දිනන්න කලින් හැදිලා ඉමුද? | සිළුමිණ

දිනන්න කලින් හැදිලා ඉමුද?

කුණු අප්‍රිකාවේදී විස්සයි 20 තරගාවලිය ජය ගත්තද ටෙස්ට් සහ එක්දින තරගාවලිය නිල් විය. දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් එසේ නිල් වනවිට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නායකයකු පත් කර ගැනීමට නොහැකිව මාධ්‍ය සාකච්ඡා පවත්වන්නට තරම් අසරණ විය. නමුත් ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කරන්නේ, අපි වැටිලා නෑ. වැටෙන්න දෙන්නේ නැහැ වැනි හිස් ප්‍රකාශයන්ය. බලධාරින් එසේ ප්‍රකාශ කළ ද පිටිය මැද යාර විසි දෙකක සීමාව තුළ සැබෑ තත්ත්වය කුමක්ද යන්න පැහැදිලිය.

තමන් ප්‍රතිපත්තිමය තීරණ ගන්නට මැදිහත් වනවා මිසක් තේරීම්වලට ඇඟිලි නොගසන බවට ප්‍රකාශ නිකුත් කිරීමට තරම් බලධාරින් කලබල වී ඇති බව මෙකි පරාජය හමුවේ විද්‍යාමාන වී අවසන්ය. දැන් සියල්ල අමතක කරදමා බිංදුවෙන් හෝ පටන්ගෙන වඩාත් විශ්වාසදායී ස්ථාවර කණ්ඩායමක් සකසා ගැනීමට අවධානය යොමු කළයුතුයි.

තරගයෙන් තරගයට ක්‍රීඩකයන් පොම්ප කරමින් කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළ පවත්වන විශ්වාසය සංහිඳියාව පලුදු කරමින් පිස්සු නටනවාට වඩා ජය පරාජය කුමක් වුවද, තෝරා ගත් සංචිතයක් පවත්වා ගෙන යළිත් දියවෙමින් පවතින ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ස්ථාවර කරගැනීමට වෙර දැරිය යුතුය. දකුණු අප්‍රිකානු තරගාවලියේ දි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් තේරීම් කමිටුව ක්‍රියා කළ ආකාරය පුදුම සහගතය. එක්දින සහ විස්සයි20 තරගවලට ක්‍රීඩා කළ කුසල් ජනිත් වැනි ක්‍රීඩකයෙක් ටෙස්ට් තරගවල අංක තුන පිතිකරුවා ලෙස නම් කිරීමට පෙලඹීම තුළම මොවුන්ගේ ක්‍රියාකාරකම් ගැටලු සහගතය.

මේවා ගැන එක් අතකින් පුදුම විය යුතු ද නොවේ. අවසන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දිමුත් කරුණාරත්න නවසීලන්තයේ ටෙස්ට් තරගයකදී ශතකයක් රැස් කළ පමණින් එකී ලෝක කුසලාන තරගාවලියට නම් කිරීමට අන්ධ වූ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට වන සේවය කෙසේවෙතත් සැන්තෑසිය සිතා ගත හැකිය.

Comments