ක්‍රිකට් පිටියට ඉන්දියාවෙන් වාර්තා පිට වාර්තා | සිළුමිණ

ක්‍රිකට් පිටියට ඉන්දියාවෙන් වාර්තා පිට වාර්තා

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට තරගාවලි හතරකදී ද්විශතක රැස් කළ ලොව පළමු ටෙස්ට් පිතිකරුවා වීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් වූයේ බංග්ලාදේශය සමඟ හයිදාබාද්හි පැවැති පළමු ටෙස්ට් තරගයේදීය. එහිදී කෝලි ඉන්දීය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 204 ක් රැස් කළේය.

ඊට පෙර එංගලන්තයට 235, නවසීලන්තයට 211 ක් සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 200 ක් වශයෙන් මේ ද්විශතක හතර ලබා ගැනීමට සමත් විය.
මේ තරගයේදී ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් ටෙස්ට් කඩුලු 250 ක් අඩුම තරග සංඛ්‍යාවකින් බිඳ දැමූ පන්දු යවන්නා බවට ද පත්විය.

අශ්වින් මෙහිදී සිය 45 වැනි තරගයේදී කඩුලු 250 සීමාව සලකුණු කළේය. ඊට පෙර එකී වාර්තාව හිමි වූයේ ඩෙනිස් ලිලීටය. ලිලී තරග 48 කදී සහ ඩේල් ස්ටේන් තරග 49 කදී මේ කඩඉමට ළඟා විය.
මේ අතර ඉන්දියාව අඛණ්ඩව ටෙස්ට් තරග තුනක ප්‍රතිවාදීන්ට එරෙහිව ඉනිමක ලකුණු 600 බැගින් ඉක්මවීමට ද සමත් විය. එංගලන්තයට කඩුලු හතකට 759, බංග්ලාදේශයට කඩුලු හයකට 687 ක් සහ එංගලන්තයට ලකුණු 631 ක් වශයෙන් රැස් කිරීමට සමත් විය.


ලකුණු 300
මීට දින කිහිපයකට පෙර දිල්ලිහි පැවැති එරට විස්සයි20 ක්‍රිකට් තරගයකදී විසි එක් වියැති මෝහිත් අහලවන් පන්දු 72 කින් ලකුණු 300 ක් රැස් කිරීමට සමත් වූයේ හයේ පහර 39 ක් එල්ල කරමින්ය. මෝහිත් අවසන් පන්දු වාරයේදී ලකුණු   30 ක් රැස් කළේ හයේ පහර පහක් එල්ල කරමින්ය.

ප්‍රධාන පෙලේ විස්සයි20 තරගයකදී එතෙක් ක්‍රීඩකයකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ක්‍රිස් ගේල් 2013 ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේදී රැස් කළ ලකුණු 175 විය.

2007 දී එංගලන්තයේ සැඩ්වර්ත් කණ්ඩායමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ ධනුක පතිරණ පන්දු 72 කදී ලකුණු 277 ක් රැස් කළේය. මේ අතර 2016 දී ඉන්දීය පාසල් ක්‍රිකට් තරගයකදී ප්‍රනාව් ධනවඩේ ලකුණු 1009 ක් රැස් කිරීමට ද සමත් විය.

Comments