතුරක. පඩිත් හොඳයි. ඒ වුණාට මං අවදානමක් ගත්තා. රස්සාවෙන් අයින් වුණා. තව කෙනෙක් යටතේ වැඩ කරන්න අකැමැති මං බොහොම කැමැත්තෙන් පූර්ණකාලීනව බිස්නස් එකට ආවා. එදා පටන් ගත්තු ගමන තමයි මේ.

කවුද ඔබේ ව්‍යාපාර ජීවිතයේ Role Model...

ඇත්තම කිව්වොත් නංගිගෙ මහත්තයා‍. ඒ කියන්නෙ අපේ රන්ජන් අයියා. එයා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. අපි බිස්නස්වලට ආවේ අත්දැකීම් නැතිව. ගුරු වෘත්තිය හැර අපේ තාත්තත් බිස්නස් දැනගෙන හිටියෙ නැහැ. ට්‍රෙන්ඩ් එක... මිනිස්සුන්ගෙ අවශ්‍යතා, අලුත් දේවල් සොයා යෑමේ ආසාව වගේ අත්‍යවශ්‍ය දේ ඇ‍ඟේ තිබුණට ව්‍යාපාරයක් ‍ප්‍රායෝගික වීමේදී පැන නැඟිය හැකි ගැටලු, අනාගත ඉලක්ක සහ අරමුණු හඹා යෑම, ඒවා ජය ගැනීම පිළිබඳ බොහෝ දැනුම ලබා ගත්තෙ ඔහුගෙන්. ඇත්තටම ඔහු තමයි මේ ගමනෙදි. අපිට ගුරු හරුකම් දුන්නෙ. ඔහු දිහා බලලා අපි හුඟක් දේ ඉගෙන ගත්තා.

Kandy වෙනුවෙන් වැය වූ දුෂ්කරම කාලය මොකක්ද...

කිරිබත්ගොඩට ආවේ ඒ සාප්පුවට අතේ තිබුණු සේසතම වියදම් කරලා. අලුතින් ඇඳුම් ගන්නවත් සල්ලි නැහැ. සාප්පුව ලොකුයි. හිස් තැන් වැඩියි. ණයට පොලියට ගන්න සිද්ධ වුණා. ‘‍රෝල ගහන්න’ සිද්ධ වුණා. මොන දේ වුණත් අපි තරුණ පරම්පරාවට ඇඳුම් ව්‍යාපාරය ඉලක්ක කරන එක, නැවැත්තුවේ නැහැ. දහ දෙනෙක් විතර වැඩ කළාට මල්ලියි මායි දෙන්නත් බඩු විකිණුවා. රෑට රෙදි නැව්වා. සීසන් කාලෙට, අලුත් තොග එනකොට පාන්දර දෙක තුන වෙනකල් ඇඳුම් නැව්වා. කබඩ්වල ඇහිරුවා.

ඇයි ඇඳුම් කබඩ්වල අසුරන්නේ...

ඒ කාලෙ හැන්ගර්ස්වල එල්ලන ක්‍රමයක් තිබුණෙ නැති නිසා. අවුරුදු දෙකක් විතර ගියාට පස්සෙ තමයි අපි ඇඳුම් එල්ලන ක්‍රමය හඳුන්වලා දුන්නේ.

ව්‍යාපාරය තමන්ගෙම නිසා වෙහෙස පිළිබඳ දැනෙන්නෙ නැතිව ඇති...

පහුවැනිදා උදේට උණ වගේ. වැඩ ඉවර වෙද්දී මහ පාන්දර වෙලා. ඒ පාන්දරම වැඩ කරන අයවත් ගෙවල්වලට බස්සවන්නෙ අපි දෙන්නා. ගෙදර ගියාම අම්මලාව නැගිට්ටවන්න දුකයි. අපි දෙන්නා වෑන් එකේම බුදියනවා. පහුවැනිදා උදේම ආපහු සාප්පුවට යනවා. මං කැෂියර් එකට යනවා. මල්ලි ඇඳුම් ගේන්න කොළඹ යනවා. සෑහෙන කාලයක් ඔය චක්‍රය ඔය විදියටම කැරකුණා. එක අතකට එහෙම නොකළා නම් අපි මේ තරම් දුරක් එන එකකුත් නැහැ.

පුංචි කාලෙ ඔබ කොහොම චරිතයක් ද?

අපි දෙන්නම කොල්ලො කරන හැම දේම කරපු අයියෙකුයි මල්ලියෙකුයි. ගුටි කාලත් තියෙනවා. ගහලත් තියෙනවා. සෙල්ලම තමයි ලොකුම දේ. තාත්තා කැලණිය ගුරුකුලයෙ ගණිත ගුරුවරයෙක්. සැරයි, හැබැයි නිදහස දුන්නා. දීලා අපි කරන කියන දේ දිහා ඇහැ ගහගෙන හිටියා. මං ගියේ කොළඹ නාලන්දෙට. මල්ලි ගියේ කැලණිය ධර්මාලෝකෙට. අපි දෙන්නා තමයි හොඳම යාළුවෝ. කොහේ ගියත් දෙන්නා එකට. නාලන්දෙ ඉගෙන ගත්තු ඉහළ සමාජෙ යාළුවො වගේම කැලණියෙ, වනාතෙ, පුංචි බොරැල්ලෙ යාළුවොත් අපිට හිටියා. මේ හැම සමාජ තල‍යකින් ම අපි යමක් ගත්තා මිස නරක් වුණේ නැහැ.

ඉල්ලන හැමදේම දෙමවුපියන්ගෙන් ලැබුණද?

එහෙම දෙන්න තරම් මහා සල්ලි කාරයො නෙවෙයි, අපේ දෙමවුපියෝ. තාත්තා විතරයි රස්සාව කළේ. තාත්තා සතියට දවස් කිහිපයක් ගණන් ටියුෂනුත් කළා. සීමිත ආර්ථිකයක දරු තුන් දෙනකුටත් උගන්වමින් ජීවත් වුණේ පරිස්සමට කියලා අපි තේරුම් ගත්තා. ඒ නිසාම අඩු පාඩුවක් නැතිව අම්මා තාත්තා දුන් ජීවිතය තුළ, අපිත් සෑහීමකට පත්වුණා.

ඔය සහෝදර බැඳීම, පුංචි කාලෙත් එලෙසම තිබුණාද...

නංගි මැද. මල්ලි මට වඩා අවුරුදු හතරක් බාලයි. ඒ වුණාට අපි දෙන්නා තමයි හොඳම යාළුවො. පුංචි කාලෙ මල්ලියි මායි මාළු පැටව් හැදුවා. ඒකට ලොකු පොකුණකුත් හැදුවා‍.‍ පායන කාලෙට වතුර නැහැ. මීටර් පන්සියයක් විතර ඈතින් තමයි වතුර ගේන්න වුණේ. අපි දෙන්නා හතිදාගෙන බාල්දි වලින් ඒ මුළු දුරම වතුර ඇද්දා. ඔයා අඩුවෙන් ඇද්දා... මං වැඩියෙන් ඇද්දා... අපි කවදාවත් එහෙම හිතුවෙ නැහැ. හැම දේම බෙදා හදාගත්තෙ මහන්සි වුණේ එක සමානව.

හිතුණම, ගෙදර කොරටුවෙන් එළවළු කඩාගෙන පොළේ තියලා විකිණුවා. ඒවා කළේ සල්ලි හොයන්නම නෙවෙයි. අපි දෙන්නම මේ දේවල් කරලා හරි සතුටක් ලැබුවා.

අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳම දේ කියන්න...

අවංකව ජීවත්වෙන හැටි. අපේ බිස්නස්වල අමාරුම කාලවලදී විශ්වාසයට අපිට හුඟක් ගනු දෙනුකරුවො බඩු දුන්නා. සල්ලිත් ණයට පොලියට ගත්තා. මොන තරම් අමාරු වුණත් අපි ඒ ණය බඩුවක් උකස් කරලා හරි වෙලාවට පියෙව්වා. පොලී ගෙව්වා. එක රුපියලක් මඟ හැරියෙ නැහැ. ඒ විශ්වාසය රැකපු නිසා ආයේ ඒ මුදලාලිලා බඩු දුන්නා. මොන තරම් අමාරු කාලවලට මුහුණ දුන්නත් අවංකකම හෝ විශ්වාසය බිඳගත්තෙ නැහැ. ඒ කාරණා ගැන හිතද්දී තාත්තා තමයි ඒ උතුම් ගති ගුණ අරභයා, අපි ඉදිරියේ නැඟී ඉන්න මහා ප්‍රතිරූපය. ඉතින් කෝටියක් ලැබුණත් මේ දේවල්වත් සහෝදරකමවත් අපි නැති කරගන්නෑ.

ලංකාවේ බොහෝ ‘ෆැමිලි බිස්නස්’ කැඩී විසිරෙන්නෙ බිරින්දෑවරු නිසා... මේ කතාව ගැන ඔබ මොකද කියන්නේ...

අම්මයි, මල්ලියි මමයි අදත් ජීවත්වෙන්නෙ එකම ගෙදරක. අපේ අම්මා තාත්තා, බිරින්දෑවරු දරුවො හැමෝම එකම වහලක් යට ජීවත් වීම තුළ බැඳීම වැඩි වුණා කියලයි මම නම් හිතන්නේ. අපේ අම්මයි තාත්තයි තමයි, ඒ තරම් ශක්තිමත් බැඳීමකට අඩිතාලම දැම්මේ. මල්ලිගෙත් මගේත් එකමුතුව තුළ මේ බිස්නස් එක ආරක්ෂිතව ඉදිරියට යනවා කියල, අපේ වයිෆ්ලා තේරුම් අරන් ඉන්නේ. ඒ දෙන්නගෙන් ම උදව්වක් මිස කරදර නැහැ. බිස්නස් එක පිළිබඳ සියලු තීන්දු තීරණ මගේත් මල්ලිගේත් පමණයි.

Kandy සහ Uptown, පවුලේ ව්‍යාපාරයක් ලෙස ඉදිරියට යයිද...

අපි අමාරුවෙන් හදපු දේ දරුවො ඉදිරියට අරන් යනවා දකින එකයි, අපි දෙන්නගෙම අරමුණ. ඒ නිසා ඉගෙන ගන්න. ලෝකෙ කොහේ ගියත් අපේ ළමයි, ආපහු මේ බිස්නස් එකට එන්න ඕනේ. ඒක තමයි මල්ලිගෙත් මගේත් නියමය. අපේ දරුවොත් ඒක දන්නවා. ඔවුන් ඒ වෙනුවෙන් වැඩ කරාවි.

ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්