වික්ටර්ගෙන් අපේ සිනමාකරුවන් ප්‍රයෝජන ගත්තේ නැහැ | සිළුමිණ

වික්ටර්ගෙන් අපේ සිනමාකරුවන් ප්‍රයෝජන ගත්තේ නැහැ

මහාචාර්ය සුනිල් ආරියරත්න

වික්ටර් රත්නායක ගාන්ධර්වයාණෝ දේශීය සම්ප්‍රදායන්ගෙන් මෙන් ම අන්‍ය මහා සම්ප්‍රදායන්ගෙන් ද සරු දෑ ගෙන එයින් තම නිර්මාණයන්හි අධ්‍යාත්මය පෝෂණය කොට, පෙරළා සමාජය ද සුභාවිත වින්දනයෙන් එකලු කළෝ ය. ඔහු ඇරඹි ‘ස’ ප්‍රසංගය ගම් නියම් ගම් සිසාරා එකසේ ජන ප්‍රසාදිතව පැතිර ගියේ මැණික් යටපත් වී ගොමරිටි වැ‍ජඹෙනවා යැයි අප අනුමාන කරන යුගයක වීම විශේෂත්වයකි. සමාජය විසින් පුම්බනු ලැබූ සත්‍යය නිවැරැදි නොවන බව වික්ටර් ක්‍රියාවෙන් පෙන්නුම් කළේ ය. මීට වසර 5කට පෙර හරියටම 2012.07.20 වැනිදා ලුම්බිණි එළිමහන් රංග පීඨයේ පැවැති අවසන් ‘ස’ ප්‍රසංගයට සහභාගි වීමේ අවස්ථාව මට උදාවිණි. වික්ටර් රත්නායකයෝ එවක සිය දිවි මඟ 70 වන කඩඉමට ළං වී සිටිය ද තාරුණ්‍යයේ පොපියන ජවයෙන් යුතු වූවකු සේ සිය මාධුර ස්වරයෙන් එදා ජනමත දැහැන්ගත කළෝ ය. 1973 ජූලි මස 23 වැනිදා ඇරඹි ‘ස’ ප්‍රසංගය සිව් දශකයක් පුරා එකම ජනප්‍රියතාවකින් යුතුව පවත්වා ගෙන පැමිණ එදා ජන ‍සෝ සුසුම මැද නිමාවට පත් කළේ ය. ඒ සා දිගු කලක් නොකඩවා පැවැත්වූ එකම ඒකපුද්ගල ගී ප්‍රසංගය ද එයය.

වික්ටර් රත්නායකයන්ගේ අනන්‍ය සාධාරණ නිර්මාණ හා ගායන කෞශල්‍ය පිළිබඳ පුනරාවලෝකනයක යෙදීම සඳහා සියුම් සංගීත ඥානයෙන්, ව්‍යවහාරයෙන් මතු නොව පර්යේෂණ ක්ෂේත්‍රයෙහි පිරිපුන් මහැදුරු සුනිල් ආරියරත්නයෝ වික්ටර් රත්නායකයන්ගේ දිවිසැරිය ගැන මෙසේ විමර්ශනයක යෙදෙති.

• වික්ටර් රත්නායකයන් වසර 40ක් පුරා නොකඩවා පවත්වා ගෙන ආ ‘ස’ ප්‍රසංගයේ ඉතිහාසය පිළිබඳව ඔබට අපමණ මතක සටහන් ඇති.

සංගීත ඉතිහාසයේ ‘ස’ ප්‍රසංගය කියන්නේ අති විශේෂ සංගීත ප්‍රසංගයක්. මෙවැනි ප්‍රසංගයක් සංගීත ඉතිහාසයේ තිබී නැහැ. ‘ස’ ප්‍රසංගය ආරම්භ වෙන කොට ඊට පූර්වාදර්ශය සැපයුවේ අමරදේවයන් හා නන්දා මාලිනියගේ ‘ශ්‍රවණ ආරාධනා’ ප්‍රසංගය බව ඉතා පැහැදිලියි. ඊට පස්සේ සංගීත ප්‍රසංග වශයෙන් මිනිස්සු හඳුනා ගත්තේ විහාරමහා දේවි උද්‍යානයේ ජෝතිපාල හා මිල්ටන් සහභාගි වූ සංගීත ප්‍රසංගයි. ගෘහස්ථ සංගීත ප්‍රසංග තිබුණේ ම නැති තරම්. අමරදේව, නන්දා, වික්ටර්, සනත් වගේ අය මතු වේගෙන එන කාලේ පාසල්වල, විශ්වවිද්‍යාලවල ඒ හතර දෙනා යොදලා ගෘහස්ථ සංගීත ප්‍රසංග කරන්න පටන් ගත්තත් ඒවා වෘත්තීය නොවන මට්ටමිනුයි කෙරුණේ. අවම වශයෙන් ශිල්පීන්ටවත් ගෙවීමක් කළේ නැහැ. ඒ අතරේ තමයි අමරදේවයන් හා නන්දා මාලිනිය ශ්‍රවණ ආරාධනා පටන් ගන්නේ, ඒක ඉතාම ජනප්‍රිය වෙනවා. නමුත් එය අතරමඟදී නතර වෙනවා. අම‍රදේවයන් ඉවත් වුණාට පස්සේ නන්දා මාලිනිය තනිව ම ‘ශ්‍රවණ ආරාධනා’ කරන්න පටන් ගන්න කාලේ තමයි වික්ටර් ‘ස’ අරඹන්නේ. මම ‘ශ්‍රවණ ආරාධනා’ සංවිධායකයන් තිදෙනාගෙන් කෙනෙක් වගේ ම ‘ස’ සංවිධායකයන් පස් දෙනාගෙනුත් එක්කෙනෙක්. ශ්‍රවණ ආර‍ාධනා ප්‍රසංගයේ දී කිසිම බටහිර වාද්‍ය භාණ්ඩයක් පාවිච්චි වුණේ නැහැ. නමුත් ‘ස’ ප්‍රසංගය වෙනස් වුණා. ඒ ඩ්‍රම් සෙට් එකක් භාවිත කළ නිසා. මේ කාලයේදී අප සෑම සියලු ගීතයකට ම භාවිත කරන සර පුවරුව (Key board) ඒ කාලේ අහලවත්, දැකලවත් නැහැ. අද ඕනෑම ගීතයකට සර පුවරු දෙකක්වත් භාවිත කරනවා. එකම විදියේ පසුතල තමයි මේ ප්‍රසංග දෙකටම තිබුණේ.

• ගායන ලෝකයට වික්ටර් රත්නායකයන්ගේ ආගමනය සිදුවන ආකාරය ඔබට මතක ඇති?

60 දශකයේ තමයි වික්ටර් සරල ගී ගායකයෙක් හැටියට ගුවන් විදුලියෙන් මේ ක්ෂේත්‍රයට එන්නේ. මුලින් ම ඔහු සංගීත ගුරුවරයෙක්. ඔහු නුවර එම්.ජී.පී. කලායතනයෙන් තමයි ඉගෙන ගත්තේ. ඊළඟට රජයේ සංගීත විද්‍යාලයෙන් සංගීතය ඉගෙන ගෙන ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඔහු මුලින් ම වයලීන් වාදකයෙක්. ප්‍රේමසිරි කේමදාස, ආර්. මුත්තුසාමි, අමරදේව වගේ සංගීතඥයන්ගේ වාදක මණ්ඩලවල වයලීන් වාදකයකු ලෙස තමයි කටයුතු කරන්නේ. පසුවයි ගායනයට එක්වන්නේ.

• ‘ස’ ප්‍රසංගය ඇරැඹීමත් සමඟ ‘වික්ටර්’ අලුත් මාවතකට පිය නඟනවා. දශක හතරකටත් වැඩි කාලයක් මේ ප්‍රසංගය නොකඩවා පවත්වාගෙන යෑමට තරම් ප්‍රබල වූ හේතුකාරණය වශයෙන් ඔබ දකින්නේ කවරක් ද?

වික්ටර් රත්නායක බිහිවුණේ නැත්නම් ප්‍රබුද්ධ ගීත කලාව කියන එක දියවෙලා යන්න තිබුණා. මම විශ්වාස කරනවා සාහිත්‍යයේ වගේ ම ගීත කලාවෙත් ප්‍රබුද්ධ සහ අප්‍රබුද්ධ කියලා කොටස් දෙකක් තිබෙන බව. අපේ ‍රටේ ස්වතන්ත්‍ර සංගීතය කියන එක තහවුරු කරන්නේ ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, අමරදේව යන ත්‍රිපුද්ගලයෝ. නමුත් ඔවුන් තිදෙනාගෙන් පස්සේ තව කිහිප දෙනෙක් මේ කාර්යයේ යෙදෙනවා. අයිවෝ ඩෙනිස්, නාරද දිසාසේකර වගේ කිහිපදෙනෙක් අනුකාරක සංගීතයට නොගොස් සිටියත් ඔවුන්ට පැහැදිලිව දැනෙන යමක් කරන්න බැරි වෙනවා. ඒ කාලේ ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා ප්‍රමුඛව ජනප්‍රිය වුණු අනුකාරක සංගීතයට එරෙහිව යන්න මේ අයට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ගායිකාවන්ගෙන් නන්දා මාලිනී මේ අනුකාරක සංගීත රැල්ලට එරෙහිව ස්වතන්ත්‍ර ගීත ගායනා කරමින් ප්‍රබුද්ධ ගීතය රැකගන්න ප්‍රබල සටනක් කරනවා. ඒත් ඒ රැල්ලට ප්‍රබල අභියෝගයක් කරන්න මේ අයට හැකිවන්නේ නැහැ.‍

වික්ටර් රත්නායක පහළ වන්නේ ඉවුරු දෙකක් වෙන වෙන ම ක්‍රියාත්මක වන යුගයක. ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, අමරදේව නියෝජනය කළ ඉවුරත්, ජෝතිපාල හා මිල්ටන් පෙරේරාගේ ඉවුරත් අතර තමයි වික්ටර් බිහි වන්නේ. වික්ටර් රත්නායක මේ ඉවුරු දෙක යා කරනවා. එගොඩ මෙගොඩ යා කරන පාලම බැන්දේ වික්ටර්. ඒ නිසා මේ ඉවුරු දෙකේ අය දෙපැත්තට ම හුවමාරු වෙන්න පටන් ගත්තා. මේක තමයි විශේෂම කාරණය. මේ පාලම ප්‍රබල ලෙස ම ‘ස’ ප්‍රසංගයට බලපෑම් කළා.

• වික්ටර් ගායක සංගීතවේදියකු වීම මේ ඉවුරු දෙක යා කිරීමට පහසුවක් වන්නට ඇති.

ඔව්. ඔහු ගායකයකු විතරක් ‍වුණා නම් හෝ සංගීතවේදියකු විතරක් වුණා නම් මේ ගමන යන්නට බැහැ. අපි අමතක කරන්න හොඳ නැහැ මේ කාලේ ෂෙල්ටන් ප්‍රේමරත්න, සෝමදාස ඇල්විටිගල, ප්‍රේමසිරි කේමදාස, ලයනල් අල්ගම වගේ අය හිටියා. මේ අය සංගීතඥයෝ විතරයි. ඔවුන් නිර්මාණය කළ ස්වතන්ත්‍ර ගී තනු ගයන්න අය හිටියේ නැහැ. එතකොට ගායනයේ මහා කුසලතාවක් දක්වන, ගී තනු නිර්මාණයේ හපන්කම් දක්වන පුද්ගලයෙක් පහළ වුණා. ඒ නිසා ඔහු සුවිශේෂී පුද්ගලයෙක්. සමරකෝන්, සුනිල් සාන්ත, අමරදේව කියන්නෙත් ගායක සංගීතඥයෝ. වික්ටර් එනකොට මේ තුන්දෙනාගෙන් අමරදේව විතරයි සිටියේ. අමරදේවට මේ ගමන තනියම යන්න බෑ.

• වික්ටර් ඉන්දියාවේ සංගීත අධ්‍යාපනය නොලැබූවත් ඔහු රාගධාරි සංගීතය භාවිත කළ අවස්ථා තිබෙනවා. ඔහු වඩාත් භාවිත කරන්නේ ජන සංගීත විධික්‍රම. බටහිර ආභාසයත් ලබනවා. මේ තුන් ආර වික්ටර් ගේ ගමන් මඟට මනා ප්‍රභාවක් එක් කළා නොවේද?

ඔහු පෙර සඳහන් කළ ඉවුරු දෙකේ ම රසිකයන් දිනාගත්තේ මධුර ගී තනු නිසයි. උත්තර භාරතීය රාගධාරී සංගීතය හා බටහිර සංගීතය දෙක ම මිශ්‍ර කරලා හින්දි අනුකාරක සංගීතයට අභියෝග කරන සංගීතයක් ඔහු නිර්මාණය කරනවා. ඒකට තියන හොඳම නිදසුන තමයි ඔහුගේ ගීතවල තිබුණු සංගීත සංයෝජන, මේක ආනන්ද සමරකෝන් ගේ හා සුනිල් සාන්තගේ සංගීතයේ තිබුණේ නැහැ. ආමුඛ සංගීත හෝ අතුරු සංගීතවත් මේවායේ තිබුණේ නැහැ. හින්දි සින්දු ජනප්‍රිය වන්න බලපෑම් කළෙත් කර්ණ රසායන සංගීතය සහ සංගීතය නොදන්නා අය පවා මෝහනය කරන ප්‍රසංවාදයි. බටහිර සංගීතයේ තිබුණු තල දෙකක ගායනා කිරීමේ ක්‍රමවේද වික්ටර් ‘සිහිල් සුළං රැල්ලේ’ ගීතයෙන් සමාජගත කළා. සුළං හමා යන සද්දය ගීතය මැද්දෙන් ඇහෙන ලෙසට ඔහු යොදා ගත්තා. මිනිස්සු මේ ගැන සොයන්න පටන් ගත්තා. මීට කලින් චිත්‍රපට ගීතවල මේවා භාවිත වුණාට මිනිස්සුන්ට ඒ තරම් දැනුණේ නැහැ. ගුවන් විදුලි සරල ගීවලින් මේ වෙනස මිනිස්සුන්ට ගොඩක් දැනෙන්න පටන් ගත්තා.

• වික්ටර් සරල ගීතයට නව අනන්‍යතාවක් හඳුන්වා දුන්නා.

සිංහල සරල ගීතයේ නොතිබුණු චරිතයක් සිංහල සරල ගීතයට ඔහු හඳුන්වා දුන්නා. වික්ටර් එන්නේ සරල ගී ගායකයෙක් හැටියට. සරල ගී වලට ඔහු අලුත් චරිත ලක්ෂණ එක් කළා. ඔහු වචනවලින් කියන දේ උද්දීපනය කරන්නයි මේවා භාවිතා කළේ. වචනවලින් කියන දේ අර්ථ සම්පන්න කරන්න ඔහු උත්සාහ ගත්තා.

• වරක් තිස්ස අබේසේකරයන් පවසා තිබුණා සිනමා පසුබිම් ගායනයෙන් පරිබාහිරව ගායකයකු හැටියට ස්වීය පෞරුෂයක් ගොඩනඟා ගත්තේ වික්ටර් පමණක් බව.

ඔහු ගුවන් විදුලියෙන් ම නිෂ්පාදනය වුණු සරල ගී නිසාම ජනප්‍රිය වෙච්ච එදා සිට අද දක්වා ම ජනප්‍රියත්වය එකසේ රඳවාගෙන පැමිණි සංගීතවේදියෙක්. ඔහු ගයන ගී වලින් 90% ක් පමණක් ම ඔහු ම තනු නිර්මාණය කරගන්නා ලද ඒවායි. ඔහුගේ ගී තනු මිහිරියාවෙන් අනූනයි. ඒ ඇරෙන්න ඔහු මේ පැත්තේ හිටපු ජෝතිපාල හා මිල්ටන්ට ගී තනු නිර්මාණය කරදෙන්න පටන් ගත්තා. ඒ වගේ ම අනෙක් පැත්තේ හිටපු අමරදේවටත් ගී තු නිර්මාණය කළා. මෑත කාලේ ‍රෝහණ වීරසිංහ හැරුණා ම මේ වගේ වෙනත් ශිල්පීන්ට බොහොම නිර්ලෝභී ව, පරිත්‍යාගශීලී ව තමන්ගේ හොඳ ම ගී තනු ප්‍රදානය කරපු සංගීතඥයා වන්නේ වික්ටර්, අමරදේවයන් ගායනයත් කළා, අනෙක් අයටත් ලස්සන තනු හැදුවා. වික්ටර් ඊටත් වඩා තනු නිර්මාණ හැදුවා. අමරදේවගේ ගී තනු ගයපු පිරිස සීමිතයි. නමුත් වික්ටර් ගේ ගී තනු ගායනා කළ අය අසීමිතයි. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, නන්දා මාලිනී, අමරදේව, මිල්ටන් මල්ලවආරච්චි, ශ්‍රීමතී තිලකරත්න, නිර්මලා රණතුංග, නෙරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය, බන්දුල විජේවීර, සුනිල් එදිරිසිංහ ආදී ගායකයන් මෙහිදී මගේ මතකයට නැ‍ඟෙනවා.

සමහර ගායකයන් බිහි කරන්නෙත් වික්ටර්, වික්ටර් රත්නායක නැත්නම් සුනිල් එදිරිසිංහ කෙනෙක් නැහැ. සඳකඩපහණක ගීතයෙන් තමයි ඔහු මතුවෙන්නේ, වික්ටර් නැත්නම් බන්දුල විජේවීර කෙනෙකුත් නැහැ. ‘කුලගෙදරින් දුම්බර කඳුවැටියේ’ කියන ගීතයෙන් බන්දුල විජේවීර මතුවෙන්නේ, ශ්‍රීමතී තිලකරත්නගේ මුල් ගීත සියල්ලම වගේ වික්ටර්ගේ. කල්පනා රෑනෙන් මිදී... අනන්තයට මා එනවිට... හිරු ගෙනවිල්ලා පුතු ළඟ තනියට තියලා... වගේ ගී වික්ටර්ගේ. ඔහු ගී ගැයුවා විතරක් නොවෙයි, එගොඩ මෙගොඩ යා කරන මේ ඓතිහාසික කාර්යබාරය ඉටු කරමින් අනෙක් අයවත් ස්වතන්ත්‍ර තනු නිර්මාණකරණයට පෙලඹවූවා. ෆ්‍රෙඩී සිල්වා වගේ ගායකයකුගේ ‘කුණ්ඩුමනී...’ වගේ ගීතයක් ගත්තහම ‍ෆ්‍රෙඩී සිල්වා ජීවිත කාලයේ ම ගායනා කළ හොඳ ම ගීතය එයයි.

 ඔහු විකට ගායකයෙක් වශයෙන් මිස ප්‍රබුද්ධ ගායකයකු වශයෙන් කාගෙවත් සැලකිල්ලට ලක් නොවී හිටපු කෙනෙක්. වික්ටර් තවදුරටත් ඉතිහාසගත වන්නේ තරුණ පරම්පරාවේ ගායක ගායිකාවන් පිරිසක් බිහි කළ නිසාත්, තරුණ පරම්පරාවේ ගීත රචකයන් පිරිසක් බිහි කළ නිසාත්, ‘ස’ ප්‍රසංගය ඒකට එක කාරණයක්. ‘ස’ ප්‍රසංගය පටන්ගත්ත කාලේ රූපවාහිනිය තිබුණේ නැහැ. චිත්‍රපටවලින් අපි අහපු ගීත පිටුපස්සේ හිටපු වාද්‍ය ශිල්පීන් අපි කවුරුවත් දැකලා තිබුණේ නැහැ. පත්තරේක ඔවුන්ගේ පින්තූරයක්වත් ගිහින් තිබ‍ුණේ නැහැ. ගීතයක් නිර්මාණය වීමේ පිටුපස වාදක මණ්ඩලයක් සිටින බවත්, මෙය සාමූහික වෑයමක් බවත් රසිකයන් මුලින් ම දැ‍නගත්තේ වික්ටර් නිසා, ශිල්පීය දක්ෂතා පෙන්වන්න ඒ ඒ ශිල්පීන්ට අවස්ථාව සැලසුණේ වික්ටර් නිසා.

‘ස’ ප්‍රසංගය පනස්වරක් පමණ පෙන්වන කොට වික්ටර්ට විතරක් නොවේ විජේරත්න රණතුංගට පලඳවන්නත් මිනිස්සු මල්මාලයක් අරගෙන එනවා.

වික්ටර් ගුවන්විදුලි සරල ගීයක් අලුතින් පටිගත කරනවා නම් ශබ්දාගාරය ඇතුළේ නිවේදක නිවේදිකාවෝ පිරිලා බලාගෙන ඉන්නවා මේ අලුත් සින්දුව අහන්න. ඊට පස්සේ පළවෙනියටම මේ ගීතය ප්‍රචාරය කරන්න පොරකනවා. මට මතකයි ප්‍රේමකීර්ති, කේ.ඩී.කේ, දයා ද අල්විස්, රත්නා ලංකා අබේවික්‍රම ඇතුළු අය මුලින් ම මේ ගීය ප්‍රචාරය කරන්න බලන් ඉන්නවා.

• ඒ කාලේ ඔබ ඇතුළු ව බොහෝ ගීත රචකයන්ගේ දුක, සතුට රසිකයා අතරට ගෙන යන ආත්මීය හඬ වුණෙත් වික්ටර් නේද?

එදා සිටිය තරුණ පරම්පරාවට තමන්ගේ දුක්ඛ දෝමනස්සයන්, තමන්ගේ සතුට කියන හඬ වුණේ වික්ටර්, මමත් ඒ අත්දැකීමට සහභාගි වුණ කෙනෙක්. ප්‍රේමකීර්ති ගත්තොත් ඔහුගේ ජීවිතයේ දුක්, සුසුම්, කඳුළු ඔහු ලියුවේ වික්ටර්ට, ඇහේ කඳුළු පු‍‍රෝගෙන ඔහු වික්ටර්ට ගීයක් ලියලා දෙනවා. වික්ටර් එවෙලේ ම ඒකට තනුවක් නිර්මාණය කරනවා. බණ්ඩාර විජේතුංග තමන්ගේ පෙම්වතිය ලංකාව අතහැර යනකොට සත් සමුදුරු තරණය කොට දුරු රටකට වඩින්නේ... කියලා ගීතයක් ලියලා වික්ටර් ට දෙනවා. වික්ටර් තනුවක් නිර්මාණය කරනවා. ගාමිණී ෆොන්සේකා වගේ මහා නළුවෙක් වුණත් තමන්ගේ අත්දැකීම් ලියලා දුන්නේ වික්ටර් ට. ඒ අහිමිවුණත් නුඹ ළ‍ඳේ මට අඬන්න අවසර නෑ... කියන ගීතය.

මේ වගේ රචක පරම්පරාවක් තමන්ගේ අත්දැකීම් කියන්න වාහකයා බවට පත් කර ගත්තේ වික්ටර්. මේ ගීත එකක්වත් වික්ටර් සල්ලි දීලා ලියවාගත්ත ඒවා නෙවෙයි. මේ රචකයන් ගේ ආත්මය තමයි මෙහි තිබෙන්නේ. ඔහු එක පැත්තකින් තරුණ වාදක පිරිසකගේ කුසලතාව ඔහුගේ ගීතවලට එන්නත් කර ගත්තා. අනෙක් අතට ඔහුගේ පරම්පරාවේ තරුණයන් තමන්ගේ ආත්ම ප්‍රකාශනය සඳහා වික්ටර්ගේ හඬ භාවිතා කළා. 73 වෙනකොට වික්ටර්ට ඉතාම ජනප්‍රිය බවක් ලැබී තිබුණා.

ඒ විතරක් නොවේ ගුවන් විදුලියේ හිටපු තරුණ පටිගත කිරීමේ ශිල්පීන්ගේ පර්යේෂණවලටත් වික්ටර් පාදක වුණා. උදාහරණයක් විදියට යූ. ආරියවිමල්ට අවශ්‍ය වෙලා තිබුණා. සංගීත පටිගත කිරීම්වල විශේෂ අත්හදා බැලීම් කරන්න. ඒ කියන්නේ හඬ තල දෙකක වික්ටර්ගේ හඬ පටිගත කරලා ඒකට එකතු කරන්න. ඒවා අද බොහොම ලෙහෙසියි. තාක්ෂණය දියුණු නිසා. ඒත් එදා එහෙම නැහැ. අද ආපහු හැරිලා බලනකොට පේනවා විශාල පිරිසක් වික්ටර් වටා ඉඳගෙන ඔහුගේ ප්‍රතිරූපය ගොඩනඟන්න පුදුම විදියට උදව් උපකාර වෙලා තිබෙන බව.

• මේ රික්තය පිරවීමට සමත් කෙනෙක් බිහි වේවිද?

මගේ ජීවිත කාලය ඇතුළත නම් වික්ටර් වගේ කෙනෙක් බිහිවේවියි සිතන්න බැහැ. එහෙම පෙනෙන තෙක් මානයක කෙනෙක් නැහැ.

වික්ටර්ට දැවැන්ත සහෘද රසික ප්‍රජාවක් සිටියත් ඔහුගේ ප්‍රතිභාව මෙරට විචාරකයන් හරිහැටි හඳුනා නොගත්තා යැයි මට සිතෙනවා.

 

Comments