ශ්‍රී ලංකාවේ නව නිපැයුම්වලට තායිලන්තයෙන් රන් සම්මාන | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ නව නිපැයුම්වලට තායිලන්තයෙන් රන් සම්මාන

පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වුණු අන්තර්ජාතික නව නිපැයුම් තරගාවලියේදී රන් පදක්කමක් හා රිදී පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නව නිපැයුම්කරුවන්ට හැකියාව ලැබිණ. තායිලන්ත ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනය සැමරීමට සමාගාමීව පවත්නන්ට යෙදුණු මේ ප්‍රදර්ශනය බැංකොක් අන්තර්ජාතික නව නිපැයුම් හා බුද්ධිමය දේපළ ප්‍රදර්ශනය යනුවෙන් නම් කර තිබිණ. පසුගිය පෙබරවාරි මස දෙවැනි දින සිට හයවැනි දින දක්වා බැංකොක් නුවරදී පැවැත්වුණු මේ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවෙන් තරගකරුවන් සිව් දෙනෙකු සහභාගී කරවීමට ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කටයුතු කර තිබිණ.

ඉදිරිපත් කර තිබූ සෙසු නව නිපැයුම්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නව නිපැයුම්වලට විශේෂ ඇගයීමක් ද හිමි විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ ප්‍රදර්ශනයට සහභාගී වූ පොලොන්නරුව සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ යොමාල් සිරිවර්ධන සිසුවාගේ ස්වයංක්‍රීය ජල සැපයුම සඳහා රන් පදක්කම හිමි වූ අතර මීගමුව ශාන්ත මේරි විද්‍යාලයේ විරාජ් චාමික සිසුවාගේ නවෝත්පාදනය ද ප්‍රදර්ශනයේදී වඩාත් වැඩි ඇගයීමකට ලක් විය. ඔහු මැණික්වල පළුදු සොයා ගැනීම සඳහා වන උපකරණයක් නිපදවා තිබූ අතර ඒ සඳහා සමස්ත ප්‍රදර්ශනයේදී රිදී පදක්කමක් මෙන්ම පිලිපීන රන් සම්මානය ද හිමිවිය.

කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ ලිතිල් ජයමහගේ නව නිපැයුම වන නවීකරණය කරන ලද කෙක්ක සඳහා ද රිදී පදක්කමක් හිමි විය. තක්ෂිලා මහා විද්‍යාලයේ තරිඳු දඹේවෙල ඉදිරිපත් කළ නිදිබර රියැදුරන් සඳහා ස්වයංක්‍රීය අනතුරු අඟවනය ද ඇගයීමට ලක් වුණු අතර එම නව නිපැයුම සඳහාද රිදී පදක්කමක් හිමි විය. 

Comments