දේශීය සංගීතය ගොඩනැඟූ විදේශීය සංගීතවේදියා | සිළුමිණ

දේශීය සංගීතය ගොඩනැඟූ විදේශීය සංගීතවේදියා

 මොහොමඩ් ගවුස් හෙවත් ගවුස් මාස්ටර් යනු සිංහල ගීතය උදෙසා අනුපමේය සේවයක් කළ සංගීතඥයෙකි. ශ්‍රී ලාංකික අනන්‍යතාවක් සහිත සංගීතයක් ඇති කිරීම උදෙසා වෙසෙසින්ම වෙහෙස වූ පුද්ගලයන් කිහිප දෙනා අතුරින් මොහොමඩ් ගවුස් විශේෂ වන්නේ ඔහු මෙරටට ආ විදේශිකයකු බැවිනි. සිංහල ගීතය පෝෂණය කරන්නට කැපවීමක් කළ මෙවැනි චරිත එක්කෝ සිංහල හෝ බෞද්ධ හෝ නොවූහ. නැතිනම් විදේශිකයෝ වූහ. වෙනත් සම්භවයකට වෙනත් සංස්කෘතියකට අයත් වුව ද මොවුන් නඟා සිටවූයේ සිංහල ගීතය හා සංගීතයයි. සංගීතය වැනි විෂයකටය මුල් කාලයේ සිංහල බෞද්ධ පිරිස ඉදිරිපත් නොවීම ද ඊට හේතු වන්නට ඇත. වර්තමානයේ පවතින සිංහල සංගීතයට මූලික පදනම දැමුවේ එදා අසිංහල අබෞද්ධ පිරිස විසින් නිර්මාණය කළ සිංහල සංගීතයයි. මේ පිළිබඳ ප්‍රවීණ පිටපත් රචක දිලීප අබේසේකර මහතා සිය මතකය අවදි කළේ මේ අයුරිනි.

‘‘මොහොමඩ් ගවුස් කියන්නේ දක්ෂ සංගීතඥයෙක්. මොහුට තිබුණේ ඉන්දියානු සම්භවයක්. අපේ රටේ පැවැති නූර්තිවලට සංගීතය සපයන්නයි මොහු ලංකාවට පැමිණියේ. මෙයට හේතුව සිංහල පිරිස මුල් කාලයේ දී සංගිතයට යොමු නොවීමයි. මේ නිසා අපේ රටට ශිල්පීන් පැමිණියේ ඉන්දියාවේ සිට. මේ ශිල්පීන් ලංකාවට ආවේණික සංගීතයක් ගැන අත්හදා බැලුවා. ඒවායින් නව නිර්මාණ කරන්න පුළුවන් කොහොම ද කියලා විමසීම් කළා. ගවුස් මාස්ටර්ට ලංකාවට එන්න කියලා ආරාධනා කරන්නේ ජෝන් ද සිල්වා මහතා. මුල් කාලයේ ලංකාවේ ගීත නිර්මාණය වුණේ ටීටර් සඳහා. ඒ බොහෝමයක් නූර්ති. මේ නිසාම ඒ කාලයේ නිර්මාණය වුණ ගීතවලට නූර්තිවල ආභාසය තිබුණා. උදාහරණ ලෙස ‘මහබෝධි මුලේ‘ ගීතය නූර්ති ආභාෂය අරගෙන තියෙනවා. එය හින්දි තනුවකට අනුව නිර්මාණය වූ ගීතයක් බවත් මෙහිදී මතක් කරන්න ඕනෙ.

මේ කාලයේ ගායක ගායිකවන් ගීත ගායනා කළේ තැටි සඳහා. ලංකාවේ තැටි නිෂ්පාදනය කළ සමාගම් දෙකක් තිබුණා. මින් එක් සමාගමක් කාර්ගිලස් සමාගම. අනිත් සමාගම මිලර්ස් සමාගම. කාර්ගිලස් සමාගම කොළොම්බියා තැටි නිෂ්පාදනය කළ අතර මිලර් සමාගම එච්. එම්. වී. තැටි නිෂ්පාදනය කළා. ගවුස් මාස්ටර් සේවය කරන්නේ කොලොම්බියා තැටි සමාගමටයි. මේ අනුව ඉතිහාසයේ ගීත නිර්මාණය වුණේ තැටි සඳහා. ඉන්දීය ගී තනුවලට පද යොදා ගනිමින් සිංහල ගීත නිර්මාණය කිරීමට මොහොමඩ් ගවුස් යොමුව සිටියත් ඔහු ඉතා ඉක්මනින් ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කරන්නට යොමු වෙනව. අශෝක මාලා චිත්‍රපටයට නිර්මාණය කරන ගීත මඟින් ඒ අත්හදා බැලීම ඔහු කළා.

‘ප්‍රීති ප්‍රීති චන්ද්‍රාලෝකේ නිසා ප්‍රියාවි‘

මේ ගීතය ගායනා කරන්නේ මොහිදින් බෙග් සමඟ භාග්‍ය රතී නමැති ගායිකාව. ලංකාවේ මුලින් නිර්මාණය වුණායැයි සැලැකෙන ‘කඩවුණු පොරොන්දුව‘ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ කඩවුණු පොරොන්දුව නාට්‍යය ඇසුරෙන්. එහෙත් අශෝක මාලා ශාන්ති කුමාර් නිර්මාණය කරන්නේ චිත්‍රපටයක් උදෙසාමයි.

මේ කාලයේ මොහොමඩ් ගවුස් මොහිදින් බෙග් සහ ඇල්බට් පෙරේරා කියන ගායකයන් දෙපළ හඳුනාගන්නවා. ඇල්බට් පෙරේරා තමයි පසු කාලේ අමරදේව නමින් ජනප්‍රිය වුණේ. එදා බොහෝ ගායක ගායිකාවන් සිංහල නම් භාවිතා කිරීමේ සිරිතක් තිබුණා. මේ අනුව තමයි ඇල්බට් පෙරේරා අමරදේව වෙන්නේ. එදා අමරදේව ගීතයට දක්වන නිපුණතාව ගවුස් මාස්ටර් දැක්කා. කවදා හරි දක්ෂ ගායකයෙක් වන ලකුණ නිසාම අමරදේව මහත්තයව බොහෝ නිර්මාණවලට යොමු කරගත්තා. ගවුස් මාස්ටර් සමඟ මොහිදින් බෙග් සහ අමරදේව ඉන්දියාවට යනවා ගීත පටිගත කිරීමට. මේ අවස්ථාවේ අමරදේව ගවුස් මාස්ටර්ගේ සංගීත කණ්ඩායමේ ඉන්නේ වාදයකයෙක් හැටියට. එහෙත් ගවුස් මාස්ටර් අමරදේව එහිදී ගායකයෙක් කළා. ඒ විතරක් නෙමෙයි අශෝක මාලා චිත්‍රපටයේ සහය සංගීත අධ්‍යක්ෂණය අමරදේව ලෙස නම් කරනවා. වර්තමානයේ චිත්‍රපටවල නාමාවලියේ සහය සංගීත අධ්‍යක්ෂණය කියලා නම් සඳහන් කිරීම මුලින් ආරම්භ කරන්නේ ගවුස් මාස්ටර්. මේ නිසා අශෝකමාලා චිත්‍රපටයේ අමරදේව ගායනා කරනවා පමණක් නොවෙයි ගායනා කරමින් රඟ පානවා. ඒ කාලයේ සිටිය සංගීතවේදීන්ට දක්ෂ ශිල්පීන් හඳුනාගන්නත්, ඔවුන්ගේ අනාගතය දැකීමටත් හැකියාවක් තිබුණා. එදා ගවුස් මාස්ටර්ගේ හඳුන්වා දීම මත තමයි අපට අමරදේව මාස්ටර් කෙනෙක් බිහි වුණේ. ඒ කාලේ ආධුනිකයන් හඳුනාගැනීමත් ඔවුන්ට අත හිත දීමේ දයාවත් ජ්‍යෙෂ්ඨයන් අතර තිබුණා.

ගවුස් මාස්ටර්ගේ තිබුණ විශේෂ ප්‍රවීණතාවයක් තමයි ශීල්පීන්ගේ දක්ෂතාව හඳුනා ගැනීමේ ඉව. නැත්නම් තමන්ගේ රටේ නොවුණු මොහිදින් බෙග් සහ අමරදේව, හෙළ සංගීත කෙත පෝෂණය කරාවි කියලා නිසැකයෙන්ම තේරුම් ගැනීමට ගවුස් මාස්ටර්ට ඉඩ ලැබෙන්නෙ නැහැ. ‘ඇල්බට් මං ඔබව හොඳ තැනකට ගේනවා‘ කියලා ගවුස් මාස්ටර් අමරදේවට කිව්වලු. ඒ තිබුණ විශ්වාසය අද කාලයේ අය ළඟ නැහැ. ඇත්තෙන්ම ආධුනිකයන්ට අත හිත දීමේ කරුණාවක් ඒ කාලයේ සංගීතඥයන් තුළ තිබුණා. මං හිතන්නේ මොහොමඩ් ගවුස් එදා දැක්කා සිංහල බෞද්ධ සංස්කෘතියට ගැළපෙන ගීතය අමරදේව සහ මොහිදින් බෙග් ඔස්සේ ජනප්‍රිය වේවි කියලා. ඒ වගේම ඒ දෙන්නාට කළ හැකි දායකත්වය පිළිබඳවත් යම් වැටහීමක් ඔහු තුළ තිබුණා. තමන්ගේ රටේ නොවන පිරිසකට අනාගතයේ කළ හැකි මෙහෙය හඳුනා ගැනීමට හැකි සියුම් දක්ෂතාවයක් ගවුස් මාස්ටර්ට හිමි වීම භාග්‍යයක්.

‘මුල් යුගයේ සරල ගීතයට මෙන්ම චිත්‍රපට ගීතයටත් ගවුස් මාස්ටර් නැතුවම බැරි වෙනවා. පුද්ගල දක්ෂතා වටහාගෙන එය සියුම්ව නිර්මාණය කිරීම කෙරෙහි යොමු කරවීමේ දක්ෂතාව මත ගවුස් මාස්ටර් ‘එදා රෑ‘ චිත්‍රපටයෙන් තවත් ගායිකාවක් අපට හඳුන්වා දෙනවා. ඒ තමයි ලතා වල්පොල. අමරදේව විසින් ගායනා කළ ‘තිරසර ආලේ අමරණිය වේ‘ ගීතය නිර්මාණය කරන්නේ ගවුස් මාස්ටර්. ඒ වගේම මොහිදින් බෙග් උදෙසා ‘නයනා වැනි සුදෝ‘ ගීතය නිර්මාණය කරනවා. මේ ගීත නිසා අමරදේව හා මොහිදින් බෙග් ජනතාව අතරට යනවා. සිංහල සංස්කෘතිය ඔප නැංවූ මහා ගායක දෙපළ කවුරුන්දැයි නිසි ලෙස හඳුනාගන්නේ ගවුස් මාස්ටර්. විශේෂයෙන් වර්තමානයේ අපට අපේ කියලා සංගීතයක් හිමි වූයේ එදා අ‍බෞද්ධ අසිංහල අය විසින් හෙළ කලා කෙතට ලබා දුන් මේ පෝෂණය නිසා.

මේ කාලේ රුක්මණි දේවී ගායිකාවක් ලෙස මෙන්ම නිළියක් ලෙසත් තමන්ගේ ප්‍රතිභාව පෙන්නුම් කරනවා. මේ සඳහා ද ගවුස් මාස්ටර් පෙරමුණ ගන්නවා. ‘‘මනහර ගීත ගයාලා නැළවිලා‘‘ ගීතය ‘සැඟවුණ පිළිතුර‘ චිත්‍රපටයට රුක්මණී දේවි සමඟ ගායනා කරන්නේ සුසිල් ප්‍රේමරත්න කියන ගායකයා. ඔහු වෙනත් ක්ෂේත්‍රයක සිටි අයෙක්. එහෙත් ඔහු ගෙ හඬ පෞරුෂය මොහොමඩ් ගවුස් හඳුනා ගැනීම විශේෂත්වයක්. ඉන්දියාවේ සිට මෙහි පැමිණි අයෙක් නිර්මාණය කළ ගී තනු වැලඳ ගන්න තරම් නිවීමකට සිංහල රසිකයා ගෙන ඒමට ඔහු සමත් වෙනව. ඇත්තටම එදා සිටි සිංහලයන් මොහුගේ ජාතිය ආගම පිළිබඳ සොයන්නේ නැහැ. ඔවුන්ට වැදගත්වන්නේ නිර්මාණය පමණයි.

ඒ ආකාරයට තනු නිර්මාණය වූ පරපුරෙන් පරපුරට හද බැඳගත් තවත් ගීතයක් තමයි, ‘‘ ශාන්ත මේ රාත්‍රියේ චන්ද්‍රා කාන්ති දෙයි ආලෝකේ‘. මෙවැනි ගීත වත්මන් සමාජය වුවත් කිසිදු බැහැර කිරීමකින් තොරව වැලඳ ගන්නවා.‘‘

සාකච්ඡා කළේ
රූපාන්ති බුලත්සිංහල 

Comments